පසුගිය දශක කිහිපය පුරා, බැරැක්ක පාරේ “නව සම සමාජ පක්ෂය” (නසේ) හෙවත් “බාහු සහෝදරයා දිගටම ජීවත්වුයේ එය ඒ වන විටත් මිය ගොස් ඇති බව නොදැන සිටි නිසා පමණක් බව මුලින්ම සඳහන් කළ යුතු වේ. මම “නසේ” විවේචනය කරන්නේ මාක්ස් විරෝධියෙකු නිසා නොව, මම මාක්ස්වාදය තවමත් විශ්වාස කරන නිසාය. බාහු සහෝදරයා යනු මැරෙන තුරා පක්ෂයේ (නසේ) උත්තරීතර බලධාරියාය. දැවැන්ත වාමාංශික පිරිසක් සිටි පක්ෂයක් පවත්වාගෙන යාමට පමණක් ඉල්ලා අස්විය නොහැකි, පක්ෂය ත්‍රීවීලරයක ගෙන යා හැකි සාමාජික සංඛ්‍යාවක් බවට පත් කළ නායකයෙකි. එය ඔහුගේ සදාකාලික ධනේශ්වර මිතුරා වූ රනිල්ගේ දැවැන්ත ඉහළ හා පහළ මැද පන්තික පිරිසක් සිටි පක්ෂයක් පවත්වාගෙන යාමට පමණක් ඉල්ලා අස්විය නොහැකි, නායකයා බවට පත්වීමට සමානය. බාහු සහෝදරයා උතුරේ දෙමළ ජනයාගේ ජාතික නිදහස ඉහළින්ම පිළිගත් මාක්ස්වාදියෙකුට වඩා ඒ වෙනුවෙන් කොන්දේශි විරහිතව දෙමළ ජනයා සමග සටන් කළ සටන්කාමී මාක්ස්වාදී නායකයෙකි. එහිදී ඔහු දෙමළ ජනයාගේ “ස්වයං නීර්ණය අයිතිය” වෙනුවෙන් මියයන තෙක්ම පෙනී සිටියේය.
නව සමසමාජ පක්ෂය අවසාන කොමියුනිස්ට් අනාගතයට අදාළව නොව අඩුම තරමින් සමාජවාදයට අදාළවද සමාජ ආකෘතියක් බිහි නොකළේය යන දුක්ඛිත කාරණය ඉහත සඳහන් සියලු කතාන්දර වෙනස් නොකරයි. එමෙන්ම බාහු සහෝදරයා යනු සාමාන්‍ය සමාජවාදී නායකයකුගේ චරිතයට වඩා වෙනස් වූ අතර ඒ නිසාම ඔහුගේ පක්ෂයමත් සුවිශේෂී වූවක් බව පැහැදිලිය. 2017 එවකට පැවැති යහපාලන ආණ්ඩුවේ අගමැති හා ඔහුගේ ගජ මිතුරා වූ රනිල්ගේ ආණ්ඩුවෙන් ගෙන ආ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පණතක් ලෙස ගෙන ආ “සයිටම්” පණතට පක්ෂව රනිල්ගේ පිලේ හිට ගත්තේය. ඔහු ඊට පක්ෂ වෙමින් මාධ්‍යයට කියා සිටියේ තමා ධනපති පන්තියේ ළමයින්ගේ මුදල් ගෙවා ඉගෙන ගැනීමට ඇති අයිතිය වෙනුවෙන් ද පෙනී සිටින බවයි. ප්‍රජාතන්ත්‍රවාදය නමැති දෘෂ්ටිවාදය ඔහු විශ්වාස කළේ එපරිදිය. ඔහු ඊට පෙර රනිල්ගේ ධනපති පක්ෂය වන යූඇන්පිය මුල් කරගත් සංධානයෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් යූඇන්පී ලකුණ වන “අලියා” ලකුණින් තරග කළේය. ඔහු මියයන තෙක්ම ඔහුට අනුව ඔහු මාක්ස්වාදියෙකු ලෙස සිටියේය. එහෙත් ඔහු වාමාංශික දේශපාලනයට පිවිසියේ උග්‍ර ට්‍රොට්ස්කිවාදියෙකු ලෙස වූවද, ඔහු මිය ගියේ උග්‍ර රනිල්වාදියෙකු ලෙස සිටියදීය.
මගේ මතකය නිවැරදි නම්, 2001 වසරේදී එවකට සිටි දේශපාලන මිතුරන් කිහිප දෙනෙකු සමග බැරැක්ක පටුමගේ මීටර් 200ක් පමණ ඉදිරියට ගිය පසු හමුවන නව සම සමාජ පක්ෂ කාර්යාලය පිහිටි තට්ටු හතරකින් සමන්විත ගොඩනැගිල්ලේ තුන් වන තට්ටුවට ගියේ බාහු සහෝදරයා හමුවීමටය. ඒ ‘ක්වොන්ටම් භෞතිකවාදය‘ ගැන කතාබහකට සම්බන්ධ කරගැනීම සඳහාය. මාසයක් දෙකක් කතාබහ ඇදීගියේය. කතාබහ පැවැතියේ එම ගොඩනැගිල්ලේ හතරවන මහලේ පිහිටි ‘ඔස්වින් පාසල‘ ලෙස නම් කර තිබූ දූවිල්ලෙන් වැසීගිය මේස පුටු සහිත කුඩා කාමරයකය. රනත් සහෝදරයා කතාබහට බාහු සහෝදරයා එනතුරු අපව හතරවන මහලේ ඇති මකුළු දැල් සහ දූවිල්ලෙන් වැසීගිය දිරාපත් වූ ‘ඔස්වින් පාසල‘ හි වාඩි කරවූයේ, ඔවුන්ගේ සමාජවාදය කෙරෙහි වූ විශ්වාසවන්තභාවය පිළිබඳ සාක්ෂියක් ලෙස ආඩම්බරයෙනි. මට මතකයට එන්නේ ස්ලාවෝ ජිජැක්ගේ ‘කියුබාව‘ සහ ‘ෆිදෙල් කැස්ත්‍රෝ‘ සම්බන්ධයෙන් වන අපූරු කියමනකි.
“බලන්න, සියල්ල කඩා වැටෙමින් තිබේ, අපි දුප්පත්කමින්
ජීවත් වෙමු, නමුත් විප්ලවය පාවා
දෙනවාට වඩා එය විඳදරාගැනීමට අපි සූදානම්!” අත්
හැරීම් සත්‍යතාවේ සාක්ෂියක් ලෙස අත්විඳින
විට, මනෝවිශ්ලේෂණයේදී අපට ලැබෙන්නේ කප්පාදුවේ
(castration) තර්කය ලෙසිනි. සමස්ත කියුබානු
දේශපාලන දෘෂ්ටිවාදී අනන්‍යතාව රඳාපවතින්නේ
කප්පාදුව සඳහා වූ විශ්වාසවන්තභාවය
මතය. එහි නායකයා ෆිදෙල් කැස්ත්‍රෝ ලෙස හැඳින්වීම
පුදුමයක් නොවේ!”