Leftwin Magazine Vol - 03

ප්ලේටෝට විතණ්ඩවාදීන් මුණගැසීම

෴ සමන් පුෂ්ප කුමාර

විතණ්ඩවාදීන් වනාහි ක්‍රි.පූ. පස්වන සියවසේ ග්‍රීසියේ සිටි දාර්ශනික කණ්ඩායමකි. නම් වලින් හඳුනා ගතහොත් ප්‍රොටගෝරස්, ජෝර්ජියාස් හා  ත්‍රැසිමැකස් වැනි අය ය. ඔවුහු ග්‍රීක පුරවැසියන් ඇද බැඳගන්නා ආකාරයට කතා කළහ; අලංකාරෝත්ති ඉදිරිපත් කළහ. ව්‍යාජාලංකාර සහ අතිශෝක්ත්‍යාලංකාර ඉදිරිපත් කළහ. අනෙකා තමන්ට නම්මවා ගැනීම ඔවුන්ගේ ප්‍රධාන උත්සාහය විය. ඔවුහු සමස්ත පුරවැසියන්ට අධ්‍යාපනයක් දෙනවා වෙනුවට එක් එක් පුද්ගලයන්ට තමන්ගේ සේවය ලබා දීමට ඉදිරිපත් වුහ. ඔවුහු යම් පරමත්වයක්, සත්‍යයක් තහවුරු කරනවා වෙනුවට සාපේක්‍ෂක මත (relativism) ඉදිරිපත් කළහ. පුද්ගලයන්ව තමන්ගේ වාසියට හරවාගැනීම (manipulation) ඔවුන්ගේ නිරන්තර උත්සාහය විය. ඔවුහු ආත්මීයවාදයන් (subjectivism) දේශනා කළහ. වාස්තවිකත්වයට විරුද්ධ වූහ. සොක්‍රටීස් මොවුන්ට විරුද්ධ වූයේ ඔවුන් සත්‍යයගරුක නොවීමත්, සද්ගුණය සෙවීම ඔවුන්ගේ උත්සාහය නොවීමත් නිසා ය. ප්ලේටෝ තමන්ගේ සංවාද තුළ සොක්‍රටීස් විතණ්ඩවාදීන්ගේ තර්ක අභියෝගයට ලක් කිරීම සම්බන්ධයෙන් ගෞරවාන්විතව කතා කර ඇත. ප්ලේටෝ විතණ්ඩවාදීන් දැඩි ලෙස විවේචනය කළේ ඔවුන් මුදල් සහ සමාජයේ කැපී පෙනෙන්නට උත්සාහ ගත් පිරිසක් වීම නිසා ය. ප්ලේටෝ කියා සිටියේ මොවුන් ඇත්ත වශයෙන් ම දාර්ශනිකයන් පිරිසක් නොවන බව ය. ඔවුන් වැරදි අධ්‍යාපනයක් විකුණමින් සිටින්නන් ය. ඔවුන්ට අවශ්‍ය වූයේ පොහොසතුන්ගේ අවධානය දිනා ගැනීම ය. ප්ලේටෝ කියා සිටියේ විතණ්ඩවාදීන් වනාහි තරුණයන් සහ මුදල් දඩයම් කරන්නන් බව ය. ව්‍යාජ ඥාණයක් දෙන වෙළෙන්දන් බව ය. වචන වලින් ක්‍රිඩා කරන්නන් බව ය. 

මොවුන් කළේ ප්ලේටෝගේ ඇකඩමිය සමඟ ගැටළු ඇති කරගැනීම ය. ප්ලේටෝට අනුව විතණ්ඩවාදීන් කියා දුන්නේ හරි දැක්මක් නො වේ. ඔවුන්ට අවශ්‍ය වූයේ දැනුම ගොඩනැගීමටත් දැනුම අනෙකා සමඟ හුවමාරු කර ගැනීමටවත් නො වේ. ඔවුන්ට අවශ්‍ය වූයේ සල්ලිකාරයන් ඇසුරු කරමින්, බොරු තර්ක නගමින් කීයක් හෝ සොයා ගැනීම ය. ඔවුන්ගේ ඉගැන්වීම පදනම් වූයේ දේවල් පිළිබඳ හිතට දැනෙන සතුවිලි (opinions of things) ඉදිරිපත් කිරීම ය. ප්ලේටෝට අනුව ඔවුන්ගේ විධික්‍රමය දාර්ශනික එකක් නො වේ. ප්ලේටෝට අනුව විතණ්ඩවාදීන්ට අවශ්‍ය වූයේ ඔවුන්ගේ සිසුන්ට දැනුම ලබාදීම වෙනුවට මහජන මතය විශ්වාස කිරීම ය. ප්ලේටෝ දුටු ආකාරයට විතණ්ඩවාදීන්ට කිසිදු සදාචාරාත්මක වගකීමක් තිබුණේ නැත. ඔවුන් කළේ හැමවිට ම සදාචාරාත්මක දෙයට පහර ගැසීම ය. ඔවුන් ඉගැන්වූයේ පොදු විශ්වාසයන් (doxa) නැත්නම් ජනප්‍රිය සිතුවිලි ය. ඔවුන් කළේ අනෙකා තමන්ට නම්මවා ගැනීම ය (persuasion). එහි දී ඔවුන්  සාධාරණීයත්වය ගණන් ගත්තේ නැත. 

ප්ලේටෝගේ කාලයේ ඩයෝජීනස් යනුවෙන් දාර්ශනිකයෙක් සිටියේ ය. ඔහු නරුමවාදී චින්තකයකු (Diogenes the Cynic) විය. ඔහු සම්ප්‍රදාය ප්‍රශ්න කළ අනෙකාව ප්‍රකෝප කරවන සුළු පුද්ගලයෙකු විය. ඔහු සමාජයක පිළිගන්නා මූලධර්මයන් ප්‍රශ්න කළේ ය. ඔහු ජීවත් වූයේ බල්ලන් සමඟ බැරල් එකක් ඇතුලේ ය. ඔහු හෙලුවෙන් පාරවල්වල ඇවිද්දේ ය. පුරවැසියන්ගේ ඇඟට මුත්‍රා කළේ ය. ප්‍රසිද්ධියේ ස්වයං මෛතුනයේ යෙදුණේ ය. ප්ලේටෝ වැනි ප්‍රසිද්ධ දාර්ශනිකයන්ට පරිභව කළේ ය. ප්ලේටෝගේ ඇකඩමිය අපිරිසිදු කළේ ය. 

මේ කාලයේ ග්‍රීසියේ චින්තන සම්ප්‍රදායන් දෙකක් පැවතිණි. ඇපලෝනියානු (Apollonian) සහ ඩයනීසියානු (Dionysian) වශයෙනි. මේ දැක්මවල් දෙක ජනප්‍රිය කළේ ෆෙඩ්රික් නීට්ෂේ ය. මේ ප්‍රවේශයන් දෙක තුළ නියෝජනය වූයේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දැක්මවල් දෙකකි. කලාව, සාහිත්‍යය සහ දර්ශනය නම් ක්‍ෂේත්‍රවල මේ ප්‍රතිවිරුද්ධ ධාරාවන් දැකගත හැකි විය. ඇපලෝනියානු සම්ප්‍රදාය ග්‍රීක දෙවි ඇපලෝ සමඟ සම්බන්ධ ය. එයින් නියෝජනය කළේ තර්ක බුද්ධිය, පිළිවෙළ, පැහැදිලි බව, සුසංවාදය, සංයමය, ආකෘතික බව, ව්‍යුහාත්මක බව, පාලනමය බව ය. ඩයනිසියානු සම්ප්‍රදාය ඇසුරු කළේ ඩයනිසස් නම් දෙවියා ය. මේ දෙවියන්ට බැකස් (Bacchus) යැයි ද කීවේ ය. මේ සම්ප්‍රදාය ගණුදෙනු කළේ ප්‍රමෝදය, වියවුල, හැඟීමල ප්‍රාථමික ආශාවන්, අතාර්තික බව සහකඩා බිඳදැමීම සමඟ ය.

සමකාලීන ලංකාව තුළ දාර්ශනික විතණ්ඩවාදීන්, ඩයෝජීනස්ලා සහ ඩයනීසියානු  චින්තකයන් බිහි වී ඇත. ඔවුන්ට පරම අදහසක් නැත. පිළිවෙළක් නැත. තම තමන්ට සාපේක්‍ෂ දේ සත්‍ය වශයෙන් ගනිති. සතර අතේ අනෙකාට පහර දෙති. තමන්ගෙන් එළියේ වාස්තවික ලෝකයක් තිබෙනවා යැයි නොගනිති. තම තමන්ගේ ආත්මයත්, පුද්ගලභාවයත් උත්කර්ෂයට නංවති. ඔවුහු මුදලට දර්ශනය විකුණති. අතිශෝක්තියෙන් තමන්වත්, තමන්ගේ කැමැත්තත් වග වර්ණනා කරති. තමන්ගේ වාසියට දාර්ශනික මතවාද පාවිච්චි කරති. අනෙකාගේ ආකර්ශනය දිනා ගැනීමට ඕනෑම බොරුවක් කියති. වචන සමඟ ක්‍රිඩාකරති. ඇකඩමියාව සමඟ ගැටුම් ඇති කර ගනිති. ප්‍රසිද්ධියේ දාර්ශනික හස්ත සේවනයේ යෙදෙති. ඔවුන් හැසිරෙන්නේ නරුමාවාදීලෙස ය. කරන්නේ බලු වැඩ ය. ඔවුන්ට අවශ්‍ය වන්නේ අතාර්කිකත්වය හා අරාජික බව ය. නිරවුල වෙනුවට වියවුල ය. ඔවුන්ට කිසිදු සදාචාරාත්මක වගකීමක් නැත.

2022 අප්‍රේල් 5 වන දින kinihiraya.org වෙබ් අඩවියේ මා විසින් ඵල කළ ව්‍යාජ හෙගලියානුවාදීන් සහ විපරීත දර්ශනවාදීන් නම් ලිපිය අනාගතයේ දී සිදුවිය හැකි ප්‍රවණතාවක් ගැන සිහි තබා ගනිමින් ලියන ලද එකකි. නම් වලින් සඳහන් නොකළත් අනාගතයේ දී බිහිවියහැකි දාර්ශනික විපරීතයන්, දාර්ශනික චණ්ඩීන් ගැන සිතෙහි තබාගෙන ලියන ලද්දකි. එම ලිපියේ දී මා ප්‍රධාන වශයෙන් ප්‍රශ්න කළේ දීප්ති කුමාර ගුණරත්න ය. එහි දී දීප්ති කුමාර ගුණරත්නට ප්‍රතිචාරයක් දක්වන ලද්දේ ඔහු කරමින් සිටින දේශපාලන දාර්ශනික විචාරයේ අවුල සහ විකාර සහගත බව හෙළිදරව් කිරීම අවශ්‍ය වූ නිසාත් මාගේ නම සම්බන්ධ කරමින් විවිධ අවස්ථාවල දී 3mana වෙබ් අඩවියේ සහ තවත් තැන්වල මතු කළ විවේචන, අවලාද, මඩ ගැසීම්ල බොරු සහ නොමග යැවීම්වලට පිළිතුරු දීම අවශ්‍ය වූ නිසාත් ය. දීප්ති කුමාර ගුණරත්න සම්බන්ධයෙන් මා ලියූ දෙය මෙසේ සංක්‍ෂිප්ත කළ හැකි ය.​

SA2023-1263703
  1. ඔහු ඇකඩඩමියාවට පහර දෙන නමුත් අභ්‍යන්තරිකව එයට ආශාකරයි. ඇකඩමියාව මගින් තමන්ට   පිළිගැනීමක් ලබාගැනීමට උත්සාහකරයි. තමන්ට පිළිගැනීම නොලැබෙන විට ඇකඩමියාවට පහර දෙයි.
  2. ඔහු සිවිල් සමාජයට පහර දෙමින් තමන් අගයන්නේ මානුෂිකසමාජය යැයි කියයි. නමුත් ඔහු අභ්‍යන්තරිකව සිවිල් සමාජයට ආශාකරයි. එහි චරිත සමඟ අනන්‍ය වෙයි.
  3. ඔහු වමට පහර දෙන අතර දක්‍ෂිණාංශය සමඟ අනන්‍ය වෙයි. නමුත් තමන් වමාංශිකයෙකු යැයි පෙනී සිටියි.
  4. ඔහු සිවිල් සමාජයේ හා ඇකඩමියාවේ සමහර අයට පහර දෙන්නේ තමන් හා සැසදීමේ දී ඔවුන් ‘න්‍යාය නොදන්නා’බව, ‘ගමේ වීම’වැනි කාරණා නිසා වුවත් ඔවුන් තමන්ට කුඩා හෝ පිළිගැනීමක් ලබාදෙන්නේ නම් ඔවුන් අගය කරයි.
  5. ඔහු ඉතාමත් පහත් ආකාරයට වර්ගවාදයන් නඩත්තු කරයි. හමේ සුදු කළු බව, ඉංග්‍රීසි දැනීම නොදැනීම, ගමේ ද නගරයේ ද, ඉහළ පවුල් පසුබිමක් තිබේ ද, පහළ පවුල් පසුබිමක් තිබේ ද යන්න ඉස්මතු කරමින් වර්ගවාදයන් හා ප්‍රාදේශීයවාදයන් නඩත්තු කරයි. 
  6. ඔහු දැඩි ආත්මවාදියෙකි; ආත්ම කේන්ද්‍රීයවාදියෙකි. සෑම තැනකම සොයන්නේ තමන් හෝ ‘මම’ සිටිනවා ද යන්න ය. ‘මා ගැන සඳහන් කර තිබෙනවා ද යන්න ය. සෑම දෙයක ම උත්පත්තිය ‘තමන්’ය. විවිධ චින්තනයන්, දාර්ශනිකයන් හදුන්වා දී තිබෙන්නේ ‘තමන්’ ය. සියල්ල ජාතක වී තිබෙන්නේ ‘තමන්ගේ’මුඛයෙන් ය.
  7. එක් එක් මොහොතවල්වල ‘තමන්’ වනාහි ව්‍යුහවාදියෙකි; පශ්චාත් මාක්ස්වාදියෙකි; පශ්චාත් නූතනවාදියෙකි; මනෝ විශ්ලේෂණයට බර චින්තකයෙකි. මේ ආදි වශයෙන් තමන්ට ම සහතික දුන්න ද ඔහුගේ ලියකියවිළි සහ ප්‍රකාශන තුළින් එළියට පනින්නේ අන්ත ප්‍රාදේශීයවාදයන්, වර්ගවාදයන්, නරුමවාදයන් සහ විපරිත මනෝවිකාරයන් ය. දීප්ති කුමාර ගුණරත්න කරන්නේ මේ ප්‍රවාහයන් ගැන ‘තමන් හොඳින් දන්නවා යැයි කියමින් ම වර්ණභේදවාදයන්, වර්ගවාදයන් සහ ප්‍රාදේශීයවාදයන් ඇවිල වීම ය.
  8. යමෙකු ට්‍රොස්කි ගැන කතා කළොත්, විචාරයක් කළොත් දීප්තිකුමාර ගුණරත්න දකින්නේ අනෙකා නොදැකපු ට්‍රොස්කිගේ ගෑණු ප්‍රශ්නයකි. ට්‍රොස්කි රුසියානු විප්ලවය තුළ කළ කර්යභාරය, රුසියානු විප්ලවය සම්බන්ධයෙන් ලියූ දේවල්, දුෂ්කර කොන්දේසි යටතේ ස්ටාලින්වාදයට එරෙහිව කළ අරගලය මේ කිසිවක් දැකීමටඔහු අපොහොසත් ය. යමෙක් ග්‍රාම්ස්චි ගැන ලීවොත් දීප්ති කුමාර ගුණරත්න ග්‍රාම්ස්චිගේ අමුතු ලක්‍ෂණයක් හඳුනාගනී. ඒ ගෑණු ප්‍රශ්නයකි. වෙනත් කෙනෙක් ලෙනින් මාක්ස්වාදයට, සමාජ විප්ලවයට කළ දායකත්වය ගැන කතා කළොත් ගුණරත්න අනෙක් කිසි කෙනෙක් නොදැකපු රහසක් ලෙනින්ගෙන් සොයා ගනී. ඒ ගෑණු ප්‍රශ්නයකි. ලංකාවේ ප්‍රමුඛ දේශපාලන ආර්ථික විද්‍යාඥයකු වූ එස්. බි. ඩි. සිල්වා 2008 දී මිය යාමෙන් පසු ඔහුගේ ආර්ථික දර්ශනය පිළිබඳ මා ලියූඅතර එයට ප්‍රතිචාර දක්වමින් ගුණරත්න කියා සිටියේ එස්.බි.ඩි. ගේ ගෑණු ප්‍රශ්න සහ ලිංගික ප්‍රශ්න දැකීමට මා අපොහොසත් වී තිබෙන බව ය. 
  9. දීප්ති ගුණරත්න බොහෝ අයගේ චින්තනයේ සීමාව වශයෙන්  දකින්නේ ඒ පුද්ගලයන්ගේ ඉපදුනු හෝ හැදී වැඩුණු ගම ය. තමන් ඉපදුනු ‘ප්‍රබුද්ධත්වයේ නගරය වූ පානදුර නිසා  තමන් උසස් චින්තකයකු වී තිබෙන බවත් අනෙක් අය පසුගාමීන් හෝ චින්තන අඩුපාඩුකම් සහිත අය බවට පත් වී තිබෙන්නේ ඔවුන් එක්කෝ ‘හුංගම’ ඉපදීම නිසා ය නැත්නම් ‘කුලියාපිටියේ’ ඉපදීම නිසා ය. නැත්නම ‘පොලොන්නරුවේ’ ඉපදීම නිසා ය. මිනිස් චින්තනයේ සීමාකාරි සාධකය ගම නොවන බව පෙන්වීමට මම උදාහරණ දෙකක් දැක්වූයෙමි. නිව්ටන් ගුණසිංහ දුෂ්කර නාවලපිටියේ ඉපදීම ඔහු උසස් ශාස්ත්‍රවන්තයකු වීමට බාධාවක් වී තිබුණේ ද, රණවීර ලෙස්ලි ගුණවර්ධන තෝලංගමුවේ ඉපදීම ඔහුට විශිෂ්ඨ ඉතිහාසඥයකු වීමට බාධාවක් විණී ද යන ප්‍රශ්නය නැගුවෙමි.
SA2023-1263704

මා එම ලිපියෙන් ගොඩනැගූ අදහස් සහ තර්ක තවදුරටත් සැබෑ බව එම ලිපිය ඵල වීමෙන් පසුව ඔහු ලියන කියන දේවල් වලින් තහවුරු වේ. තමන් නගරයේ නිසා තමන්ට උසස් චින්තනයක් හිමි බවත්, ගම්වල ඉපදුණු සහ ගම්වලින් නගරයට පැමිණුනු තමන්ගේ ප්‍රතිවාදීන්ගේ චින්තනය පහල ය යන ඔහුගේ සූත්‍රගත කිරීම් අතීශයින් විකාර සහගත ය. ඊනියා නගරවල බුද්ධිමය උත්පත්තීන් සලකුණු කරන මොවුන්ගේ පරම්පරාවල් තුන හතරක් පසුපසට ගිය විට හමුවන්නේ කව්ද? මිණිරන් පතල්වල මිණීමැරූ, හරක් හොරකම් කළ, අම්මලා සහ දුවලා එකවිට අඹුවන් ලෙස තබාගත් කුරුතේලිස්ලා සහ ජුංඩයියලා ය. ඉංග්‍රීසීන්ට විරුද්ධව කැරලි ගැසූ මිනිසුන් ව පාවා දුන්, ඔවුන්ට විරුද්ධව ඔත්තු සැපයූ මුදියන්සේලා ය. තැබෑරුම් සහ අරක්කු වෙළඳන් කළ සොක්කන් ය. මේ සැබෑව යටපත් කර ශුද්ධ පිරිසිදු අනන්‍යතාවයක් තියෙනවා යැයි ලැජ්ජා විරහිතව කියන දීප්ති කුමාර ගුණරත්න වැනි අය ව්‍යුහවාදය, දයලෙක්තිකය, විසංයෝජනය දන්නවායැයි කීම තරම් ලෝක විහිළුවක් තිබිය හැකි ද?  

ඔහු පෙන්නුම්කර තිබෙන්නේ ඔහු සම්බන්ධයෙන් මා කළ නිරීක්‍ෂණයන් නැවත නැවත තහවුරු වීමකි. ගුණරත්නගේ පොදු ගුණයන් නැවත නැවත පුනරාවර්තනය වීමකි. බලු වලිගය උණ පුරුකේ දැම්මත් දිගහැරෙන්නේ නැති බව ය. ඔහු කරන්නේ ඔහුම තනාගත් පල් වල ඉහගෙන නෑමට වඩා වැඩි යමක් නො වේ. මොන දාර්ශනික පණ්ඩිතකතා කීවත් ඔහු නැවත නැවත පනින්නේ එකම පල් වලට ය. 

දීප්ති කුමාර ගුණරත්න විපරීත තර්කයන් සහ මනෝවිකාරයන් ගොඩනැගුවේ අද ඊයෙක සිට නො වේ. සුචරිත ගම්ලත් සිංහල භාෂාවට, සාහිත්‍යයට සහ මාක්ස්වාදී සාහිත්‍යයට අමිල මෙහෙවරක් කළ බව අවිවාදිත ය. ඔහු දැරූ ප්‍රගතිශීලී අදහස් සහ විරෝධාකල්ප නිසා විශාල කාලයක් වැඩ තහනමට ලක් වූ අතර අසීමිත වශයෙන් දුක් කම්කටොළු ගණනාවකට මුහුන දීමට සිදුවිය. මේ සියල්ලටමත් වඩා ඔහුගේ වටිනාම ලක්‍ෂණය වූයේ උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ ස්වයං නීර්ණ අයිතිය වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටීම හා ඔවුන්ගේ නිදහස වෙනුවෙන් අඛණ්ඩ ව පෙනී සිටීම ය. කිසිදු කොන්දේසියක් නිසා ඔහු එය වෙනස් නොකළ අතර මිය යන තෙක් ඒ ස්ථාවරය ආරක්‍ෂා කළේ ය. මේ කිසිදු දෙයක යහපත් ලක්‍ෂණයක් නොදුටු දීප්ති කුමාර ගුණරත්න ජපකරන්නේ එකම එක කාරණයක් පමණි. ඒ ඔහුගේ මලගෙදර දිනයේ දී ගම්ලත්ගේ බිරින්දෑවරු දෙදෙනෙකු අතර සිදු වූවා ය කියන දබරය පමණි.

ලියනගේ අමරකීර්ති විශිෂ්ඨ සාහිත්‍යකරුවෙකි. සාහිත්‍ය විචාරකයෙකි; හොඳින් පොත්පත් කියවන්නෙකි; දක්‍ෂ පරිවර්තකයෙකි; ප්‍රගතිශීලී අදහස් දරන්නෙකු වෙන අතර දක්‍ෂ සහ හොඳ ගුරුවරයෙකි. සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන් ම වැඩ කළ හැකි, සමාජය මීට වඩා යහපත් කර ගනීමට වෙහෙසෙන්නෙකි. මේ කිසිදු දෙයක වටිනාකමක් දැකීමට දීප්ති කුමාර ගුණරත්න අපොහොසත් ය. ඔහුගේ කටින් එළියට පනින්නේ එකම එක දෙයකි. ඒ අමරකීර්ති ‘කුලියාපිටියේ’ උපත ලබා තිබෙන බවත් එය ඔහුගේ චින්තනයට බලපා තිබෙන බවත් ය. ඔහු වැනි සාහිත්‍යය කරුවෙකුට විසංයෝජනය වැනි ‘ගැඹුරු’ දර්ශනයක් තේරෙන්නේ නැති බව ය.

ජයදේව උයන්ගොඩ සිය තරුණ කාලයේ දී ලංකාවේ සමාජ-දේශපාලන පරිවර්තනයක් වෙනුවෙන් ශාරීරික වෙහෙසක් ගත් පුද්ගලයෙකි. එම උත්සාහය පරාජය වීමෙන් පසුව ශාස්ත්‍රීය කටයුතු සඳහා දැඩි වෙහෙසක් දරන්නෙකි. දේශපාලන විද්‍යාව ක්ෂේත්‍රයේ පමණක් නොව සමාජීය විද්‍යා විධික්‍රමය ක්ෂේත්‍රයේ වටිනා පොත්පත් ප්‍රකාශයටපත් කර ඇත්තෙකි. යුරෝපියානු දර්ශනවාදයන් සම්බන්ධයෙන් ද පැහැදිලි අවබෝධයක් ඇත්තෙකි. ප්‍රගතිශීලි අදහස් නියෝජනය කරන්නෙකි. නමුත් මේ කිසිවක වැදගත්කම දැකීමට දීප්ති කුමාර ගුණරත්න අපොහොසත් ය. ඔහුට වැදගත් වන්නේ ජයදේව උයන්ගොඩගේ ගම, නම ආදිය යි. තමන්ගේ සතුරෙකු යැයි සැලකෙන සුමිත් චාමින්ද කොළඹ විශ්වවිද්‍යාලයට කථිකාචාර්යවරයෙකු වශයෙන් ගැනීම සහ සුමිත් චාමින්ද පරිවර්තනය කළ අන්තෝනියෝ ග්‍රාමිස්චි පොතට හැඳින්වීමක් ලිවීම නිසා ජයදේව උයන්ගොඩට දීප්ති කුමාර ගුණරත්නගේ දුෂ්ඨ පරිභවයන්ට ලක්වීමට සිදු වී ඇත.

දීප්ති කුමාර ගුණරත්න විසින් මාතොට, ලංඩන්, ත්‍රිමාණ, පෙරදිගසුළං සහ ඔහු විසින් වරින් වර ලියන ලද පොත් සහ ලිපි තුළ එක් එක් අවස්ථාවල දී අර්ජුන පරාක්‍රම, නලින් සුවාරිස්, ජයදේව උයන්ගොඩ, සුචරිත ගම්ලත්, කුමුදු කුසුම් කුමාර, ලියනගේ අමරකීර්ති වැනි අයට අශාස්ත්‍රීය රූපයෙනුත්, උපහාසයෙනුත්, අපහාසයෙනුත් කළ පහරදීම් හමුවේ ඒ මොහොතවල්වල නිහඬව සිටීම අද සිට බලන විට අප විසින් කළ වරදකි. සමහර අවස්ථාවල දී අප මේ ක්‍රියාවන්ගේ පාර්ශවීය කොටස්කාරයන් ද වී ඇත. නමුත් එම නිහඩතාවන් ඒ මොහොතේ වරදක් ලෙස නුදුටුවෙමි.

2004 දී  X කණ්ඩායම බිඳී යාමෙන් පසු X කණ්ඩායම හැර ගිය සාමාජිකයන්ට පමණක් නොව ඔවුන්ගේ බිරින්දෑවරුන්ට ස්වාමිපුරුෂයන්ට, ඔවුන්ගේ දරුවන්ට, ඔවුන්ගේ යහළුවන්ට අපහාස උපහාසකරමින් නාමිකව හා නිර්නාමික ව කළ පහරදීම්වලට ඒ මොහොතේ ම විරුද්ධ නොවීම අප විසින් කළ වරදකි. නමුත් එය වරදක් ය යන සවිඥානය ඒ මොහොතේ තිබුණේ නැත.

මෙයින් මා කියන්නට උත්සාහ කරන්නේ මම ද ඒ මොහොතේ පැවතුණු යථාර්ථයේ කොටස් කරුවෙකු බව ය. මේ ක්‍රියාවළිය තුළ දී දීප්ති කුමාර ගුණරත්න සමඟ පූර්ණ අනන්‍ය වීමක් නොකළත් ඔහුගේ විනාශකාරී සහ විකාර සහගත ක්‍රියාවන් සඳහා සවිඥාණව හෝ අවිඥාණව අනුමැතිය ලබා දීම අප විසින් කළ වරදක් බව ය. නමුත් එක්තරා කාලයකට පසු ඔහුගෙන් දුරස්ථව සිට සිදුවූයේ කුමක් ද යන්න සම්බන්ධයෙන් පසු විපරුමක් කිරීමට හැකි විය. අල්තුසර් කීවා සේ පසු ආවර්තිත ආකාරයට බැලීමට හැකියාවක් උදා විය. වර්තමානයේ සිට අතීතය පරාවර්නය කර ගැනීමට හැකියාවක් ලැබිණි. හෙගලියානු අර්ථයෙන් පරාවර්තනමය විඥාණයකින් බැලීමට හැකියාවක් උදා විය. මේ සඳහා ක්‍රියාවළිය වර්ධනය විය යුතු ය. ක්‍රියාවළිය මුල දී ම මේ විඥාණය ලැබෙන්නේ නැත. ආරම්භය ගැන ප්‍රත්‍යවේක්‍ෂණයක් උදාවෙන්නේ ක්‍රියාවළිය අවසානයට ළඟාවන විට ය. ප්‍රඥාව නැමති බස්සා තටු සලන්නේ සැදෑවේදී ය. ඉතිහාසයේ එකම සිද්ධිය දෙපාරක් සිදුවන්නේ නැත. එදා කළ දේවල් ම ඔහු අද කරන විට දෙවන වර කරන දෙය විගඩමක් යැයි අවබෝධ කර ගැනීමට මොහොතක්වත් පසුබට වන්නේ නැත. ඔහු කියන දේවල්වල ඔහු ලියූ දේවල්වල කුතුහලයක් හෝ රහසක් දැන් නැත. ඔහු කරන්නේ කුමක් ද යන්න අවබෝධ කරගැනීමට අදාළ ස්වයං විඥාණය ඇත. 2015 ට පමණ පෙර දීප්ති කුමාර සමඟ වැඩ කරන කාලයේ දී අනෙකා අවතක්සේරු කිරීම, ‘අප තමයි සියල්ල දන්නේ’ වැනි මානසිකත්වයක් අඩු වැඩි වශයෙන් මා තුළත් පැවතිණි. නමුත් එක්තරා කාලයකට පසු එම මානසිකත්වයේ තිබුණු අවුල සම්බන්ධයෙන් ප්‍රත්‍යවේක්‍ෂණයක් ලැබිණි. නමුත් දීප්ති කුමාර ගුණරත්නට එම ප්‍රත්‍යවේක්‍ෂණය තවමත් නැත. ඔහු නැවත නැවත් පනින්නේ එකම මඩ වලට යැයි මා කියන්නේ ඒ නිසා ය.

ලංකාවේ උගතුන් වශයෙන් සිටි සහ සිටින අතලොස්ස සම්බන්ධයෙන් ද දීප්ති කුමාර ගුණරත්න වරින් වර ඉදිරිපත් කළ මතයන්, විවේචනයන්,සමහර අවස්ථාවල දී කරන අපහාස, උපහාස සහ තමන් ඔවුන්ට වඩා දේවල් දන්නා බව පවසමින් කරන රංගනයන්ට තාර්කික පදනමක් තිබේද?

මෑතක දී ඔහු ගණනාත් ඔබේසේකර සම්බන්ධයෙන් මෙවැන්නක් කියාසිටියේ ය. ගණනාත් ඔබේසේකරගේ මානව විද්‍යාව තුළ උපයෝගීකරගෙන තිබෙන්නේ ප්‍රපංච විද්‍යාව ය. ඔහු ව්‍යුහවාදය දන්නේ නැත. එනිසා ඔබේසේකරගේ ප්‍රවේශය අසම්පූර්ණ ය. එමෙන් ම මේ ප්‍රකාශනයෙන් තවත් ඇඟවුමක් කරයි. තමන් ප්‍රපංච විද්‍යාව මෙන් ම ව්‍යුහවාදය දන්නා නිසා තමන්ට ඔබේසේකරට වඩා පුළුල් දැක්මක් තිබේ. ගුණරත්නගේ මෙවන් නිගමනයන් තුළින් සමස්තයේ බොහෝ කොටසක් යටපත් වෙයි. ඔබේසේකර තමන්ගේ පොතපත තුළ ප්‍රපංච විද්‍යාව යොදාගෙන තිබෙන බව සත්‍යයකි. තවදුරටත් කීවොත් ඔහු 2012 දී The Awakened Ones: Phenomenology of Visionary Experience නමින් පොතක් ද ඵලකළේ ය. ප්‍රපංච විද්‍යාව සම්බන්ධයෙන් දාර්ශනික ලිපි ලේඛන නොලිව්වත් ප්‍රපංච විද්‍යාව විධික්‍රමයක් වශයෙන් ඔහුගේ ලිපිලේඛණ තුළ යොදා ගෙන ඇත. එපමණක් නොව ප්‍රපංච විද්‍යාවට අමතර ව ඔහු මනෝ විශ්ලේෂණය ද සිය විමර්ශනයන් තුළ යොදාගෙන ඇත. ෆ්‍රොයිඩ්ගේ සහ කාල් ජුංගේ සංකල්පයන් ඔහු පාවිච්චිකර ඇත. ඔහු මානව විද්‍යාව සහ මනෝ විශ්ලේෂණය එකිනෙකට සම්බන්ධ කර ඇත. ඔහු 1990 දී ලියූ පොතක් වූයේ The Work of Culture: The Symbolic Transformation in Psychoanalysis and Anthropology යන්න ය. නමුත් දීප්ති කුමාර ගුණරත්නගෙන් එළියට එන්නේ මෙවැනි ආකාර තර්කයන් ය: ‘ඔබේසේකර ප්‍රපංච විද්‍යාව පාවිච්චි කළත් ව්‍යුහවාදය පාවිච්චි කර නැත’. මෙවැනි විතණ්ඩවාදී හිතුවක්කාර ප්‍රකාශවලින් වසා දැමෙන්නේ කුමක් ද? ඔබේසේකර වැනි අය ප්‍රපංච විද්‍යාව හා මනෝවිශ්ලේෂණය වැනි ක්ෂේත්‍ර සියමානව විද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක විමර්ෂණයන් සඳහා යොදාගත්තේ මානව විද්‍යාවේ කලක් ආධිපත්‍යය දැරූ අනුභූතිවාදී සහ යථානුභූතවාදී ප්‍රවේශයන් ඉක්මවා යාමට ය. අනෙක් අතට ඔබේසේකර වැන්නන් ප්‍රපංච විද්‍යාව, ෆ්‍රොයිඩියානු සහ ජුංගියානු මනෝ විශ්ලේෂණාත්මක සංකල්ප ඉතමත් නිර්මාණාත්මක ආකාරයට සිය විමර්ශනයන්වල යොදා ගෙන ඇත. මේ සියල්ල යටගසා දීප්ති කුමාර ගුණරත්න ‘ඔහු නොදන්නා අහවල් එක මම දනිමි’ යැයි කියා බුද්ධිමය උද්දච්චභාවයක් ප්‍රදර්ශනය කරයි.

දීප්ති කුමාර ගුණරත්න, එස්.බී.ඩි. ද සිල්වා සම්බන්ධයෙන් මතු කළේ මේ හා සමාන අදහසකි. එහි දී ඔහු කීවේ ‘එස්.බී.ඩි. සිල්වා දේශපාලන, ආර්ථිකය දන්නා නමුත් ලුබ්ධිමය ආර්ථිකය නොදන්නා බව ය. නමුත් මේ දෙකම දන්නා නිසා තමන්ට එස්.බී.ඩි. සිල්වාට වඩා පුළුල් දැක්මක් තිබෙනවා’ යන්න ය. එස්.බී.ඩි. සිල්වා ලංකාවේ දේශපාලන ආර්ථිකය ක්ෂේත්‍රයේ උපරිම හැදෑරීමක්, ලිවීමක්කර ඇත. දීප්ති කුමාර ගුණරත්න කරන්නේ එස්.බී.ඩි. ද සිල්වා ‘අහවල්එක නොදන්නවා’ කියා ඔහුගේ බුද්ධිමය ශ්‍රමයට නිගරු කිරීමකි.

කීර්ති බාලසූරිය, සුචරිත ගම්ලත්, පියසීලි විජේගුණසිංහ සිය සාහිත්‍ය විචාර කටයුතුවල දී යථානුභූතවාදී ප්‍රවේශයන්ගෙන් ඔබ්බට යමින් අපෝහක භෞතිකවාදී  ප්‍රවේශයක් යොදා ගෙන ඇත. මේ ක්‍රමවේදය පාවිච්චි කරමින් ඔවුන් සැලකිය යුතු විචාරාත්මක පොත්පත් ගණනාවක් ලියා ඇත. ඒ වෙනුවෙන් ඔවුන් නිර්භයව පෙනී සිට ඇත. නමුත් මේ අය මාක්ස්වාදය දන්නා නමුත් මනෝ විශ්ලේෂණය නොදන්නවා කියා ඔවුන්ගේ බුද්ධිමය දායකත්වය නිගරුවට ලක් කළහැකි ද?

ඔබේසේකර, නිව්ටන් ගුණසිංහ, එස්.බී.ඩි. සිල්වා, ගම්ලත්, කීර්ති බාලසූරිය, පියසීලි විජේගුණසිංහ මේ සියළුම දෙනා ගත්විට තමතමන්ගේ  ක්ෂේත්‍ර තුළ ප්‍රමිතිය රැකගත් අය ය. පොත් පත් ලිපිලේඛණ විශාල සංඛ්‍යාවක් ඵල කළ අය ය. ඒ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් වාද විවාද කළ අය ය. සියළුම දාර්ශනික ප්‍රවණතා, න්‍යායාත්මක ප්‍රවේයන් ගැන දන්නා අය ලෝකයේ සොයා ගතනොහැකි ය. තත්ත්තවය මෙසේ තිබිය දී සියළුම දර්ශනයන්, න්‍යායන් පරිකල්පනීයව ජයගෙන ඒ සියල්ල ම තමන් දන්නවා යැයි කියමින් අනෙකාගේ සීමාවන් දැකීම විසුළු සහගත ය. මේ අයගේ ප්‍රවේශයන් සම්බන්ධයෙන් දියුණු දේශපාලන දාර්ශනික විවේචනයන් ඉදිරිපත්කිරීමේ හැකියාව තිබිය දී ඔවුන්ට වඩා ඉහළින් තමන් ස්ථාපනය කිරීම අතිශයින් අතාර්තික ය. 

නලින් ද සිල්වාගේ ජාතිකවාදී, ආගම්වාදී ප්‍රවේශයන් අපට බැහැරකළ හැකි ය. පිළිනොගෙන සිටීමට පුළුවන. ඔහු ඔබේසේකරට, නිව්ටන් ගුණසිංහට, කීර්ති බාලසූරියට, සුචරිත ගම්ලත්ට මෙන් ම පියසීලි ගුණසිංහට විරුද්ධ ය. ඔහු මාක්ස්වාදයට, සොබාවික විද්‍යාවන්ට, විද්‍යාත්මක ක්‍රමයට පමණක් නොව X කණ්ඩායම විසින් ජනප්‍රියකිරීමට ගිය පශ්චාත් නූතනවාදය, ව්‍යුහවාදය, මනෝ විශ්ලේෂණය, විසංයෝජනය මේ සියල්ලටමත් විරුද්ධ ය. ඔහු තර්කයට විරුද්ධ ය. නමුත් ඔහුගේ ප්‍රතිවාදී ස්වභාවය තිබියදී ම ඔහු කතා කරන දේවල්වලට සහ ගොඩනගන තර්ක විතර්කවලට දාර්ශනික පසුබිමක් ද ඇත. නලින් ද සිල්වා කියන දේවල් දාර්ශනික වශයෙන් ප්‍රශ්න කළ හැක්කේ ඔහුගේ අදහස් පිටුපස දර්ශනයක් තිබෙන නිසා ය. විද්‍යාව සම්බන්ධයෙන් ඔහු කරන විවේචනයන් පදනම් කරගෙන තිබෙන්නේ යම් ආකාරයකට තෝමස් කූන් ලියන ලද Copernican Revolution, Structure of Scientific Revolution යන පොත් සහ පෝල් පයරාබන්ඩ් ලියූ Against Method, Science and Free Society සහ Farewell to Reason යන පොත් පත් වලින් මතු කළ තර්ක විතර්කයන් මත ය. ඔහු විසින් ආරක්‍ෂා කළ අපි විසින් සමග්‍රහණය කරගත යුතු ජීවිත ගුණාංගයන් හා පරමාදර්ශයන් ගණනාවක් ඇත. වසර 10ක් පමණ රැකියාව අහිමි වී සිටියදීත් ඔහු විද්‍යාව හෝ ගණිතය විකුණුවේ නැත. ඔහු ලියන්නේ තම අනන්‍යතාව සාදා ගැනීමට, මහන්තත්වකමක් පෙන්වීමට හෝ කාගේ හෝ අවධානය දිනා ගැනීමට නො වේ. මුදල් සෙවීමට හෝ වෙනත් වාසියක් අත්පත් කර ගැනීමට නො වේ. පාර්ලිමේන්තු යාමට හෝ වෙනත් උසස් තනතුරු ලබා ගැනීමට නො වේ. ඔහු පෙන්වා සිටින නොසැලෙන ගුණය, භිය නැති කම මේ සියල්ල අගය කළ යුතු ගුණාංගයන් ය. 

නලින් ද සිල්වා සම්බන්ධයෙන් මා විවේචනාත්මක ව ලියා ඇත. ඔහුවිසින් ගොඩනගනු ලැබූ සිංහල බෞද්ධ ජාතිකවාදය, මාක්ස්වාදය සහවිද්‍යාව සම්බන්ධයෙන් ඔහුගේ මතය සහ බටහිර දර්ශනය සම්බන්ධයෙන් ඔහුගේ අදහස් ප්‍රශ්න කරමින් මා ලියා ඇත. විනෝදය අරගලය කෘතියේ ඇති ‘ජර්මන් ජාතිකවාදය හා  අපේ ජාතිකවාදය’යන ලිපි තුනත්, ‘මගේ ලෝකය, කතිකා ලෝකය හා සැබෑ ලෝකය’යනුවෙන් නම් කර ඇති ලිපි දෙකත්, ‘නලින් ජවිපෙ සහ අපි’යන ලිපි හතරත්, එම කෘතියේ ම ඇති විද්‍යාව ගැන මහද්වීපික දාර්ශනික විචාරයක්’ සහ ‘විද්‍යාව මාක්ස්වාදයෙන් නිදහස් ද?’‘විද්‍යාව ගැන මාක්ස්වාදී විචාරයක්’නම් ලිපි දෙකත් නලින් ද සිල්වා පසුබිමෙහි තබාගෙන ලියන ලද ලිපි ය. එමෙන් ම ත්‍රිමාණ සඟරා 6 ක්ප පුරා ලියවුණ ‘නලින්ගේ ජාතිවාදය සහ හෛඩගර්ගේ නාසිවාදය’යන ලිපි පෙලත් නලින් ප්‍රශ්න කරමින් ලියන ලද ලිපි ය. 

මා නලින් ගැන දීර්ඝ ආකාරයට ලියන්නේ දීප්ති කුමාර ගුණරත්න වැනි බොරු කාරයන්, ව්‍යාජ දාර්ශනිකයන් වඩ වඩාත් හොඳින් අවබෝධ කරගැනීමට ය. නලින් තවමත් අල්පේච්ඡ සරල මිනිසෙකි. මා නලින් ද සිල්වාගේ මතවාදයන්ට කොතරම් විරුද්ධ වූවත් ඔහුගේ ජීවිත ගුණාංගයන්ට අතිශයින් ගරු කරන අතර මම ඒවාට කැමති ය. ඔහුගේ සම කාලයේ සිටි මාක්ස්වාදී බුද්ධිමතුන්ට වඩා නලින් ජාතිකවාදියෙකු, ගණිතඥයකු, විද්‍යාඥයකු වශයෙන් තවමත් මතවාදීවශයෙන් ශක්තිමත් ය. අවංක ය. මේ දක්වා අපගේ අත්දැකීම් වලින් පෙනී ගොස් තිබෙන්නේ මේ බුද්ධිමතුන් තුළ ගුණාත්මක වටිනාකම් ගණනාවක් තිබෙන බව ය. අනාගතයේ දී ඔවුන් කෙසේ හැසිරේදැයි අනාවැකි කිව නොහැකි ය. නමුත් ඔවුන්ගේ සාධනීය ගුණයන් යට ගැසීමට කුහක නොවිය යුතු ය.

මේ එකදු ගුණයක් දීප්ති කුමාර ගුණරත්න සතුව තිබෙන්නේ ද? ඔහුගේ දේශපාලන දාර්ශනික ව්‍යාපෘතිය තුළ කිසිදු ඒකාග්‍රතාවක් නැත. පිළිවෙළක් නැත. සංඝත බවක් නැත. එක තැනක කියන දේ තවත් තැනක කියන දෙය සමඟ පරස්පර ය. සියළු දාර්ශනික මතවාද අල්ලා ගෙන ‘ඒ කන්දත් මගේ, මේ කන්දත් මගේ’ කියමින් දාර්ශනික විහිළු කරමින් සිටියි. තමන් ව්‍යුහවාදී නම් ඔහු හැමතැනක ම ව්‍යුහවාදී විය යුතු ය. තමන් කියන ලියන ඒවායේ අඛණ්ඩත්වයක් තිබිය යුතු ය. මේ කිසිවක් දීප්ති කුමාර ගුණරත්න තුළ නැත. අප විසින් සමග්‍රහණය කර ගත යුතු කිසිදු ජීවිත ගුණයක් හෝ පරමාදර්ශයක් ඔහු සතුව නැත. 

දීප්ති කුමාර ගුණරත්න තමන් තනිවම ලියන ලද පොත් ඇත්තේ කිහිපයකි. අනෙක් ඒවා ලියා තිබෙන්නේ සාමුහික ව තවත් අයගේ බුද්ධිමය සහ කායික ශ්‍රම දායකත්වයෙනි. නමුත් ඔහු දැන් විවිධ අවස්ථාවල දී එම පොත් ගැන සඳහන් කරන්නේ තමන් තනිවම ලියනලද ඒවා ලෙසට ය. මෙය බුද්ධිමය වංචාවක් සහ සදාචාර විරෝධී කටයුත්තකි. 

දීප්ති කුමාර ගුණරත්න මුලින් ම ලියන ලද ලිපි පොත් හා ඔහු ඒකාලයේ කථා කළ දේ සිට අද ලියන ලිපි, පොත් සහ කථාවන් අතර අඛණ්ඩ සම්බන්ධයක් තිබේ ද? ඔහු නිශ්චිත තර්කනයන් (arguments) ගොඩනගා තිබේ ද? දීප්ති කුමාර ගුණරත්නට එවැනි ඉතිහාසයක් නැත. ඔහුට තිබෙන්නේ වර්තමානයක් පමණි. ඔහුට සැම දා තිබුණේ වර්තමානයකි. එනිසා ඔහුට අතීතය සමඟ අඛණ්ඩ සම්බන්ධයක් නැත. ඔහු ගොඩනගන සංඝත තර්කණයක් නැත. මේ නිසාම ඔහු ලියන කිසිම දෙයකට පිළිගැනීමක් ලැබෙන්නේ ද නැත. වාමාංශික දේශපාලනයක නිරත වූ කොල්වින් ආර් ද සිල්වාගේ ‘භාෂා දෙකක් නම් රටවල් එකක්, භාෂා එකක් නම් රටවල් දෙකක්’ ලියවිල්ල අදටත් සම්භාවනාවට පත් වන විට, ගම්ලත් සහ කීර්ති බාලසූරිය ලියූ කල්පනාලෝකවාදය, සාහිත්‍ය කලා හා මාක්ස්වාදය පොත අදටත් වාමාංශික දේශපාලනය තුළත් ශාස්ත්‍රීය ලෝකය තුළත් සම්භාවනාවට ලක් වනවිට දීප්ති කුමාර ගුණරත්න ලියූ කිසිවකට ඒ පිළිගැනීම නොලැබෙන්නේ ඇයි? ඔහුගේ කිසිදු ලියවිල්ලක් අව්‍යාජ ඒවා නොවන නිසා ය; තමන් ලියන දෙයකටවත් තමන් අවංක නොවන නිසා ය. නලින් ද සිල්වා දීප්තිගෙන් වෙනස් වන්නේ මේ අර්ථයෙනි. නලින්ගේ ලිපි ලේඛන වලින් ප්‍රකාශමාන වන ආත්ම සාරාර්ථයක් ඇත. දීප්තිගේ ලිපි ලේඛණ වලින් ප්‍රකාශමාන වන්නේ සාරයක් නැති ශුන්‍යතාවක් පමණි.    

ඉහතින් දැක්වූයේ උදාහරණ කිහිපයක් පමණි. ඔහු පෙන්නුම් කරන්නේ සිය නිගමනයන් සෝශියර්, ඩෙරීඩා, ලැකාන් අල්තුසර්, ෆුකෝ, ලක්ලව් සහ ජිජැක් වැනි චින්තකයන්ගේ න්‍යායන් හරහා ගම්‍ය කරගත් ඒවා ලෙසට ය. නමුත් එය එසේ නොවේ. ඔහු කර තිබෙන්නේ මෙම චින්කයන්ගේ නම් කියමින් න්‍යාය විරෝධී ආකාරයට, හිතුවක්කාර සහ විකාර සහගත ආකාරයට නිගමනයන් ගම්‍ය කර ගැනීම ය. ඔහුට මෙම න්‍යායන් සහ චින්තකයන් අනෙකාව භිය කිරීම සඳහා ඇති වෙස්මුහුණු ය; අනෙකාට වඩා තමන් උඩින් ඇවිදින බව පෙන්වීමට ඇති බොරු කකුල් ය. 

1998 පමණ කාලයේ සිට මම දීප්ති කුමාර ගුණරත්නව දැනගෙන හිටියත් ඔහු සමඟ යම් සමීප බවකින් යුක්තව වැඩ කරන්නට ගත්තේ 2004 දී X කණ්ඩායම දෙකඩ වීමෙන් පසුව ය. මම මාතොට හෝ ලන්ඩන් සඟරාවේ කිසිදු ලිපියකට සම්බන්ධ වී නැත. 2004 දී ඔහුගේ සියලු න්‍යායාචාර්යවරුන් ඔහුව හැර දා ගිය පසු මා X කණ්ඩායමේ ඊනියා ගුරුවරයෙකු සහ න්‍යායාචාර්යවරයෙකු  බවට පත් විය. 2004 ට පෙර ඔහු විසින් පවත්වන ලද පන්තිවලට මම සහභාගී වූ අතර 2004 න් පසු මා විසින් කතිකා න්‍යාය සහ හෙගල් සම්බන්ධයෙන් කළ සාකච්ඡාවලට ඔහු සහභාගී විය. 2004 න් පසු කොළඹ නගරය තුළ X කණ්ඩායම විසින් පැවැත් වූ සියලු ම රැස්වීම්වල කථිකයන් වූයේ දීප්ති කුමාර ගුණරත්න සහ මා ය. එකල මව්බිම පුවත්පතෙහි AK 47 අතිරේකයටත්, පෙරදිග සුළං සඟරාවටත්, ත්‍රිමාන සඟරාවටත් ම ම ලිපි සම්පාදනය කළෙමි. සමහර ලිපි මාගේ නමින් ද තවත් සමහර ලිපි නිර්නාමිකව ද ලියා ඇත. 2007 දී ප්‍රකාශයට පත් කළ විනෝදය අරගලය කෘතියේ භාගයකටත් වඩා ලිපි ලියා ඇත්තේ මම ය. 2011 වර්ෂයේ ප්‍රකාශයට පත් කළ පශ්චාත්  නූතනත්වය පොතෙහිත් කොටසක් ලියා ඇත්තේ මම ය. 2012-2013 කාලයේ දී මරදාන සමාජීය සහ සාමුහික කේන්ද්‍රයේ දී මසකට වරක්පැවැත් වූ හෙගල් සම්මන්ත්‍රණ මාලාවේ සියළුම දේශන පැවැත් වූයේ මම ය. 2013 අගෝස්තු මාසයේ දී හෙගල් සම්මන්ත්‍රණ අවසන් වූ අතර එයින් මසකට පසු මම ආචාර්ය උපාධිය සඳහා විදේශගත වුනෙමි. එයින් පසුව අපගේ දේශපාලන හා දාර්ශනික සබඳතා කෙමෙන් අඩු වූ අතර මට ඔහු අවසන් වරට මුණ ගැසුනේ 2015 සැප්තැම්බර් මාසයේ දී ජයන්ත ජයමුනි විසින් ලියන ලද විද්‍යා විමුක්ති පොත එළිදැක්වීමේ උත්සවයේ දී ය. ඉන් පසුව මම කිසිවිටක ඔහු හමුනොවූ අතර කිසිදු කතා බහක් ද සිදුවූයේ නැත. 

2015 සිට ගෙවුණු වසර 08 ක් පමණ කාලයේ ඔහු මා සම්බන්ධයෙන්ව විවිධ විවේචන, අවලාද, බොරු සහ මඩ ගැසීම් ගණනාවක් කර ඇත. මේ කාලය තුළ එක් වතාවක දී පමණක් ලිපියක් ලියමින් ඔහුගේ විවේචනයන් සහ අවලාදයන් පැන නැගෙන ඔහුගේ මානසික ව්‍යුහයසහ දේශපාලනික මංමුලා සහගත බව පහැදිලි කළෙමි. මට එරෙහිව කරන විවේචනයන්ට පිළිතුරු දීමට වඩා මමත් අතුළු තවත් අයට ඔහුකරන විවේචනයන්, මඩ ගැසීම් පැන නැගෙන පොදු ව්‍යුහය පැහැදිලි කිරීමට උත්සාහ ගත්තෙමි. ඔහු සමඟ වාදයකට එළඹීමේ අවශ්‍යතාවයක් මට නොතිබිණි. කවුරු හෝ කෙනෙක් සමඟ පැටලීම ඔහුගේ පැවැත්මේ සහ මානසික ව්‍යාධියේම කොටසක් නිසා එයට සහයක් දීමේ අවශ්‍යතාවයක් මට නොතිබිණි. 

තත්ත්වයන් මෙසේ තිබිය දී මා සම්බන්ධයෙන් නැවතත් හැඩයෙන් සමාන විවේචනයන් සහ මිත්‍යාවන් ගණනාවක් දීප්ති කුමාර ගුණරත්න පතුරුවමින් සිටි යි. මේවාට පිළිතුරු දෙන්නේ දීප්ති කුමාර ගුණරත්නට ප්‍රතිචාරයක් දැක්වීමට නොවේ. මක් නිසාද ඔහුට පිළිතුරු දුන්නා කියා ඔහුගේ චින්තන බලු වලිගය කෙළින් නොවන අතර ඔහු සදාකාලිකව ජීවත් වන පල් වලෙන් එළියට ඒමක් සිදුවන්නේ ද නැත. මාගේ පිළිතුරු වලින් ඔහුගේ විකල් මනස සුවපත් වන්නේ ද නැත. ඔහුගේ චෝදනාවන්වල සැබෑ තත්ත්වය කුමක් ද යන්න අසන තුන්වැන්නෙකු සිටින අතර මාගේ අදහස් ලිපි ලේඛණ කියවන යම් පිරිසක් ද සිටියි. අනෙක් අතට ඔහුගේ චෝදනාවන් සමහරක් මා වැඩ කරන ආයතනයට සම්බන්ධ අතර එහි සිටින සමහර අය ද දීප්ති කුමාර ගුණරත්නගේ චෝදනාවන් සම්බන්ධයෙන් මගෙන් විමසීම් කරති. මේ නිසා එවැනි අයගේ දැනගැනීම සඳහා කරුණු පැහැදිලි කිරීමක් කරමි. 

පළමු හිතළුව

දීප්ති කුමාර ගුණරත්න මෑත කාලයේ කියා සිටි කාරණාවක් වූයේ ඔහුගේ සටහන්වලට අනුකූලව මම හෙගල් සම්බන්ධයෙන් කරුණුදැක්වීම සහ ලිවීම් කටයුතු කරන බව ය. ඔහු ළඟ එම සටහන් තිබෙන බවත්, ඒවා ප්‍රසිද්ධ කිරීමට හැකියාවක් තිබෙන බවත් ය. මෙය දීප්ති කුමාර ගුණරත්න විසින් කරන දැවැන්ත කරුණු විකෘති කිරීමක් සහලැජ්ජාවක් නැති ව බොරු කීමකි. 2004 සිට මා ඔහු සමඟ වැඩ කරඇත්තේ අසම්බන්ධිත සම්බන්ධයක් සහතිව ය. ඔහු කළේ එක් වැඩක්වන අතර මම කළේ වෙනත් වැඩකි. 2004 ට පසු මහවැලි කේන්ද්‍රය, ජයවර්ධන කේන්ද්‍රය, නව නගර ශාලාව වැනි තැන්වල පැවැත් වූ රැස්වීමවල ප්‍රධාන කථිකයන් වූයේ දීප්ති කුමාර ගුණරත්න සහ මා ය. මා විසින් පළමුව කතා කරන අතර ඔහු දෙවනුව කතා කරයි. මාගේ කථාව තුළ මම නිශ්චිත අදහසක් ප්‍රකාශ කරන අතර මාගේ කරුණු දැක්වීම ඔහුගේ නිර්දේශයක් මත හෝ ඔහුගේ සටහන් අනුව සකසා ගන්නා එකක් නො වේ. ඔහුගේ කතාව ඔහු විසින් සාදාගෙන එන සටහනකට අනුව කරන්න ගියත් හැමදාම සිදුවූයේ එකම දෙයකි. රැස්වීමට සහභාගී වී සිටින ජනයා දැක ඔහු එක්කෝ චණ්ඩියකු වීම ය නැත්නම් කුණුහරුප කීම ය. එසේත් නැත්නම් ඒ කාලයට අදාළ තමන් මනසින් ගොඩනගාගත් හතුරෙකුට පහර දීම ය. මේ ක්‍රියාවලිය මම රැස්වීම් ගණනාවක වේදිකාවේ සිට අත් විඳ ඇත්තෙමි. දීප්ති කුමාර ගුණරත්න හා එකට කතා කළ රැස්වීම්වල දී ඔහු තමන්ගේ සතුරන් වශයෙන් සලකන අය අපහාසයට උපහාසයට නගා පහර දීමේ දී එයට විරුද්ධ නොවී ඉවසීම මා විසින් කළ වරදකි. නමුත් ඒ අදට අනුව ය. ඒ මොහොතේ දීප්ති කරන්නේ වරදක් ය යන සවිඥාණකත්වය තිබුණේ නැත.

2004 න් පසුව X කණ්ඩායමේ සාමාජිකයන්ට කතිකා න්‍යාය, පශ්චාත් මාක්ස්වාදය සහ හෙගල් සම්බන්ධයෙන් පැවැත් වූ පන්ති එකක් තුළවත් ඔහුගේ සටහන් හෝ අනුශාසනා ම විසින් පාවිච්චි කර නැත. ඒ කාලයේ දී එම පන්තිවලට සහභාගී වූ අයට මේ සම්බන්ධයෙන් මතකයක් ඇතැයි මම සිතමි. සමහරුන් මා ඉදිරිපත් කළ අදහස් පටිගත කර ගත් අතර ඒවා ලිඛිත සටහන් බවට ද පත් කර ගත්හ. මේවා හොඳින් දන්නා සාමාජිකයන් සිටිය දී ම දීප්ති කුමාර ගුණරත්න සැබෑ ඉතිහාසය විකෘති කරයි.

2007 න් පමණ පසුව මව්බිම පුවත් පතෙති AK 47 අතිරේකයේ මවිසින් ලියන ලද ජාතිකවාදය, භෞතිකවාදය සම්බන්ධයෙන් කිසිදු ලිපියකට දීප්ති කුමාර ගුණරත්නගේ මඟපෙන්වීම හෝ ඔහුගේ සටහන් පාවිච්චි කර නැත. එයින් පසුව පෙරදිග සුළං සඟරාවට සහ ත්‍රිමාණ සඟරාවට වරින්වර හෙගල්, හුසල්, හෛඩගර්, ඩෙරීඩා, පශ්චාත් මාක්ස්වාදය සහ මාක්ස්වාදී කලා විචාරය සම්බන්ධයෙන් ලියන ලද කිසිදු ලිපියකටවත් ඔහුගේ සටහන් හෝ ඔහුගේ අදහස් පාවිච්චි නැත. 

2012-2013 කාලයේ දී මරදාන සමාජීය හා සාමුහික කේන්ද්‍රය තුළ වසරක් පමණ කාලයක් පැවැත් වූ එකදු හෙගල් සම්මන්ත්‍රණයකට ඔහුගේ අදහස් හෝ සටහන් පාවිච්චි කර නැත. එම දේශන පැවැත්වීමේදීත් ඔහු බොහෝ විට කරන්නේ හිතුවක්කාර ආකාරයට අතරමැදින් පැන අනවශ්‍ය කුණුහරුප එබ්බවීම හා එවකට ඔහුට සිටි සතුරන්ට පහරදීම ය. ඔහු සමඟ එකට ඉඳගෙන සාකච්ඡා සම්මන්ත්‍රණය කිරීමේ දී ඔහු අතර මැදින් පැන කුණු හරුප එබ්බවීම වරදක් යැයි සළකා ඒ වෙලාවේ දී ම එයට ප්‍රතිචාර නොදැක්වීම අද සිට බලන විට වරදකි. නමුත් ඒ මොහොතේ එයට එරෙහි වීමට තරම්ස විඥාණකත්වයක් තිබුණේ නැත.

එතරම් ප්‍රමාණයක් ලිපි ලේඛන ලිව්වේත්, පන්ති පැවැත්වූයේත්, දේශන හා සම්මන්ත්‍රණ කළේත් එවකට පැවැති සංවිධානයේ අභිවෘද්ධිය වෙනුවෙන් සහ අනාගත දේශපාලනයක දී ප්‍රයෝජනවත් වේ යැයි හැඟීමෙන් යුක්තව ය. එසේ නොමැතිව මේවාගේ අයිතිවාසිකම කියාපෑමට හෝ දීප්ති කුමාර ගුණරත්න මෙන් මේ සියල්ල මාගේ මුඛයෙන් උපත ලැබුවා යැයි කයිවාරු ගැසීමට ද නො වේ. නමුත් දීප්ති කුමාර ගුණරත්න  විසින් කරන විකෘති, මුලාකිරීම් සහ බොරුකීම් නිසා ඇත්තටම සිදුවූයේ කුමක් ද යන්න නැවත මතක් කළ යුතු ය. මොහු මෙතරම් බොරු ප්‍රමාණයක් කියන්නේ මේවා ඇත්තටම දන්නා පිරිසක් තමන්ගේ මනසින් එළියේ නොසිටිනවා යන මනෝ විකාරයෙනි. එවකට මිත්‍රයන් වශයෙන් සාමුහිකව වැඩ කළත් අද ඔහු හැසිරෙන්නේ මමත්, තවත් සහෝදරවරුත්, සාමුහිකව ලියන ලද දේවල් සියල්ල දීප්ති කුමාර ගුණරත්නගේ අධීක්‍ෂණය යටතේ අප ලව්වා ලියවා ගත් ආකාරයට ය.

දෙවන හිතළුව

දීප්ති කුමාර පවත්වාගෙන යන ත්‍රිමාණ වෙබ් අඩවියේ මෑකත දී හැඩයෙන් සමාන තවත් බොරු දෙකක්  කීවේය. එක බොරුවක් වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ලාල් කාන්ත සමඟ මම අත්පත්‍රිකා බෙදන බව ය. අනෙක් බොරුව වන්නේ ලාල් කාන්ත සමඟ මම බොන බව ය. ඔහු මේ කියන්නේ ඇත්තක් නම් එක්කෝ යම් හෝ තැනක මම ලාල් කාන්ත සමඟ පත්‍රිකා බෙදුවා හෝ ඔහු සමඟ එකට බිව්වා කියා ලාල් කාන්ත කියා තිබිය යුතු ය නැත්නම් ඒ සිද්ධි දෙක එසේ සිදුවූවා කියා මා යම් තැනක කියා තිබිය යුතු ය නැත්නම් දීප්ති කුමාරමේ සිද්ධි දෙක කෙසේ හෝ දැක තිබිය යුතු ය. නැත්නම් මේ සිද්ධි දෙක දැකපු වෙනත් කෙනෙකු සිටිය යුතු ය. ඡායාරූපයක් හෝ තිබිය යුතු ය. මේ සම්බන්ධ ව ලාල් කාන්තගෙන් ඇසුවොත් ඔහු කියනු ඇත්තේ සමන් යනුවෙන් කෙනෙක් තමන් නොදන්නා බව ය නැත්නම් ඔහු කියනු ඇත්තේ සමන් ව දන්නා නමුත් ඔහු සමඟ පත්‍රිකා බෙදා හෝ මත්පැන් බී නොමැති බව ය. වඩාත් වැදගත් වන්නේ දීප්ති කුමාර ගුණරත්නට මෙවැනි බොරු ඇද බෑම කළ හැකි වන්නේ කෙසේ ද යන්න ය. එක්කෝ ඔහු තමන් කියන්නේ බොරුවක් බව දැන දැන නොදන්නවා සේ බොරු කීමේ නරුමවාදයකින් පෙළෙයි නැත්නම් ඔහු විපරීත තර්කයන් හරහා මෙවැනි නිගමනවලට පැමිණෙයි. එවැනි හිතුවක්කාර තර්කයන් පැනනැගෙන ආකාරය පෙන්වා දෙමි.

      1. සමන් අමරකීර්ති සමඟ පත්‍රිකා බෙදයි. අමරකීර්ති ලාල් කාන්ත සමඟ පත්‍රිකා බෙදයි. එම නිසා සමන් ලාල් කාන්ත සමඟ පත්‍රිකා බෙදයි.
      2. සමන් අමරකීර්ති සමඟ බොයි. අමරකීර්ති ලාල් කාන්ත සමඟ බොයි. එම නිසා සමන් ලාල් කාන්ත සමඟ බොයි.

මෙය රූපික ආකාරයට අනුව දැක්වුවහොත්: A=B, B=C එම නිසා A=C

දීප්ති කුමාර ගුණරත්නගෙන් මම ඉවත් වූයේ තිලක් කෝදාගොඩගේ කේළාම් ඇසීමෙන් යැයි තවත් බොරුවක් කියා තිබිණි. දීප්ති කුමාරගෙන් ඉවත් වීමට තුන්වැනකුගේ මැදිහත් වීමක් අවශ්‍යය නො වේ. ඔහුගෙන් දේශපාලනිකවත්, දාර්ශනිකවත් ඉවත් වීම සඳහා ඍජු සවයං-විඥාණයක් මට ඇත. එවැනි සවිඥාණකත්වයක් මට නොමැතිනම් මෙතෙක් කල් ඉගෙන ගත් දර්ශනවාදවලින්  ඵලක් නැත. දීප්ති කුමාර ගුණරත්න සමඟ කාලයක් වැඩ කළ බොහොමයක් දෙනා දැන් ඔහුගෙන් ඈත් වී ඇත. මේ ඈත්වීම්වලට හේතුව අනෙකා තුළ දැකීම ඔහුගේ පුරුද්ද ය. තමන් තුළ තිබෙන අඩුව, දුර්වලතාව දැකීමට ඔහු අපොහොසත් ය. ඔහු හැර ගිය අයව සම්පූර්ණයෙන් ම අමතක කර තමන්ගේ වැඩක් කරගෙන සිටීමට ඉඩ තිබිය දී ඔහුට ආත්මයක් වීම සඳහා අනෙකාගේ ආමන්ත්‍රණය ඕනෑ කර තිබේ.

තුන්වන හිතළුව

තුන්වැන්න දර්ශන අශෝක කුමාර නම් පුද්ගලයාට මම ආචාර්ය උපාධියක් ලබා දී ඇතැයි දීප්ති කුමාර ගුණරත්න කියන මහා බොරුව ය. මේ බොරුව මා උගන්වන විශ්වවිද්‍යාලයටත් බලපාන බොරුවකි. මා වැඩ කරන ආයතනයේ සමහරුන් මේ සම්බන්ධයෙන් මගෙන් විමසීම් කරන නිසා මෙහි ඇත්ත නැත්ත හෙළිදරව් කරීම අවශ්‍ය ය. මේ බොරුව සහ චෝදනාව ගොඩනැගෙන පසුබිම ගැන පැහැදිලි කිරීමක් මුලින් ම කළ යුතුව ඇත.

තමන්ගෙන් පිටත හෝ තමන්ට සම්බන්ධයක් නැති කෙනෙකු දර්ශනය, කලාව හෝ දේශපාලනය ගැන කතා කරනවා නම් දීප්ති කුමාර ගුණරත්න කරන්නේ ඔහුට පහර දීම ය. එය ඔහුගේ මමායනය හරහා පැමිණෙන්නක් වන අතර සියළුම දේ තමන්ගේ මුඛය හරහා ජාතක වී ඇත යන හැගීම නිසා හට ගත්තකි. මේ මොහොතේ දීප්ති කුමාර ගුණරත්න කර තිබෙන්නේ තම ප්‍රතිවාදියා වන දර්ශන අශෝක කුමාර සමඟ වාදයකට නොයා ඔහුගේ ගුරුවරුන් වශයෙන් හඳුනාගත් අයට, ඔහුට ආචාර්ය උපාධියක් පිරිනැමුවා යැයි ඔහු හඳුනාගත් අයට සහ ආචාර්ය උපාධිය දුන් ආයතනයට පහර දීම ය. දීප්ති කුමාර ගුණරත්න දර්ශන අශෝක කුමාර සමඟ සංවාදයකට නොයා ඔහුගේ ගුරුවරුන් සමඟ ඕනෑ තරම් සංවාද කරීමට කැමති යැයි කියමින් මට ද ඊනියා සංවාදයකට ආරධනා කර ඇත. ‘අහවල් කෙනා වෙනුවට අහවල් කෙනා සමඟ හෝ අහවල් සුදුසුකම වෙනුවට අහවල් සුදුසුකම ඇති කෙනා සමඟ හෝ අහවල් ගමේ වෙනුවට අහවල් නගරයේ කෙනා සමඟ සංවාද කරමි’ යි කියමින් වටේ කැරකැවෙමින් සිටියි.

දීප්ති කුමාර ගුණරත්න කරන සංවාදයක් නැත. ඔහු මෙතෙක් කළ කිසිදු සංවාදයක් ද නැත. ලංකාව තුළ ඇත්ත වශයෙන් සිදු වූ සංවාදයන් ඇත. ඒවාට ඔහුගේ සම්බන්ධයක් ද නැත. 1930 වැනි කාලයක ඩබ්.ඒ. සිල්වා සහ මාර්ටින් වික්‍රමසිංහ අතර නවකතාවාදය අරභයා වටිනා සංවාදයක් සිදු වූ අතර 1990 න් පසු සුචරිත ගම්ලත් සහ පියසීලී විජේගුණසිංහ අතර සාහිත්‍ය සහ කලාව අරභයා සංවාදයක් සිදුවිය. රණවීර ලෙස්ලි ගුණවර්ධන සහ කේ.එන්.ඕ.ධර්මදාස අතර ‘සිංහ ජනයා’ අරභයා වටිනා සංවාදයක්ස සිදුවිය. සුචරිත ගම්ලත් හා කේ.එන්.ඕ. ධර්මදාස අතර සාහිත්‍ය විචාරය, විශ්වවිද්‍යාල බුද්ධි පරිහානිය, ට්‍රොස්කිවාදි කලා විචාරය හා මාක්ස්වාදය සම්බන්ධයෙන් විවාදයක් සිදුවිය. මාක්ස්වාදය අරභයා වසන්ත දිසානායක සහ චම්පික රණවක අතරත් සංවාද සිදු වී ඇත. සමාජවාදී ශිෂ්‍ය සංගමය, මා සහ පුබුදු ජාගොඩ අතර භෞතිකවාදය අරභයාත් සංවාද සිදුවිය. මේවා භෞතිකව සිදුවූ අතර එම සංවාද මුද්‍රණය වී ඇත. දීප්ති කුමාර ගුණරත්නට පශ්චාත්න නූතනවාදය අරභයා සංවාදයකට එන ලෙස නලින් ද සිල්වා අභියෝග කළත් ගුණරත්න එම සංවාදය මග හැරියේ ය. එකල සංවිධානය වෙනුවෙන් එක් අවස්ථාවක දී මා සහ නලින් ද සිල්වා අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී සංවාදයක් සිදුවිය. ඔහු අදටත් නලින් ද සිල්වා සමඟ සංවාදයකට නොයන අතර නලින් මිය ගිය පසුව ඔහුගේ සොහොන් කොතට ඈත සිට ගල් ගසනු ඇත. නලින් මියයාමෙන් පසුව ඔහු ව දාර්ශනික වශයෙන් අභියෝග කිරීමට උත්සාහගන්නවා ඇත. බොරුවට සංවාදවලට කැඳවා පසුව විවිධ හේතු දක්වාසංවාද වලින් පලාගොස් අවසානයේ දී විවිධ සමාජ මාධ්‍යයන් හරහා නිර්ණාමිකව සිටිමින් තමන්ගේ ප්‍රතිවාදියාට පහරදීම දීප්ති කුමාරගේ සුපුරුදු ක්‍රමවේදය ය.

දීප්ත කුමාර ගුණරත්න කියා සිටින්නේ තමන් අර්ජුන පරාක්‍රම සමඟ, සුචරිත ගම්ලත් සමඟ, නලින් සුවාරිස් සමඟ සංවාද කර තිබෙන බවය. මෙයත් ඔහු විසින් පවසන බොරුවකි. තමන්ට සුරක්‍ෂිත තැනක සිට අනෙකාට විරුද්ධ ව ලිවීම හෝ දෙසීම සැබෑ සංවාදයක් නො වේ. තමන්ට සුරක්‍ෂිත රැස්වීම් ශාලාවක සිට ප්‍රතිවාදියෙකුට එරෙහි ව පාලු ගෙයි වළං බිදීම හෝ තමන් කරන සඟරාවක ප්‍රතිවාදියාට එරෙහි ව ඒක පාර්ශවීය ආකාරයට ලිවීම හෝ තමන් කරන වෙබ් අඩවියක සිට ප්‍රතිවාදියාට අභියෝග කිරීම සැබෑ සංවාදයක් නොවේ. ඔහු විසින් කරන්නේ ‘dialogue’ නොව ‘monologue’ ය. ඔහු කරන්නේ තම ප්‍රතිවාදියා ඉදිරියේ භෞතිකව සිට ගන්නේ නැතිව තමන්ගේ හිස ඇතුළත වාදය හා ප්‍රතිවාදය ලෙස දෙපළු කර ගෙන ප්‍රතිවාදියාගේ තැනත් තමන්ම නියෝජනය කරමින් (intrasubjective use of voice/ interior monologue). භෞතික මාධ්‍යයක් නැතිව අභ්‍යන්තර මානසික සංවාදයක් සිදු කිරීම ය. මට ඔහු සමඟ සංවාද කිරීමේ අමාරුවක් නැත. ඔහු සම්බන්ධයෙන් කිව යුතු දේ මම දැනටමත් ලියාඇත. කථනයට වඩා ලියා ඇති දේ ගැන මම විශ්වාස තබමි. 

දැන් මම දර්ශන අශෝක කුමාරගේ ආචාර්ය උපාධියේ කතාවට ප්‍රවේශ වෙමි. දර්ශන අශෝක කුමාරගේ පශ්චාත් උපාධියට අදාල කිසිදු දේශනයකට මා සහභාගී වී නැත. ඔහුට කිසිම විෂයක් මා උගන්වා නැත. ඔහු මාගේ ශිෂ්‍යයකු හෝ මා ඔහුගේ ගුරුවරයකු නො වේ. ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධන මාතෘකාව අනුමත වූයේ සහ ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි ඔහුගේ ආචාර්ය උපාධි උපදේශකයාව වූයේ මා ලංකාවේ සිටි කාලයේ නො වේ. මේ එකදු ක්‍රියාකාරකමකට මාගේ සම්බන්ධයක් නොමැත. මාගේ ආචාර්ය උපාධියේ කටයුතු අවසන් කර 2018 දී නැවත දර්ශන දෙපාර්තමේන්තුවේ වැඩ භාරගැනීමෙන් පසුව දර්ශන විෂය සම්බන්ධයෙන් පශ්චාත් උපාධි සම්බන්ධිකාරකවරයා ලෙස මා පත්කෙරිණි. යම් උපාධි අපේක්‍ෂකයෙකු ආචාර්ය උපාධි නිබන්ධ යෝජනාවලියක් ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුහෝ ඇය ඉදිරිපත් කර තිබෙන මාතෘකාව ගැලපෙන එකක් ද, එහි ගැටළු තිබේ ද, එම උපාධි අපේක්‍ෂකයා යෝජනා කර තිබෙන අපේක්‍ෂිත උපදේශකයා එම ව්‍යාපෘතියට සුදුසු කෙනෙක් ද, නුසුදුසු කෙනෙක් ද ආදී තීන්දු තීරණ ගැනීමේ දී පශ්චාත් උපාධි සම්බන්ධිකාරකයාට යම් නිර්දේශයන් ඉදිරිපත් කිරීමේ අවස්ථාවක්ලබා දී ඇත. දර්ශන අශෝක කුමාරගේ ආචාර්ය උපාධි කටයුත්තට සහභාගී වීම සඳහා මට අවස්ථාවක් නොතිබුණේ අදාළ කාලයේ දී මා ලංකාවේ නොසිටීමත් ඒ කාලයේ මා දර්ශනය පිළිබඳ පශ්චාත් උපාධි සම්බන්ධිකාරකයා නොවීම නිසාත් ය. ​

අශෝක කුමාරට ආචාර්ය උපාධිය ලැබීමට පෙර එය වැළැක්වීමට චේතනාන්විත ව කිසිවක් නොකළෙමි. දීප්ති කුමාරගෙන් පලි ගැනීමටහෝ දීප්ති කුමාර පිනවීමට ආචාර්ය උපාධියක් ලබා දීමේ හෝ නොදීමේ අධිෂ්ඨානයෙන් කටයුතු නොකළෙමි. දීප්ති කුමාර ගුණරත්නගේ පරමාදර්ශයන්ට අනුව වැඩ නොකළෙමි. දීප්ති කුමාර ගුණරත්න දැනගත යුතු කාරණයක් වන්නේ තනි පුද්ගලයෙකුගේ මැදිහත් වීමෙන් තවත් පුද්ගලයෙකුට ආචාර්ය උපාධියක් ලබාදිය නොහැකි බව ය. ආචාර්ය උපාධි නිබන්ධ උපදේශකයෙකුට, අධීක්‍ෂකයෙකුට හෝ වාචික අධීක්‍ෂකයෙකුට තනි පුද්ගලයන් ලෙසතවත් කෙනෙකුට ආචාර්ය උපාධිය පිරිනැමිය නොහැකි ය. යමෙකුට ආචාර්ය උපාධිය ලැබෙනවා ද නැද්ද යන්න තීන්දු වන්නේ යම් කමිටුවක තීන්දුවකට අනුකූලව ය. අධීක්‍ෂකයකු ලියන වාර්තාව තීරණාත්මක එකක් වුවත්, තනි අධීක්‍ෂකයකුගේ වාර්තාවෙන් සියල්ල තීන්දු වන්නේ නැත. අවසාන තීන්දුව වාර්තා දෙකම සළකා බලා යම් කමිටුවක් විසින්ගන්නා එකකි. අධීක්‍ෂකයෙකුට කළ හැකි වඩාත් සාධාරණ ප්‍රවේශය වන්නේ ආචාර්ය උපාධි අපේක්‍ෂකයා කව්ද, ඔහුගේ අතීත ක්‍රියාකාරකම් මොනවා ද, අනාගත ක්‍රියාකාරකම් මොනවා විය හැකිද, එම පුද්ගලයාට ආචාර්ය උපාධියක් ලැබීම සම්බන්ධයෙන් තවත් කෙනෙකුට තිබෙන උවමනාව, කැමැත්ත හෝ අභිප්‍රාය සළකා නොබලා, ඒවා අත්හිටුවා ලියා තිබෙන නිබන්ධයේ කරුණුමය සත්‍යතාවන්, තාර්කික විලාසයන් හා ශක්‍යතාවන්, තාක්‍ෂණික නිවැරදිතාවන්, භාෂාමය ප්‍රමිතීන්, නව දැනුමක් ලබා දෙනවා ද නැද්ද යන කාරණාවන් සළකා බලා අපක්‍ෂපාතී වාර්තාවක් සැපයීම ය. 

යමෙකු සැබෑ දයලෙක්තිකවාදියෙකු නම් යම් ප්‍රපංචයක ඉතිහාසය, වර්ධනය ඒ තුළ තිබෙන විසංවාදයන් ගැන සොයා බැලිය යුතු ය. මේකිසිවක් සොයා නොබලන දීප්ති කුමාර ගුණරත්න තැන් තැන්වල මට චෝදනා කරමින් යන්නේ ‘පිස්සෙකුට’ ම’ විසින් ආචාර්ය උපාධියක් පිරිනමා තිබෙන බව ය. 

මා දන්නා බොහොමයක් යුරෝපියානු විශ්වවිද්‍යාලවල ආචාර්ය උපාධි නිබන්ධයන් අන්තර්ජාලයට එකතු කරයි. එමෙන් ම අධීක්‍ෂකයන්ගේ අධීක්‍ෂණ වාර්තාවන් ද අන්තර්ජාලයට එකතු කරයි. එවිට ඒවා පොදු ලියවිලි බවට පත් වේ. ඕනෑම කෙනෙකුට මේවා බැලිය හැකි ය. අඩුම වශයෙන් උපාධිය ලැබූ අය සිය නිබන්ධ මුද්‍රණය කරනවා නම් අනෙක් අයටත් එය බැලිය හැකි ය. අවාසනාවකට මෙන් ලංකාවේ ඇකඩමික සම්ප්‍රදාය තුළ මෙවැන්නක් තවමත් නැත.

දීප්ති කුමාර ගුණරත්න තමන් ‘විසංයෝජකයකු’ වශයෙන් පෙනී සිටිමින් දර්ශන අශෝක කුමාරගේ වියමන හෝ ලිවීම හෝ කතිකාව පරික්‍ෂාකරනවා වෙනුවට පැමිණ තිබෙන්නේ තවත් වාගීෂ්වරත්වයකට ය. ඒ ශුද්ධ, අසම්බන්ධිත කේන්ද්‍රයකට ය. එම ශුද්ධ අසම්බන්ධිත කේන්ද්‍රය මගින් අර්ථය පාලනය වන බව ය. දර්ශන ඉතිහාසය තුල පරමාදර්ශය (the ideal), සාරාර්ථය (substance), දෙවියන් වහන්සේ (God) සිතන ආත්මය (thinking subject) වැනි කේන්ද්‍රයන්ට, පාරභෞතිකයන්ට පැමිණ තිබෙනවා සේ දීප්ති කුමාර ගුණරත්න, දර්ශන අශෝක කුමාරගේ හිස් කබලට ප්‍රවේශ වී ඇත. ඔහුගේ හිස්කබලේ ගැටළුවක් නිසා ඔහු අතින් මේ ආකාර චින්තනයක් ප්‍රකාශකරනවා යැයි ගනියි. ඔහුට දර්ශන අශෝක කුමාරගේ හිස් කබල අනුභූති උත්තර හැඟවුමක් (transcendental signified) වී ඇත. හිස්කබල නොවෙනස් වන ඝනීභූත දෙයක් ලෙස ගත්තේ 18 වන සියවසෙ පැවතුණු විද්‍යාවන් දෙකක් මගින් ය. එකක් නම් යමෙකුගේ මුහුණේ ස්වභාවය අනුව ඔහුගේ/ඇයගේ චරිත ලක්‍ෂණයන් අනුමානකිරීම ය (physiognomy). දෙවැන්න හිස් කබලේ නෙරුම, හැඩය අනුව ඔහුගේ/ඇයගේ මානසික ගතින් අනුමාන කිරීම ය (phrenology). මේ දෙකම හෙගල් බැහැර කළේ ආත්මය ඇටයකට තුල්‍ය කිරීමේ (spirit is bone) ගැටළුවක් තිබෙන නිසා ය. දීප්ති කුමාර ගුණරත්න දර්ශන අශෝක කුමාරගේ චින්තන ගැටළුව විසදීමට ඔහුව සැලුන් එකකට යැවීමට යෝජනා කරයි. යමෙකුගේ හිස් කබලේ හැඩය හෝ හිස් කබලේ කෙස් ගස් නොතිබීම ඔහුගේ චින්තනයට නිශේධනීයව බලපානවා නම් ලෙනින්ගේ හෝ මිචෙල් ෆුකෝගේ සාධනීය චින්තනයට හිස් කබලේ හැඩය හෝ හිස කෙස් බලපෑවේ නැත්තේ ඇයි ද යන්නත් දීප්ති කුමාර ගුණරත්න විසින් අපට පහදා දිය යුතු ය. 

දර්ශන අශෝක කුමාරත් මේ ව්‍යාපෘතියේ දී ශාස්ත්‍රීය නොවන, විනයගරුක නොවන ප්‍රවේශයන් ගෙන තිබෙන බව මාගේ මතය ය. ඔහුට මෙම ආචාර්ය උපාධිය ලැබීමට කලින් තමන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි යටතේ ආචාර්ය උපාධියක් කරන බව පවසමින් සමාජ මාධ්‍යය ඔස්සේ පූර්ව ප්‍රචාරක කටයුතු කළේ ය. මෙහි දී මාගේ නම ද සඳහන් කර තිබුණා මට මතක ය. මේවා සැබෑ ශාස්ත්‍රඥයන්ගේ වැඩ නොවේ. දර්ශන අශෝක කුමාර සමඟ මට තිබුණ සබඳතාව ආයතනික එකක් විනා වෙනත් එකක් නො වේ. ඔහු සමඟ මට දැන් ආයතනික සබඳතාවක් ද නැත. දර්ශන අශෝක කුමාර දැන් එළියෙහි දර්ශනය වශයෙන් කතා කරන දේවල් සම්බන්ධයෙන් මාගේ වගකීමක් නැත. ඔහු එළියෙහි කතා කරන දේවල් සම්බන්ධයෙන් වෙනත් අයට ප්‍රශ්න ඇත්නම් ඔහු සමඟ එළියෙහි වාද විවාද කරගන්නා මෙන් ඉල්ලා සිටිමි. 

X කණ්ඩායම තුළ මහද්වීපික දාර්ශනිකයන්  සහ දාර්ශනික මාතෘකාවන් ජනප්‍රිය කිරීමට හේතු වූ කාරණාව දර්ශන අශෝක කුමාර නොදනී. මොන තරම් අඩුපාඩුකම් තිබුණත්, මහද්වීපික දාර්ශනිකයන් සහ දාර්ශනික මාතෘකා ලංකාව තුළ ජනප්‍රිය කිරීමට X දේශපාලනය සැලකිය යුතු කාර්ය භාරයක් කළේ ය. X දේශපාලනයේ මැදිහත්වීම නොවන්නට නිල දාර්ශනික දෙපාර්තමේන්තු සහ දර්ශනය ගැන හිතන අය බෞද්ධ දර්ශනයෙන් සහ විශ්ලේෂී දර්ශනයෙන් ඔබ්බට නොයනු ඇත. නමුත් දැන් දර්ශන අශෝක කුමාර වැනි අය කරමින් සිටින්නේ මේ දාර්ශනිකයන් සහ දාර්ශනික මාතෘකා තමන් තුළ ස්වයං-සිද්ධ ව පහළ වූ ඒවා ලෙස පෙන්නුම් කිරීම ය. මොහු කරමින් සිටින්නේ X දේශපාලනයෙන් යම් පමණකට සාකච්ඡා කළ සංකල්ප හා මාතෘකා ඉතිහාසය තුළ මේවා මතු වූ ආකාරය සහ මතු කළ අය ගැන කිසිදු සඳහන් කිරීමක් නොකර තමන් තුළින් ම උපත ලැබූ ඒවා ලෙස පෙන්නුම් කිරීම ය. 

මෙවැනි අය තම තමුන් ක්‍රියාත්මක වන ක්ෂේත්‍ර තුළ බොහෝ විට හැසිරෙන්නේ දාර්ශනික චණ්ඩීන් ලෙස ය. යම් ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් කාලයක් මහන්සිවීමෙන් දැනුමක් ලබා ගත හැකි ය. නමුත් ප්‍රඥාව ලැබෙන්නේ නැත. දර්ශන අශෝක කුමාරලා මේ සදාචාරය සහ ප්‍රඥාව ලබාගෙන නැත. දීප්ති කුමාර ගුණරත්න ඇකඩමික සම්ප්‍රදායෙන් පිටත් සිටින දාර්ශනික චණ්ඩියෙකි. දාර්ශනික විනයක් හෝ සදාචාරයක් නැති කෙනෙකි. දර්ශන අශෝක කුමාර ඇකඩමික සම්ප්‍රදාය ඇතුළට ඇවිත් එයින් උපාධියක් ලබාගෙන දාර්ශනික චණ්ඩියකු වී ඇති පුද්ගලයෙකි. මේ දෙදෙනාම ඔවුන් දෙදෙනාට චණ්ඩිකම් පෙන්වන ගමන් ම ශාස්ත්‍රීය සම්ප්‍රදායේ සිටින අනෙක් අයට ද චණ්ඩිකම්ප්‍ ප්‍රදර්ශනය කරති. ඔවුන් දෙදෙනාම තමන් හැර අනිත් අය දන්නා දර්ශනය කුමක් ද යන පණ්විඩය සමාජයට ලබා දෙයි. මොවුන් දෙදෙනා ම අහන ප්‍රශ්නය දර්ශන දෙපාර්තමේන්තුවල සිටින ආචාර්යවරුන් දන්නා දර්ශනය කුමක්ද යන්න ය. දර්ශන අශෝකකුමාර ආචාර්ය උපාධියක් ලබා ගත්ත ද දීප්ති කුමාර ගුණරත්න තමන්ව විශ්වවිද්‍යාලයෙන් පිටත සිට ස්වාධීනව ඉගෙන ගෙන සිටින කෙනෙකු (autodidact) යැයි කීව ද මේ දෙදෙනාම කරන්නේ එක හා සමාන වැඩකි. 

විමුක්තිකාමි දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් දර්ශනය හා මනෝවිශ්ලේෂණය යොදා ගන්නවා යැයි කලින් කියු දීප්ති කුමාර ගුණරත්න දැන් මේ දෙකම පාඨමාලා කර මුදලට විකණීම සඳහා යොමු වී තිබෙන අතර දර්ශන අශෝක කුමාර ද දර්ශනය පැකට් කර මුදලට විකිණීම පටන්ගෙන ඇත. දීප්ති කුමාර ගුණරත්න මේ වැඩය කරන්නේ තමන්ට සතුරන් යැයි සිතන ශාස්ත්‍රීය සම්ප්‍රදායේ අයවළුන්ට පහර ගසාතමන් පමණක් ඉතුරුකර තමන්ගේ අනන්‍යතාව සාදා ගැනීමෙන් වන අතර දර්ශන අශෝක කුමාර කරන්නේ තමන්ගේ ආචාර්ය උපාධිය පෙන්වා විවිධ ක්ෂේත්‍ර කිහිපයක සිටින ශාස්ත්‍රඥයන් කිහිප දෙනෙකු හවුල් කරගෙන ය. 

1994 න් පමණ පසු  ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ දේශපාලනය අවසන් වී යම් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් හරහා අලුත් දේශපාලනයක් ආරම්භ කරමින් සිටියේ ය. ජවිපෙ සන්නද්ධ කැරැල්ලෙන් පසු එයින්කැඩී ගිය තවත් කොටස් ජනතා මිතුරෝ වැනි සංවිධාන හරහා පරිසර දේශපාලනයකින් පටන්ගෙන ක්‍රමානුකූලව ජාතිකවාදය දෙසටත් දෙමළ විරෝධී සිංහල බෞද්ධ ජාතිවාදය දෙසටත් ගමන් කරමින්ස සිටියේ ය. උතුරු නැගෙනහිර දේශපාලනය දකුණේ වාමාංශික සහ රැඩිකල් දේශපාලනයෙන් ක්‍රමානුකූලව දුරස්ථ වෙමින් සන්නද්ධ දේශපාලනයක් කරා යොමු වෙමින් පැවතිණි. දැඩි මාක්ස්වාදී සහ ට්‍රොස්කිවාදී දේශපාලනය ඝනීභූත න්‍යායන් සහ භාවිතයන්හි  නිරතවෙමින් සිටියේ ය.  මතවාදී තලයේ නලින් ද සිල්වා, ගුණදාස අමරසේකර වැනි අය මාක්ස්වාදයට පහර දෙමින් මාක්ස්වාදී විරෝධී, විද්‍යා විරෝධී ජාතිකවාදයක් හා සිංහල බෞද්ධ ජාතිවාදයක් පෝෂණය කරමින් සිටියෝ ය. මේ තත්ත්වයන් තුළ X දේශපාලනයටත් මතවාදී හා සංස්කෘතික තලයේ යම් දේශපාලනික දාර්ශනික ඉඩක්ව විවර වී පැවතිණි. නිව්ටන් ගුණසිංහ, එස්.බි.ඩී. සිල්වා, ජී.වී.එස්. සිල්වා වැනි අය ආරම්භ කර පැවතුණු කියවීම යම් ආකාරයට උපයෝගී කරගනිමින්, මාක්ස්වාදය සම්බන්ධයෙන් බටහිර ලෝකයේ මතු වීතිබුණු නව කියවීම සහ මහද්වීපික දර්ශනය ක්ෂේත්‍රයේ සිදු වී පැවතුණු අලුත් පෙරලි ආශ්‍රය කරමින් කළ හැකි නිර්මාණාත්මක දේශපාලනයකට ඉඩක් විවෘත වී පැවතිණි. විශේෂයෙන් ම වාමාංශික දේශපාලනයත් ඇතුළුව සියළු දේශපාලන ප්‍රවණතා ජාතිවාදී දිශාවට ගමන් කරන විට එයට එරෙහිව මතවාදී තලයේ සහ ප්‍රයෝගිකතලයේ ක්‍රියාකාරීත්වයකට ඉඩක් තිබිණි. X කණ්ඩායමේ මුල් කාලයේදී දෘෂ්ටිවාදී තලයේ ආමන්ත්‍රණය කරමින් සිටි කරුණු කාරණාවන්ට දේශපාලනය ගැන මැදිහත් ව සිතන බුද්ධිමතුන්ගේත් උනන්දුවක් හා ආකර්ෂනයක් වර්ධනය වෙමින් පැවතිණි. එමෙන් ම අනෙකුත් දේශපාලන ව්‍යාපාරවල වැඩ කරමින් සිටි යම් යම් පිරිස් ද X දේශපාලනයට ආකර්ෂණය වෙමින් සිටියහ. දැන් මේ සියල්ල අවසන් වී තිබේ. දීප්ති කුමාර ගුණරත්න මේ මොහොතේ කරමින් සිටින්නේ රනිල් වික්‍රමසිංහගේ දේශපාලනයට අවශ්‍ය දෘෂ්ටිවාදී මෙහෙයුමත් එයට අනුකූලව විවිධ දේශපාලන බලවේගයන්ට සහ ක්‍රියාකාරීන්ට පහරදීමේ ව්‍යාපෘතියත් ය.  

සොක්‍රටීස් මෙන් ම ප්ලේටෝ විතණ්ඩවාදීන්ට විරුද්ධ වීමට එක්  හේතුවක් වූයේ ඔවුන් දර්ශනය විකුණන්නන් වීම නිසා ය. ප්ලේටෝගේ ඇකඩමිය නූතන අර්ථයෙන් ටියුෂන් මධ්‍යස්ථානයක් වූයේ නැත. එය දැනුම සොයා යන්නන්ගේ මධ්‍යස්ථානයක් විය. ඒ කාලයේ දී රාජ්‍ය විසින් ‘නිදහස් අධ්‍යාපනය’ යනුවෙන් දෙයක් ලබා දුන්නේ නැත. ශිෂ්‍යයන්ගේ මූල්‍ය හැකියාවන් අනුව නොව බුද්ධිමය දක්‍ෂතා අනුවආයතනයට සහභාගීවීමට හැකි විය. දර්ශනය යනු ප්‍රඥාවට ආදරයකිරීම විනා දැනුමට ආදරය කිරීම නොවේ. දැනුම විකිණිය හැකි ය. නමුත් ප්‍රඥාව විකිණිය හැකි ද? යමෙකුට ප්‍රඥාවක් තිබේ නම්ක කුමන ආකාරයකින් හෝ දර්ශනය විකණීම සඳහා පෙළඹෙන්නේ නැත. වයිට්හෙඩ් වරෙක කීවේ මුළුමහත් බටහිර දර්ශනය යනු ප්ලේටෝ සම්බන්ධයෙන් දෙන පාදක සටහන් බව ය. දීප්ති කුමාර ගුණරත්න හා දර්ශන අශෝක කුමාර වැනි සමකාලීන විතණ්ඩවාදීන් ප්ලේටෝගේ පාඩම ඉගෙන ගෙන නැත. ඔවුන් හිතන්නේ දර්ශනය යනු අනෙකාට චණ්ඩිකම් පෙන්වීම සඳහා, තමන්ගේ අනන්‍යතාව සාදා ගැනීම සඳහා, විකිණීම සඳහා, දූෂිත පාලකයන් රැක ගැනීම සඳහා සහ මහන්තත්වකම් පෙන්වීම සඳහා ඇති තවත් මෙවලමක් බවය. මොවුන්ට එරෙහිව සොක්‍රටීසියානු සත්‍යගරුකභාවය, ප්ලේටෝනික පිළිවෙල, ආකෘහිතභාවය, යුක්තිගරුකභාවය, සබුද්ධිකත්වය මෙන්ම ඇරිස්ටෝටලියානු ප්‍රමිතිගත බව, ඒ ඒ විෂයන්ගේ සීමා, දැනුමේ මායිම් නැවත හඳුන්වා දිය යුතු ව ඇත. දැනුම ගන්නට ප්‍රමිතියක් දිය යුතු ව ඇත. ප්ලේටෝගේ පාඩම වූයේ දර්ශනය යනු සත්‍යයට සහ ප්‍රඥාවට තිබෙන මාර්ගය බව ය.

Leftwin Magazine Vol-03 සම්බන්ධිත ලිපි

  • Editor
  • Posted by Editor
December 8, 2023

කුකුළෙකුට අවශ්‍ය වන්නේ පැතලි භූමියකි. කුකුළා කරන්නේ භූමියේ තැනින් තැනට දිව ගොස් පොළොව පහුරුගා පණුවන් සෙවීමත්...

Read More
  • Editor
  • Posted by Editor
December 7, 2023

1848 පැරීසියෙන් පටන්ගෙන යුරෝපය හරහා හඹා ගිය විප්ලවය සාර්ථක වූයේ නැත. නමුත් එය අසාර්ථක වූයේද නැත....

Read More
  • Editor
  • Posted by Editor
December 7, 2023

විතණ්ඩවාදීන් වනාහි ක්‍රි.පූ. පස්වන සියවසේ ග්‍රීසියේ සිටි දාර්ශනික කණ්ඩායමකි. නම් වලින් හඳුනා ගතහොත් ප්‍රොටගෝරස්, ජෝර්ජියාස් හා ...

Read More
  • Editor
  • Posted by Editor
December 6, 2023

2022 ආර්ථික අර්බුදය පසු ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇතිවන සාකච්ඡාවල ප්‍රධාන මාතෘකාවක් වන්නේ රාජ්‍යය විසින් කරන...

Read More

We use cookies to give you the best experience. Cookie Policy