Back

සිපිරිගෙදරින් මතුවූ ඉස්පිරිතාලය සහ PTA

දෙමලෙන් ආතුරසාලෛ (ஆதுரசாலை) සිංහලෙන්  ඉස්පිරිතාලයයි. ත්‍රස්ත පනත යටතේ නඩු නොමැතිව අවුරුදු 16ක් බලහත්කාරයෙන් රඳවාගෙන සිටිනා, ඉන්ජිනේරුවරයකු වන සිවලිංගම් අරූරන්ට යළි වරක් රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිකර දුන් කෘතිය වන්නේ මෙම ‘ඉස්පිරිතාලයයි’.

අරූරන් මොරටුව සරසවියේ ජල ඉන්ජිනේරු විද්‍යාවේදී උපාධිධාරියෙක්. මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණය අසලදී සුදු වෑන් රියකින් ඔහු පැහැර ගනු ලැබුවෙ 2006දි.  ඒ වෙද්දි ඔහු පේරාදෙණිය සරසවියෙ පශ්චිත් උපාධිය හදාරමින් හිටියෙ. ඔහු සැකකාරයෙක් කෙරුවෙ කුප්‍රකට ‘පිත්තල හන්දියෙ’ බෝම්බයට.  දැන් 16 වසරක්.  අරූරන් මුලින් රාජ්‍ය සම්මානය දිනාගන්නෙ 2008 වසරෙදි. යුද්ධය තීව්‍ර වෙමින් තිබුණ ඒ සමයෙ PTA යටතේ හිරකරගෙන ඉන්න කොටි බෝම්බ සැකකාරයෙක් වේදිකාවට නග්ගවන එක ප්‍රශ්නයක්. නමුත් දැන් PTA එක යටතෙ ඉන්න සැකකාරයෙක් වේදිකාවට නග්ගන එකේ ‘සේ’ එකක් තියෙනවා. මොකද, මේක PTA නම් මර්දන පනත දකුණ භීතියට පත් කරන්න ළෙලවමින් තිබෙන මොහොතක්.  ‘හිට්ලර්’ ට අඳිමින් ත්‍රස්ත පනත දිගේලි කරමින් ඉන්න රනිල් වික්‍රමසිංහ තමයි රාජ්‍ය සාහිත්‍ය උළෙලේ ප්‍රධාන ආරාධිතයා.

ප්‍රශ්නය වෙන්නෙ, දකුණේ මෙකී මර්දනයට නතු වෙමින් ඉන්න පාර්ශවය දකුණේදී අත්අඩංගුවට පත් වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි සහ හෂාන් ජීවන්ත ගුණතිල යන ශිෂ්‍ය නායකයන් ගැන කතා කරනවා විනා, වසර බර ගණනක් හිරගතව ඉන්න අරූරන් ඇතුළු දෙමළ සිරකරුවන් ගැන කෙළ බිඳක් හළන්නෙ නැති වීම.  දෙගොල්ලො ම රඳවන් ඉන්නෙ එකම රාජ්‍ය ත්‍රස්තවාදය යටතේ නම් ඇයි මෙහෙම වෙන්නෙ?

මේ මොහොත වෙනකොට ඇප නොදී රඳවගෙන ඉන්නෙ වසන්ත මුදලිගේ විතරයි. ඔහු ආකර්ෂණීය සහ සටන්කාමී ශිෂ්‍ය නායකයෙක්. ඔහු කොන්දේසි විරහිතව නිදහස් කළ යුතු බවට තර්කයක් නෑ. නමුත් සෙසු සිරකරුවන් ගැන මුනිවත රකින දකුණ? දෙමළා මර්ධනය නම් වූ යුද්ධය වෙනුවෙන් මහරාජණන්ගේ දෑත ශක්තිමත් කළ වම සහ ‘අන්තරය’ තවමත් පෙනී සිටින්නේ ඔවුන්ගේ නියෝජිතයා වෙනුවෙන් පමණයි.

සමකාලීන මොහොතේ සියල්ලන්ගේම උත්තරීතර හතුරා වන්නේ ධනවාදයයි. එවන් හතුරා සමඟ හටන පසෙකලා, එවන් සටන් ප්‍රමාද කරගනිමින්, තමන් විසින් මවා ගැනුණු ව්‍යාජ හතුරකු වන ‘දෙමළ’ සමඟ තාවර වෙන්නට වම කැමැත්තේ නම් එය ව්‍යාජ වමක් බවට පත්වෙනවා. එය සුළු ධනේෂ්වර ‘වම’ යි.  එබැවින් ම අවස්ථාවාදයේ වමයි. එවන් වූ වම, ව්‍යාජ සතුරා මෙල්ල කිරීමට රාජ්‍ය සමඟ හිටගන්නට මැලි වන්නේ නැහැ. කවර මර්ධන අන පණතක් වුවත් ඊට අත් දෙකම ඔසවා සහය පළ කරන්නට මැලි වන්නේ ද නැහැ. වසන්ත මුදලිගේ යන ‘සංකේතය’ නමින් දැන් මාංචු වැටී ඇත්තේ එසේ ඔසවන ලද අත් දෙකටයි.  තමන් සහය දුන් ත්‍රස්ත මර්දන රෙගුලාසී භූමරංගයක් වී ඇති බව තවමත් නොපෙනෙන්නේ ඇයි? මාංචු වැටී ඇත්තේ අතීතයේ ‘අවසාන කොටියාද අවසන් වන තුරු යුද්ධය පවත්වා  ගත යුතුය’ යි පෝස්ටර් ගැසූ අන්තරයේ වත්මන් නායකයාටයි.

වසන්ත මුදලිගේ යනු ස්වකීය ජ්‍යෙෂ්ට නායකයන් විසින් ත්‍රස්වාදය වැළක්වීමේ පනත ලෙසින් පැවති රාජ්‍ය ත්‍රස්තවාදය පවත්වා ගැනීමේ ක්‍රියාන්විතය ශත්තිමත් කිරීමට ක්‍රියාකළ ඉතිහාසයේ ම  ගොදුරක් නොවේ ද?

We use cookies to give you the best experience. Cookie Policy