Back

බ්‍රසීලයට නැවත කඩා වැටුණු උල්කාපාතය

විශේෂයෙන්ම ලතින් ඇමෙරිකානු රාජ්‍ය පද්ධතියේ මෑත මැතිවරණවල ප්‍ර‍බලතම ප්‍රවණතාවය වූයේ බලයට එරෙහි වීම. ලතින් ඇමරිකාවේ යම් පමණකට වාම අදහස් දරන්නන් බලය ලබා ඇති රටවල සාමාන්‍යයෙන්  ඔවුන් ජයග්‍රහණය කර ඇත්තේ පවතින ආර්ථික හා සමාජීය ප්‍රශ්නවලට එරෙහිව මහජනයා සමඟ එක්ව උද්ඝෝෂණ කිරීමෙන්.නිශ්චිත විද්‍යාත්මක දේශපාලන වැඩ පිළිවෙළක් නොමැතිව හුදු පවතින අන්ත දූෂිත දක්ෂිණාංශික පාලන බලයට එරෙහි වීම පණක් සිය ඉලක්කය වූ වාම නැඹුරුවක් සහිත මෙම බලවේගවලට බලය ලබා ගැනීමෙන් පසු දේශපාලන හා ආර්ථික අභියෝගවලට මුහුණ දෙන්නට සිදුවීම අනිවාර්යයක්.

මේ අභියෝගයට අලුතින්ම එකතු වූ රතු ලතින් ඇමරිකානුවා වන්නේ බ්‍රසීලයේ ලූලා.

බ්‍රසීල වාමාංශික කම්කරු පක්ෂයේ ලූලා ද සිල්වා පසුගිය ඔක්තෝම්බර් මාසයේදී බ්‍රසීල ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ විට බොහෝ විචාරකයින් ලතින් ඇමරිකාවේ දේශපාලන සිතියම රතු පාට කිරීමට යුහුසුළු වුණා.ලූලාගේ මේ ජයග්‍රහණයත් සමග ප්‍රථම වතාවට, ලතින් ඇමෙරිකානු රාජ්‍ය පද්ධතියේ වඩාත්ම ජනාකීර්ණ රටවල් හතේම වාම-මධ්‍ය ආණ්ඩු බලයේ ඉන්නවා.ඇතැමුන් මෙය මූලික වෙනසක් ලෙස දුටු අතර, එය 2000 ගණන්වල මුල් භාගයේ ලූලා සහ වෙනිසියුලාවේ හියුගෝ චාවේස් සුසංයෝගය හැඳින්වූ “රෝස වඩදිය” හා සමාන කරමින් සිටිනවා.එදා එම වාම-මධ්‍ය සුසංයෝගයට දෙවතාවක් බලය ලබාගන්න එරට කොංග්‍රසයේ බහුතරය තිබුණා.

නමුත්,අද ලූලාට කොන්ග්‍රසයේ බහුතරය නෑ.ඔහුගේ සභාගයට ආසන 513කින් මන්ත්‍රීවරුන් 150කට අඩු සංඛ්‍යාවක් ඉන්නෙ.ඔහුගේ ධූර කාලයෙහි සාර්ථකත්වය රඳාපවතින්නේ මිත්‍ර පාක්ෂික නොවන පාර්ශ්වයන්ගෙන් සහය ලබා ගැනීමට ඔහුට ඇති හැකියාව මත.බ්‍රසීලයේ වැඩෙන එවැන්ජලිස්ත ක්‍රිස්තියානි ප්‍රජාව වෙත ළඟා වීම සඳහා ලූලා පසුගියදා,බයිබලීය යොමු කිරීම් කරමින්, ඔහුගේ කම්කරු පක්ෂයේ දීප්තිමත් රතු ඇඳුම් – සුදු ඇඳුම් සඳහා මාරු කරමින්, සිය ව්‍යාපාරයේ වාමාංශික ප්‍රතිරූපය පාලනය කිරීමට උත්සාහ කළා. එදා හිටපු එක්සත් ජනපද ජනාධිපති බැරැක් ඔබාමට අනුව,ලූලා යනු “පෘථිවියේ වඩාත්ම ජනප්‍රිය දේශපාලනඥයා”. අද බ්‍රසීල හිටපු ජනාධිපති ජයිර් බොල්සනාරෝ ට අනුව ලූලා යනු “බ්‍රසීලයට කොමියුනිස්ට්වාදය පැටවීමට ඉදිරිපත්ව සිටින යක්ෂයා”. මීට දශක දෙකකට පෙර, ලූලා  ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ විට, බ්‍රසීලියානු ආර්ථික විද්‍යාඥයෙකු වන පෙර්සියෝ අරීදා ඔහුව හැඳින්නුවේ “බ්‍රසීලයට හදිසියේ පහත් වූ උල්කාපාතයක්” ලෙස.

කොහොම නමුත්, ලෝහ ගොවිපළක හිටපු ලෝහ කම්කරුවෙක් වන ලූලා 1980 ගණන්වල මිලිටරි ආඥාදායකත්වයකට එරෙහිව බ්‍රසීලයේ කම්කරු සමිති වැඩ වර්ජන මෙහෙයවමින් වාමාංශික කම්කරු පක්ෂය පිහිටුවීමේ සිට දශක හතරක් තිස්සේ ලතින් ඇමෙරිකාවේම ජනප්‍රිය රතු තරුවක්.

ඔහුගේ ප්‍රතිපත්ති මගින් මිලියන ගණනක ජනයා අන්ත දරිද්‍රතාවයෙන් මුදාගත් අතර, අධ්‍යාපනයට සහ සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය පුළුල් කර,ගෝලීය වෙළඳ භාණ්ඩ උත්පාතයක් විසින් මෙහෙයවනු ලබන ශක්තිමත් වර්ධනීය වසරවලදී බ්‍රසීලයේ ගැඹුරු සමාජ අසමානතාවයන් අඩු කිරීමට සමත් වුණා. ඔහුගේ ජනාධිපති ධූරය බ්‍රසීලයේ තෙල් හා නැව් තැනීමේ කර්මාන්ත ද ප්‍රබෝධමත් කළ අතර, එහි ආර්ථිකය ලෝකයේ හයවන විශාලතම මට්ටම දක්වා ඉහළට ඔසවා තැබීමට එදා සමත් වුණා.

ලූලා ලබන ජනවාරි 01 වැනිදා බ්‍රසීලයේ 39 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දදමට පෙර TIME සඟරාව සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ කියා තිබුණා.

“මට බ්‍රසීලයේ ගැටලු විසඳා ගත හැකි බව විශ්වාසයි. දුප්පත් මිනිස්සු ආර්ථිකයට සක්‍රීයව සහභාගී වන විට, දුප්පත් ජනතාව අයවැයට සහභාගී වන විට, දුප්පත් මිනිසුන් වැඩ කරන විට, දුප්පත් මිනිසුන්ට කන්න පුළුවන් වූ විට පමණක් අපේ ප්‍රශ්න විසඳෙනු ඇති බව මට විශ්වාසයි. එය කළ හැක්කේ දුප්පතුන් වෙනුවෙන් කැප වූ රජයක් ඔබට ඇත්නම් පමණි”

TIME සඟරාව සමඟ ලූලා කරන ලද සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව සඳහා පහත සබැඳියාව ක්ලික් කරන්න.

We use cookies to give you the best experience. Cookie Policy