1968 පැරිස් නගරයේ බිත්තිවල ඇඳ තිබූ හොඳම ග්‍රැෆිටි පණිවිඩවලින් එකක් වූයේ “ව්‍යුහයෝ වීදිවල නොඇවිදිති!” (Structures do not walk on the streets!) යන්නයි. ටිකක් විස්තර කර කිවහොත්, 1968 දී ප්‍රංශ වීදිවල දැවැන්ත ශිෂ්‍ය හා කම්කරුවන්ගේ පෙලපාලි, සෝසියරියානු ව්‍යුහවාදයේ දී මෙන්, සමාජයේ ව්‍යුහාත්මක වෙනස්කම් මගින් නිර්ණය කරන ලද ව්‍යුහවාදයේ නියමයන් තුළ පැහැදිලිව තව දුරටත් පැහැදිලි කළ නොහැකි විය. ප්‍රංශ මනෝවිශ්ලේෂකයෙකු වන ජාක් ලැකාන්ගේ ප්‍රතිචාරය වූයේ 68 හි සිදුවූයේ සෝසියර්ගේ ප්‍රතිලෝමය බවයි. එනම්, සොෂියර් සඳහන් කළ නොඇවිදින ‘ව්‍යුහයන්’ වීදිවලට බැස ඇවිදීමයි. 1968 දී පැරීසියේ ඇත්තටම සිදුවූයේ වීදිවල දිගහැරුණු පුපුරණ සුලු සිදුවීම් අවසානයේ ව්‍යුහාත්මක අසමතුලිතතාවයක ප්‍රතිඵලයක් වීමයි.
මේ අප ගෙවමින් සිටින්නේ පැවැත්මේ සෑම ක්ෂේත්රයක්ම අර්බුදයට ලක් වෙමින් ඇති සමයකි. සමාජ සීමාවන් නැවත සකස් කරන, සමාජ ආර්ථික කාරණා පමණක් නොව පවුල් සබඳතා පවා සොලවන, පුද්ගල මනෝභාව සහ දේශපාලන නියෝග වෙනස් කරන, පාරිසරික හා දේශගුණික විපර්යාසයන් සිදුවන, පෙරළිකාරී අබුද්දස්ස යුගයකය. කෙටියෙන්ම කිවහොත්, අස්ථාවර බලවේගයන්ගේ නිවහන වී ඇති යුගයකය. ඒ නිසාම මේ ව්‍යසනය, ගෝලීය අර්බුදය පිළිබඳ එළිදරව්ව තවදුරටත් ඩිස්තෝපියානු අනාගතයක අපූරු අවස්ථා වෙත (1968 ප්‍රංශ නැගිටීම් මෙන්) යොමු නොකරයි. මෙමගින් යථාර්ථය වෙනස් කිරීම තබා යථාර්ථය සූක්ෂම ලෙස අවබෝධ කර ගැනීම පවා වළක්වයි. “අවසානයක් නැති අවසානයක්” ඒ මෙහි ස්වරූපය සහ ප්රතිඵලයයි. වෙන කවරදාකටත් වඩා වේගයෙන් හා වඩා සූක්ෂම ලෙස යථාර්ථය අවබෝධ කර ගැනීමේ අපගේ හැකියාවන් මග හරින බව පෙනෙන වඩාත් කැළඹිලි සහගත ලෝකයක ජීවත් වන අපි, තව දුරටත් ලෝකය විග්රහ කර ගන්නේ කෙසේද? යන උභතෝකෝටිකයේ හිර වී සිටින්නෙමු.
මීට වසරකට පෙර ගෝල්ෆේස් මහජන විරෝධතාවේ අති මූලික කාරණය ලෙස ඉස්මතු වූයේ ‘ගෝඨා ගෙදර යනු’ යන්නය. බලයෙන් ඔද්දල් වී උද්දච්ච ලෙස මෝඩ තීන්දු ගැනීමෙන් රටේ ජීවන තත්ත්වය හා එදිනෙදා ජන ජීවිතය කඩා වැටීම තව දුරටත් ඉවසුම් නොදුන් ජනයා ස්වයං සාමූහිකයකට පැමිණ ‘ගෝඨා’ ගෙදර යවා ම පස්සා බැලූහ. එය වූ කලි අවසානයක් නැති අවසානයක් සනිටුහන් කළ අහඹු ක්ෂිතීමය (මැයි 09 ජනතා නැගිටීමට වසරක් ගෙවෙන මේ මොහොතේ එදා උද්ඝෝෂණය තුල සිටි සමහර හිස් තනි පුද්ගල චරිත කිහිපයක් ‘අරගල නායකයන්’ යැයි තමන්ම කියා ගනිමින් දේශපාලනයේ අයන්නවත් නොදන්නා කුඩා ළමුන් සේ ‘මැයි 09’ ප්‍රහසනයක් බවට පත් කරමින් ‘TV Show’ පවත්වමින් සිටිති) ක්‍රියාවකි. ඒ ගැන අපි අපගේ ප්‍රථම ‘leftwin’ e සඟරාවේ කතා කළෙමු.
ගෝඨා යනු තනි පුද්ගලයෙකු ලෙස නොව, එය නග්න ජාතිවාදය හා උමතු ආගම්වාදය පදනම් කරගත්, විනාශකාරී බල අධිකාරිය (A destructive authority of power) කි. එදා ගෝල්ෆේස් මහජන නැගිටීම නම් වූ අහඹු ක්ෂිතීමය ක්‍රියාව විසින් ඛණ්ඩනය කරන ලද්දේ එයයි. එම ඛණ්ඩනය කිරීම ගෝල්ෆේස් මහජන නැගිටීමේ පළමු වැදගත්කමයි. එහි දෙවැනි වැදගත් සාධකය වන්නේ, අධිපතිවාදී දේශපාලන ධාරාවට එරෙහිව පැවැති මහජන කෝපය මේ හරහා නිර්භයව හා අමුවෙන්ම ප්‍රකාශ වීමයි. තෙවැනි වැදගත් සාධකය ලෙස සටහන් කළ හැක්කේ සිදුවෙමින් යන දේ ගැන කිසිදු අදහසක් නැතිව මාරාන්තික නිද්‍රාවක ගිලී සිටිමින් පුරුද්දට විරෝධය පෑම පමණක් නොව, විනය ගරුක ලෙස අරගල කරන්නේ කෙසේ දැයි කයිවාරු ගසමින් සිටි ඇල්මැරුණු වම මහජනයා විසින් ඕල්ටේක් කිරීමයි. මීට අමතරව රාජපක්ෂලාට කඩේ ගිය ඊනියා සිංහල බෞද්ධ ජාතික නඩය නන්නත්තාර කිරීමද මේ මගින් සිදුවිය. නිදර්ශනයක් ලෙස, එම සිංහල බෞද්ධ ජාතිකවාදී චින්තනයේ න්‍යායාචාර්යවරයා වූ නලින් ද සිල්වා (මොහු 70 දශකයේ තම ආචාර්ය උපාධිය සඳහා සාපේක්ෂතාවාදයෙහි සාමාන්‍ය සිද්ධාන්ත ඇසුරින්, භ්‍රමණය වන අංශුවකට ප්රතිවිරුද්ධව ප්රක්ෂේපණය කරන ලද අංශුවක්, අවසානයේදී භ්‍රමණය වන අංශුවට සමානව භ්‍රමණය වන බවට ගණිතමය වශයෙන් පල කළ අනාවැකිය 80 දශකයේදී බ්‍රිතාන්‍ය-ඇමරිකානු ගවේෂණ කණ්ඩායමක් විසින් සොයාගනු ලැබීය) 2020 දී තුනෙන් දෙකක බලයෙන් ගෝඨාභයගේ නායකත්වයෙන් බලයට ආ සිංහල බෞද්ධ ජාතිවාදී හා ආගම්වාදී ‘දකුණ ආසියාවට ආවේනික නව හිට්ලරියානු’ ආණ්ඩුවක තානාපතිකම ඉල්ලා බුරුමයට ගියේ නිකම්ම නොවේ. එහි අභිප්‍රාය වන්නට ඇත්තේ, ගොඩනගාගත් ජාතිකවාදී බල අධිකාරියට අවශ්‍ය ජාත්‍යන්තරය ගොඩ නැගීම විය හැකිය. ගෝල්ෆේස් විරෝධයේ ප්‍රතිඵලයක් ලෙස ඒ නලින් ද සිල්වා අද සැඳෑ සමය ගත කරන්නේ තමා විසින්ම තමන්ගේ අංක එකේ ‘හතුරා’ ලෙස හැඳින්වූ ඇමෙරිකාවේය. ෆ්‍රැන්සිස් ෆුකුයාමාගේ වචනයෙන් කිවහොත්, ‘ඉතිහාසයක අවසානය’ සනිටුහන් කළ එමගින් සමකාලීන දේශපාලන සමාජය කිසියම් කණ්ඩනයකට ලක් කළේය. එබැවින්, ගෝල්ෆේස් ජන නැගිටීම ධනාත්මක අන්තර්ගතයකට වඩා අපට වැදගත් වන්නේ, ඒ තුළ ‘ප්‍රතික්ෂේප කිරීමේ අභිනයක්’ (a gesture of rejection) අන්තර්ගත වීමය. මන්ද එවැනි අභිනයකට නව ධනාත්මක අන්තර්ගතයන් සඳහා අවකාශය විවර කළ හැකිය. එබැවින් අපි ප්‍රශ්නයෙන් අවධානය වෙනතකට යොමු නොකළ යුතුය. මනෝවිශ්ලේෂණාත්මක නියමයන්ට අනුව, විරෝධතා යනු ස්වාමියා කුපිත කරන, ඔහුගේ අධිකාරීත්වය යටපත් කරන උමතු පිපිරීමක් වන අතර, ස්වාමියාගේ ප්රශ්නය එනම්, ‘ඔබට අවශ්‍ය කුමක්ද?’ යන එහි යටි අරුත වෙස්වලා ගනියි. ‘මගේ වචනවලින් මට පිළිතුරු දෙන්න, නැතහොත් කට වහගන්න!’ , 1968 සිසුන් වෙත ලැකාන් එල්ල කළ විවේචනයට තමන් නිරාවරණය වීමෙන් වැළකී සිටීම විරෝධතාකරුවන් හොඳින් කළාක් මෙන්, 2022 දී අන්තරය ප්රමුඛ විරෝධතාකරුවන් ලැකාන් එල්ල කළ විවේචනයට තමන් නිරාවරණය නොවීමෙන් විරෝධතාකරුවන් ලෙස, ඔබ නව ස්වාමියෙකු ඉල්ලා සිටින හිස්ටරිකයන්ගේ තැනට වැටුණේද? ලැකාන් පැහැදිළිව කියූයේ මෙවැන්නකි. “අරගලකාරීන් ලෙස ඔබ අපේක්ෂා කරන්නේ නව මාස්ටර් කෙනෙකි. ඔබට එවැන්නෙක් ලැබෙනු ඇත.” තමන් ඉල්ලූ සහ බලාපොරොත්තු වූ මාස්ටර් නොවුණත්, ලැකාන් 68 දී කියූ පරිදිම, ගෝල්ෆේස් විරෝධතාකරුවන් ඇතුළු අපි හැමෝටම දැන් නව මාස්ටර්කෙනෙකු ලැබී ඇත. ඒ අන් කවරෙකුවත් නොව, අප කැමති වූවත් නැතත්, මහජනයා විසින් මැතිවරණ දේශපාලනයේ කුණු බක්කියට විසි කළ, නව ලිබරල් දේශපාලන ආර්ථිකය ඉදිරියට ගෙන යන හා ඒ පන්ති යුතුකම වෙනුවෙන් කැපවී සිටින ඒ වෙනුවෙන් ඕනෑම වන්දියක් ගෙවීමට සූදානම් ජේ ආර්ගේ බෑණා වන රනිල් වික්‍රමසිංහය.
පැරණි නියෝගය වෙනුවට නව නියෝගයක් සඳහා සාධනීය වැඩපිළිවෙළක් නොමැතිව, හුදු ප්රකෝපකාරී විරෝධයෙන් පමණක් ප්‍රතිචාර දැක්වීමෙන්, එය ප්‍රතික්ෂේප කළද, අපේක්ෂා කළ නව මාස්ටර් ලැබෙන්නේ නැත. මහජන නැගිටීම තාර්කික අවසානයක් දක්වා ගෙන යාමට අවශ්‍ය සාධනීය වැඩපිළිවෙළක් සහිත ඊට අදාළ වමේ සක්‍රීය දායකත්වය නොලද තැනක මීට වඩා දෙයක් අපේක්ෂා කළ හැකිද?
ගෝල්ෆේස් ජනතා නැගිටීමෙන් පසුත් අප ජීවත් වන්නේ ඊට කලින් තිබූ සමාජ වටපිටාවේම නොවුණත් කොහෙත්ම ඊට වඩා හොඳ වටපිටාවක නොවේ. 1990 දී නැගෙනහිර යුරෝපීය කොමියුනිස්ට් පාලන තන්ත්රයන් විසුරුවා හැරීමේ දී ක්‍රියාත්මක වූයේ ද එවැනිම තත්ත්වයක් නොවේද? උද්ඝෝෂණ කළ ජනතාවට අවශ්‍ය වූයේ දූෂණයෙන් හා සූරාකෑමෙන් තොර නිදහසක් සහ ප්රජාතන්ත්රවාදයක් වන අතර ඔවුන්ට ලැබුණේ සහයෝගීතාවයෙන් හා යුක්තියෙන් තොර ප්රජාතන්ත්රවාදයයි. අපගේ අතීත දේශපාලන අත්දැකීම යනු එයයි.
මහජන නැගිටීමේ උත්කෘෂ්ට උද්යෝගය අවසන් ව වසරක් ගත වන මෙම තීරණාත්මක මොහොතේදී විරෝධතාවේ මාරාන්තික දුර්වලතාවය අපට මුණගැසෙයි. එය සමාජ-දේශපාලන වෙනසක අවම ධනාත්මක හැඩයක් බවටවත් පරිවර්තනය කර ගැනීමට නොහැකි වූ අව්‍යාජ කෝපයක් ප්‍රකාශ කිරීමක් හා උද්දච්ච පවුල් පාලනයක් පළවා හැරීමක් දක්වා ලගු වූවකි. ඔව්හු කැරැල්ලකින් තොරව කැරලිකාරී ආත්මයක් ප්‍රකාශ කළහ. අවසාන වශයෙන් සටහන් කළ යුත්තේ රාජ්‍ය යනු, නිකං තියෙන දෙයක් නොවන බවයි. රාජ්‍යය යනු සක්‍රීය දේශපාලන යාන්ත්‍රණයක් සේම සක්‍රීය මර්දන යාන්ත්රණයකි. ඒ යාන්ත්‍රණය විටෙක අක්‍රිය ලෙස පෙනුණද එය නිතරම වැඩ කරයි. මේ රාජ්‍යය නැවත සක්‍රියව වැඩ කරන මොහොතයි.