ෂීක් හසීනාගේ වසර 15 ක මර්දනීය පාලනයට එරෙහිව රැකියා කෝටාවක් මුල් කර ගනිමින් ජුලි මාසයේ දී සරසවි සිසුන් ආරම්භ කළ උද්ඝෝෂණය ‘මහජන නැගිටීමක්‘ බවට පත් වී එරට මර්දනීය පාලිකා හසීනා බලයෙන් පමණක් නොව, රටින්ද පළවා හැරියාය. උද්ඝෝෂණවලින් 300 කට වැඩි තම සටන් සගයන් පිරිසක් ජීවිත දුන්හ. මිලියන 170 ක බංගලි ජනයා වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ මෙහෙයවීමේ වගකීම පහළොස් දෙනෙකුගෙන් සමන්විත උපදේශක කවුන්සිලය හෙවත් අන්තර්වාර ආණ්ඩුවක් වෙත පැවරුණේ ඉන් අනතුරුවය. ඕනෑම සටනක ජයග්‍රහණය තීන්දු වන්නේ එම සටනේ ප්‍රතිවාදියාගේ මර්දනයට එරෙහිව තම ජීවිත නොතකා සටන්වදින්නට තරම් නිර්භීත මිනිසුන් ඉදිරිපත්වීම නිසාය. බංග්ලාදේශයේ මහජන විරෝධී හසීනා ජුන්ටාව පළවා හරින්නට මැරෙන තුරු සටන් කරන්නට එරට ජනයා තීන්දු කළේය.
බංගලිදේශයේ ජන ඝාතක අගමැතිනි ෂීක් හසීනා ඉල්ලා අස්වී අසල්වැසි ඉන්දියාවට පලා ගියේ මාරාන්තික රාජ්‍ය විරෝධී පෙළපාලිවලින් පසු විරෝධතාකරුවන් ඇගේ නිල නිවසට කඩා වැදීමෙන් පසුවය.
විරෝධතාකරුවන් ඇගේ 15 වසරක බලයේ අවසානය සමරද්දී, ඩකාහි හසීනාගේ පියා, නිදහස් නායක යැයි කියන ‘ෂෙයික් මුජිබර් රහ්මාන්‘ ගේ ප්‍රතිමාවක් ටැංකි මතට නැග, පොරවකින් හිසට පහර දෙමින් විරෝධතාකරුවන් සමරද්දී වීදිවල ප්‍රීති ඝෝෂාකාරී දර්ශන පුපුරා ගියේය.
උද්ඝෝෂණ ආරම්භ වී පැය 24 ක් ඇතුළත හසීනාගේ මර්දනකාරී පොලිස් ජුන්ටාව එරට පක්ෂ කිහිපයක් තහනම් කරමින් එහි නායකත්වය අත් අඩංගුවට ගෙන එහි ශිෂ්‍ය අංශ සාමාජිකයින්ට වෙඩි තබා තුවක්කුවෙන් මෙල්ල කිරීමට උත්සාහ ගත්තේය. පාලක මර්දනයට හවුල් වූ එරට හමුදාව පසුව හමුදා ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් වූයේ අසල්වැසි පාකිස්තානයේ සුලභ ආදර්ශය ද ඇතිවය. නමුත්, මහජනයා දහස් ගණනින් උද්ඝෝෂණවලට එක්වීමත් සමග හමුදා පසුබැස්සාහ. හමුදා ප්‍රධානී ජෙනරාල් වකර් උස් සාමාන්, හසීනා ඉල්ලා අස් වූ බව තහවුරු කළ අතර හමුදාව අන්තර්වාර රජයක් පිහිටුවන බව ප්‍රකාශ කළේ ඉන් පසුවය. විරෝධතාකරුවන් වූ එරට තරුණ බංග්ලාදේශ ජාතිකයන් සහ සිසුන් අමතමින් ඔහු මෙසේ පැවසීම දක්වා විරෝධය දුරදිග ගියේය.
“ඔබේ ඉල්ලීම් කුමක් වුවත් අපි ඉටුකර ජාතියට සාමය නැවත ගෙන එන්නෙමු, කරුණාකර
අපට මේ සඳහා උදව් කරන්න, ප්‍රචණ්ඩත්වයෙන් ඈත් වන්න. හමුදාව කාටවත් වෙඩි
තියන්නේ නැහැ, පොලිසිය කාටවත් වෙඩි තියන්නේ නැහැ, මම නියෝග දීලා තියෙනවා,”
යනුවෙන් ඔහුට පැවසීමට සිදුවිය. නොබල් සාම ත්‍යාගලාභී ආචාර්ය මහමුද් යූනුස් අන්තර්වාර පාලනයේ නායකත්වයට තෝරා තෝරාගත් අතර, අලුතින් පිහිටුවන ලද අන්තර්වාර පාලනයට මන්ත්‍රීවරුන් 17 දෙනෙකු ඇතුළත් කර ඇත. උද්ඝෝෂණයට නායකත්වය දුන් එරට ශිෂ්‍ය ව්‍යාපාරයේ ප්‍රධානීන් දෙදෙනෙක් වන නහිඩ් ඉස්ලාම් හා අසිෆ් මුවහ්මද්, හිටපු නීතිපතිවරුන් දෙදෙනෙක්, තානාපතිවරුන් දෙදෙනෙක්, බංග්ලාදේශ මහ බැංකුවේ හිටපු අධිපතිවරයෙකු, අරගලයට සහය දැක්වූ විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු, හිටපු විදේශ අමාත්‍යංශ ලේකම්වරයෙකු හා හිටපු මැතිවරණ කොමසාරිස්වරයෙකු ඇතුළු කණ්ඩායමක් ඇතුළත් වෙති. මෙමඅන්තර්වාරනායකත්වයට
පත්කර ගත් ශිෂ්‍ය නායකයින් දෙදෙනාම උද්ඝෝෂණ අතර කාලයේදී පැරා මිලිටරි කල්ලි දෙකක පැහැර ගැනීමට ලක්ව හසීනා පොලිස් ජුන්ටාවේ වද බන්ධනයන්ට ලක්ව සිහිසුන් කර මහමග දමා ගොස් සිටියදී සොයා ගත්තවුන්ය.
පසුගිය කාලයේ හසීනාගේ පාලනයේ පුරාජේරුව දෝරෙ ගලා ගියේය. බංග්ලාදේශය දකුණු ආසියාතික කලාපයේ සීඝ්‍ර සංවර්ධනයක් අත්පත් කරගනිමින් සිටින බවත්, එහි ආර්ථික වර්ධන වේගය 8% ක් දක්වා ගෙන ඒමට හසීනාගේ පාලනය සමත්වූ බවත්, එරට මහබැංකු වාර්තාගෙන එමින් බොහෝ දෙනා පැවසූයේ හරියටම මෙරට හොරු රැළක ආධාරයෙන් බලයට ආ රනිල් සන්සන්දනය කරමින්ය. දැන් සියල්ල හෙළිදරව් වෙමින් තිබේ. එරට හසීනා පාලනය ජනයාගේ සිවිල් අයිතියට අත දමමින් බරපතළ ආකාරයේ මර්දනකාරී පොලිස් පාලනයක් ගෙන ගියාය. එරට කෙරී ඇති සංවර්ධනයේ හා එරට ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ මහජනයා වෙත ගලා ආවේ නැත. එරට මහජනයා තුළ පාලකයින් වෙත කැකෑරෙමින් තිබූ වෛරයට ශිෂ්‍ය උද්ඝෝෂණය තෝතැන්නක් විය. මහජනයා රැස් කකා මහ පාරවල් වෙත ඇදී ආහ. අතුරු සිදුරු නැතිව එකතු වූ මහජනයා අවට පොලීසිවලට පැන හසීනාවාදී පොලිස් වදකයන් පන්නා පොලීසිද අත්පත් කර ගත්හ. මේ අතර ලංකාවේ ඥාණසාර පන්නයේ ජාතිවාදී හා ආගම්වාදී උන්මත්තකයෝ එරට මුස්ලිම් හා ස්ලාම් නොවන දෙමළ හා හින්දූන් ඇතුළු එරට අවම ජනගහනයක් සහිත ජනයා වෙසෙන නගර 20 කට වැඩි ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ජාතිවාදී හා ආගම්වාදී ගිණි දැල් අවිලූහ.
එසේ අවුලුවාලන ජාතිවාදී හා ආගම්වාදී ගිණි දැල් නිවීම නව අන්තර්වාර පාලනයේ පළමු කටයුත්ත බවට පත්කර ගැනීමට ඔවුන් සාමූහික තීන්දුවකට පැමිණ ඇත.
අවසන් වශයෙන් සඳහන් කළයුතු වන්නේ, 2022 දී තාර්කික අවසානයකට ගෙන ඒමට නොහැකි වූ අප රටේ සිදු කෙරුණු මහජන නැගිටීමෙන් නියම පාඩම් ඉගෙන ගෙන එහි තිබූ අසාර්ථකකම් ගැන වැටහීමක් ඇතිව කළ එවැනිම වූවත් ඉන් අඩියක් එහාට ගෙන යාමට බංගලි ජනයා සමත් වී ඇති බවයි. එසේම මහජනයා දේශපාලන කුණු කූඩයට විසිකර සිටි රනිල් වැනි විගඩමකට කුමන්ත්‍රණකාරී ලෙස උද්ඝෝෂණය අස්සේ බලය ගන්නට අපේ රටේ මෙන් ඉඩ හැර බලාසිටින්නට තරම් එරට මහජනයා මෙන්ම එරට ශිෂ්‍යයා දිහීන නොවූ බවය.