Back

මහත්වරුනි ඔල්වරසන් නවත්තන්න!

පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය 2010 දී කටාර් වෙත පිරිනමන ලද දා සිට, මානව හිමිකම් කණ්ඩායම් සහ ලෝක මාධ්‍ය, මිලියන 2.9 ක කුඩා ගල්ෆ් පෙට්‍රොස්ටේට්, විශේෂයෙන්ම තරඟාවලියේ සත්කාරකත්වය සඳහා අවශ්‍ය ඇස්තමේන්තු ගත ඩොලර් බිලියන 250 ක යටිතල පහසුකම් ගොඩනැගීමට ගෙන එන ලද කම්කරුවන්ට සැලකීම සමීපව පරීක්ෂා කළා. මේ මස මුලදී, කටාර් ලෝක කුසලාන සංවිධායක කමිටුවේ මහලේකම් හසන් අල්-තවාඩි එක්සත් රාජධානියේ මාධ්‍ය වෙත පැවසුවේ පසුගිය වසර 12 තුළ ලෝක කුසලානය ආශ්‍රිත ව්‍යාපෘති හේතුවෙන් “400 ත් 500 ත් අතර” සංක්‍රමණික කම්කරුවන් පිරිසක් මිය ගොස් ඇති බව. නමුත්, ඇම්නෙස්ටි සහ හියුමන් රයිට්ස් වොච් වැනි මානව හිමිකම් කණ්ඩායම් මිය ගොස් ඇති කම්කරුවන් සංඛ්‍යාව දහස් ගණනින් වන බව පවසනවා.

කටාර්හි පදිංචිකරුවන්ගෙන් 300,000 ක් පමණක් පුරවැසියන් වන අතර ඉතිරිය ප්‍රධාන වශයෙන් ආසියාවෙන් සහ අප්‍රිකාවෙන් පැමිණි ආර්ථික සංක්‍රමණිකයන් හෝ ගෝලීය උතුරෙන් පැමිණි සුදු කරපටි කම්කරුවන්. ඔවුන් මුළු සංක්‍රමණික ශ්‍රම බලකායෙන් 20% ක්. පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය ලබා ගැනීම සඳහා එරට බලධාරීන් එතෙක් එරට පැවැති කම්කරු නීති පවා වෙනස් කරනවා. “පසුගිය වසර පහ තුළ කටාරය කම්කරු අයිතිවාසිකම් සම්බන්ධයෙන් වැදගත් ප්‍රගතියක් ලබා ඇතත්, තවමත් යාමට විශාල දුරක් ඇති බව ඉතා පැහැදිලිය… නීත්‍යානුකූල හිඩැස් සහ ප්‍රමාණවත් ලෙස බලාත්මක නොකිරීම හේතුවෙන් කම්කරුවන් දහස් ගණනක් සූරාකෑමේ හා අපයෝජනයේ හුරුපුරුදු චක්‍රයේ සිරවී සිටිති.” යනුවෙන් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හි ආර්ථික හා සමාජ සාධාරණත්වය පිළිබඳ ප්‍රධානී ස්ටීව් කොක්බර්න් පවසනවා. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනයට අනුව, දහස් ගණන් කම්කරුවන් තවමත් ප්‍රමාද වූ හෝ නොගෙවූ වැටුප්, විවේක දින ප්‍රතික්ෂේප කිරීම, අනාරක්ෂිත සේවා කොන්දේසි, රැකියා වෙනස් කිරීමට ඇති බාධා සහ දුක්ගැනවිලි විසඳීම සඳහා අසතුටුදායක මාර්ගවලට මුහුණ දී සිටියා.

මෙම කම්කරු අයිතිවාසිකම් අපයෝජනයට එරෙහිව කතා කරන අයට එහි ප්‍රතිවිපාක සුළුපටු නෑ. ලෝක කුසලාන ව්‍යාපෘතිවල ශ්‍රම කොන්දේසි කඩකිරීම් පිළිබඳව කනස්සල්ල මතු කරමින් එහි රහස් හෙළි කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ ජෝර්දානයේ ‘අබ්දුල්ලා ඉබයිස්’ගේ පවුල, කටාර බලධාරීන් වධහිංසා පැමිණවූ බවට චෝදනා කර ඇති අතර, ඔහු “ශාරීරික ප්‍රහාරවලට ලක්වීමෙන් පසු හුදකලා සිරකඳවුරේ සම්පූර්ණ අන්ධකාරයේ” දින හතරක් ගත කළ බව ද පවසනවා. කටාර්හි ලෝක කුසලාන කමිටුවේ හිටපු මාධ්‍ය කළමණාකරුවෙකු වන ඉබායිස් එක්සත් රාජධානියේ මාධ්‍ය වෙත පැවසුවේ එඩියුකේෂන් සිටි ක්‍රීඩාංගනයේ සහ අල් බේට් ක්‍රීඩාංගනයේ කම්කරුවන් 200 කට පානීය ජලය නොමැතිව සිටි බවත් මාස හතරක් තිස්සේ වැටුප් ගෙවා නොමැති බවත්.ඔහු දැනට “ඔහුට එරෙහිව කිසිදු සාක්ෂියක් නොමැතතිව” වසර තුනක සිර දඬුවමක් විඳිමින් සිටින්නේ කමිටු බලධාරීන්ගේ පළිගැනීමකට අනුව.

ලෝක කුසලානයට සහභාගී වූ සෞදි ජාතික කණ්ඩායම නවාතැන් ගෙන සිටි හෝටලයේ පිලිපීන සේවකයෙකුගේ මරණය සම්බන්ධයෙන් 2022 ලෝක කුසලානයේ දෝහා හි ප්‍රධාන විධායක නසාර් අල් ඛාටර්ගෙන් වාර්තාකරුවන් ප්‍රශ්න කළ විට, උරහිස් හකුලා ඉතාමත් සැහැල්ලුවෙන් ඔහු පවසා ඇත්තේ,”මරණය ජීවිතයේ නිත්‍ය ස්වාභාවික කොටසක්” බව.

දැන් පාපන්දු ලෝක කුසලාන සැනකෙළිය අවසන්. වඩාත් විවාදාත්මක කාරණයක් වන්නේ ලෝක කුසලානය ආශ්‍රිත ව්‍යාපෘති ගොඩනැගූ සංක්‍රමණික සේවකයන්ගේ මරණවලට වගවීමක් හෝ ඔවුන්ගේ පවුල්වලට වන්දි ගෙවීමක් සිදු නොකිරීම. සේවක රක්ෂණ අරමුදල සාමාන්‍යයෙන් “ස්වාභාවික හේතූන්” ලෙස සලකුණු කරන මරණ සඳහා වන්දි ආවරණය කරන්නේ නැති අතර සේවා ස්ථානයේ අධික උණුසුම ඔවුන්ගේ මරණයට දායක වූ බව පොදුවේ විශ්වාස කරන දුක්ඛිත යථාර්ථය නොසලකා හරිනවා.

අද, දෝහා හි දෛනික ගිම්හාන උෂ්ණත්වය 2010 දී කටාරයට ලෝක කුසලානය පිරිනැමූදාට වඩා සාමාන්‍යයෙන් 1.4 ° F වැඩි යි.2019 දී Cardiology Journal හි ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණයෙන් කියන්නෙ, 1,300 තරුණ නේපාල කම්කරුවන් ගේ මරණ සහ තාප ආතතිය අතර දැඩි සහසම්බන්ධයක් ඇති බව. 2009 සහ 2017 අතර කටාර්හි ගිම්හාන මාසවලදී, බොහෝ විට, කම්කරුවන් ඔවුන්ගේ නේවාසිකාගාර තුළ මිය ගොස් ඇති බව සොයා ගත්තා. ඔවුන්ගේ මරණ නිසි විමර්ශනයකට ලක් නොවී යටගැහුණා. පසුගිය වසරේ, ගිම්හාන මාසවලදී එළිමහන් සේවකයින් ආරක්ෂා කිරීම සඳහා කටාර්හි පෙරළිකාර නීති සම්මත කරන ගත්තා. ඒ කම්කරුවන්ට උදේ 10 සිට සවස 3:30 දක්වා පිටත වැඩ කළ නොහැකි ලෙසත් ජූනි 1 සිට සැප්තැම්බර් 15 දක්වා සහ, වේලාව කුමක් වුවත්, ආර්ද්‍රතාවයට සාධක වන සේවා ස්ථානයක ගෝලීය උෂ්ණත්වය 32.1 ° C ට වැඩියෙන් ඉහළ ගියහොත්, සියලු වැඩ නතර කළ යුතු යි. නමුත් කටාර්හිත් මේ නීති තියෙන්නෙ නීති පොත්වල විතරයි.
පස්චාත් පාපන්දු ලෝක කුසලාන අවධිය කියන්නෙ තනිකරම ඛේදවාචකයක්. මිනිස් ජීවිතය කීතුකරන මේ නරුම සමාජ ක්‍රමයේ ජීවත් වෙනවා කියන්නෙම ඛේදවාචකයක්. මේ ඊට නිදර්ශනය:

කටාර් හි මිය ගිය නේපාල කම්කරුවන්ගේ පුතුන් අද එහි රැකියාවක් ලබා ගැනීමට සිහින දකිනවා.

Inside The 8 Amazing World Cup 2022 Qatar Stadiums

We use cookies to give you the best experience. Cookie Policy