Back

ගජ මිතුරන්ට සැළකීම එහේ හා මෙහේ

එහේ

දෙසැම්බර් මුල් සතියේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ආර්ජන්ටිනාවේ උප ජනාධිපති ක්‍රිස්ටිනා ෆර්නැන්ඩස් ද කර්ච්නර්ට වසර හයක සිර දඬුවමක් නියම කළ අතර රජයේ නිලතල දැරීම ජීවිත කාලයටම තහනම් කළා.නඩු තීන්දුව අවසන් වූ සැනින් ෆර්නැන්ඩස් සිය Twitter හරහා ප්‍රතිචාර දක්වා තිබුණේ, සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් සහ අධිකරණය අන් ආයතන මෙන් “සමාන්තර ආයතනයක්” බව තර්ක කරමින්. “ඔබට අවශ්‍ය වන්නේ මාව හිරේ දැමීම හෝ මරා දැමීම”. ඇය සටහන් කර තිබුණා.

2007 සිට 2015 දක්වා ඇය ජනාධිපති ධුරය දැරූ කාලය තුළ පවුලේ මිතුරියක සහ ව්‍යාපාරික සහකාරියක වන ‘ලාසාරෝ බීස්’වෙත පොදු මාර්ග වැඩ කොන්ත්‍රාත්තුව ලබා දීම සම්බන්ධයෙන් විනිසුරුවන් ෆර්නැන්ඩස් වරදකාරිය බව තීරණය කළා. විනිසුරුවරුන් විසින් නඩුවේ තවත් නිලධාරීන් සහ ව්‍යාපාරිකයන් අට දෙනෙකු ද වරදකරුවන් කර තිබුණා.හිටපු පොදු වැඩ පිළිබඳ ඇමති හොසේ ලෝපෙස්, ෆර්නැන්ඩස් පිළිබඳ මෙම තීන්දුව ආර්ජන්ටිනාවේ බලයේ සිටින විධායකයකු මීට පෙර කිසි දිනෙක දූෂණ චෝදනාවලට වරදකරු වී නැති බව පවසා තිබුණා.

මෙහේ

2015 පෙබරවාරි 01 සිට 2016 මාර්තු 31 දක්වා කාලය තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව විමසීම, විමර්ශනය කිරීම සහ වාර්තා කිරීම සඳහා වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව සහ 2015 පෙබරවාරි 1 සිට 2016 මාර්තු 31 දක්වා කාලය තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සහ භාණ්ඩාගාරයට මුදල් ප්‍රේෂණය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ කරන ලද වෝහාරික විගණන වාර්තාවල  නිරීක්ෂණ සහ සොයා ගැනීම් අනුව 2015 වර්ෂයේදී භාණ්ඩාගාර බැඳුම්කර ගනු දෙනු සම්බන්ධයෙන් විශාල අක්‍රමිකතා සහ වංචා කිහිපයක්ම සිදු වී ඇති බව තහවුරු වෙනවා. ඊට අමතරව, විවිධ අය විසින් මෙම වංචාව පිළිබඳ විද්‍යාත්මක විග්‍රහයන්ද කර ති‍බෙනවා.

ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවට අනුව, 2015 පෙබරවාරි 1 සිට 2016 මාර්තු 31 දක්වා කාලය තුළ තෝරාගත් ජාත්‍යන්තර සුරැකුම්පත් හඳුනා ගැනීමේ අංක දරන භාණ්ඩාගාර බැඳුම්කර අලෙවියෙන් පර්පචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ්, අර්ථ සාධක අරමුදල සහ අනෙකුත් ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජයේ ආයතන හරහා ලබා ගත් ශුද්ධ මුදල් ප්‍රමාණය (මුදල් ලාභය) රුපියල් 8,529,964,495.61 (රුපියල් මිලියන 8,529) ක්. ඒ ලාභය අනික් පැත්තෙන් රජයට සහ විවිධ ආයතනවලට වූ පාඩුවක් හැටියටයි අර්ථ කථනය කෙරෙන්නේ.

4 වන වෝහාරික විගණන වාර්තාවට අනුව මෙම ගණුදෙණුවෙන් ශ්‍රී ලංකා රජයට සිදු වී ඇති අලාභය ඇස්තමේන්තු කර ඇත්තේ රුපියල් බිලියන 6.63 සිට රුපියල් බිලියන 9.68 දක්වා අතර අගයක් විය හැකි බව. නමුත් සමස්ත ආර්ථිකයට වූ අලාභය (වැඩිවූ පොලී අනුපාතයට අනුව) සමහරු ගණනය කර තිබෙන්නේ, රුපියල් බිලියන 145ක් හැටියට.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පර්පචුවල් ‍ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝෂියස් යනු එවකට මහ බැංකුවේ අධිපතිවරයා (2015 ජනවාරි මස සිට 2016 ජූනි මස දක්වා) වූ අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑණායි. අර්ජුන මහේන්ද්‍රන් යනු එවකට අගමැති හා වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ගජ මිතුරෙක්.

කෙසේ වෙතත්, ආජන්ටිනාවේ උප ජනාධිපතිවරිය වූ ‘ක්‍රිස්ටිනා ෆර්නැන්ඩස් ද කර්ච්නර්’ තම ගජ මිතුරියකට වැඩ කොන්ත්‍රාත්තුවක් දීම නිසා එරට අධිකරණයක් විසින් වසර 6 ක සිර දඬුවමක් නියම කළේ නම්, අප රටේ වර්තමාන ජනාධිපති හා එවකට අගමැති රනිල් වික්‍රමසිංහට තම ගජ මිතුරා විසින් රජයට කරන ලද පාඩුව හා මෙම විශාල මූල්‍ය වංචාව නිසා මෙරට අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළ යුතු නොවේද?

We use cookies to give you the best experience. Cookie Policy