Back

Contact us

apikattiya new

ප්‍රඥාව නැමැති බස්සා තටු සලන්නේ ගොම්මනේදීය

දශක තූනක පමණ කාලයක් අප විවිධ විකල්ප දේශපාලන පක්‍ෂ සහ කණ්ඩායම් සමග වැඩ කළේ, ලිපි ලේඛණ ලිව්වේ සහ රැස්වීම් ඇමතුවේ ශ්‍රී ලංකාව තුළ සමාජවාදී පරිවර්තනයක් කීරීම, ලංකාව වඩාත් ඉහළ ආර්ථික සහ සංස්කෘතික මට්ටමකට ගැනීම, සාධාරණත්වය හා මානව හිමිකම් රකින සුරක්‍ෂිත දේශයක් බවට පත් කිරීම සහ පීඩිත ජන කොටස්වල ස්වයං-නීර්ණ අයිතිය දිනා ගැනීම ආදි බලාපොරොත්තු කිහිපයක් ඉටුකර ගැනීමේ අධිෂ්ඨානයෙනි. වඩාත් සරළව කීවොත් මාක්ස් විසින් ඉදිරිපත් කළ කොමියුනිස්ට් යුතෝපියාව සාක්ෂාත් කර ගැනීම වෙනුවෙනි. දශක තූනකට පමණ පසුවත් අප බලාපොරොත්තු වූ ආකාරයට මේවා ඉටු කර ගැනීමට හැකිවූයේ නැත. අපගේ අසාර්ථකත්වයන්, පසු බැසීම්, බලාපොරොත්තු සුන්වීම් සහ අප වැඩ කළ ව්‍යාපාරවලින් ඛණ්ඩනය වීම් සම්බන්ධයෙන් ප්‍රත්‍යවේක්‍ෂණයක් (reflection) කිරීමට දැන් අවස්ථාව එලඹ ඇත. අප න්‍යායාත්මක වශයෙන් වැරදි ස්ථාවරයන්හි සිටි නිසා මේ තත්ත්වයන් උදා විණි ද? සංවිධානාත්මක වශයෙන් වැරදි උපාය උපක්‍රම තේරූ නිසා අපිට ජයග්‍රහණයන් ලබා ගැනීමට නොහැකි වූයේ ද? අපගේ ප්‍රතිවාදීන්ගේ බලය සම්බන්ධයෙන් වැරදි තක්සේරුව නිසා අපට පසුබැසීමට සිදුවූයේ ද? අපට පාලනය කළ නොහැකි ආත්මීය, අවිඥාණක හෝ වාස්තවික බලවේග නිසා අපි නිශ්ක්‍රීය වූයේ ද? අපට වඩා බලවත් ප්‍රාග්ධනය, රාජ්‍ය මතවාදී හා පීඩික උපකරණයන්ගෙන් සමන්විත බලවත් රාජ්‍යය, හෝ වසර දහස් ගණනක ඉතිහාසයක් සහිත ජාතිය නිසා අපට විමුක්තියක් අත්පත් කර ගැනීමට නොහැකි වූයේ ද? ජාත්‍යන්තර වශයෙන් අපට වඩා බලවත් රාජ්‍යයන් හා ජාතීන් අපට ඔලූව එසවීමට ඉඩ නොදුන්නේ ද?

අප ඉදිරියේ පවතින නිරාකරණය කර ගත යුතු ගැටළු සහ අභියෝග මේවා ය. මෙවැනි ප්‍රශ්න ගණනාවක් ආමන්ත‍්‍රණය කිරීමට මෙහිදී අපි බලාපොරොත්තු වෙමු. මෙය ජයගැනීම සඳහා තවත් එක් දේශපාලන පක්‍ෂයක්, කණ්ඩායමක් හෝ සංවිධනයක් බිහිකරීමට දැනට බලාපොරෙත්තුවක් නැත. අපගේ බලාපොරොත්තුව වන්නේ දැනටමත් පවතින යම් ප්‍රගතිශීලී ලක්‍ෂණ සහිත වාම සංවිධාන තුළ අවකාශයක් නිර්මාණය කර ගැනීමය. මේ වෙබ් සඟරාවෙන් කරන්නේ ලංකාවේ දේශපාලනය අතිශය විකාරරූපී සහ භයානක තත්ත්වයක් කරා ගමන් කරමින් තිබෙන මොහොතක ය. වසර 40ක් පමණ ජාතිවාදී, වර්ගවාදී, මතවාද පෝෂණය කළ න්‍යායාචාර්යවරුන් රාජපක්‍ෂලාගේ ඕනෑම ආකාරයක තක්කඩි, ප්‍රචණ්ඩ, භීෂණ, දූෂණ ප්‍රතිපත්තියක් අනුමත කරමින් සිටින මොහොතක සහ මේ අයගේ චින්තනයන් රාජපක්‍ෂ ක්‍ෂිතිජය තරණය කිරීමට නොහැකි වී ඇති මොහොතක ය. වසර 30ක් පමණ පශ්චාත් නූතනවාදී, ව්‍යුහවාදී, පශ්චාත් ව්‍යුහවාදී සහ මනෝ විශ්ලේෂණවාදී මතවාද පෝෂණය කළ න්‍යායාචාර්යවරුන් රනිල් වික්‍රමසිංහගේ ඕනෑම ආකාරයක තක්කඩි, ප්‍රචණ්ඩ, භීෂණ, දූෂණ ප්‍රතිපත්තියක් අනුමත කරමින් සිටින මොහොතක සහ මේ අයගේ චින්තනයන් වික්‍රමසිංහ ක්‍ෂිතිජය තරණය කිරීමට නොහැකි වී ඇති මොහොතක ය. එමෙන් ම මේ වෙබ් සඟරාව කෙරෙන්නේ වමේ ව්‍යාපාරය තම සැබෑ සතුරා වෙනත් තැනක සිටියදී කල්ලිවාදී හා කට්ටිවාදී ආකාරයට බෙදෙමින් ඔවුනොවුන් එකිනෙකාට පහර ගසමින් සිටින මොහොතක ය.

මේ සියලූ ආදානග්‍රාහි තත්ත්වයන් තුළ අපට තවදුරටත් බලාපොරොත්තුවක් ඇත. මාක්ස්වාදී යුදෙව් චින්තකයෙකු වූ අර්නස්ට් බ්ලොක් ලියූ The Principle of Hope කෘතියේ කියූ ආකාරයට අපට බලාපොරොත්තුවක් ඇත. මේ බලාපොරොත්තුව වෙනසක් සඳහා ය. වඩාත් මානවවාදී අනාගයක් සඳහා ය. ඔහු ලියූ ආකාරයට Philosophy will have conscience of tomorrow, commitment to the future, knowledge of hope, or it will have no more knowledge.

අපගේ මේ ප්‍රථම පියවරේ මුඛ්‍ය අරමුණ වන්නේ අද අප මුහුණ දී සිටින අර්බුදය ‘ප්‍රාග්ධනය-රාජ්‍යය-ජාතිය’ නම් ප්‍රවර්ගයන් තුන හරහා පැහැදිලි කිරීමය. එක් පාර්ශ්වයක් ප්‍රාග්ධනය, රාජ්‍යය හා ජාතිය මගින් පීඩාවට පත් වීමෙන් ඒවාට එරෙහිව ප්‍රතික්‍රියා දක්වමින් සිටිති. මේ ප්‍රවර්ගයන් තුන එකිනෙකින් වෙන් කළ නොහැකි ආකාරයට බොරෝමියානු ගැටයක් (Borromean knot) සේ සම්බන්ධව ඇත.

    hsijudfuhasa

    We use cookies to give you the best experience. Cookie Policy