Back

Messi මැක්‍රෝන්ට දුන් පා පහර

දශක තුනකට ආසන්න කාලයක් පුරා දිවෙන ලියොනෙල් මෙසී නම් ආජන්ටිනා “පාපන්දු පුරාවෘත්තයේ” පාපන්දු පෙළහරපෑම් තුළ, ‘පාපන්දු සමාජ කුසලාන’ 37 ක්, Ballon D’Or හතක් සහ යුරෝපියානු Golden Shoes හයක් දිනා ගන්නට හැකි වෙනව. මීට අමතරව, කෝපා ඇමරිකා ශූරතාවක්, ඔලිම්පික් රන් පදක්කමක් සහ කිසිදා පරාජය කළ නොහැකි ලකුණු සහ සංඛ්‍යාන වාර්තා ලැයිස්තුවක් තිබෙනව. නමුත් මෙසීට මග හැරුණු කරුණ නම් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ඵලකයේ, පේලේ සහ දියාගෝ මැරඩෝනා පහු කරන්නට නොහැකි වීම. පසුගිය දෙසැම්බර් 18 හැන්දෑවෙ දෝහා හි පැවති ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී ප්‍රංශයට එරෙහිව ආර්ජන්ටිනාව ජයග්‍රහණය කිරීමත් සමඟ, 35 හැවිරිදි “ෆුට්බෝල් මාස්ටර්” ඒ අවනඩුවත් අවසන් කරනව. ඔහු එදා වාර්තා 5 ක් පමණ නිර්මාණය කරනව. FIFA ලෝක කුසලානයේ ආර්ජන්ටිනාව වෙනුවෙන් වැඩිම ගෝල ලබාගත් ක්‍රීඩකයා, අවසන් මහා තරගයේදී ප්‍රංශයට එරෙහිව මෙසී ලබාගත් ගෝල දෙකත් සමග ඔහුගේ ලෝක කුසලාන තරග දිවියේ 13 වැනි ගෝලය වූ අතර එය ගේබ්‍රියෙල් බැටිස්ටුටාගේ (ගෝල 10 වාර්තාව) වාර්තාව බිඳ දැමීමට සමත් වෙනව.FIFA ලෝක කුසලානය දැනුම් දුන්නේ ආර්ජන්ටිනාවේ පාපන්දු පුරාවෘත්තය FIFA ලෝක කුසලාන ඉතිහාසයේ හැම තරඟයකදීම ගෝලයක් රැස් කළ සහ සහය වූ වයස්ගතම ක්‍රීඩකයා බව. මීට පෙර, මෙසී එම තරඟාවලියේ එකම තරඟයකදී ලකුණු රැස් කළ සහ සහය වූ ලාබාලතම ක්‍රීඩකයා ලෙස වාර්තාවට හිමිකම් කීවා. මෙතෙක්, ලෝක කුසලාන ඉතිහාසයේ සෑම වටයකම ගෝල වාර්තා කළ පළමු ක්‍රීඩකයා වීම. ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම මිනිත්තු ගණනක් ක්‍රීඩා කිරීම. ලෝක කුසලානයේ වැඩිපුරම පෙනී සිටීම එනම් 2006 වසරේ සිට ලෝක කුසලාන 5ක් පුරාවට, මෙසී තරග 26කට පෙනී සිටීම. දිගු කලක් එම වාර්තාව තබා තිබුණේ ලෝතර් මතාවුස්.

කොහොම වුණත්, ප්‍රංශය 2018 දි ලෝක පාපන්දු ශූරතාව දිනාගත් රට. මෙවර ප්‍රංශය අනු ශූරයන් වුණේ දශමයෙන්. ඒ ඔවුන්ගෙ හොඳම පාපන්දු මැජික් තුරුම්පු දෙකක් වන බෙන්සෙමා හා පොග්බා නැතුව. Penalty kick හෙවත් දඬුවම් පහර ගහන්න කප් ගහපු උන් දෙදෙනා සිටියේ නම් ප්‍රතිඵලය අනිවාර්යයෙන් වෙනස් වෙන්නට තිබුණා.

ප්‍රංශය අවසන් තරගයේදි ඔවුන්ගෙ සුපුරුදු වේගවත් බව කැපී පෙනුණ. ආජන්ටිනානුවන් තුල දිගටම කිසියම් වේගවත් බවක් වගේම ඊටත් වඩා රිද්මයක් තිබුණ. ක්‍රීඩාවෙදි වේගවත් බව පමණක් ප්‍රමාණවත් නෑ යන්න මෙසී සහ ඔහුගේ සනුහරය පෙන්නුව. කොහොමටත්, මේ මෙසීගෙ අවසන් ලෝක ශූරතා තරගාවලිය. මේ ඊට හොඳම වෙලාව. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වගේ කිච නොවී. එහෙම වුණොත් දියාගෝ මැරඩෝනා වගේ ඔහුගේ රුවත් හැමදාම ආජන්ටියානුවන් ප්‍රදර්ශනය කරාවි. සමු ගැනීම කියන්නෙ දුකක්. වේදනාවක්. අහිමි වෙන්නෙ ක්‍රීඩා කිරීම විතරක් නෙමෙයි, කීර්තිය, මුදල් හා වරප්‍රසාද. ඒත් මෙසීට සතුට කියන්නෙ දුකක්. වේදනාවක්. කොහොමටත් සතුට කියන්නෙ වේදනාවක් තමයි. ඒ වුණත් අපි කැමතියි මෙසී උඹට, Goodbye කියන්න.

මෙසීගෙ ආදායම ගැන කතා කළොත්, 2022 වසරේ වැටුප පමණක් ඇ:ඩො: මිලියන 41ක්. මෙසී ‘ෆෝබ්ස්’හි ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වාර්ෂික ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට හිමිකම් කියන ක්‍රීඩකයා. වැටුප සහ අනෙකුත් වෙළඳ ගිවිසුම්වලින් ඔහු සතියකට ලබන ආදායම ඇ:ඩො: මිලියනයක්. 2021 මැයි 1 සිට 2022 මැයි 1 දක්වා මාස 12 ක කාලය තුළ ෆෝබ්ස් සඟරාවට අනුව, ඔහුගේ සම්පූර්ණ ඉපැයීම් ඩොලර් මිලියන 130 ක්. මෙයින් ඩොලර් මිලියන 75 ක් ක්‍රීඩාවෙන් උපයා ඇති අතර ක්‍රීඩාවෙන් බැහැරව ඩොලර් මිලියන 55 ක් උපයා තියෙනව. වාර්තාවලට අනුව, ලයනල් මෙසීගේ ශුද්ධ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 620 ක්. මෙසීට 2016 දි බාසලෝනා මධ්‍යම අධිකරණයක් මගින් ආදායම් බදු ගෙවීම පැහැර හැරීම නිසා මාස 21 ක අත්හිටුවන ලද සිර දඬුවමක් ලැබෙනව. ඔහු හිරේ නොගිහින් බේරෙන්නෙ යුරෝ මිලියන 15 ක් ගෙවල. මේ ඉහත සියල්ල මෙසී හා ඔහුගේ ආදායම් ගැන.

ප්‍රංශයට එරෙහිව ආජන්ටිනාව ලත් පාපන්දු ජයග්‍රහණය, දේශපාලනිකව කියවන්නට උත්සාහ කළහොත්, එය ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගෙ නව ලිබරල් දේශපාලන ආර්ථික ප්‍රතිපත්තියට එරෙහිව ලතින් ඇමෙරිකාවෙන් එන රතු එළියක්.

ආජන්ටිනාවේ ජනාධිපති ඇල්බර්තෝ ෆර්නැන්ඩස්ගේ දේශපාලන ආර්ථික ප්‍රතිසංස්කරණ යනු, ප්‍රංශය ප්‍රමුඛ යුරෝපයේ මැක්‍රෝන්ගෙ නව ලිබරල් දේශපාලන ආර්ථික ප්‍රතිපත්තියේම පිළිබුඹුවක්. ගතවෙමින් පවතින්නේ මැක්‍රෝනියානු දේශපාලන ආර්ථික ප්‍රතිපත්තියට එරෙහිව ප්‍රංශය පුරා විරෝධතා රැල්ලක් ක්‍රියාත්මක වන සමයක්.

මැක්‍රෝන් ප්‍රංශය තුළ පවා අවලංගු වෙමින් යන කාසියක්. ඔහු පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ සිට කටාර් රාජ්‍යය තුළ කල්මරමින් සිටියේ, ප්‍රංශය ලෝක ශුරයන් වූ විට, වේදිකාවට ගොඩවීමට බව අනුමාන කළ නොහැක්කේ කාටද? කුජීත දේශපාලකයන්, ක්‍රීඩාවේ නාමයෙන් ක්‍රීඩා වේදිකා මත සිය කැතකුණු සෝදා ගන්නට වෙර දරන අයුරු අප ඕනෑ තරම් දැක තියෙනවා. මැක්‍රෝන්ගේ ඒ මජර දේශපාලන අදහස, වැළැක්වුවාට මෙසී උඹට Thanks! ඒත් එක්කම එසේ කියන්නට සිදු වුණාට, Sorry! එම්බප්පේ. දෙසොලේ!

Lionel Messi - The Greatest of All Time

We use cookies to give you the best experience. Cookie Policy