ස්ත්‍රීවාදය යනු සෑම සමාජයකම විවිධ ආකාරවලින් පවතින ස්ත්‍රී පුරුෂ ධූරාවලිය කපා හැරීමයි. ස්ත්‍රීවාදය සහ මානව හිමිකම් යන දෙකම බහු වාචික කතිකාවන් සහ සමාජ පරිවර්තනයට අවශ්‍ය වන යුක්තිය සඳහා වන අරගලයකි. එය වූ කලි හුදු දාර්ශනික අදහසකට වඩා එහාට ගිය “මානව අයිතිය” (human Right)කි. රොහාන්ට ස්ත්‍රීවාදය යනු හුදු දාර්ශනික අදහසක් පමණි. ඔහු ස්ත්‍රීවාදියෙකු වූයේ කතිකාව තුළ හා ලංකාවේ පිරිමි කිහිප දෙනෙකු තුළ පමණි. නමුත් රොහාන් ආශ්‍රය කළ ස්ත්‍රීන් සියලුම දෙනා රොහාන්ව දකින්නේ ස්ත්‍රී විරෝධියෙකු ලෙසය. එය ඔවුන්ගේ කතිකාව තුළත් භෞතිකවත් වෙනසක් නැත. එසේ නම්, ලංකාවේ කොළඹ ජීවත් වන පිරිමින් කිහිප දෙනෙකු රොහාන් පෙරේරාට ආදරය කිරීමත්, ඊට වැඩි බරකින් ඔහු ඇසුරු කළ ස්ත්‍රීන් ඔහුට වෛර කිරීමත් අප අප තේරුම් ගත යුත්තේ කොහොමද? කෙසේ වෙතත් රොහාන් ගැන හරියටම දැන ගැනීමට අවශ්‍ය නම් ඒ රොහාන් රාත්‍රියේ හමුවූ ස්ත්‍රීන්ගෙන් මිස දවල්ට හමු වූ පිරිමින්ගෙන් නොවන වග අවධාරණය කළ යුත්තකි. එය හරියටම කියන්නේ නම්, යතුර වැටුණේ කළුවර තැනක නම් ඒ යතුර වැටුණු කළුවර තැන එය සොයනවා විනා එළිය තිබෙන පහන් කණුවක් යට යතුර සෙවීමෙන් යතුර හමු නොවනවා වැනිය.
මිනිස් ක්‍රියාවන් පිළිබඳ වන විනිශ්චයේ අයිතිය ඇත්තේ ආගමට අනුව දෙවියන්ටය. රොහාන් ලඟින් ඇසුරු කළ මගේ මිත්‍රයන්ගේ අදහස වන්නේ රොහාන් විසින් එම විනිශ්චයේ අයිතිය දෙවියන්ගෙන් “ස්ත්‍රිය“ට මාරු කළ බවය. එහෙයින් රොහාන්ගේ මරණ මංචකයේදී රොහාන් ගැන කතා කළ යුතුව තිබුණේ වංගීස, භූපති හා කේ.කේ නමැති දෙවියන් වෙනුවට රොහාන් භෞතිකව ඇසුරු කළ ස්ත්‍රීන්ය. මේ පිරිමින්ට රොහාන් යනු, තමන්ට ‘උත්කර්ශයක් ලබා දෙන වස්තුව‘ ක් හැර අන් දෙයක් නොවේ. කොහොමටත්, සංවාද තලයේදී බොහෝ දෙනා ප්‍රගතිශීලීන් ලෙස හැසිරෙති. බුද්ධිමතුන් ලෙස හැසිරෙති. ආදරවන්තයින් ලෙස හැසිරෙති. ස්ත්‍රීවාදීන් ලෙස හැසිරෙති. එහෙත් ඒ අය සැබෑ ජීවිතයේදී ඊට සපුරාම වෙනස් විරුද්ධාභාෂයක් තුළ ජීවත්වෙති. මෙය වූ කලි, පවතින ම්ලේච්ඡ දෘෂ්ටිවාදයේම ආකාරයකි. එනම්, වර්තමාන ගෝලීය ධනවාදයට හොඳින්ම ගැලපෙන දෘෂ්ටිවාදී නිර්මිතයක් වන ස්ත්‍රීත්වයේම කිසියම් ආකාරයක එහිම විරුද්ධාභාෂික පුරුෂාර්ථ ගොඩනැගීමකි. මෙය තවත් විදියකට කිවහොත්, ලංකාවේ සංස්කෘතික විචාරයේම පවතින ඊනියා විෂ සහිත පුරුෂාධිපත්‍ය හෙජමොනියේම උගුලකි.
අප රොහාන් වටහා ගන්නා ආකාරයේම කිසියම් අන්ධභාවයක් පවති. රොහාන්ගේ ජීවිතය නමැති අයිස් බර්ගය යට සැඟවී තව බොහෝ දේ තිබිය හැකිය. රොහාන්ගේ “ආදරය” නමැති භාෂාව දෙස බැලිය යුත්තේ ඉතිහාසයේ ප්‍රිස්මයන් සහ පුද්ගල මානසික සහ ලිංගික අත්දැකීම් ඇති ස්ත්‍රීන් හරහා මිස ඔහු ජීවත්ව සිටියදී බැණවදිමින් සිට මැරණු පසු ඔහු ගැන ගුණ වයන කයිවාරුකාර (ජයරත්න මල් ශාලාවේදී එදා කළ අධි රංගනයට සර්පයාට ඔස්කාර් සම්මානයක් දිය යුතු අතර අනෙක් අය ගැන අනුකම්පා කරනවා හැර අන් දෙයක් නැත) පිරිමින්ගෙන් නොවේ.
යුරෝපීය පරිධියේ සිට එහි බුද්ධිමය කේන්ද්‍රයට සංක්‍රමණය වූ ජූලියා ක්‍රිස්ටෙවා (Julia Kristeva) ප්‍රංශ න්‍යායේ පරිවාරක ලෝකයට බෝම්බයක් මෙන් පුපුරා ගියාය. 1974 දී ඇගේ පළමු පොත, ‘කාව්‍ය භාෂාවේ විප්ලවය’ (“Revolution in Poetic Language”), මානව සන්නිවේදනය පිළිබඳ සම්පූර්ණයෙන්ම නව අවබෝධයක් ඉදිරිපත් කළාය. ඇය ඒ හරහා සියලු භාෂාවන්ට යටින් පවතින භාෂාමය නොවන රිද්මයානුකූල මානයක් අවධාරණය කරන්නීය. ක්‍රිස්ටෙවාගේ න්‍යාය භාවිතා කරමින්, දේශපාලනය සහ ආචාර ධර්ම පිළිබඳ ස්ත්‍රීවාදී නැවත සිතීම සඳහා නව රාමුවක් සකසා ගැනීමට හැකිවිය. මේ තුළ ක්‍රිස්ටෙවා, භාෂාව සහ සංස්කෘතිය වර්ධනය කිරීමේදී ස්ත්‍රී හා ස්ත්‍රීත්වයේ වැදගත් හා විප්ලවීය භූමිකාව ඉස්මතු කරන්නීය.
රොහාන් ගැන සංවාදයක් ඇති කිරීමට උත්සාහ කරන පිරිමින් කළ යුත්තේ, ඔහුගේ භෞතිකයට කිසිසේත් සම්බන්ධයක් නැති යටගිය සංකේතීය (symbolic) දේවල් ඉස්මතු කිරීම නමැති රොහාන් ඔළුවෙන් සිටුවනවා වෙනුවට ඔහු සැබෑ (Real) ලෙස ඇසුරු කළ ජෙනීලා සමග කතාකොට ඔහුව කකුල් දෙකෙන් සිටවීමයි. නොඑසේ නම් සිදුවන්නේ, රොහාන් පිළිබඳව, සංකේතය සහ සැබෑව (Symbolic and the Real) අතර විශාළ පරතරයක් නැවත වටයකින් තැනීමය. ඔහුගේ මරණයෙන් පසු දැන් සිදුවෙමින් තියෙන්නේ එයයි.