Leftwin Magazine Vol - 03

අධ්‍යාපනය පාරිභෝගික භාණ්ඩයක්ද?

෴ රුවන් කුමාර

2022 ආර්ථික අර්බුදය පසු ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇතිවන සාකච්ඡාවල ප්‍රධාන මාතෘකාවක් වන්නේ රාජ්‍යය විසින් කරන මැදිහත්වීම් සහ රාජ්‍යය විසින් පවත්වාගෙන යන ව්‍යාපාර සහ කටයුතු සීමා කරන්නේ කෙසේද යන්නයි. ඒ සමගම රාජ්‍යයේ වියදම් සහ රාජ්‍ය ණය ප්‍රමාණය පහළ දමන්නේ කෙසේද යන්නත් සාකච්ඡා කරනු ලැබේ. එහිදී රාජ්‍යයේ වියදම් සීමා කිරීම පිණිස කළයුතු මූලික කර්තව්‍යයන් ලෙස සුභසාධක කටයුතු සඳහා සහ අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි මූලික අවශ්‍යතා වෙනුවෙන් රාජ්‍යය කරන වියදම් සීමා කිරීම හෝ නවතා දැමීම හැමවිටම යෝජනා කෙරෙනු දැකිය හැක. ශ්‍රීලංකා රාජ්‍යය වාර්ෂිකව අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන්නේ තම අයවැයෙන් 2% කටත් වඩා අඩු ප්‍රතිශතයකි. එය අන්තර්ජාතික පිළිගත් අගය වන 4% වඩා බෙහෙවින්ම පහළ පවතී. නමුත් මෙය පවා රාජ්‍යයේ ආර්ථික විශේෂඥයින්ගේ මෙන්ම රාජ්‍ය නොවන විවිධ ආර්ථික විශ්ලේෂකයින්ගේද ඇසේ කටු අනින්නාක් මෙන් පෙනෙන වියදමකි. එමෙන්ම ශ්‍රීලංකා රාජ්‍යයට ආර්ථික උපදෙස් දෙන අන්තර්ජාතික මුල්‍ය ආයතන වන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හෝ ලෝක බැංකුව වැනි ආයතනවල ප්‍රධාන උපදේශයක් වන්නේ අධ්‍යාපනයට කරන වියදම අනිවාර්යෙන් කප්පාදු කළ යුතුය යන අදහස පිළිගන්නා අයයි. 

මේ ආකාරයේ ප්‍රතිසංස්කරණ ආරම්භ වෙන්නේ නිදහස් අධ්‍යාපනයට සමාන්තර ලෙස පවත්වාගෙන යන ගෙවීම් කළ යුතු අධ්‍යාපන ආයතනවලට අවසර දීම හරහාය. ඉන්පසුව ක්‍රමිකව රාජ්‍යය තමන් සතුව පවතින වගකීම්වලින් ඉවත් වී “තරඟකාරී” උදෘතය යටතේ අධ්‍යාපනය පෞද්ගලික ව්‍යවසායකයින්ට පවරා දීමෙන් ඊට වගක්වයුත්තෝ එය සම්පුර්ණ කරති. එවිට සිදු වන්නේ ඒ අධ්‍යාපනය සඳහා අවශ්‍ය ගෙවීම් එක්හෝ තමන් සතු මුදලින් හෝ ශිෂ්‍ය ණය නැත්නම් වෙන ආකාරයක ණයක් හරහා කරන්න ට සිදුවීමයි. ඉන්පසු එය අර්ථ ගැන්වෙන්නේ එක පැත්තකින් හැමකෙනාටම අධ්‍යාපනය සඳහා සම අයිතිවාසිකම් ලැබෙන ක්‍රමයක් ලෙසය. එසේම විදේශ ගත අධ්‍යාපනය සඳහා පිටරටට ඇදී යන විදේශ විනිමය ලංකාවේම රඳවා ගත හැකි ක්‍රමයක් ලෙස තවත් විදියකින් එය අර්ථ ගන්වයි. එසේම ගුණාත්මක බැවින් වැඩි වඩා නුතන අධ්‍යාපනයක් ලබා ගත හැකි වන්නේ පෞද්ගලික ව්‍යවසායකයින්ට අධ්‍යාපනයට මැදිහත් වීමට ඉඩ දුනහොත් යන්න තවත් නැගෙන තර්කයකි. තවත් පැත්තකින් දිස්ත්‍රික් කෝටා ක්‍රමය වැනි  යම් සීමා කිරීම් නිසා ජනප්‍රිය පාසල්වල සහ අග නගරාසන්න ශිෂ්‍යයින්ට විශ්ව විද්‍යාලවලට ඇතුල් වීමේදී වෙන අසාධාරණයන්වලට ඉතාම හොඳ උත්තරයක් වෙන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල වැඩි වැඩියෙන් ඇතිවීම නිසා යැයි අර්ථ කථනය වේ.

මීට විරුද්ධව සිටින පාර්ශ්ව දෙස නිරීක්ෂණය කළ විට ඒ අය තුළද විවිධ අදහස් පවතින බව පෙනෙන්නට තිබේ. එනම් ඉන් එක් පාර්ශ්වයක් රාජ්‍ය විශ්ව විද්‍යාල වෙනදා මෙන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ නම් ඊට සමාන්තරව පෞද්ගලික විශ්ව විද්‍යාල ද ඉදිවේ නම් එය සාධනීය දෙයක් ලෙස තර්ක කරයි. එහි තවත් පාර්ශ්වයක අදහස වන්නේ යුරෝපයේ මෙන් ලාභ නොලබන ආකාරයේ පෞද්ගලික විශ්ව විද්‍යාල තිබීම ගැටළුවක් නොවන බවයි. එවන් ආයතනවල ආදායම එම ආයතන පවත්වාගෙන යාමටත් වැඩිදුර අධ්‍යයන සහ පරීක්ෂණ කටයුතුවලට යෙදවීමටත් හැකි නිසා එය නිදහස් අධ්‍යාපනයට බාධාවක් හෝ තර්ජනයක් නොවන බව මේ අය විශ්වාස කරති.

මෙවන් ආකාරයට අධ්‍යාපනය සැලසුම් කරන්නේ නම් ශිෂ්‍ය ප්‍රජාවෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් තමන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා නිශ්චිත මුදලක් අනිවාර්යෙන් වෙන් කළ යුතුයි. එක්හෝ ඒ මුදල තමා හෝ තම පවුල සතු මුදලකින් ගෙවිය යුතු වන අතර නැතහොත් එය ණය මුදලක් ලෙස ලබාගෙන වියදම් කළ යුතුය. එසේ නැතහොත් සමහර රටවල පවතිනවාක් මෙන් ශිෂ්‍ය ණය ක්‍රමයක් ඇති විය යුතුය. ඒ ණය අධ්‍යාපනය අවසන් කර රැකියාවක් කරන අවස්ථාවේදී යලි ගෙවිය යුතු වේ. මේ හැම අවස්ථාවකම මේ පාර්ශ්ව කිහිපයම විශ්වාස කරන්නේ අධ්‍යාපනය යනු යම් නිශ්චිත වටිනාකමක් ඇති දෙයක් ලෙසය. එනම් අධ්‍යාපනයද යතුරුපැදියක් හෝ හාල් මිටියක් හෝ ජංගම දුරකථනයක් හා සමාන ලෙසට වෙළඳ පොලේ නිශ්චිත වටිනාකමකට හුවමාරු කළහැකි සහ කළයුතු දෙයක් බවයි. එනම් මාක්ස්වාදී අර්ථයෙන් හුවමාරු වටිනාකමක් ඇති භාණ්ඩයක් නැතහොත් පාරිභෝගික භාණ්ඩයක් (commodity) බවයි. 

යම් නිෂ්පාදනයක්, භාණ්ඩයක් හෝ සේවාවක් වෙළඳ පොළ තුල හුවමාරුවට ලක්වන්නේ නම් ඒ සඳහා යම් නිශ්චිත කාරණා ගණනාවක් සම්පුර්ණ විය යුතුය. එම පාරිභෝගික භාණ්ඩය සතුව යම් ප්‍රයෝජ්‍ය වටිනාකමක් තිබිය යුතු අතර එය නිෂ්පාදකයා විසින් හුවමාරුව සඳහා වෙළඳපොළට ගෙනෙන්නේ එය තමාට ප්‍රයෝජ්‍ය වටිනාකමක් නොවන නිසා (අතිරික්තයක්) ය. වෙළඳපොලේදී ඒ පාරිභෝගික භාණ්ඩය සතු ප්‍රයෝජ්‍ය වටිනාකම අවශ්‍ය ගැනුම්කරුවෙකු එය අදාල හුවමාරු වටිනාකමේ මුදල් අගය හෙවත් වටිනාකම / මිල ගෙවා අත්පත් කරගනී. ඒ අර්ථයෙන් අධ්‍යාපනයත් වෙළඳපොලේ නිශ්චිත වටිනාකමකට හුවමාරු වන commodity එකක් හැටියට බාරගැනීම සහ ඒ මත සිටිමින් වෙළඳපොල සාධාරණත්වය රැක ගනිමින් හුවමාරුව සිදුවීමට ඉඩ දීමත් අවශ්‍ය වේ.

මනුෂ්‍ය ශිෂ්ටාචාරයට අතිශයින්ම වැදගත් සහ අත්‍යාවශ්‍ය මුලික අවශ්‍යතා ගණනාවක් මේ ආකාරයට පාරිභෝගික භාණ්ඩ ලෙස වෙළඳපොල තුල හුවමාරුවට ඉඩ සලසා තිබේ. ආහාර, නිවාස, සෞඛ්‍ය සහ අධ්‍යාපනය මේ අතරින් ප්‍රමුඛය. නව ලිබරල් දෘෂ්ටිවාදය කොතරම් පැලපදියම් වීද යන්න අධ්‍යාපනය වැනි මාතෘකාවක්‌ ගැන කතා කරන විට ඊට එන ප්‍රතිචාරවලින් හඳුණාගත හැකිය. අධ්‍යාපනය පෞද්ගලිකකරණය විය යුතු යැයි හිතන අය සහ අධ්‍යාපනය රජය යටතේ තිබිය යුතු යැයි හිතන අය යන මේ දෙවර්ගයේ ම අයගේ දෘෂ්ටිවාදය කුමක්ද? එනම්,පෞද්ගලික අධ්‍යාපන ආයතන සහ පෞද්ගලික විශ්ව විද්‍යාල පැවතීමට එකඟ වන අතර ඉන්  ලාභ ලබනවට විරුද්ධය.  පොදුවේ මේ දෙවර්ගයම එකඟ වන කාරණයක් වන්නේ අධ්‍යාපනය පාරිභෝගික භාණ්ඩයක් ය යන්න සහ ඊට මිලක් තියෙනවා යන්නයි. ඒ අය අතරේ තිබෙන විවාදය වන්නේ මේ භාණ්ඩ හුවමාරුවේදී මිල ගෙවන්නේ කව්ද යන්නය. ඉන් අදහස් වන්නේ තමන්ගේ අධ්‍යාපනය සඳහා යන වියදම තමන්ගේ ආදායමෙන් ගෙවිය යුතුය. නොඑසේ නම් පොදුවේ රාජ්‍යයේ ආදායමෙන් (බදුවලින්) ගෙවිය යුතුය. එහි අදහස වන්නේ මුදල් ඇති අය මුදල් ගෙවා ඉගෙන ගතයුතු අතර මුදල් නොමැති අයට නොමිලේ අධ්‍යාපනය ලැබිය යුතුය යන්නයි.

පාරිභෝගික භාණ්ඩයක මෙම ස්වරූපය එනම්, එක් වරම ප්‍රයෝජ්‍ය වටිනාකමක් මෙන්ම හුවමාරු වටිනාකමක් අන්තර්ගත වීම එක්තරා ආකාරයකයකට එහිම ප්‍රතිවිරුද්ධ (contradictory) බවක් ද වේ. ප්‍රයෝජ්‍ය වටිනාකමක් (use values) යනු යම් ආකාරයකට මානව අවශ්‍යතාවක් ඉටු කරන දෙයක් ලෙස හැඳින්විය හැකිය. හුවමාරු වටිනාකමක් යනු  නිෂ්පාදකයාට ප්‍රයෝජ්‍ය වටිනාකමක් නොමැති නිසා වෙනත් කෙනෙකුගේ අවශ්‍යතාවයක් සපුරා ගන්නට හුවමාරු කරන දෙයකි. මිනිසා තමන්ට පරිභෝජනය කරන්න අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න මුල් වරට පටන් ගන්නේ මානව ශිෂ්ටාචාරයේ කෘෂිකාර්මික යුගයේදීය. ඒ දක්වා ඉතිහාසයේදී මිනිසා උපයා ගත්තේ තමන්ට ඒ මොහොතේදී පරිභෝජනය කරන්නට අවශ්‍ය ප්‍රමාණයක් පමණි. එය උපයා ගත්තේද දඩයම් කිරීමෙන. ඒ නිසාම අතිරික්තයක් හෝ හුවමාරුවක් සිදුවෙන්නේ නැත. නමුත් කෘෂිකාර්මික යුගයේදී නිෂ්පාදනය පාරිභෝජනයට වඩා වැඩිවන නිසා ඒ ඒ නිෂ්පාදකයෝ එකිනෙකා අතර තම නිෂ්පාදන ඍජු ආකාරයට හුවමාරුව පටන් ගනිති. යුවාල් නෝවා හරාරි තමන්ගේ සේපියන්ස් පොතේ තර්ක කරන්නේ වෙළඳපොල, නීතිය ආගම, රාජ්‍ය ඇතුළු මේ සියළුම ගොඩනැංවීම් කෘෂිකාර්මික විප්ලවයේදී නිෂ්පාදනයේ හට ගන්නා අතිරික්තය කළමනාකරණය කරන්නට යාමේ ප්‍රතිපලක් ලෙස බිහි වන බවයි. එසේ නිර්මාණය වන වෙළඳපොළට කාලයක් යද්දී මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ සියළුම කලාප තමන්ගේ යටතට ගන්නට හැකි වේ. මාක්ස් සහ එංගල්ස් මේ ගැන ඔවුන්ගේ ප්‍රකට කෘතිය වන කොමියුනිස්ට් ප්‍රකාශනයේදී සටහන් කරති.

දැන් අපි නැවතත් මේ මොහොතේ ලංකාවේ අධ්‍යාපනයට අදාල  සාකච්ඡාව දෙස අවධානය යොමු කරමු. මේ සාකච්ඡාව තුළ  පහසුවෙන් හඳුණාගත හැකි කාණ්ඩ තුනක් සිටිති. 

      1. නව ලිබරල් මතවාදීන් 
      2. රාජ්‍ය කේන්ද්‍රීයවාදීන් 
      3. රැඩිකල්වාදීන්

නව ලිබරල් මතවාදීන් යනුවෙන් හඳුන්වන අය ඇතුළත් වන්නේ නව ලිබරල් පන්නයේ ආර්ථික විශ්ලේෂකයින් ගණයටය. ඒ අයගේ අදහස වන්නේ රාජ්‍ය කිසිදු ආකාරයකට ව්‍යාපාරවල නොයෙදිය යුතුය යන දැඩි අදහසයි. ඒ අය කියන්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ආරක්ෂාව වැනි අංශ රාජ්‍ය විසින් පොදු මහජනතාව වෙනුවෙන් බදු මුදල් යොදවල ක්‍රියාත්මක කළ යුතුය යන්නයි. මේ අයගේ මුර පද වන්නේ නිදහස, සමානාත්මතාවය, තරඟය, වෙළඳපොල වැනිඒවාය. ඔවුන්ට නිදහස යනු විශාල ව්‍යවසායකයින්ට සහ සමාගම් වලට හිතුමතේ සුරා කෑමට ඇති නිදහසය. සමානාත්මතාවය යනු ඕනෑම දෙයක් විකිණීමේදී පන්ති වෙනස්කම් ආර්ථික අසමානතාවයන් නොසලකා සියළුම දෙනා එකම මිලක් ගෙවිය යුතුයි වැනි සමාන භාවයයි.  ඔවුන්ට වෙළඳපොල යනු ඕනෑම දෙයක්, අයිතිවාසිකමක්, විශ්වාසයක්, හැඟීමක් මිලක් නියම කර විකිණිය හැකිය යන අදහසයි. ඒ නිසා නව ලිබරල් අර්ථයෙන් ගත්තම අධ්‍යාපනය දිහා අයිතිවාසිකමක්, බුද්ධිමය දෙයක්, පුජනීය දෙයක් ලෙස බැලීම තේරුමක් නැති වැඩකි. කළ යුත්තේ මේව රාජ්‍යයේ වගකීමෙන් ගලවා තවත් එක පාරිභෝගික භාණ්ඩයක් ලෙස සලකා මිලක් නියම කර වෙළඳපොළට යැවීමය.

ඒ තර්කයට දිය හැකි පිළිතුර වන්නේ මුලින්ම ආර්ථික අසමානතාවය නව ලිබරල් ආර්ථික ක්‍රමය ඇතුලේ විසඳන ආකාරය පෙන්වනුයන්නයි. එසේ ආර්ථිකය අසමානතාවයෙන් තොරව නිර්මාණය කලාට පසු ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් වෙනුවෙන් සමාන මිලක් ගෙවීමට ඕනෑම කෙනෙකුට හැකි වේ. එසේ කිරීමට ගිය ඇමරිකාව වැනි රටවල ශිෂ්‍ය ණය වල එකතුව ඩොලර් ට්‍රිලියනය පසු කර ගොස් ඇත. ඒ ණය කපා හරින ලෙස ඉල්ලා එරට ශිෂ්‍යයෝ පාරේ අරගල කරති. අධ්‍යාපනය වෙළඳපොලෙන් ඉවත් කළ යුතු යැයි ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය ව්‍යාපාරය පාරේ අරගල කරයි. මින් පැහැදිලි වන්නේ මේ නව ලිබරල් තර්කය වලංගු එකක් නොවෙන බවයි. 

අධ්‍යාපනය සම්බන්ධයෙන් රාජ්‍ය කේන්ද්‍රවාදීන්ගේ අවධානය යොමු වී තිබෙන්නේ ලාභ නොලබන පෞද්ගලික අධ්‍යාපනය කෙරෙහිය. අනුරුද්ධ ප්‍රදීප් කර්ණසුරිය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ ක්‍රියාවලියට දිගින් දිගටම දැඩි ලෙස විරුද්ධ මතයක් දරන්නෙකි. ඉතාමත් විධිමත් සහ සවිස්තරාත්මකව කරන විශ්ලේෂණ සමග ඔහුගේ මැදිහත්වීම් සයිටම් අරගලයේ සිටම ප්‍රමුඛව දැකිය හැකි එකකි. විශේෂයෙන්ම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට එරෙහිව තීරණාත්මක ලෙස මැදිහත් වීම තව දුරටත් සිදුකරනු ලබනබව රහසක් නොවේ. ඒ නිසා ලාභ නොලබන රාජ්‍ය නියාමනය සහිත පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන ඔහුගේ අදහස් සලකා බැලිය යුතුව තිබේ.

“ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සඳහා වූ ප්‍රවේශය වැඩි කිරීම කල යුත්තේ කෙසේද යන්න පිලිබඳ මාගේ යෝජනාව අවස්තා බොහෝ ගණනකදී ඉදිරිපත් කර ඇත්තෙමි. යලිත් එයම මෙසේ ඉදිරිපත් කරමි. කෙටියෙන් මාගේ යෝජනාව මෙයයි. “ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල දැනට පවත්නා ඉඩ වැඩිකොට එම වැඩි කරන ඉඩ ප්‍රමාණය ගාස්තු ගෙවීමේ පදනම මත විවිධ හේතු මත ප්‍රවේශය අහිමි වන දක්ෂ සිසුන්ට ලබා දිය යුතුය.” 

විස්තරාත්මකව එය මෙසේය. දැනට දක්ෂතාව තිබියදීත් විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වන ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් සිටිති. එකක් දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා ප්‍රවේශය අහිමි වන කණ්ඩායමයි. අනෙක ජාත්‍යන්තර පාසල්වලට ගිය දක්ෂ ශිෂ්‍යයනුයි. ඒ අනුව අප කළ යුත්තේ එක් එක් පීඨයේ දැනට ගන්න ශිෂ්‍ය ප්‍රමාණය, ඒවාට අවශ්‍ය සම්පත් සැපයීම මගින් වැඩිකොට එසේ වැඩි කරන ඉඩ ප්‍රමාණය පෙර කී ශිෂ්‍ය කණ්ඩායම්වලට සාධාරණ නිර්ණායක යටතේ ලබා දීමයි. එහිදී දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා අසාධාරණයට ලක්වූ සිසුන්ගෙන් අය කළ යුත්තේ පිරිවැය (පුනරාවර්තන ඒකක වියදම) පමණකි. ඒ සඳහාද රාජ්‍ය බැංකු මගින් සහන ශිෂ්‍ය ණය ක්‍රමයක් ක්‍රියාත්මක කළ හැකිය. (මේ ක්‍රමය යටතේ වෛද්‍ය ශිෂ්‍යයෙකුට අවුරුදු පහ සඳහාම ගෙවිය යුතු වන්නේ රුපියල් ලක්ෂ 20 වැනි මුදලක් පමණකි). මෙම කණ්ඩායම් දෙකට අමතරව, විදේශ සිසුන් සඳහාද කෝටාවක් වෙන් කළ හැකිය. එමගින් ආදායමක් ලැබීමට අමතරව, අපගේ ශිෂ්‍යයන්ගේ ආකල්ප වෙනස් කිරීමටත්, විශ්වවිද්‍යාලවල ගුණාත්මකභාවය වැඩි කිරීමටත් හැකිවනු ඇත. (අනුරුද්ධ ප්‍රදීප් කර්ණසුරිය)” 

මේ ඔහු විසින් රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ඇතුලත් කරගන්නා සිසුන් ප්‍රමාණය වැඩි කරගැනීමත් කුසලතාවය මත පදනම්නොවී මුල්‍ය හැකියාව ඇති සිසු සිසුවියන්ට තමන් කැමති ආකාරයේ පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව ලබාදීමටත් හැකි ආකාරය පිළිබඳව ලියූ ලිපියකි. මීට අමතරව ඔහු ලියූ වෙනත් ලිපි හරහා අවබෝධ වන කාරණය වන්නේ ඔහු රාජ්‍ය විශ්ව විද්‍යාල සහ ලාභ නොලබන පෞද්ගලික විශ්ව විද්‍යාල පැවතීම සම්බන්ධයෙන් විරෝධයක් නොමැති බවයි. එහි මුඛ්‍ය අදහස වන්නේ රාජ්‍ය විසින් නියාමනය කරන්නේ නම් සහ රාජ්‍යයට බදු මුදල් ගෙවන්නේ නම් අධ්‍යාපනය පාරිභෝගික භාණ්ඩයක් ලෙස සැලකීම ගැටළුවක් නොවන බවයි. ඒ නිසා විසඳා ගත යුතුව ඇත්තේ මතුවන තාක්ෂණික කාරනා පමණකි. 

අධ්‍යාපනය නිදහස්, තරඟකාරීත්වයෙන් තොර, විවෘත තෝරා ගැනීම් වලට ඉඩ ඇති මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගැනීමත් අධ්‍යාපනය රාජ්‍ය විසින් නියාමනය කරන ලාභ නොලබන ලෙස පවත්වාගෙන යාමත් අතර අති විශාල වෙනස්කමක් ඇත.දෙවන ක්‍රමය තවදුරටත් පවතින අති විශාල අසමානතාවයන් එලෙසින්ම පවත්වාගෙන යාමට එකඟ වන අතර සාධාරණ මුදලක් අය කිරීම සිදුවෙයි. එසේ අය කරන මුදලෙන් කොටසක් යලි රාජ්‍ය අධ්‍යාපනයට යෙදවීම මගින් ශිෂ්‍යයින්ගෙන් පහළ ආර්ථික මට්ටම් වල අයට සහන සැලැස්වීම මෙහි සැලැස්මයි. එමෙන්ම සියළුම අධ්‍යාපන ආයතන රජයට වගකියන සහ රාජ්‍ය අධීක්ෂණය යටතේ පවත්වාගෙන යන නිසා අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පිලිබඳ රාජ්‍ය සහතිකයක් ලැබෙනු ඇත.

බැලූ බැල්මට ඉතාම සාර්ථක සහ සාධාරණ ක්‍රමයක් ලෙස පෙනෙන මේ රාජ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය බොහෝ දුර‍ට ස්කැන්ඩිනේවියන් රටවල පවතින ක්‍රමයට ආසන්න ක්‍රමයක් ලෙස දැකිය හැක. නමුත් ලංකාව වැනි රටක පාර්ලිමේන්තුව සහ රාජ්‍ය ක්‍රියාත්මක වන ආකාරය දන්නා ඕනෑම කෙනෙකුට මෙවන් සරල සැකැස්මක් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක නොවන බව සිතා ගැනීම අපහසු නැත.

නමුත් ශිෂ්‍ය ව්‍යාපාරය විසින් ඉදිරියට දැමූ ” අධ්‍යාපනය පාරිභෝගික භාණ්ඩයක් නොවේ ” යන සටන් පාඨය පවතින්නේ මෙම ප්‍රායෝගික ක්‍රියාකලාපයට වඩා සද්භාවමය (ontological) ස්ථානයකයි. ඒ කියන්නේ යම් නිශ්චිත කාරණයක් එහි ප්‍රායෝගික ස්වරූපය හෝ අන්තර් සම්බන්ධතා හැටියට සලකනවා වෙනුවට ඒ ප්‍රපංචයේ අති මුලික ස්වරූපයෙන් සලකලා බලන එකට.ඒ කියන්නේ මේ ප්‍රපංචය (අධ්‍යාපනය) ක්‍රියාත්මක වෙන්නේ රාජ්‍ය යටතේද නැද්ද, උගන්නන්නේ මොනවද, විශ්ව විද්‍යාල කීයක් තියෙනවද වගේ ප්‍රශ්න වෙනුවට අධ්‍යාපනය සියළුම දෙනාගේ ජාතිය ආගම වර්ගය මුල්‍ය හැකියාවන් ගෙන් ඔබ්බේ ඇති සියළු දෙනාම ලැබිය යුතු සහ වටිනාකමක් ඇතත් මිලක් කිසිම විටක නියම නොකළ යුතු අතිශයින්ම මූලික අයිතිවාසිකමක් හැටියට සලකන්න සහ පිළිගන්න කියලා සටන් කරන එක. එහෙම නැත්නම් විවිධ රටවල විවිධ ආකාරයේ වෘත්තීය හෝ නොවන කොයි ආකාරයේ හෝ අධ්‍යාපනයන් පැවතුනත් ඒ හැම එකක්ම මිනිසාගේ අතිශයින්ම මූලික අයිතිවාසිකමක්‌ හැටියට හැමවෙලේම පිළිගන්න එක. 

ඒ නිසා අධ්‍යාපනය පෞද්ගලීකරණය කරනවට විරුද්ධව පෙනී සිටින සියළුම දෙනාට ඒ වෙනුවෙන් ගෞරව කරන අතරේම ඒ විතරක් ප්‍රමාණවත් නැහැ, සටන තවදුරටත් විවෘතයි කියලා මතක් කරන්න වෙනවා.

අන්තරය, ශිෂ්‍ය ව්‍යාපාරය සහ වාමාංශිකයින්

දශක ගණනාවක සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරන මුවාවෙන් පැමිණෙන අධ්‍යාපන පෞද්ගලීකරණ ව්‍යාපෘතිය පරාජය කිරීමට පෙරමුණ ගත්තේ ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරයයි. එහි ප්‍රධාන නියෝජනය සිදුවන්නේ අන්තරය සහ ඒ වටා ගොනුවූ ශිෂ්‍ය සංගම් හරහාය.මෑත කාලයේදී සයිටම් අරගලය ජයග්‍රාහීව අවසන් කිරීමට හැකි වූයේද  ශිෂ්‍ය ප්‍රජාවේ අඛණ්ඩ මැදිහත් වීම් වල ප්‍රතිපල ලෙසයි. දැන් ඔවුන් නව එළඹුමක් සමග ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්ති පිළිඹඳ නව සංවාදයක් ආරම්භ කර ඇත. එහිදී ඔවුන් අධ්‍යාපනය අයිතියක් මිස පාරිභෝගික භාණ්ඩයක් නොවේ යන සටන් පාඨය ඉදිරියට ගෙනවුත් ඇත. මෙය ඉතාමත්ම වැදගත් සහ සංවර්ධනීය පියවරකි. මේ දක්වා ශිෂ්‍ය සටන් වලදී ඉදිරිපත් කල සටන් පාඨය වූ නිදහස් අධ්‍යාපනය රැක ගනිමු යන්න වෙනුවට ඉදිරිපත් කල මෙම අදහස ඓතිහාසික දාර්ශනික සහ මානුෂික වශයෙන් වෙනස් වටිනාකමක් ලබා දියයුතු එකකි.

ප්‍රාග් ඓතිහාසික යුගයේදී විධිමත් ආකාරයකට අධ්‍යාපන ක්‍රියාවලියක් හෝ ශික්ෂණ ක්‍රියාවලියක් පැවතුනේයැයි සැලකීමට නොහැක. එදිනෙදා දඩයම් කිරීමට හෝ ආහාර සොයාගැනීමට අවශ්‍ය දැනුම ඍජුවම අත්දැකීම් හරහා එකතු කරගැනීමට හැකිවන්නට ඇත. අනතුරුවලින් සහ විශාල සතුන්ගෙන් ආරක්ෂා වීමද තමන් අයිති කණ්ඩායමේ වැඩුණු සාමාජිකයන් දෙස බැලීමෙන් සහ එකට වැඩ කිරීමෙන්  ඉගෙනගැනීමට හැකි වන්නට ඇත. වඩා විධිමත් කෘෂිකාර්මික සමාජ ක්‍රමයක් තුලද ලාබාල සාමාජිකයෙකුට ඉගෙනගත යුතු දැනුම විධිමත් ශික්ෂණ ව්‍යාපෘතියක් රහිතව පාරම්පරික ලෙසම ගලා ගිය බවක් විශ්වාස කල හැක. මන්ද යත් ඒ ලබාගතයුතු දැනුම ඍජු අත්දැකීම් හරහා ඉගෙනගත හැකි එකක් බැවිනි.

නමුත් මුල් දාර්ශනික අදහස් පද්ධති බිහිවීමත් සමගම විධිමත් ශික්ෂණ ව්‍යාපෘතිවල අවශ්‍යතාවයක් සමාජයට දැනෙන්නට ඇත. මන්ද ඒ වනතෙක් අවශ්‍ය වූ දැනුම වන දඩයම් කිරීම ආරක්ෂාව සපයා ගැනීම හෝ වගා කිරීම මෙන් නොව පාරභෞතික මත පදනම් වන දැනුම ඍජු නිරීක්ෂණයෙන් හෝ අත්දැකීමෙන් ඉගෙනගැනීමට නොහැකි එකක් වන බැවිනි. ඒ නිසා එවන් අදහස් පද්ධති ඒ ඒ දාර්ශනිකයින් හෝ ගුරුවරුන් යටතේ ඉගෙනගැනීමට අවශ්‍ය ආයතන බිහි වන්නට ඇත. 

අධ්‍යාපනය පාරිභෝගික භාණ්ඩයක් නොව අයිතියක් ලෙස සලකන සහ ඒ සඳහා මිලක් නියම නොකරන සමාජ ක්‍රමයක් වෙනුවෙන් අපි දැන් කතා කරනවා වූවත්,ක්‍රිස්තු පූර්ව යුගවල අධ්‍යාපනය මේ ආකාරයේ ස්වරූපයකින් තිබුණු බවට මෙතෙක් සාක්ෂි හමුවී නොමැත. හෙලනික යුගයේ ප්ලේටෝ හෝ ඇරිස්ටෝටල් වැනි ප්‍රමුඛ දාර්ශනිකයින්ගේ අධ්‍යාපන ආයතන විවෘතව පැවතුනේ සමාජයේ පුරවැසියන් ලෙස පිළිගත් කොටසක් වෙනුවෙන් පමණයි. ඒ අයද මේ අධ්‍යාපනය වෙනුවෙන් අදාල ගෙවීම් කළ යුතුව තිබුණි. පුරවැසියන් නොවන වහල් ජනයාට එම අවස්ථාව හිමි වූයේ නැත. එමෙන්ම වැඩවසම් යුගයේදීද ප්‍රවේණි දාසයින් හට අධ්‍යාපන අයිතිවාසිකම් හිමිවූයේ නැත. ඒ අයිතිවාසිකම් ලැබුණේ ඉඩම් හිමි රදලන්ගේ පරපුරට පමණි. අපි ධනවාදය හඳුනාගන්නේ පැරණි සම්බන්ධකම් කඩා බිඳ දමමින් අලුත් විදිහට ලෝකය වෙනස් කරන ක්‍රමයක් හැටියටය. නමුත් ධනවාදය ඇතුලේ වූවත් සියලුම දෙනාටම සමානව අධ්‍යාපන අයිතිවාසිකම් ලැබෙන්නේ නැත. කාර්මික විප්ලවයෙන් පසු එංගලන්තයේ කර්මාන්ත ශාලාවල වයස අවුරුදු 5 ටත් අඩු ළමයින් එක දිගට පැය 72 දක්වා සේවයේ යොදවනු ලැබූ බව එවකට සිටි කර්මාන්ත ශාලා පරීක්ෂකවරුන්ගේ වාර්තා උපුටා දක්වමින් මාක්ස් ප්‍රාග්ධනය කෘතියේ සඳහන් කරයි. එසේම පසු ගිය කාලයේ එනම්,යටත්විජිත කාලයේ මෙන්ම අප්‍රිකානු රටවල වහල් සේවාවන් සඳහා බලෙන් රැගෙන ගිය පිරිස් වලටද අධ්‍යාපන අයිතිය අහිමි වී තිබුණි. විජිතකරණය සහ වහල් සේවාව අවසන් වූ පසුවත් සැමට අධ්‍යාපනයේ අයිතිය සමාන ලෙස ස්ථාපිත කරගැනීමට නොහැකි වී තිබේ. ධනේශ්වර ආර්ථිකය විසින් දිගින් දිගටම සමාජ අසාධාරණත්වය සහ අසමානතාවය පවත්වාගෙන යන තත්ත්වයක් ඇතුලේ අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක් කියන එක ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නෙම පන්ති පදනමක් යටතේ වෙනස් නොකලහැකි සියුම් විෂමතාවයක් නඩත්තු කරමින්. ඒ හින්දා තමයි මන්නාරමේ හරි මුලතිව්වල හරි අරලගන්විල හරි මීමුරේ හරි ඉස්කෝලෙකට සහ කොළඹ නුවර ගම්පහ ජනප්‍රිය පාසලකට ඇහැට හොඳින්ම පේන්න තියෙන අසාධාරණත්වය තිබියදීම නිදහස් අධ්‍යාපනය ලබාදුන්නා කියලා උදම් අනන්න පුළුවන් කම ලැබෙන්නේ.

ඒ නිසා ඓතිහාසික වශයෙන් අපි ඉදිරියේ තියෙන අභියෝගය වෙන්නේ දැනටමත් දිනාගත්ත නිදහස් අධ්‍යාපන අයිතිවාසිකම් රැකගන්නවා කියන එක නෙවෙයි. ඒ වෙනුවට අපිට මේ සමාජ ක්‍රමය ඇතුලේ ඉතාම දැවැන්ත විදිහට පහළ සමාජ පන්තීන් සහ ජනයා හට අහිමි කරලා තියෙන අති මූලික අවශ්‍යතාවයක් වෙන අධ්‍යාපනය වෙළඳ පොලෙන් ගලවල ඒක විශ්වීය විදිහට පාරිභෝගික භාණ්ඩයක් කරන්න බැරි අති මූලික අයිතිවාසිකමක් බවට පත්කරගන්න එක.

නමුත් අන්තරය ඇතුළු ශිෂ්‍ය ව්‍යාපාරයේ ස්ථාවරය දිහා බැලුවම පෙනෙන දෙයක් තමයි ඔවුන් මේ අයිතිය දැනටමත් පවතින ඒ නිසා ආරක්ෂා කරගතයුතු දෙයක් බවට සැලකීම. මෙන්න මේ කාරණයේදී අන්තරය සමග එකඟ වෙන්න අමාරුයි. ශිෂ්‍ය ව්‍යාපාරය සහ වාමාංශික දේශපාලනය විසින් දිනාගත්ත දේවල් කිසිවක් අවතක්සේරු කරන්න උවමනාවක් නැහැ. ඒත් මේ දිනාගත්ත දේවල් හැමවෙලේම තියෙන්නේ යලි පාරිභෝගික භාණ්ඩයක් කරල විකුනන්න පුළුවන් විදිහට. ඒවා සම්පුර්ණ වශයෙන් වෙළඳපොලෙන් සහ පාරිභෝගික භාණ්ඩ ස්වරූපයෙන් ගැලවිලා මූලික අයිතිවාසිකම් හැටියට ස්ථාපිත වෙලා නැහැ. ඒ නිසා අරගලය තියෙන්නේ ඉතාම මූලික මට්ටමේ ඉඳලා දිනාගෙන එන්න. අධ්‍යාපනය විතරක් නෙවෙයි ආහාර, සෞඛ්‍ය සහ නිවාස කියන කලාපත් මේ වගේම වෙළඳපොලෙන් ගලෝලා මූලික අයිතිවාසිකමක් සහ පාරිභෝගික භාණ්ඩයක් නොකළ හැකි දේවල් බවට පත්කරන්න සටන් කරන්න වෙනවා.ඒ නිසා ශිෂ්‍ය ව්‍යාපාරයේ අරගලය එක්ක එකට ඉඳලා සටන් කරන්න ඕන මේ විවේචනය එක්ක. 

දෘෂ්ටිවාදය 

පහුගිය කාලයේදී අන්තරයත් වාමාංශික ව්‍යාපාරත් අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් ලෙස නොව මූලික අයිතිවාසිකමක්‌ ලෙස පිළිගන්න කියලත් උපාධි කඩ අහෝසි කරන්න කියලත් උද්ගෝෂණය කරද්දී ඒකට ආණ්ඩුවට පස්සේ වැඩියෙන්ම විරුද්ධ උනේ උපන්දා ඉඳලා කොහොමටත් ජාත්‍යන්තර පාසල්වල ඉගෙනගෙන පෞද්ගලික විශ්ව විද්‍යාල වල හරි විදේශ විශ්ව විද්‍යාල වල හරි ඉගෙනගන්න හිතාගෙන ඉන්න පන්තියේ අය නෙවෙයි. එක්කෝ රාජ්‍ය විශ්ව විද්‍යාල වලට යන්න හිතාගෙන A/L කරලා පොඩ්ඩක් අවුල් උනාම පෞද්ගලික විශ්ව විද්‍යාලවලට ගිය අයත් එහෙම යන්න ඉන්න අයත් තමයි. හරි නම් මේ අය මේ ගැන සතුටු වෙන්නයි ඕන. රාජ්‍ය විශ්ව විද්‍යාල ප්‍රමාණය විසින් වැඩි ශිෂ්‍ය ප්‍රමාණයක් අන්තර් ග්‍රහණය කරගන්න පුළුවන් වෙනවා නම් තමන් මුදල් වියදම් කරගෙන පෞද්ගලික විශ්ව විද්‍යාලවලට යන්න අවශ්‍ය නැහැ. ඒ අයටත් නොමිලේ රාජ්‍ය විශ්ව විද්‍යාලයක උපාධිය ලබාගන්න පුළුවන්. 

මෙහිදී කාරණා දෙකක් බලපායි. එක කරුණක් වන්නේ දැනට පෞද්ගලික විශ්ව විද්‍යාල හරහා විවර විවර වී ඇති ඉඩ ප්‍රස්ථා වැසේවි යැයි යන බියයි. අනෙක් කරුණ වන්නේ ඉගෙනගත්ත ද ලංකාවේ රැකියා නොමැති නිසා අනිවාර්යෙන් ම පිට රටකට යා යුතුය යන අදහසයි. මීට අමතරව රාජ්‍ය විශ්ව විද්‍යාලයන්හි උපාධියකට වඩා පෞද්ගලික විශ්ව විද්‍යාලයන්හි උපාධිය විදේශ  රැකියා සඳහා වැඩි වටිනාකමක් ඇත යන ආකල්පය බොහෝ දෙනා තුළ රැල්ලක් මෙන් පැවතීමයි. මෙය වූ කලි මේ මොහොතේ අධ්‍යාපනය පිළිබඳව බලපවත්වන දෘෂ්ටිවාදය ලෙස හඳුණා ගත හැකි (දෘෂ්ටිවාදය යනු භෞතික ප්‍රශ්න සඳහා අදහස් සහ පරමාදර්ශවලින් උත්තර සෙවීම යැයි සරලව හිතමු) යි. ඒ නිසා බොහොමයක් මධ්‍යම පාන්තිකයින් කරනුයේ තමන්ගේ ළමයින්  සාමාන්‍ය පෙළින් පාසල් ගමන නවතා උපාධිය සඳහා පදනම් විභාගවලට යැවීමයි. ඉන් පසු උපාධිය සම්පුර්ණ කිරීම සඳහා  අතර මැදින් විදේශ ගත වේ. නැතිනම් උපාධිය අවසන් කර රැකියා සඳහා විදේශ ගතවේ. මෙය වූ කලි මේ මොහොතේ ලංකාවේ මධ්‍යම පන්තිකයාගේ අනාගත සැලසුමයි.

ඒ නිසා අධ්‍යාපන කඩ වැසිය යුතුයි වැනි සටන් පාඨයක් එලියට දැම්මම එය මේ මධ්‍යම පන්තිය විඳිමින් සිටින ප්‍රමෝදය, ගොඩනගාගෙන සිටින මනෝරාජික ලෝකය අර්බදයට යවන සටන්පාඨයකි. ඒ නිසා සමාජ මාධ්‍ය ඇතුලේ සහ ඉන් පිටත මේ අදහස දැඩිව විවේචනයට ලක්වෙන සහ හාස්‍යට ලක්වෙන ස්වරූපයක් මතුවෙන එක බලාපොරොත්තු විය යුතුයි.

නිගමනය

2023 සඳහා තාවකාලික ජනාධිපති රනිල් රාජපක්ෂ ඉදිරිපත් කළ අයවැයේ ප්‍රධාන ලක්ෂණයක් වූයේ ඊළඟ ඡන්දයේදී  මධ්‍යම පන්තිය රවටන්නට ගෙන ආ රට පුරා විශ්ව විද්‍යාල  පිහිටුවීමේ යෝජනාවයි. ඒ සඳහා සාගර විද්‍යාවේ සිට තෘණ විද්‍යාව දක්වා වන විශාල පරාසයක අධ්‍යාපන කටයුතු සඳහා විශාල ප්‍රමාණයක් පොත් සහ ඉඩකඩ ලබාදීමට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදෙන බවට පොරොන්දු වී ඇත. නමුත් දැනට ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාලවලට අවශ්‍ය නේවාසිකාගාර පහසුකම්, මානව සම්පත්, සහ වෙනත් යටිතල පහසුකම්වත් සපයා දිය නොහැකි තත්වයක් යටතේ වුවත් යෝජනා ඉදිරිපත් කරන්නේ තව තවත් ආයතන ඇති කිරීමටය. නමුත් ගැටළුව වන්නේ වැඩිපුර විශ්ව විද්‍යාල බිහි කිරීම තුලින් අධ්‍යාපනයේ ඇති ගැටළුවලට පිළිතුරු නොලැබීමයි. සිදුවිය යුත්තේ අධ්‍යාපන ක්‍රමය තුල නෛසර්ගිකවම අඩංගු වන අසමානතාවය සහ අසාධාරණය අවලංගු කර දැමීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමයි. ඒ සඳහා අධ්‍යාපනය වඩ වඩාත් ප්‍රජාතන්ත්‍රීකරණය කිරීම සඳහා අවශ්‍ය වන වෙනස්කම් සාකච්ඡා ආරම්භ කළයුතුය. 

එක් අතකින් අධ්‍යාපනය කිසිම ආකාරයක පක්ෂග්‍රාහී වීමක් කිසිදු කණ්ඩායමකට හෝ ජන වර්ගයකට සිදු නොවීමට අධ්‍යාපනයේ පැවැත්ම සම්පුර්ණයෙන්ම සමාජ අරමුදල් මත යැපිය යුතු වෙයි. එය මුල් කාලයේදී අධ්‍යාපනය වෙනුවෙන් පනවන බද්දක් හරහා විය යුතුයි. නමුත් එය ක්‍රමිකව බදු නොවන සමාජ ප්‍රදානයන් මගින් යැපෙන බවට වෙනස් කළ යුතු ය.

අනෙක් අතට අධ්‍යාපනය කුමක් කෙසේ කා වෙනුවෙන් සිදු වන්නේද යන්න වඩ වඩා විවෘත සහ ප්‍රජාතාන්ත්‍රික ආකාරයකින් කිරීමට හැමවිටම පොදු මහජනතාව සමග පවතින සාකච්ඡාවක් පැවතිය යුතු ය. ඉක්මන් ලාභය වෙනුවෙන් අධ්‍යාපනය තුලට පාඨමාලා ඇතුලත් කරනු වෙනුවට දීර්ඝ කාලීන සමාජ සංවර්ධනය වෙනුවෙන් අධ්‍යාපනය භාවිතා කළ යුතුය.

විශ්ව විද්‍යාලයක හෝ වෙනත් ආයතනයක ඕනෑම පාඨමාලාවක් හැදෑරීමට දැනට එක් හෝ මුදල්වලින් එහි වටිනාකම ගෙවීමට හැකියාව තිබිය යුතු ය. නැතහොත් කුසලතාවය විභාගයක් හරහා ඔප්පු කර තිබිය යුතුය. ඒ වෙනුවට යම් දිනක අධ්‍යාපනය ලබන්නාගේ ආශාව (desire) (කැමැත්ත නොව) සහ සමාජ අවශ්‍යතාවය මත ඔහු ලබන අධ්‍යාපනය තීන්දු වන්නේ නම්, එමෙන්ම කිසිම අධ්‍යාපන ප්‍රවර්ගයක ප්‍රයෝජ්‍ය වටිනාකමක් විනා කිසිම හුවමාරු වටිනාකමක් හඳුනා ගත නොහැකි නම් පමණක් අපට අධ්‍යාපනයේ ඇති මූලික අයිතිවාසිකමක ස්වරූපය යම් ජයග්‍රහණයක් ලබා ඇතැයි විශ්වාස කළ හැක.

Leftwin Magazine Vol-03 සම්බන්ධිත ලිපි

  • Editor
  • Posted by Editor
December 8, 2023

කුකුළෙකුට අවශ්‍ය වන්නේ පැතලි භූමියකි. කුකුළා කරන්නේ භූමියේ තැනින් තැනට දිව ගොස් පොළොව පහුරුගා පණුවන් සෙවීමත්...

Read More
  • Editor
  • Posted by Editor
December 7, 2023

1848 පැරීසියෙන් පටන්ගෙන යුරෝපය හරහා හඹා ගිය විප්ලවය සාර්ථක වූයේ නැත. නමුත් එය අසාර්ථක වූයේද නැත....

Read More
  • Editor
  • Posted by Editor
December 7, 2023

විතණ්ඩවාදීන් වනාහි ක්‍රි.පූ. පස්වන සියවසේ ග්‍රීසියේ සිටි දාර්ශනික කණ්ඩායමකි. නම් වලින් හඳුනා ගතහොත් ප්‍රොටගෝරස්, ජෝර්ජියාස් හා ...

Read More
  • Editor
  • Posted by Editor
December 6, 2023

2022 ආර්ථික අර්බුදය පසු ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇතිවන සාකච්ඡාවල ප්‍රධාන මාතෘකාවක් වන්නේ රාජ්‍යය විසින් කරන...

Read More

We use cookies to give you the best experience. Cookie Policy