Leftwin Magazine Vol - 04

දාර්ශනිකත්වයේ බහුචිතවාදය

සංස්කරණය
සමන් පුෂ්ප කුමාර
රුවන් කුමාර
තිලක් කෝදාගොඩ
නිර්මාණ සංකලනය සහ අධීක්ෂණය
නදීෂ ගමආරච්චි
Left Win හතරවන කලාපයෙන් උත්සාහ ගන්නේ ජර්මානු විඥානවාදය, දේශපාලන ආර්ථික විද්‍යාව සහ මනෝවිශ්ලේෂණය එක් පද්ධතියක් තුළට ගැනීම ය. සමාජ ප්‍රශ්න සහ ප්‍රපංච තේරුම් ගැනීමට මේ ක්ෂේත්‍ර තුනෙහි අදාලත්වය මෙහිදී අපි හඳුනා ගන්නෙමු. මේ ක්ෂේත්‍ර තුන අපගේ චින්තනය තුළත්, අපගේ හැසිරීම තුළත් අප දැන හෝ නොදැන අන්තර්ගතව පවතින බව අපගේ පිළිගැනීම ය. ලංකාවේ සම්භාව්‍ය මාක්ස්වාදය ඔස්සේ සිතන අය මෙන්ම මාක්ස්වාදී පක්ෂයන්හි ක්‍රියාදරයෝ දේශපාලන ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් දැඩි විශ්වාසයක් පෙන්නුම් කරති. ඒ අය ලෝකය තේරුම් ගැනීමට දේශපාලන ආර්ථික විද්‍යාව පමණක් ප්‍රමාණවත් යැයි සිතති. එමෙන්ම කලාව, සාහිත්‍යය, ආගම, දේශපාලනය පමණක් නොව පුද්ගලයන්ගේ ආත්මීය මානසික ලෝකය පවා දේශපාලන ආර්ථික ප්‍රවර්ගයන් මගින් තේරුම්ගත හැකි යයි විශ්වාස කරති. මේ අය ජර්මානු විඥානවාදය සහ මනෝවිශ්ලේෂණය සම්බන්ධයෙන් දරන්නේ නිශේධනීය ආකල්පයකි. මේ ක්ෂේත්‍ර දෙක සම්බන්ධ කිරීමට උත්සහ ගත් ප්‍රවනතාවන් සම්බන්ධයෙන් ද ඔවුන් දරන්නේ විවේචනාත්මක ආකල්පයකි. කෙටියෙන්ම  කිවහොත්,ඒ සියල්ල ඉතාම සරළ ලෙස බැහැර කිරීමය. නමුත් ඔවුන් කතා කරන ක්ෂේත්‍රවල හෝ ඔවුන් වැඩ කරන ක්ෂේත්‍රවල හෝ ඔවුන්ගේ පවුල් තුළ දේශපාලන ආර්ථික විද්‍යාවෙන් තවදුරටත් තේරුම් ගත නොහැකි සංසිද්ධියක් හට ගත් විට මේ අය වික්ශිප්තභාවයට පත් වෙති.

ලංකාව තුළ මනෝවිශ්ලේෂණය යන ක්ෂේත්‍රය දේශපාලනයට ප්‍රවේශ වූයේ වඩාත් මෑත කාලයේ දී ය. මුලින්ම මනෝවිශ්ලේෂණය විශ්ව විද්‍යාල තුළ දර්ශන දෙපාර්තමේන්තුවල මාක්ස් සහ බුදුන් එකිනෙක සන්සන්දනය කිරීම, ෆ්‍රොයිඩ් සම්බන්ධයෙන් ලිපි ලිවීම, මනෝවිද්‍යා දෙපාර්තමේන්තු තුළ අනුභූතික මනෝවිද්‍යාවේ ම තවත් එක් කොටසක් ලෙස මනෝ විශ්ලේෂණයේ සමහර සංකල්ප හඳුන්වා දීම, මනෝ විශ්ලේෂණයේ සමහර සම්භාවය්‍ය කෘති සිංහල භාෂාවට පෙරළීම වැනි කටයුතුවලට සීමා විය. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාවේ සායනික භාවිතය තුළ මනෝ විශ්ලේෂණය භාවිතා වී නැත. මුල් වතාවට ශාස්ත්‍රීය භාවිතයෙන් පිටස්තරව මනෝවිශ්ලේෂණය සාකච්ඡාවට ලක් කළේ X කණ්ඩායමේ ව්‍යාපෘතිය තුළ ය. මනෝ විශ්ලේෂණයේ සමහර සංකල්ප හඳුන්වා දීම,මනෝවිශ්ලේෂණය තුළ හඳුනා ගන්නා මානසික රෝගී තත්ත්වයන් හඳුන්වා දීම, මනෝවිශ්ලේෂණයේ සංකල්ප පාවිච්චි කරමින් කලා, සංස්කෘතික සහ දේශපාලන විචාරයන් කිරීම,සිග්මන් ෆ්‍රොයිඩ්ට අමතරව ලැකාන්ගේ සංකල්ප හඳුන්වාදීම මෙහි විශේෂත්වයක් විය. කෙසේ නමුත් මෙහි පැති දෙකක් තිබිණි. එකක් වූයේ මනෝවිශ්ලේෂණයේ සංකල්ප පාවිච්චි කරමින් අනෙකුත් දැනුම් ක්ෂේත්‍රවල සිටි අයව නිහඬ කිරීම, තමන් අන් අයට වඩා දන්නවා යැයි පෙන්වීමට යාම,ඔවුන්ගේ නොදැනුවත්භාවය පෙන්වීම,තම විරුද්ධවාදීන් භිය කිරීම, ලැජ්ජා කිරීම සහ ඔවුන් මනෝවිශ්ලේෂණයෙන් ප්‍රතිකාර කළ යුතු රෝගී තත්ත්වයන්ගෙන් පසුවන බව පෙන්වා දීම ආදිය ය. මෙහි අනෙක් පැත්ත වූයේ මනෝවිශ්ලේෂණය සීමා විරහිතව සංවිධානයෙන් පිටත පුද්ගලයන්ට පමණක් නොව සංවිධානය ඇතුළේ ම පුද්ගලයන්ට එරෙහිව පාවිච්චි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සංවිධානය තුළ පිපිරීම් ඇතිවීම ය. සංවිධානය බිඳී යාමෙන් පසුව මනෝ විශ්ලේෂණය සංවිධානයේම විවිධ කොටස් තමන් සන්තකයට ගෙන කල්ලිවාදී ලෙස ක්‍රියාත්මක වීමේ ප්‍රවනතාවක් හට ගත්තේ ය. සමස්තයක් වශයෙන් මනෝවිශ්ලේෂණය ඉහළට එසවීමේ දී දේශපාලන ආර්ථික විද්‍යාව ආන්තික කරණයට ලක් විය. 

විඥානවාදය ලංකාවේ ජනප්‍රිය විෂයක් වී තිබුණේ නැත. මාක්ස්වාදීන් මේ ක්ෂේත්‍රයට අඩු තැනක් දුන්නේ මාක්ස් විසින් ජර්මානු විඥානවාදය සමතික්‍රමණය කර තිබූ නිසා ය. විඥානවාදය යන්න තුළ ම තිබුණේ නිශේධනීය අරුතකි. ශාස්ත්‍රීය ලෝකයේ දර්ශන දෙපාර්තමේන්තු තුළ කාන්ට් ගැන යම් තරමක සාකච්ඡාවක් තිබුණත් ෆිෂ්ට, ශෙලිං හෝ හෙගල් පිළිබඳව සැලකිය යුතු සාකච්ඡාවක් තිබුණේ නැත. හෙගල් දර්ශන ඉතිහාසයේ තවත් එක් සම්භාව්‍ය දාර්ශනිකයෙකු පමණක් විය. වර්තමාන ප්‍රශ්න තේරුම් ගැනීමට හෙගල් යල් පැනගිය දාර්ශනිකයෙකු විය. 

මේ තත්ත්වයන් තුළ ජර්මානු විඥානවාදය, මාක්ස්වාදය සහ මනෝවිශ්ලේෂණය එක් පද්ධතියක් තුළට ගැනීමට උත්සාහ දරා තිබෙන්නේ අපගේ චින්තන ලෝකයත්,අපගේ ආර්ථික ලෝකයත්, අපගේ අවිඥානික ලෝකයත් අතහැර ලෝකයත් අපත් තේරුම් ගැනීමට නොහැකි නිසා ය. මේ ක්ෂේත්‍ර තුන එකිනෙකට ඌනනය කළ නොහැකි නමුත් මේ ක්ෂේත්‍ර තුන අතර දැඩි සම්බන්ධතාවක්  ඇත. අප අවධාරණය කරන්නේ,ලෝකය  සමස්තයක් වශයෙන් තේරුම් ගැනීමට මේ ක්ෂේත්‍ර තුනේම සංකලනයක් අවශ්‍ය බවය. අප මේ ක්ෂේත්‍ර තුන එකට ගෙන එය ‘බොරෝමියානු ගැටය’ (borromean knot) ක එනම් මේ ක්ෂෙත්‍ර තුනම එකිනෙක වෙන් කළ නොහැකි ලෙස අන්තර් සම්බන්ධයක් පවතින ‘දාර්ශනික එකමුතුවක්‘ ලෙසය..

Left Win හතරවන කලාපයට සමන් පුෂ්පකුමාර විසින් ලියා තිබෙන ‘ජර්මානු විඥානවාදය, මාක්ස්වාදය සහ මනෝවිශ්ලේෂණය: දාර්ශනික එකමුතුවක් වෙනුවෙන්’ නම් ලිපියෙන් සාකච්ඡා කරන්නේ ජර්මානු විඥානවාදයේ ඉතිහාසය සංෂිප්තව මතු කරමින් සමපේක්ෂණ දර්ශනයක් ලෙස සමකාලීන ප්‍රශ්න තේරුම් ගැනීමට එහි තිබෙන පොහොසත් භාවය පෙන්නුම් කිරීම ය. එමෙන් ම හෙගල් තුළ සැඟවී තිබෙන දේශපාලන ආර්ථිකමය දැක්ම මතු කිරීමත්, මාක්ස්ගේ දේශපාලන ආර්ථිකය තුළ  තිබෙන හෙගලියානු සංකල්පයන් පෙන්වීමත්, හෙගල් තුළ දැකිය හැකි අවිඥානය පිළිබඳ කතිකාව මතු කිරීමත්, හෙගල් සහ ෆ්‍රොයිඩ් අතර ඇති සබඳතාව ගවේෂණය කිරීමත්, මාක්ස්වාදය සහ මනෝවිශ්ලේෂණය අතර සබඳතාව ගොඩනැගීමත්, දේශපාලන ආර්ථිකය සහ ලුබ්ධිමය ආර්ථිකය අතර ඇති සබඳතාව මතු කිරීමත් ධනේශ්වර යාන්ත්‍රණයේ ගාමකය වන අපිරිමිත කෑදරකම සාකච්ඡාවට ලක් කිරීමත් මෙම ලිපියේ අරමුණ වෙයි.

රුවන් කුමාර විසින් ලියා තිබෙන ‘මනෝවිශ්ලේෂණය ඇදගන්න කොක්කක්’ ලිපිය මගින් පෙන්වා දෙන්නේ මනෝවිශ්ලේෂණය X කණ්ඩායම හරහා විගඩමක් බවට පත්වූ නමුත් එම විෂයේ විප්ලවීය විභවයක් තිබෙන බව ය. මනෝවිශ්ලේෂණය පාර භෞතික විද්‍යාවක් බවත්,එය අනුභූතික විද්‍යාවන්ගෙන් වෙනස් බවත්,එමෙන්ම එය අනුභූතික විද්‍යාවන්ට ඌනනය කළ නොහැකි බවත් මෙහි දී පෙන්වා දෙයි. මනෝ විශ්ලේෂණ සංකල්ප වර්තමානයේ සෞන්දර්යය,දේශපාලනය හා සිනමාව වැනි ක්ෂේත්‍රවලට ඇතුල්වී තිබෙන බවත් මෙහි දී මතුකර පෙන්වයි. වර්තමානයේ සායනික මනෝ විද්‍යාව හා මනෝවිශ්ලේෂණය අතර ඇති නොඑකඟතාවන් මෙම ලිපියෙන් සලකුණු කරයි. මනෝවිශ්ලේෂණය වර්තමානයේ අතාර්කික විද්‍යාවක් ලෙසට හැඳින්වීමේ ප්‍රවණතාවක් මෙන්ම මාක්ස්වාදයත් ඒ ආකාරයෙන් ම අතාර්කික ක්ෂේත්‍රයක් ලෙසට වර්ග කිරීමේ පෙළඹුමක් ඇති බවත් මෙහිදී පෙන්වා දෙයි. දෘෂ්ටිවාදය හැදෑරීමේ දී මනෝවිශ්ලේෂණයේ ඇති වැදගත්කමත් ජාතිකවාදය අවබෝධ කරගැනීමේ දී එහි ඇති අදාලත්වය පෙන්වාදීමත් මෙම ලිපියේ සැලකිල්ලට ලක් කර ඇත. හෙගල්ගේ දර්ශනවාදය තුළ වර්ධනය කෙරුණු නිශේධනය පිළිබඳ සංකල්පය මාක්ස්වාදය තුළ මෙන්ම මනෝවිශ්ලේෂණය තුළ  යටින් ක්‍රියාත්මක වන ආකාරයත් මෙහි දී පෙන්වා දෙයි. මාක්ස්වාදය තමන්ට ඇති පරිපූර්ණ විද්‍යාවක් ලෙසට උඩඟු නොවී,මනෝවිශ්ලේෂණය වැනි ක්ෂේත්‍ර තමන්ගේ විෂයට අන්තර්ග්‍රහණය කර ගැනීමේ අවශ්‍යතාව රුවන් සිය ලිපියෙන් පෙන්වා දෙයි.

තිලක් කෝදාගොඩ ලියා තිබෙන ‘සෙරෙප්පුත් නැතුව ඇවිදින ආත්මය’ මාලක දේවප්‍රියගේ ප්‍රථම සිනමා නිර්මාණය වන “බහුචිතවාදියා” ජර්මානු විඥානවාදය, මාක්සියානු දේශපාලන ආර්ථික විද්‍යාව සහ ෆ්‍රොයිඩියානු-ලකානියානු මනෝවිශ්ලේෂණය හරහා කියවීමට ගන්නා උත්සාහයකි. ඔහු අප ඉහතින් සාකච්ඡා කළ ආකාරයට බොරෝමියානු ගැටයේ එක් ක්ෂේත්‍රයක් වන ‘මාක්ස්මය දේශපාලන ආර්ථිකය’ ගැන හා එහි ඇති සීමා ගැන මෙන්ම පවතින දේශපාලන ආර්ථික ගැටළු මගින් සංකීර්ණ කර ඇති මිනිස් ජීවිතවල ආත්මීය සාධක වන මිනිස් සම්බන්ධතා හා ආදරය ඇතුළත් මානසික ක්ෂෙත්‍රයේ  කඩා වැටීම සිනමා කෘතියක් ආශ්‍රයෙන් සාකච්ඡා කිරීමට උත්සාහ කරයි. ඔහු සමකාලීන  තරුණයන්ගේ ජීවිත, පවත්නා ආර්ථික ක්‍රමයේ ගාමකයන් මගින් නන්නත්තාර කර තිබෙන ආකාරයත් ඔවුන් ආත්මීය වශයෙන් විශාල කඩා හැලීමකට ලක්වී තිබෙන ආකාරයත් මෙම විචාරය මගින් පෙන්වා දෙයි. එහිදී මාලක, ධර්මසේන පතිරාජ වැනි යථාර්ථවාදී සිනමාකරුවෙකුගේ මාර්ගය ඔස්සේ යමින් සමාජ ප්‍රශ්න කතා කරන අතරම ඉන් ඔබ්බට යමින් තරුණයන්ගේ ජීවිතවල ආත්මීය පාර්ශ්වය ද හෙළි දරව් කිරීමට උත්සාහයක් ගෙන තිබෙන බව මෙහි දී පෙන්වා දෙයි. පතිරාජ, වසන්ත ඔබේසේකර, සත්‍යජිත් මායිටිපේ හා නවක සිනමා අධ්‍යක්ෂ ජගත් මනුවර්ණ ආදීන්ගේ සමාජ ප්‍රශ්න තිරයට ගෙන එමින් ඒවා දේශපාලනික ලෙස සාකච්ඡා කිරීමට පෙළඹෙන සිනමා ප්‍රවේශයත් එයට වෙනස්ව බිහි වූ අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර, සංජීව පුෂ්පකුමාර වැනි සමාජ ප්‍රශ්න වෙනුවට ආත්මීය ප්‍රශ්න තේමා කරගත් සිනමා ප්‍රවේශයත් යන ප්‍රවේශ දෙක තුළම මාලකගේ සිනමාව ස්ථානගත කර ගැනීමට කෝදාගොඩ මෙහිදී උත්සාහයක් දරා ඇත. ඔහු මතු කරන ආකාරයට න්‍යා‍ය සංවාද තලයෙන් ඉවතට ගෙන සමාජ භාවිතමය තලයකට ගෙන ඒම තමන්ගේ ආකල්පය බව පෙන්වා දෙයි. මේ ඔස්සේ යමින් මාක්ස්වාදී දේශපාලන ආර්ථික ප්‍රවර්ගයත්, ෆ්‍රොයිඩියානු ලැකානියානු මනෝ විශ්ලේෂණාත්මක ප්‍රවර්ගයත් සහ හෙගලියානු සමපේක්ෂණමය විඥානවාදී ප්‍රවර්ගයත් ආදී ප්‍රවර්ගයන් ඔස්සේ මාලකගේ “බහුචිතවාදියා” ට ප්‍රවේශ වෙයි.

ලිපිය බාගත කරගැනීම සඳහා

Leftwin Magazine Vol-04 සම්බන්ධිත ලිපි

  • Editor
  • Posted by Editor
August 3, 2024

සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තමාගේ මනෝ චිකිත්සා ක්‍රමය ගැන දේශන පැවැත්වීමට ඇමරිකාව බලා ගමන් කරද්දී තමන් මේ ඇමරිකාවට...

Read More
  • Editor
  • Posted by Editor
August 2, 2024

මාලකගේ "බහුචිතවාදියා" යනු, ‘අප දන්නා දේ, අප දන්නා ආකාරය සහ අපට දැනගත නොහැකි දේ පිළිබඳ වන...

Read More
  • Editor
  • Posted by Editor
August 1, 2024

Left Win හතරවන කලාපයෙන් උත්සාහ ගන්නේ ජර්මානු විඥානවාදය, දේශපාලන ආර්ථික විද්‍යාව සහ මනෝවිශ්ලේෂණය එක් පද්ධතියක් තුළට...

Read More

We use cookies to give you the best experience. Cookie Policy