Leftwin Magazine Vol - 04

මනෝවිශ්ලේෂණය
ඇදගන්න කොක්කක්

෴ රුවන් කුමාර

සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තමාගේ මනෝ චිකිත්සා ක්‍රමය ගැන දේශන පැවැත්වීමට ඇමරිකාව බලා ගමන් කරද්දී තමන් මේ ඇමරිකාවට රැගෙන යන්නේ ” වසංගතයක් ” බව පැවසුවේ යැයි සඳහන් වේ. ඒ තමාගේ සොයාගැනීමේ ඇති දෙපැත්ත කැපෙන සුළු ස්වරූපයේ තරම ඒ වන විටත් වටහාගෙන සිටි නිසා විය හැක. විසුළු සහගත ලෙස ඇමරිකාවට නොව ශත වර්ෂයකට පමණ පසු ශ්‍රී ලංකාවට නම් ෆ්‍රොයිඩ් ගේ මනෝවිශ්ලේෂණය තරමක වසංගතයක් බවට පත් විය. ඒ X කණ්ඩායම විසින් අවිධිමත් ලෙස හඳුන්වා දී භාවිතා කිරීම නිසා මනෝවිශ්ලේෂණය එකිනෙකාගේ කලිසම් ගැලවීමේ විද්‍යාවක් බවට පත්වීමෙනි. ෆ්‍රොයිඩ්ගේ සුප්‍රසිද්ධ කවිච්චිය නොමැතිව වුවද ” අන්න උගේ අවිඥඥානය “යැයි කියන මට්ටමට මනෝවිශ්ලේෂණය විගඩමක් බවට පත්විය. ඒ නිසාම සමාජ විවේචක උපකරණයක මට්ටමේ සිට වඳුරන් අත දැලිපිහියක් මට්ටමට එය පත්විය. X කණ්ඩායමේ  භාවිතයේ තිබූ ජුගුප්සාජනක ආකර්ෂණය නිසාම එකා දෙන්නා එකතුවී තවත් එවැනි කුඩා කල්ලි කණ්ඩායම් ගණනාවක් මෙම ඊනියා මනෝවිශ්ලේෂණය අවශෝෂණය කරගත්හ. ඒ නිසාම 90 දශකයේ අග භාගයේ සිට මේ දක්වාම මෙම කල්ලි කණ්ඩායම්වල එක කර්තව්‍යයක් වන්නේ ග්‍රාම්‍ය මනෝවිශ්ලේෂනාත්මක කලිසම් ගැලවීමේ දේශපාලනය’ක නිරතවීමයි.

අනෙක් අතට සමසමාජ දේශපාලනයෙන් හඳුන්වාදුන් මාක්ස්වාදී සම්ප්‍රදායද එක් එක් යුගවලදී නැගීම් බැසීම් හරහා පරිවර්තනය වී වම දකුණ හඳුනාගැනීමට නොහැකි විපරීත ස්වරූපයක් කරා ගමන් කර ඇත. මුල් යුගයේ මැතිවරණ හරහා බලය ලබාගැනීමට කළ උත්සාහයන් ව්‍යවර්ථ වීම නිසා පැරණි වම මැද මාවතේ ජාතිකවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංධාන තුල දියවී විනාශ වී ගිය අතර නාගරික ගරිල්ලා සටන්වලින් බලය ලබාගැනීමට උත්සාහ කළ ජනතා විමුක්ති පෙරමුණ පසුව මැතිවරණ දේශපාලනයට පැමිණ ඇත. සමහර විටෙක වසර 75 කට පසුව ප්‍රධාන ධනපති පක්ෂ දෙකේ ග්‍රහණයෙන් දේශපාලන බලය ගිලිහී යාමට ඉතාම ඉඩ ඇති මොහොතක අප සිටිනවා විය හැක. නමුත් ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ පරිණාමය වී ඇති ආකාරය බැලීමේදී තව දුරටත් වාමාංශික යන පර්යාය ඒ වෙනුවෙන් යෙදීමට හැකිද යන්න ප්‍රශ්නකාරී වේ.

මනෝවිශ්ලේෂණය විගඩමක් වීමත් මාක්ස්වාදය අතාර්කික මලකුණක් වීමත් කෙතරම් අවාසනාවන්ත සහ විනාශකාරී සිදුවීමක්ද යන්න තේරුම් කරවන්නේ දේශපාලන පිටියේ දිදුලන තරුවල දියාරු දේශපාලනය විසිනි. රට බංකොලොත් කර තිබියදීත් මනුෂ්‍ය සමාජය අවමානුෂික කර තිබියදීත් එයට විරුද්ධව රැඩිකල් විප්ලවවාදී විකල්පයක් ගොඩනගා ගැනීමට නොහැකි වීමත් ඒ වෙනුවට පවතින අසාර්ථක සමාජ ක්‍රමයම වඩා හොඳින් කළ හැකියයි පවසන කණ්ඩායම් වලංගු විකල්ප ලෙස පෙනී යාමත් මේ කඩා වැටීමේ ප්‍රතිඵල වෙයි.

බොහෝ දෙනා විශ්වාස කරන ආකාරයට ධනවාදය පැමිණ ඇත්තේ අවසාන සමාජ ආර්ථික ක්‍රමය ලෙසය. මෙයින් පසු වෙනත් විප්ලවීය හැරවුමක් නැත. ඒ නිසා කළ හැකිව ඇත්තේ ධනවාදය සුසර කිරීමක් හරහා වැඩි දෙනෙකුට යහපත් ජිවිතයක් ලබා දීම පමණි. සමාජ සහ ආර්ථික අසමානතාවය,සුරාකෑම,ස්වභාවික සම්පත් සහ ජාන මංකොල්ලය මෙම ක්‍රමය තුලම පවතින ලක්ෂණ වන බැවින් ඒවා සහමුලින්ම අවලංගු කළ නොහැක. ණය,පාරිභෝගික භාණ්ඩ බවට පත්වන මූලික අයිතිවාසිකම්,වෙළඳපොළට ගැලපෙන ලෙස වෙනස් කෙරෙන සංස්කෘතිය ධනවාදය තුල ජීවත් වන කෙනෙකු විසින් ඉවසා දරාගත යුතු අනිවාර්ය සාධක වේ.

මෙම ජනප්‍රිය තර්කයට එරෙහිව යමින් තවදුරටත් පවතින සමාජ ආර්ථික ක්‍රමය විප්ලවීය වෙනසකට පදනම වීමට මාක්ස්වාදයට හැකිවන්නේ නම් ඒ තනිව සටන් කිරීමෙන් නොව තමන්ට දිනාගත නොහැකි පෙරමුණුවල සටන් කිරීමට සහාය වීම සඳහා වෙනත් දර්ශනවාදයන්ට සහ විද්‍යාවන්ට ඉඩදීමෙන් පමණක් බව තර්ක කිරීම මේ ලිපියේ ප්‍රධාන අරමුණ වේ.

මාක්ස්වාදයේ ප්‍රමුඛ නායකයින් දෙදෙනා වන මාක්ස් සහ එංගල්ස් ඔවුන්ගේ න්‍යායික පැහැදිලි කිරීම්වලින් පවසන්නේ මනුෂ්‍ය ඉතිහාසය පන්ති සටන්වල ඉතිහාසයක් බවයි. එනම් මේ දක්වා පැවති සියලුම සමාජ ක්‍රමවල වරප්‍රසාදලත්තෙක් සහ වරප්‍රසාද අහිමි කළ පීඩිතයෙක් හමුවන බවයි. ඒ ඒ සමාජ ආර්ථික ක්‍රමයේ අභ්‍යන්තර පැල්ම / පීඩිතයා සහ පීඩකයා යන බෙදීම විසින් ඇතිකරන තෙරපුම, අසහනය මගින් පවතින තත්ත්වය පෙරලා නව සමාජ ආර්ථික සැකැස්මක් කරා ගමන් කිරීම සිදුවන බව මාක්ස් විශ්වාස කළේය. වහල් යුගයේ වහලා සහ වහල් හිමියාත් වැඩවසම් යුගයේ ප්‍රවේණි දාසයා සහ ඉඩම් හිමියාත් ධනේශ්වර යුගයේ නිර්ධනයා සහ ධනපතියාත් ඒ ඒ ක්‍රමවල අභ්‍යන්තර පැල්ම නියෝජනය කළහ. ඉතිහාසයේ සිදුවූ අයුරින්ම ධනේශ්වර යුගයේදීත් මෙම පරිවර්තනය අනිවාර්යෙන් සිදුවන බව මාක්ස් ප්‍රකාශ කළේය. වර්තමානයේ පශ්චාත් මාක්ස්වාදී ගුරුකුලය කරන්නා සේම ඉතිහාසය පුරාවට විවිධ ගුරුකුලවල විවේචනයට ලක්වීමට හේතුවක් වූ එක් කාරණයක් වූයේ මාක්ස්වාදයේ මෙම ” නියතිවාදී ” අනාගත විවරණයයි. එමෙන්ම මාක්ස්ගේ විග්‍රහ කිරීම්වලට අනුව ධනේශ්වර ක්‍රමය පෙරලා දමා බලය අත්පත් කරගන්නා නිර්ධන පන්තිය සමාජය කොමියුනිස්ට් ක්‍රමයක් දක්වා රැගෙන යන අතර එය මානව ශිෂ්ටාචාරයේ ඉහලම අවධිය වීමට නියමිතය. මාක්ස්ගේ පැහැදිලි කිරීම් අනුව සමාජවාදී විප්ලවය මුලින්ම සිදුවන්නේ ධනේශ්වර ක්‍රමය වඩාත්ම දියුණු රටේදීය. පසුව එය වෙනත් රටවල් කරා පැතිර යනු ඇත.

නමුත් මාක්ස් කිසිදිනෙක දැන නොගත් සිදුවීම් ගණනාවක් සමග මෙම පුරෝකථනයන් නිවැරදි නොවන බව ඔප්පු විය. පළවන ලෝක යුද්ධයේදී ධනේශ්වර ආණ්ඩුවලට යුද්ධය සඳහා ආධාර නොකිරීමට සමාජවාදීන් තීරණය කර තිබුනත් යුරෝපයේ සියළුම රටවල පාහේ සමාජවාදීන් ඒ ඒ රටවල යුධ අය වැයට පක්ෂව පාර්ලිමේන්තු තුලදී ඡන්දය ප්‍රකාශ කළේය. මෙය ලෙනින් වැනි නායකයින් විමතියට පත්කරන සිදුවීමක් විය.

මාක්ස් පුරෝකථනය කළ ආකාරයට සපුරා වෙනස්ව ලෝකයේ සමාජවාදී විප්ලවයකින් මුලින්ම බලය ලබාගත්තේ ධනේශ්වර රටවල් අතරින් අඩුවෙන්ම ධනවාදී වර්ධනයක් ලබා සිටි රුසියාවේය. රුසියානු විප්ලවයෙන් පසු නැගෙනහිර යුරෝපයේ රටවල් තුල මේ සමාජවාදී පරිවර්තනය යම් පමණකට පැතිර ගිය නමුත් වඩා දියුණු ධනේශ්වර රටවල් කිසිවක් මෙම ප්‍රවාහයට එකතු නොවිණි. ඒ නිසාම සමූහාණ්ඩු ලෙස සංවිධානය වූ සෝවියට් සංගමය, යුගෝස්ලෝවියාව, චෙකෝසලොවේකියාව සහ පසු කාලීනව සමාජවාදී වූ චීනය,කියුබාව, වියට්නාමය, නැගෙනහිර ජර්මනිය තුල පමණක් ධනේශ්වර නිෂ්පාදන ක්‍රමයට වෙනස්ව සමාජවාදී ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක විය. 

මාක්ස් පුරෝකථනය කළ ආකාරයට සමාජවාදී විප්ලවය ලොව පුරා පැතිර නොගිය අතර සමාජවාදී රටවල් සහ ධනේශ්වර රටවල් අතර දැඩි ආතතිගත ස්වරූපයක් සහ සතුරු ආකල්පයක් වර්ධනය විය. ඒ නිසා මාක්ස් බලාපොරොත්තු වූ ආකාරයට විද්‍යාත්මක කොමියුනිස්ට් සමාජයක් ලොව පුරා වර්ධනය වනවා වෙනුවට එක් එක් රට තුල ආර්ථිකය සංවෘත කරගෙන ආරක්ෂා වීමේ ප්‍රවනතාවයක් ඇතිවිය. ඒ සමගම වඩා දියුණු මානව සමාජයක් වර්ධනය වනවා වෙනුවට නිෂ්පාදනය අතින් තාක්ෂණය අතින් ඉදිරියට යන අතර සමාජවාදය ආරක්ෂා කරගැනීම උදෙසා වඩ වඩා මර්ධනීය සහ ඒකාධිපති ස්වරූපයේ පාලන තන්ත්‍ර බිහි විය. සමාජවාදී ක්‍රමයක් යටතේ මනුෂ්‍යයා මානසික සහ සංස්කෘතික ඉහළ අවධියක් කරා ගමන් කරනු ඇතැයි මාක්ස් කළ විග්‍රහය යථාර්තයක් නොවුණි. 

සෝවියට් සංගමය ඇතුළු නැගෙනහිර යුරෝපයේ සමාජවාදී කඳවුර 1989 වෙද්දී බිඳ වැටුණු අතර ඉන් පසු ඒ සමුහාණ්ඩු එක් එක් රටවල් ලෙස බෙදී ගියේය. ඒ රටවල පසු කාලීනව ජාතිකවාදී කොටස් බලය ලබාගත් අතර වාර්ගික අර්බුද සහ ආගමික මූලධර්මවාදයන් විසින් සමාජයන් බෙදා වෙන් කෙරුණි.ඉතිරි වාමාංශික කඳවුරේ රටවල් අතරින් චීනය තම ගමන් මග සැලකිය යුතු ලෙස වෙනස් කරගෙන ඇති අතර ඔවුන් කොමියුනිස්ට් පක්ෂයේ තනි පාලනය යටතේ ආර්ථිකය ලෝකයට විවෘත කර ලෝකයේ ඉතාම ප්‍රබල රටක් බවට පත්වී ඇත. කියුබාවද කොමියුනිස්ට් පක්ෂයේ පාලනය යටතේ සමාජවාදී ක්‍රමය අනුගමනය කරන නමුත් ඇමරිකාව විසින් පනවා ඇති සම්බාධක නිසා ඔවුන් ආර්ථික වශයෙන් බලවත් රටක් වී නොමැත.

 ඒ අර්ථයෙන් ගත් කල සමාජවාදී කඳවුරේ අර්බුදය ඉතා පැහැදිලි කාරණයකි. සමාජවාදී කඳවුරේ අර්බුදයත් සමග මාක්ස්වාදයේ අසාර්ථකත්වය පිළිබඳව වූ නව සාකච්ඡාවන් ගණනාවක් ආරම්භ විය. එමෙන්ම වෙනත් දර්ශනවාදයන්ගේ සහ මතවාදයන්ගේ බලපෑම ද මාක්ස්වාදී කඳවුරට ලැබෙන්නට විය. ෆ්‍රෑන්ක්ෆර්ට් ගුරුකුලය, ව්‍යුහවාදී සහ පශ්චාත් ව්‍යුහවාදී මතවාදයන් ස්ත්‍රී වාදය පශ්චාත් නූතනවාදී මතවාදයන් සහ පශ්චාත් මාක්ස්වාදී අදහස් මේ අතර සැලකිය යුතුයි. මෙම පසුව සඳහන් කළ මතවාදයන් සියල්ලටම පාහේ යම් තරමකට හෝ මනෝ විශ්ලේෂණයේ බලපෑම තිබුණු බව පැහැදිලිව දැකිය හැක. ෆ්‍රෑන්ක්ෆර්ට් ගුරුකුලයට ෆ්‍රොයිඩියානු මනෝ විශ්ලේෂණයේ බලපෑමත් පසුකාලීන මතවාදයන්ට ලැකානියානු මනෝ  විශ්ලේෂණයේ බලපෑමත් ලැබී ඇත.

ඒ නිසා විසි එක්වන සියවසේ මාක්ස්වාදයේ යළි නැගී සිටීමක් සාකච්ඡා කරන විටක ඒ සඳහා මනෝ විශ්ලේෂණයට කෙතරම් උපකාරයක් සහයක් ලබා දිය හැකිද යන්න විධිමත්ව සාකච්ඡා කළ යුතුව ඇත.

මනෝ විශ්ලේෂණයේ නිර්මාතෘ වන්නේ සිග්මන් ෆ්‍රොයිඩ්ය. ෆ්‍රොයිඩ්ට පෙරත් මනෝ වෛද්‍ය විද්‍යාවක් පැවතිණ . නමුත් ඒ මනෝ වෛද්‍ය විද්‍යාව අනුභූතික විද්‍යාවක් වේ . එය මොලයේ ව්‍යුහය මත හෝ  රෝගියාගේ චර්යාව මත හෝ පදනම් වෙමින් මානසික රෝග හඳුනා ගැනීමට ගත් උත්සාහයකි. ෆ්‍රොයිඩ් ගේ මනෝ විශ්ලේෂණය පාර භෞතික විද්‍යාවකි එහි සංකල්ප අනුභූතික පරීක්ෂණ මගින් පැහැදිලි කළ නොහැකිය. ස්නායු වෛද්‍යවරයෙක් වන  සිග්මන් ෆ්‍රොයිඩ් ස්නායු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යාමේදී ඔහු ලබන අත්දැකීම් සහ නිරීක්ෂණ මත පදනම් වෙමින් මනෝ විශ්ලේෂණය බිහිවිය .

ෆ්‍රොයිඩියානු  මනෝ විශ්ලේෂණය යම්තාක් දුරකට සරලව සලකා බලන්නේ  නම් මිනිස් මනස සවිඥානය සහ අවිඥානය ලෙස දෙකට බෙදී පවතී. ළදරුවකු ඉපදීමෙන් පසු ඔහු සතුව පවතින සහජාසයන් සියල්ලම ඔහු වැඩීමේදී ශිෂ්ඨ සමාජය කරා රැගෙන ඒමට නොහැකි යි. එම සහජාශයන්ගෙන් කොටසක් යම් සීමා කිරීමකට ලක්විය යුතුයි. ෆ්‍රොයිඩ් මෙය හඳුන්වන්නේ අවරෝධනය ලෙසයි. ෆ්‍රොයිඩ් පැහැදිලි කරන්නේ මෙම අවරෝධනයට ලක්වන සහජාශයන් ලිංගිකමය සහජාශයන් බවයි. මෙම අවරෝධන ක්‍රියාවලිය අත්‍යවශ්‍ය කාරණයකි. සහජාශයන් අවරෝධනයට ලක් නොවී මනසක් නිර්මාණය විය නොහැක. අවරෝධනයට ලක් වූ පමණින් සහජාශයන් මිය යන්නේ නැත . ඒවා අවිඥානික ආශාවන් ලෙස අවිඥානය තුළ පවතී.  මෙම අවිඥානික ආශාවන් හැකි සෑම අවස්ථාවකදීම සවිඥානය තුළට කඩා පැනීමට උත්සාහ කරති.  සිහින හරහා, කට වැරදීම් තුළ,අමතක වීම් තුළ එකවරම හඳුනාගත නොහැකි ආකාරවලට අවිඥානික ආශාවන් සවිඥානය තුළට කඩා පනිනු ලබයි . ෆ්‍රොයිඩ් රෝග ලක්ෂණ නැත්නම් simptom ලෙස හඳුන්වන්නේ මෙම කඩාපැනීම්ය . 

අවරෝධන ක්‍රියාවලිය සිදුවන්නේ නීතියේ හා සංස්කෘතියේ සීමාවන්වලට අනුකූලවයි. අවරෝධන ක්‍රියාවලිය සමඟම මෙම අවරෝධනයට ලක්වන සහජාශයන්ට ආදේශන ලෙස ක්‍රීඩාව,කලාව හා සෞන්දර්ය ආදී වශයෙන් තෝරා ගැනීම් කරති. මෙම ක්‍රියාවලිය පවතින සංස්කෘතික සීමාවන්වලට යටත්ව සතුටින් ජීවත් වීමට කෙනෙකුට අතිශයින් වැදගත්ය. මේ ආකාරයට අවරෝධනයට ලක්වන සහජාසයන් වෙනුවට ආදේශන ලෙස සංස්කෘතික සීමාවන් තුළට අයත් දෙයක් තෝරා ගැනීම ෆ්‍රොයිඩ් sublimation නැතහොත් උත්කර්ෂය ලෙස හඳුන්වයි. සංස්කෘතික සීමාවන්වලට යටත්ව හැමවිටම සතුටින් සිටීමට ඇති මේ උත්සාහය ෆ්‍රොයිඩ් හඳුන්වන්නේ pleasure principle ලෙසයි .

නමුත් මේ සංස්කෘතික සීමාවන් තුළ සිටිමින් සතුටින් ජීවත්වීම  හැමවිටම කඩා බිඳ දමමින් සියල්ල අවුල් කරමින් ඊට යටින් ක්‍රියාත්මක වන යම් තෙරපුමක් ෆ්‍රොයිඩ් හඳුනා ගනියි . ඔහු මෙය දකින්නේ ස්වයං විනාශකාරී ප්‍රවාහයක් ලෙසයි. ඔහු එය  death drive ලෙස හඳුන්වයි.

ෆ්‍රොයිඩ්ගෙන් පසු මනෝ විශ්ලේෂණයේ සාකච්ඡා කළ යුතු වැදගත් වර්ධනයක් ජාක් ලැකාන් ගේ මැදිහත් වීමෙන් ඇති කරයි. මනෝ විශ්ලේෂණයේ විවිධ ප්‍රවණතා අතරින් ෆ්‍රොයිඩ් ගේ මුල් අදහස්වලට අදාල නව වර්ධනයක් ලබා ගැනීම ලැකාන්ගේ අභිප්‍රාය විය. නමුත් ලැකාන්ගේ මනෝ විශ්ලේෂණ අදහස්වලට හෙගලියානු දර්ශනවාදී බලපෑම ව්‍යුහවාදයේ බලපෑම සහ පශ්චාත් ව්‍යුහවාදී බලපෑම ඉතා පැහැදිලිව දැකගැනීමට හැකිය. ෆ්‍රොයිඩ් ගෙන් පසු ඇති වූ සමහර ප්‍රවණතාවයන් ෆ්‍රොයිඩ්ගේ පාර භෞතික මනෝ වෛද්‍ය විද්‍යාව වඩ වඩා අනුභූතික විද්‍යාවක් බවට පත්කිරීමට ඇතිවූ නැඹුරුව ලැකාන්ගේ පැහැදිලි කිරීම්වල අඩංගු නොවුණි. ඒ වෙනුවට ඔහු වඩ වඩා කථනය හෙවත් භාෂාව මත පදනම් වීම දක්නට හැකිය. එමෙන්ම ඔහුගේ න්‍යායික පැහැදිලි කිරීම්වල ගණිතමය සූත්‍ර භාවිතා කිරීම ද විශේෂ ලක්ෂණයකි. ඔහුගේ පැහැදිලි කිරීම් වඩ වඩා පාර භෞතික සංකල්ප මත පදනම් වීම සිදුවේ. උදාහරණයක් ලෙස ෆ්‍රොයිඩියානු  මනෝ විශ්ලේෂණයේ ඊඩිපස් අවධිය පසු කිරීම සඳහා ළදරුවෙකුට තමාගේ භෞතික පියාගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය වේ. නමුත් ලැකානියානු මනෝ විශ්ලේෂණය අනුව මෙම අවධිය පසු කිරීම සඳහා පියාගේ භෞතික ශරීරය මැදිහත්වීමක් අවශ්‍ය නොවේ. ඒ වෙනුවට පියාගේ නාමකරණය,සම්පූර්ණයෙන්ම සංකේතීය ක්‍රියාවලියක් ප්‍රමාණවත් වෙයි. එමෙන්ම ලැකාන්ගේ මනෝ විශ්ලේෂණය ඉතා වැදගත් කොටසක් හැඟවුම්කාරකයේ( signifier ) ක්‍රියාකාරීත්වය මත පදනම් වේ. හැඟවුම්කාරකය යනු හුදු ශබ්දයක් නොව භෞතික දෙයක් නියෝජනය කිරීම සඳහා එම භෞතික දෙයින් සම්පූර්ණයෙන්ම වියුක්ත වූ සංකේතයකි. ලැකාන් හඳුන්වන ලෙස හැඟවුම්කාරකයක් යනු තවත් හැඟවුම්කාරකයක් ඉදිරියේදී ආත්මය නියෝජනය කරන දෙයයි. මෙම අර්ථ ගැන්වීමෙහි ඇති වැදගත්කම වන්නේ මෙම හැඟවුම්කාරක දෙකම භෞතික දේවල්වලින් සම්පූර්ණයෙන්ම වියුක්තව සංකේතීය පිළිවෙල තුළ ක්‍රියාත්මක වීමයි.

ෆ්‍රොයිඩ් මනසේ මතුපිට සමාදානයට යටින් දිවෙන මරණ ආශය  නැතහොත් ඩෙත් ඩ්‍රයිව් death drive හඳුනා ගත්තා සේම ලැකාන්ද මනසේ වේදනාත්මක විඳවීමක් හඳුනාගනියි. ඔහු එය ප්‍රමෝදය jouisance ලෙස නම් කරයි. ප්‍රමෝදය ලැකාන් දකින්නේ සංකේතීය සතුටක් ලෙස නොව වේදනාත්මක විඳවීමක් ලෙසයි. ෆ්‍රොයිඩියානු මරණ ආශය පවතින සියලු ගොඩනැංවීම් කඩා බිඳ දමා පැවති ඓන්ද්‍රිය සමස්තයක් කරා යාමට උත්සාහ කරන්නා සේම ප්‍රමෝදයද සම්බන්ධ වී පවතින්නේ මිනිස් ආත්මයේ පැවතියා යැයි පරිකල්පනය කරන සමස්තයක් සමගය. පවතින සමාජ ක්‍රමයට මිනිස් ආත්මය ඇද බැඳ තබාගන්නේ එම ක්‍රමය තුළින් මිනිස් ආත්මය ලබන්නා වූ යම් ප්‍රමෝදයක් සමඟය. ඒ නිසා යම් සමාජ ක්‍රමයක් වෙනස් කරන්නට යාමේදී එයට වැඩිපුරම බාධා කරන්නේ මිනිස් ආත්මය එම ක්‍රමයට ඇද බැඳ තබා ගන්නා වූ ප්‍රමෝදය විසිනි.

මනෝ විශ්ලේෂණය වර්තමානයේ දී සායනික ක්‍රියාකාරීත්වයකට සෞන්දර්ය දේශපාලනය සිනමාව වැනි වෙනත් විෂයන් ගණනාවක් කරාද තමන්ගේ බලපෑම යොමුකොට ඇත. ඕනෑම සමාජ ක්‍රියාකාරීත්වයක් සමග සම්බන්ධ වන මනුෂ්‍ය ආත්මයක් එම සමාජ ක්‍රියාකාරීත්වයේ  ක්‍රියාත්මක වන තල දෙක එනම්,සවිඥානික තලය සහ අවිඥානික තලය පිළිබඳ විධිමත් විග්‍රහයක් ලබාගත හැකි වන්නේ මනෝ විශ්ලේෂණය මගිනි. දේශපාලන ක්‍රියාකාරීත්වයකට වැදගත් වන්නේ මෙම මානයයි. සායනික ක්‍රියාකාරකමකට එහා ගොස් සමාජ ක්‍රියාකාරීත්වය ඇති මනෝලිංගික මානයන් හඳුනා ගැනීමට සහ ඒවා විග්‍රහ කර ගැනීමට මනෝ විශ්ලේෂණයට හැකි වීම ඉතාමත් වැදගත් ක්‍රියාවලියකි.

විසි එක් වන සියවස වන විට මනෝ විශ්ලේෂණය ගර්හාවට පත් වූ විද්‍යාවක්‌ බවට පත් වී ඇත. මාක්ස්වාදය මෙන්ම මනෝ විශ්ලේෂණයද තවදුරටත් බලපෑම් සහගත වූ නිවැරදි විද්‍යාවක්‌ ලෙස සලකන අවස්ථා ඉතා දුලබය. උදාහරණයක් ලෙස සායනික මනෝ වෛද්‍ය විද්‍යාව තුළ තවදුරටත් අවිඥානය යනුවෙන් යමක් පවතී යයි විශ්වාස කරන්නේ නැත. එමෙන්ම අවරෝධනයට ලක්වූ සහජාසයන් නිසා රෝග ලක්ෂණ හටගන්නා බවක් සායනික මනෝ විද්‍යාව විශ්වාස නොකරයි. එමෙන්ම ෆ්‍රොයිඩ් වෙන්කළ ආකාරයට සවිඥානය සහ අවිඥානය වශයෙන් වෙන් වූ වෙනමම පවතින මනසක් ඇතැයි ද මොලය සහ මනස යනුවෙන් කොටස් දෙකක් පවතී යයිද සායනික මනෝ විද්‍යාව තුළ ප්‍රතික්ෂේප වෙයි. ඒ වෙනුවට මනස යනු මොළයේ ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් යැයිද මානසික රෝග යනු මොළයේ රසායනික ක්‍රියාකාරීත්වයේ වෙනසක් යයිද ඒ සඳහා ප්‍රතිකාර වන්නේ ඖෂධීය ප්‍රතිකාර මිස මනෝ විශ්ලේෂණයේ ආකාරයට කථන  ප්‍රතිකාරවලින් කිසිදු ආකාරයක පලක් ඇති නොවන බවද කියවෙයි. 

නූතන සායනික මනෝ වෛද්‍ය විද්‍යාවේ විශේෂ ලක්ෂණයක් වන්නේ එය වඩ වඩා භෞතිකවාදී ස්වරූපයක් ගැනීමයි. භෞතිකවාදී ස්වරූපයක් යන්නෙන් අදහස් වන්නේ  මනෝ වෛද්‍ය විද්‍යාව මානසික ක්‍රියාවලීන් ගැන තබන විශ්වාසයට වඩා මොළය නම් වූ භෞතික ඉන්ද්‍රියෙහි ක්‍රියාවලියන් මත තම විද්‍යාව පදනම් කර ගැනීමයි. ඒ නිසා මානසික යනුවෙන් සුවිශේෂී ක්‍රියාදාමයක් ඇතැයි යන්න ප්‍රතික්ෂේප වේ. ඒ නිසා මතකය,ස්ව සවිඥානය,හැඟීම් වැනි මානසික ක්‍රියාවලින් සියල්ල මොළයේ ස්නායුවල ස්නායු පරිපථ ක්‍රියාකාරීත්වයක ප්‍රතිඵල බව සහ එම ක්‍රියාවලීන්ට සුවිශේෂ වූ ස්වායක්ත මානසික ක්‍රියාවලියක් මොළයට බාහිරින් නොමැති බවද නූතන මතය වේ. තාක්ෂණයේ දියුණුවත් සමඟ මොළයේ ක්‍රියාකාරීත්වය සහ ව්‍යුහය පිළිබඳ වඩා වැඩි විස්තර ලබාගත හැකි වීම නිසා මෙම මතය වඩ වඩා තහවුරු වී ඇත. CT scan සහ MRI scan මෙන්ම නූතන FMRI scan මගින් ලබා ගන්නා තොරතුරු මත පදනම්ව මානසික ක්‍රියාවලීන් ලෙස සැලකිය හැකි ආදරය කෝපය දුක වැනි හැඟීම්වලදී මොළයේ ඒ ඒ කලාප සක්‍රිය වන ආකාරය සවිස්තරාත්මකව දැක ගත හැකි වීම නිසා මනස සහ එහි ක්‍රියාකාරිත්වය යනු මොළයම බව වඩ වඩා විශ්වාස කරනු ලබයි.

මෙවන් තත්ත්වයක් යටතේදී ෆ්‍රොයිඩ් පැහැදිලි කර ආකාරයට මනසේ ව්‍යුහාත්මක සැකැස්ම ( ඉඩ් ඊගෝ සුපර් ඊගෝ / සවිඥානය අවිඥානය ) මොළය නම් ව්‍යුහය තුළ තවදුරටත් පැහැදිලි කළ නොහැක. එමෙන්ම ලැකාන් භාවිතා කරන හැඟවුම්කාරකය පියාගේ නාමකරණය ප්‍රමෝදය වැනි සංකල්ප ඉහත මොලයේ ව්‍යුහාත්මක හෝ ස්නායුපථ ක්‍රියාකාරීත්වයන් මත පදනම්ව පැහැදිලි කිරීමට හැකියාවක් නැත. එම නිසා මනෝ විශ්ලේෂණයට තවදුරටත් තමන්ගේ පැවැත්ම පිළිබඳ යුක්ති සහගත භාවය තහවුරු කිරීමට නම් තමන් මෙතෙක් පදනම්ව පැවති පාර භෞතික සංකල්ප මත පදනම්ව තාර්කික විද්‍යාවක් ලෙස ස්වාධීනව පෙනී සිටීමට සිදුවෙයි.

මනෝ විශ්ලේෂණය අතාර්කික විද්‍යාවක් ලෙස සැලකෙන ආකාරයටම මාක්ස්වාදයද 21 වන සියවස වන විට අතාර්කික දේශපාලන දර්ශනයක් ලෙස සැලකීමට ලක්‌ වෙයි. මාක්ස්ගේ සහ එංගල්ස්ගේ අදහස් මත ගොඩනැගුණු මාක්ස්වාදී දර්ශනවාදය සහ මාක්ස්වාදී ආර්ථික විද්‍යාව විසින් පුරෝකථනය කළ ආකාරයට ධනවාදී සමාජ ආර්ථික පද්ධතිය එහි යම් වර්ධනීය අවධියකට පසු එහෙම වූ අභ්‍යන්තර ප්‍රතිවිරෝදතා නිසා බිඳ වැටී කොමියුනිස්ට්  සමාජ ක්‍රමයක් දක්වා වර්ධනය වීම සිදු නොවීමත් සෝවියට් සංගමයේ සහ චීනයේ ආර්ථික සහ සමාජීය  සංවර්ධනයන් මාක්ස් පුරෝකතනය කළ දිශානතියට සිදු නොවීමත් නිසා මාක්ස්වාදය විසි එක්වන සියවස වන විට අභියෝගයට ලක් වී ඇත. එමෙන්ම ධනවාදයේ වර්ධනයත් සමඟ කම්කරු පන්තිය එක පන්ති බලවේගයක් ලෙස ඒකරාශී වන්නේ යැයි තිබූ විශ්වාසය කම්කරු පන්තිය ජාතීන් ආගම් හෝ වර්ගවාදී කොටස් හැටියට කැඩී බිඳී යාම අභියෝගයට ලක්වී ඇත. එමෙන්ම ධනවාදයේ ඇතිවූ අවධියේ සිට වර්තමානය දක්වා වූ කාලය වෙද්දි ධනවාදයේ නිශ්චිත ව්‍යුහාත්මක වෙනස්වීම් ඇති බව පිළිගත යුතුව ඇත. දැනට ඇතිවී ඇති ව්‍යුහාත්මක වෙනස්කම් නිසාත් ඉදිරියේදී ඇතිවීමට නියමිත ව්‍යුහාත්මක වෙනස්කම් නිසාත් ධනවාදය විවේචනය කිරීම යනු කාල් මාක්ස් ජීවත්ව සිටි අවධියේදී හෝ ලෙනින් ජීවත්ව සිටි අවධියේදී සිදු කළාට වඩා ව්‍යුහාත්මක ලෙස වෙනස්කම් සහිත එකක් විය යුතු ය.

මනෝවිශ්ලේෂණය සහ දෘෂ්ටිවාදය

යම් සිදුවීමක් යම් ක්‍රියාවලියක් හෝ යම් සමාජ ක්‍රමයක් අදහස්වලින් සහ විශ්වාසයන්ගෙන් පැහැදිලි කර ගැනීම දෘෂ්ටිවාදය ලෙස හඳුනාගත හැක. ඒ අනුව දෘෂ්ටිවාදය එක එල්ලේම අදහස් සමග බැඳී ඇත. එසේ නම් දෘෂ්ටිවාදයක් වෙනස් කිරීම  පවතින අදහස් වෙනුවට වෙනත් අදහස් ස්ථාපනය කිරීමෙන් හැකි විය යුතුය. උදාහරණයක් ලෙස ධනවාදී සමාජ ක්‍රමය බලපවත්වන කාලය තුළ එම සමාජ ආර්ථික ක්‍රමය ජනතාවට වටහා දීම සඳහා ඉදිරිපත් කරන්නාවූ අදහස් පද්ධතියක් ඇත. පුද්ගල නිදහස පෞද්ගලික දේපළ අයිතිය සැමට සමාන අයිතිවාසිකම් සහ අවස්ථාවන් නීතිය ඉදිරියේ සියල්ලන්ම එක සමාන වීම වැනි අදහස් සහ විශ්වාසයන් පද්ධතියක් මත ධනවාදයේ සමාජ ආර්ථික ක්‍රමය ජනතාවට ඒත්තු ගන්වා ඇත. අපට මෙය ධනවාදී දෘෂ්ටිවාදය ලෙස හඳුනාගැනීමට හැක. ධනවාදී සමාජ ක්‍රමයේ මුල සිටම එයට බොහෝ විවේචන එල්ල කෙරුනි. මේ විවේචන මගින් ධනවාදී සමාජ ක්‍රමයේ පවතින විෂමතාවයන් සහ අඩුපාඩු නිවැරදි කර ගැනීමට හෝ එම සමාජ ක්‍රමය වෙනුවට නව සමාජ ක්‍රමයක් ස්ථාපනය කර ගැනීමට අවශ්‍ය නව අදහස් පද්ධතිද අන්තර්ගත විය. ඒ නිසා අපට ඒවා ද නව දෘෂ්ටිවාදයන් ලෙසම සැලකීමට පුළුවන්.

දෘෂ්ටිවාදය යනු සමාජ ක්‍රමය අදහස්වලින් විග්‍රහ කර ගැනීම ලෙස පිළිගන්නවා නම් ඒ දෘෂ්ටිවාදය වෙනත් අදහස් පද්ධතියක් මගින් විස්තාපනය කරන්න පුළුවන් බවත් අපට පිළිගන්න සිදුවෙනවා. නමුත් ධනවාදී සමාජ ක්‍රමයට එරෙහිව පැන නැගුණු ප්‍රබලම විවේචක අදහස් පද්ධතිය වන මාක්ස්වාදය තවමත් ධනවාදී දෘෂ්ටිවාදය පරාජය කර තම අදහස් පද්ධතිය ජයග්‍රාහී ලෙස ස්ථාපනය කිරීමේලා අපොහොසත් වී ඇත. අදහස් පද්ධතියක් ලෙස හෝ සාහිත්‍යයක් ලෙස ගත් කළ මාක්ස්වාදය ඉතාම දියුණු සහ උසස් අදහස් පද්ධතියක් දායාද කර ඇත. නමුත් සාමාන්‍ය ජනයා සලකා බලන විට ඔවුන් ධනවාදී දෘෂ්ටිවාදය තුළ කිසිදු විවේචනයකින් තොරව දීර්ඝ කාලීනව එල්බ ගෙන ඇත. මෙම සිදුවීම අපට ආකාර දෙකකට තේරුම් ගැනීමට හැක. පළමු ආකාරය වන්නේ මාක්ස්වාදී අදහස් පද්ධතිය ධනවාදී දෘෂ්ටිවාදය විවේචනය කිරීමට සමත් නමුත් මේ අදහස් පද්ධතිය ජනතාව වෙත විධිමත් ලෙස සහ ප්‍රමාණවත් ලෙස සම්ප්‍රේෂණය වී නැති බවයි. එම නිසා කළ යුතුව ඇත්තේ වැඩි වැඩියෙන් අදහස් ප්‍රචාරය කිරීම වැඩි වැඩියෙන් සාහිත්‍යය බිහිකිරීම වැඩි වැඩියෙන් සම්මන්ත්‍රණ රැස්වීම් ජනහමු පැවැත්වීම  මගින් වැඩි ජනතාවක් ආමන්ත්‍රණය කිරීම සහ එම ජනතාවගේ අදහස් වෙනස් කිරීම මගින් ධනවාදී දෘෂ්ටිවාදය පරාජය කිරීමත්ය. දැනටමත් සාම්ප්‍රදායික වාමාංශික ව්‍යාපාරය ක්‍රියාත්මක වන ආකාරය මෙයට බොහෝ සෙයින් සමාන වේ. පක්ෂ ආකාරයෙන් හෝ කණ්ඩායම් ආකාරයෙන් හෝ ගුරුකුල ආකාරයෙන් හෝ වේවා අදහස් මගින් අදහස් පරාජය කිරීමේ සටනක  වාමාංශික ව්‍යාපාරය නිරතව සිටියි. නමුත් ශතවර්ෂ දෙකකට ආසන්න කාලය ගතවී ඇතත් මෙම කර්තව්‍ය සම්පූර්ණ කර ගැනීමේ ලා වාමාංශික ව්‍යාපාරය අපොහොසත් වී ඇත.

මෙය වටහාගැනීමේ දෙවැනි ආකාරය වන්නේ මෙහිදී අදහස් වලින් සමාජය තේරුම් ගන්නවාට වඩා වැඩි යමක් ධනවාදී දෘෂ්ටිවාදය තුළ  ඇත්තේද යන්න සලකා බැලීමයි. එනම් ධනවාදී දෘෂ්ටිවාදය විසින් මහජනයා අදහස් වලින් ලබා ගත හැකි පැහැදිලි කිරීමට ඔබ්බෙහි ඇති යම් කාරණයක් සමග ඇද බැඳ තබාගන්නේ ද යන්න සලකා බැලීමයි. මෙහිදී අපට මනෝ විශ්ලේෂණයේ දෘෂ්ටිවාදය ගැන එන පැහැදිලි කිරීම් ආධාර කර ගත හැක. මනෝ විශ්ලේෂණය පැහැදිලි කරන්නේ සාමාන්‍ය අදහසට වෙනස්ව දෘෂ්ටිවාදය ක්‍රියාත්මක වන්නේ සවිඥානික අදහස් තලයේ නොව අවිඤ්ඤාණික ප්‍රමෝදය තුළ බවයි. එනම් යම් දෘෂ්ටිවාදයක් තුළ ජීවත් වෙන මිනිසුන් එම දෘෂ්ටිවාදයේ අදහස් පද්ධතියේ ඇති කාරණාමය සත්‍යයට ඔබ්බෙන් යම් අවිඥානික විඳීමක් නැතහොත් ප්‍රමෝදයක් මගින් එම දෘෂ්ටිවාදයට සම්බන්ධ වන බවයි. එනිසා මනෝ විශ්ලේෂණය පැහැදිලි කරන්නේ දෘෂ්ටිවාදය විසින් අවිඥානික ෆැන්ටසියක් නඩත්තු කරන බවයි. සවිඥානික තලය තුළදී දෘෂ්ටිවාදය පරාජය වන අවස්ථාවන්හිදීත් ජනයා එම දෘෂ්ටිවාදයටම බැඳී පවතින හේතුව ලෙස මනෝ විශ්ලේෂණය දකින්නේ මෙම අවිඥානික ෆැන්ටසියයි. ඒ නිසාම දෘෂ්ටිවාදය පරාජය කිරීමට නම් දෘෂ්ටිවාදයට නොවැටී සිටීමට අනුබලය ලබාදෙන ප්‍රමෝදය හඳුනාගත යුතුයි. නැතහොත් මෙම දෘෂ්ටිවාදය නඩත්තු කරන අවිඥානික ෆැන්ටසිය හඳුනාගත යුතුයි.

මනෝ විශ්ලේෂණය මගින් දෘෂ්ටිවාදය පවත්වාගෙන යන්නා වූ අවිඥානික ෆැන්ටසිය පිළිබඳ පැහැදිලි අදහසක් ප්‍රකාශ කළත් මෙම ප්‍රමෝදය පසුකර දෘෂ්ටිවාදය පෙරළා දැමිය හැකි මාර්ගයක් එක එල්ලේ මනෝ විශ්ලේෂණය යෝජනා නොකරයි. සමාජීය තලයක් තුළ ජනයා දෘෂ්ටිවාදයට ඇද බැඳ තබා ගන්නා ප්‍රමෝදය විවෘතව සාකච්ඡා කළ හැකි නමුත් ජනයා අවිඥානිකව ලබන ප්‍රමෝදය අවසන් වන බවක් අදහස් නොකෙරේ.

කෙසේ වෙතත් මාක්ස්වාදයට ධනේශ්වර දෘෂ්ටිවාදය සමඟ අභිමුඛ වීමට අවශ්‍ය නම් ඒ සඳහා අනුභූතික තලයේ මතවාදයන් වලට අමතරව අවිඥානික  තලයේ ප්‍රමෝදය සමඟද ගනුදෙනු කිරීමට සිදුවන බව ඉතාමත්ම පැහැදිලියි. ඒ සඳහා මාක්ස්වාදයට සෘජුවම මනෝ විශ්ලේෂණය සමඟ එකට ගනුදෙනු කිරීමට සිදුවන බවද ඒ සේම පැහැදිලිය.

දෘෂ්ටිවාදය

යම් සිදුවීමක් යම් ක්‍රියාවලියක් හෝ යම් සමාජ ක්‍රමයක් අදහස් වලින් සහ විශ්වාසයන්ගෙන් පැහැදිලි කර ගැනීම දෘෂ්ටිවාදය ලෙස හඳුනාගත හැක. ඒ අනුව දෘෂ්ටිවාදය එක එල්ලේම අදහස් සමග බැඳී ඇත. එසේ නම් දෘෂ්ටිවාදයක් වෙනස් කිරීම  පවතින අදහස් වෙනුවට වෙනත් අදහස් ස්ථාපනය කිරීමෙන් හැකි විය යුතුය. උදාහරණයක් ලෙස ධනවාදී සමාජ ක්‍රමය බලපවත්වන කාලය තුළ එම සමාජ ආර්ථික ක්‍රමය ජනතාවට වටහා දීම සඳහා ඉදිරිපත් කරන්නාවූ අදහස් පද්ධතියක් ඇත. පුද්ගල නිදහස පෞද්ගලික දේපළ අයිතිය සැමට සමාන අයිතිවාසිකම් සහ අවස්ථාවන් නීතිය ඉදිරියේ සියල්ලන්ම එක සමාන වීම වැනි අදහස් සහ විශ්වාසයන් පද්ධතියක් මත ධනවාදයේ සමාජ ආර්ථික ක්‍රමය ජනතාවට ඒත්තු ගන්වා ඇත. අපට මෙය ධනවාදී දෘෂ්ටිවාදය ලෙස හඳුනාගැනීමට හැක. ධනවාදී සමාජ ක්‍රමයේ මුල සිටම එයට බොහෝ විවේචන එල්ල කෙරුනි. මේ විවේචන මගින් ධනවාදී සමාජ ක්‍රමයේ පවතින විෂමතාවයන් සහ අඩුපාඩු නිවැරදි කර ගැනීමට හෝ එම සමාජ ක්‍රමය වෙනුවට නව සමාජ ක්‍රමයක් ස්ථාපනය කර ගැනීමට අවශ්‍ය නව අදහස් පද්ධතිද අන්තර්ගත විය. ඒ නිසා අපට ඒවා ද නව දෘෂ්ටිවාදයන් ලෙසම සැලකීමට පුළුවන්.

දෘෂ්ටිවාදය යනු සමාජ ක්‍රමය අදහස්වලින් විග්‍රහ කර ගැනීම ලෙස පිළිගන්නවා නම් ඒ දෘෂ්ටිවාදය වෙනත් අදහස් පද්ධතියක් මගින් විස්තාපනය කරන්න පුළුවන් බවත් අපට පිළිගන්න සිදුවෙනවා. නමුත් ධනවාදී සමාජ ක්‍රමයට එරෙහිව පැන නැගුණු ප්‍රබලම විවේචක අදහස් පද්ධතිය වන මාක්ස්වාදය තවමත් ධනවාදී දෘෂ්ටිවාදය පරාජය කර තම අදහස් පද්ධතිය ජයග්‍රාහී ලෙස ස්ථාපනය කිරීමේලා අපොහොසත් වී ඇත. අදහස් පද්ධතියක් ලෙස හෝ සාහිත්‍යයක් ලෙස ගත් කළ මාක්ස්වාදය ඉතාම දියුණු සහ උසස් අදහස් පද්ධතියක් දායාද කර ඇත. නමුත් සාමාන්‍ය ජනයා සලකා බලන විට ඔවුන් ධනවාදී දෘෂ්ටිවාදය තුළ කිසිදු විවේචනයකින් තොරව දීර්ඝ කාලීනව එල්බ ගෙන ඇත. මෙම සිදුවීම අපට ආකාර දෙකකට තේරුම් ගැනීමට හැක. පළමු ආකාරය වන්නේ මාක්ස්වාදී අදහස් පද්ධතිය ධනවාදී දෘෂ්ටිවාදය විවේචනය කිරීමට සමත් නමුත් මේ අදහස් පද්ධතිය ජනතාව වෙත විධිමත් ලෙස සහ ප්‍රමාණවත් ලෙස සම්ප්‍රේෂණය වී නැති බවයි. එම නිසා කළ යුතුව ඇත්තේ වැඩි වැඩියෙන් අදහස් ප්‍රචාරය කිරීම වැඩි වැඩියෙන් සාහිත්‍යය බිහිකිරීම වැඩි වැඩියෙන් සම්මන්ත්‍රණ රැස්වීම් ජනහමු පැවැත්වීම  මගින් වැඩි ජනතාවක් ආමන්ත්‍රණය කිරීම සහ එම ජනතාවගේ අදහස් වෙනස් කිරීම මගින් ධනවාදී දෘෂ්ටිවාදය පරාජය කිරීමත්ය. දැනටමත් සාම්ප්‍රදායික වාමාංශික ව්‍යාපාරය ක්‍රියාත්මක වන ආකාරය මෙයට බොහෝ සෙයින් සමාන වේ. පක්ෂ ආකාරයෙන් හෝ කණ්ඩායම් ආකාරයෙන් හෝ ගුරුකුල ආකාරයෙන් හෝ වේවා අදහස් මගින් අදහස් පරාජය කිරීමේ සටනක  වාමාංශික ව්‍යාපාරය නිරතව සිටියි. නමුත් ශතවර්ෂ දෙකකට ආසන්න කාලය ගතවී ඇතත් මෙම කර්තව්‍ය සම්පූර්ණ කර ගැනීමේ ලා වාමාංශික ව්‍යාපාරය අපොහොසත් වී ඇත.

මෙය වටහාගැනීමේ දෙවැනි ආකාරය වන්නේ මෙහිදී අදහස් වලින් සමාජය තේරුම් ගන්නවාට වඩා වැඩි යමක් ධනවාදී දෘෂ්ටිවාදය තුළ  ඇත්තේද යන්න සලකා බැලීමයි. එනම් ධනවාදී දෘෂ්ටිවාදය විසින් මහජනයා අදහස් වලින් ලබා ගත හැකි පැහැදිලි කිරීමට ඔබ්බෙහි ඇති යම් කාරණයක් සමග ඇද බැඳ තබාගන්නේ ද යන්න සලකා බැලීමයි. මෙහිදී අපට මනෝ විශ්ලේෂණයේ දෘෂ්ටිවාදය ගැන එන පැහැදිලි කිරීම් ආධාර කර ගත හැක. මනෝ විශ්ලේෂණය පැහැදිලි කරන්නේ සාමාන්‍ය අදහසට වෙනස්ව දෘෂ්ටිවාදය ක්‍රියාත්මක වන්නේ සවිඥානික අදහස් තලයේ නොව අවිඤ්ඤාණික ප්‍රමෝදය තුළ බවයි. එනම් යම් දෘෂ්ටිවාදයක් තුළ ජීවත් වෙන මිනිසුන් එම දෘෂ්ටිවාදයේ අදහස් පද්ධතියේ ඇති කාරණාමය සත්‍යයට ඔබ්බෙන් යම් අවිඥානික විඳීමක් නැතහොත් ප්‍රමෝදයක් මගින් එම දෘෂ්ටිවාදයට සම්බන්ධ වන බවයි. එනිසා මනෝ විශ්ලේෂණය පැහැදිලි කරන්නේ දෘෂ්ටිවාදය විසින් අවිඥානික ෆැන්ටසියක් නඩත්තු කරන බවයි. සවිඥානික තලය තුළදී දෘෂ්ටිවාදය පරාජය වන අවස්ථාවන්හිදීත් ජනයා එම දෘෂ්ටිවාදයටම බැඳී පවතින හේතුව ලෙස මනෝ විශ්ලේෂණය දකින්නේ මෙම අවිඥානික ෆැන්ටසියයි. ඒ නිසාම දෘෂ්ටිවාදය පරාජය කිරීමට නම් දෘෂ්ටිවාදයට නොවැටී සිටීමට අනුබලය ලබාදෙන ප්‍රමෝදය හඳුනාගත යුතුයි. නැතහොත් මෙම දෘෂ්ටිවාදය නඩත්තු කරන අවිඥානික ෆැන්ටසිය හඳුනාගත යුතුයි.

මනෝ විශ්ලේෂණය මගින් දෘෂ්ටිවාදය පවත්වාගෙන යන්නා වූ අවිඥානික ෆැන්ටසිය පිළිබඳ පැහැදිලි අදහසක් ප්‍රකාශ කළත් මෙම ප්‍රමෝදය පසුකර දෘෂ්ටිවාදය පෙරළා දැමිය හැකි මාර්ගයක් එක එල්ලේ මනෝ විශ්ලේෂණය යෝජනා නොකරයි. සමාජීය තලයක් තුළ ජනයා දෘෂ්ටිවාදයට ඇද බැඳ තබා ගන්නා ප්‍රමෝදය විවෘතව සාකච්ඡා කළ හැකි නමුත් ජනයා අවිඥානිකව ලබන ප්‍රමෝදය අවසන් වන බවක් අදහස් නොකෙරේ.

කෙසේ වෙතත් මාක්ස්වාදයට ධනේශ්වර දෘෂ්ටිවාදය සමඟ අභිමුඛ වීමට අවශ්‍ය නම් ඒ සඳහා අනුභූතික තලයේ මතවාදයන් වලට අමතරව අවිඥානික  තලයේ ප්‍රමෝදය සමඟද ගනුදෙනු කිරීමට සිදුවන බව ඉතාමත්ම පැහැදිලියි. ඒ සඳහා මාක්ස්වාදයට සෘජුවම මනෝ විශ්ලේෂණය සමඟ එකට ගනුදෙනු කිරීමට සිදුවන බවද ඒ සේම පැහැදිලිය.

ජාතික දෙය

සමාජ වෙනසක් අපේක්ෂා කරමින් දේශපාලනය කරන ඕනෑම මතවාදයකට ඉතාම බරපතළ ලෙස මුහුණ දීමට සිදුවන ගැටලුවක් නම් ජාතිකවාදය පිළිබඳ ප්‍රශ්නයයි. විශේෂයෙන්ම පන්ති පදනමකින් දේශපාලනය කරන වාමාංශික ව්‍යාපාර වලට තමන්ගේ දේශපාලන මතවාදය ජනතාව අතර ස්ථාපනය කර ගැනීමට ඇති ප්‍රධානම බාධාවක් වන්නේ ජාතිකත්වයයි. පලවන ලෝක යුද්ධයේදී යුරෝපයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ සමාජවාදී ජාත්‍යන්තර ව්‍යාපාරයේ මතයට එරෙහිව යමින් තම තමන්ගේ රටවල යුධ අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමේ සිට නැගෙනහිර යුරෝපයේ කොමියුනිස්ට් පාලනයන්ගේ බිඳ වැටීමෙන් පසු එම රාජ්‍යයන් තුළ ජීවත්වන එක් එක් ජාතීන් එකිනෙකා සමග ඇනකොටා ගන්නා තත්ත්වයට පත්වන තෙක්ම සමාජවාදයට ද ජාතිකවාදයට එරෙහිව පිළිතුරක් ගොනු කරගත නොහැකි විය.

සියලුම වාමාංශික ව්‍යාපාර වලට විසඳා ගත නොහැකි ලෙස ජාතිකවාදය යළි යළිත් මතුවීමේ ඇති රහස කුමක්ද? දියුණු විප්ලවවාදී ව්‍යාපාර ලෙස විධිමත් ලෙස සංවිධානය කළ සංවිධාන පවා ඉතාමත් නිශ්චිත මොහොතවල්වලදී ජාතිකවාදයේ ග්‍රහණයට නතු වන්නේ කුමන හේතුවක් නිසාද? මිනිසුන් සතුව ජාතීන් ලෙස එක් රැස්වීමේ සහ වෙනත් ජාතීන් සමග විරෝධතා ඇතිකර ගැනීමේ ලක්ෂණයක් ජානමය ලෙස පවතිනවාවත්ද? ජාතිකවාදී නැගී සිටීම ඉදිරියේ වාමාංශයට කළ හැකිව ඇත්තේ යළි යළිත් ජාතිකවාදය වැරදි බවත් වඩා වැදගත් වන්නේ ජාත්‍යන්තරවාදී සහ විප්ලවාදී ලෙස මිනිසුන් ඒකරාශී වීමත් බවත් යළි යළිත් කියා සිටීම පමණකි. නමුත් ඒ සියලු පැහැදිලි කිරීම් අවසානයේ ජනයා ජාතිකවාදයට නතු වන්නේ කුමන හේතුවක් නිසාද යන්නට වාමාංශය සතුව පිළිතුරක් නොමැත.

නමුත් මනෝ විශ්ලේෂණය මෙම ජාතිකවාදය නැගීම පිළිබඳව යම් විග්‍රහයක් ඉදිරිපත් කරයි. මනෝ විශ්ලේෂණයට අනුව කිසිදු සමාජ සැකැස්මක් පරිපූර්ණ නැත. ඕනෑම සමාජ සැකැස්මක් අසම්පූර්ණය අතෘප්තිමත්ය. ඕනෑම සමාජ සැකැස්මක් මධ්‍යයේ එම සමාජ සැකැස්ම පරිපූර්ණ භාවයට පත්වීම වළක්වාලන අඩුවක් අසම්පූර්ණ භාවයක් පවතී. සමාජ සැකැස්මක් පරිපූර්ණ භාවයට පත්වීමට නම් මෙම අඩුව පුරවා ගත යුතු වෙන අතර ඒ ආකාරයෙන් අඩුව පුරවාගෙන පරිපූර්ණ සමාජ සැකැස්මක් නිර්මාණය කිරීම යනු කිසිදා කළ නොහැකි ක්‍රියාවකි. එනම් එම පරිපූර්ණ භාවය යනු ෆැන්ටැස්මටික ක්‍රියාවලියක් පමණකි. ජාතිකවාදය විසින් සමාජ සැකැස්මක් මධ්‍යයේ ඇති මේ අඩුව ජාතියේ පරිපූර්ණභාවය පිළිබඳ ඓතිහාසික මිථ්‍යා කතාවක් බවට පරිවර්තනය කරයි. එමගින් කිසිදාක සම්පූර්ණ කර ගත නොහැකි හුදු ෆැන්ටෑස්මැටික ක්‍රියාවලියක් ජාතිකවාදය විසින් කලින් පැවතුණු නමුත් දැන් නොපවතින යම් දෙයක් බවට පරිවර්තනය කරයි. සැම විටම පාහේ ජාතිකවාදය විසින් මේ පරිපූර්ණ ජාතිය පිළිබඳ මිත්‍යාව තහවුරු කිරීමේදී ජාතියට පරිපූර්ණ වීමට ඇති බාධාව ලෙස හඳුනාගන්නේ බාහිරින් පැමිණෙන යම් බලවේගයක් හෝ ක්‍රියාකාරකමකි. ඒ බාහිර බලවේගය බොහෝ අවස්ථාවලදී වෙනත් ජාතියක් වීමට ඉඩකඩ ඇත. ජාතිකවාදය විසින් ගොඩනගන මේ මිත්‍යාව සමාජය තුළ හෙජමොනික තත්ත්වයට පත්වුවහොත් සමාජය තුළ පවතින අනේක ප්‍රශ්න වලට මුහුණ දෙනවා වෙනුවට මෙම මිත්‍යාව මගින් ගොඩනගන කල්පිත සතුරාට අභිමුඛ වීමට ඒ ජනවර්ගයට සිදුවේ. මේ සඳහා ඉතාම හොඳ උදාහරණයක් වන්නේ හිට්ලර්ගේ ජර්මනිය තුල යුදෙව්වාගේ භූමිකාව ගොඩනැංවූ ආකාරයයි. ජර්මනය තුළ පවතින ප්‍රශ්නවලට මුහුණ දෙමින් ඒ ප්‍රශ්න සමග පොර බදිමින් සිටින තවත් එක් ජාතියක සිට ජර්මනියේ පවතින සියලු ප්‍රශ්නවලට හේතුකාරක වූ ජාතිය බවට යුදෙව්වන් පත් කරන්නේ ජර්මන් ජාතිකවාදී කතිකාවේ ප්‍රතිඵලයක් ලෙසටය. මේ ආකාරයට හෙජමොනික කතිකාව මගින් සතුරෙකු නම් කළ විට ඒ දක්වා සමාජයේ පවතින සියලු ප්‍රශ්නවල හේතුව බවට මේ නම් කළ සතුරා පත්වෙයි. එනිසාම දෙවන ලෝක යුධ සමයේදී ජර්මනිය තුළ යුදෙව්වන් සමූල ඝාතනය කිරීමට අවශ්‍ය මතවාදී පසුබිම නිර්මාණය කිරීමට ජර්මන් ජාතිකවාදයට හැකි විය.

තවත් එක් උදාහරණයක් ලෙසට ලංකාවේ ජාතික ගැටලුව සහ එහි වර්ධනය අපට සැලකිය හැක. නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ ජාතික රාජ්‍ය වර්ධනය කිරීමේදී දෙමළ ජාතිය සෑහීමකට පත්වන ආකාරයට දේශපාලන තත්ත්වයන් වර්ධනය නොවීම නිසා දෙමළ ජාතික ව්‍යාපාරය විසින් ශ්‍රී ලාංකික රාජ්‍යයට තමන්ගේ අනන්‍යතාවය පිළිගන්න අවශ්‍ය පසුබිම සකස් කරන්නැයි ඉල්ලා සිටිනු ලැබේ. නමුත් ඒ ඉල්ලීම් වලට සැලකිය යුතු ලෙස සාධාරණයක් ඉෂ්ට නොවන නිසා හැත්තෑව දශකය අග වන විට දෙමළ තරුණයින් ආයුධ සන්නද්ධ වීමට තීරණය කරයි. මේ ආකාරයට වර්ධනය වූ සිවිල් යුධ තත්ත්වය ඉන්දියානු රජයේ මැදිහත්වීමෙන් පසු දෘෂ්ටිවාදී අරගලයක ක්‍රීඩා භූමියක් බවට පත්විය. දකුණේ ජාතිකවාදී සහ ජාතිවාදී ව්‍යාපාරය විසින් ඉන්දියානු මැදිහත්වීමත් උතුරේ දෙමළ තරුණයින්ගේ සන්නද්ධ අරගලයත් ඉලක්ක කර ගෙන ගොඩනැංවූ කතිකාවේ ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ සියලුම ප්‍රශ්නවලට හේතුව උතුරේ තරුණයින්ගේ සන්නද්ධ අරගලය බවටත් ඒ නිසාම දෙමළ ජාතිය බවටත් පත්විය. ලංකාව මුහුණ දෙමින් පැවතියා වූ ප්‍රශ්නවලට හේතුව ඒ දක්වා ක්‍රියාත්මක කළ වැරදි දේශපාලන ආර්ථික ප්‍රතිපත්තිවල සහ තීන්දු වල බලපෑම බව තේරුම් ගන්නවා වෙනුවට ලංකාවේ පවතින සියලුම ප්‍රශ්නවලට හේතුව සන්නද්ධ දෙමළ තරුණයින්ගේ අරගලය බවට දෘෂ්ටිවාදී හැරවුමකට ලක්වේ. ඒ නිසාම දකුණේ දේශපාලනයේ තීරණාත්මයක බලවේගය බවට උතුරේ පවතින්නාවූ සන්නද්ධ අරගලය සහ එයට නායකත්වය දෙන එල්ටීටීඊ සංවිධානය බවට පත්වේ. ගැටලුවට ඇති එකම විසඳුම එල්ටීටීඊ සංවිධානය සමූල ඝාතනය කර ලංකාව බේරා ගැනීම බව ජනතාවගෙන් අතිමහත් බහුතරයක් විශ්වාස කරන තත්ත්වය දක්වා මෙය වර්ධනය විය. ලාංකීය ජනතාවගේ ජීවිතවලට තර්ජනය කරන සතුට උදුරා ගන්නා මිනී මරු සංවිධානය අවසන් කිරීම යුගයේ අවශ්‍යතාවයක් බවට සියලු දෙනා ඒකමතිකව පිළිගන්නා තත්ත්වයකට පත්විය.

මේ ආකාරයෙන් සමාජයක අභ්‍යන්තරයේ ඇති අසම්පූර්ණ භාවය පිළිගනු වෙනුවට එම සමාජය පරිපූර්ණ වීම වළකන බාහිර සතුරෙක් නම් කිරීමෙන් පසු හෝ එම සමාජයේ පරිපූර්ණ භාවය විනාශ කළ හෝ සොරකම් කළ සතුරෙක් නම් කිරීමෙන් පසු එම සමාජයට කිසිදා නොතිබූ පරිපූර්ණ භාවය පිළිබඳ පරිකල්පිත හැඟීමක් ඇතිවේ. ජර්මන් ජාතියේ පිරිසුදුභාවය විනාශ කිරීමට පැමිණෙන යුදෙව් ජාතිකයා නිසා හෝ සිංහල ජාතියේ පැවැත්ම විනාශ කිරීමට පැමිණෙන දෙමළ ආක්‍රමණිකයා නිසා හෝ ඇතිවන පරිකල්පිත පරිපූර්ණ භාවය මනෝ විශ්ලේෂණය හඳුන්වන්නේ ජාතික දෙය නැතහොත් nation thing යනුවෙනි. ඕනෑම අසම්පූර්ණ පද්ධතියක පරිපූර්ණ භාවයක් පරිකල්පනය කරන්නේ නම් එම පරිකල්පිත පරිපූර්ණ භාවය විසින් ප්‍රමෝදයක් ජනනය කරයි. අසම්පූර්ණ ජාතියක් එකට බැඳ තබා ගන්නේත් එම ජාතිය ජාතිකත්වය මගින් සංවිධානය කිරීමට ඉඩ සලස්වන්නේත් මෙම ප්‍රමෝදය මගිනි.

ජාතිකවාදී ඉදිරියේදී සාම්ප්‍රදායික වාමාංශය අදහස් මගින් ජාතිකවාදය පරාජය කිරීමට උත්සාහ කරද්දී මනෝ විශ්ලේෂණය යෝජනා කරන්නේ එම ජාතිකවාදයට යටින් එම ජාතිකවාදය නඩත්තු කරන්නා වූ ප්‍රමෝදයක් ඇති බවත් එම ප්‍රමෝදය හඳුනා ගැනීම යම් ජාතිකවාදයකට එරෙහිව කටයුතු කිරීමට අත්‍යවශ්‍ය සාධකයක් බවත්ය.

නිශේධනය

කාල් මාක්ස්ගේ අදහස්වල ආර්ථික විද්‍යාවට අදාල කොටස් සම්භාව්‍ය ආර්ථික විද්‍යාවේ එනම් ඇඩම් ස්මිත් සහ ඩේවිඩ් රිකාර්ඩෝගේ අදහස් වලින් වියුත්පන්න වන්නා සේම මාක්ස්ගේ දර්ශන වාදයේ කොටස හේගල්ගේ අදහස් වලින් ව්‍යුත්පන්න වන්නකි. මාක්ස් මේ අයගේ අදහස් අමු අමුවේ උපුටාගෙන නව දේශපාලන අදහස් ලෙස ඉදිරිපත් කළ බවක් මෙයින් අදහස් නොවේ. පැහැදිලි ලෙසම මාක්ස්ගේ අදහස් නව අදහස් වේ. නමුත් මේ අදහස්වල මූලයන් වන්නේ ඉහත නම් සඳහන් කළ දාර්ශනිකයින්ගේ අදහස් සමග ගැටීම නිසා හටගත් නව අදහස්වේ. මෙය දෛලෙක්තික ක්‍රමය සමග ඉතාම එකඟ ක්‍රමයකි. මාක්ස්ම පවසන ආකාරයට ඔහු හේගල්ගේ අදහස් උඩු යටිකුරු කර භාවිතා කර ඇත. හේගල්ගේ දර්ශනයේ ඉතා විශේෂ ලක්ෂණයක් වන්නේ නිශේධනයට ඇති ඉතාම වැදගත් භූමිකාවයි. මිනිස් විෂය සම්බන්ධයෙන් හේගල්ගේ අදහස්වල කේන්ද්‍රීය ලක්ෂණය වන්නේ මිනිස් විශය සහ එහි චලනය නිශේධනය කේන්ද්‍රීය කරගෙන සිදුවන බව පැහැදිලි කිරීමයි. මිනිස් විෂයෙහි මේ නිශේධනය හේගල් සමාන කරන්නේ රාත්‍රියටයි (night of the world). එනම් කිසිදු ධනාත්මක යමක් සොයා ගැනීමට නොහැකි රාත්‍රියවන් ස්ථානයකින් පැන නැගී පරිපූර්ණත්වය කරා ගමන් කිරීම හේගල්ගේ දයලෙක්තිකය  මගින් පැහැදිලි කෙරේ. මාක්ස්ගේ නිර්ධනයා යනු මෙම රාත්‍රිය ඉතාම හොඳින් නිරූපණය කරන ඓතිහාසික චරිතය වෙයි. ධනේෂ්වර ක්‍රමය තුළ තමන්ට හිමි සියලු දේවල් වලින් අහිමි කරනු ලබන මනුෂ්‍ය විෂය එම ක්‍රමයේ යදම් බිඳ දමමින් පරිපූර්ණත්වය කරා යන්නේ කෙසේද යන්න මාක්ස්ගේ දර්ශනය මගින් විග්‍රහ කෙරේ. මාක්ස්ට අනුව කොමියුනිස්ට් සමාජය යනු මෙම පරිපූර්ණ භාවයේ ස්ථානයයි.

නිර්ධනයාට අහිමිවීමට ඇත්තේ යදම් පමණකැයි මාක්ස් පවසයි. එනම් ධනේශ්වර සමාජයක් තුළ නිර්ධනයාට සියල්ල අහිමි කර ඇත. අවසානයේදී නිෂ්පාදන ක්‍රියාවලිය තුළ නිර්ධනයාගේ ශ්‍රමයෙන් නිෂ්පාදනය වන භාණ්ඩය ද ධනපතියා විසින් අත්පත් කර ගනී. ඒ නිසා නිර්ධනයා සතුව කිසිවක් නැත. එපමණක් නොව ඓතිහාසිකව මෙම සමාජ ක්‍රමය පෙරළා දැමීමේ වගකීමද නිර්ධනයාගේ දෙවුර  මත පැටවී ඇත. මාක්ස්ගේ දර්ශනයේ මේ සුවිශේෂ ලක්ෂණය පසුකාලීන මාක්ස්වාදී දර්ශනය තුළින් බැහැරව යයි. නිර්ධනයා සතුව ඇතැයි පසු කාලීනව සැලකුණු ධනාත්මක ලක්ෂණ වන ස්ව සවිඥානය වැනි ලක්ෂණ හරහා නිර්ධනයා සතුව තිබූ නිශේධනයට ඇති අගය අහෝසි වී යයි. මෙම ලක්ෂණය වඩාත්ම හොඳින් දැක ගත හැකි වන්නේ සමාජවාදී රාජ්‍යයන්හි රාජ්‍ය නායකයා ඉතාමත් සුවිශේෂී ධනාත්මක ලක්ෂණවලින් හෙබි යුග පුරුෂයෙක් දක්වා ඔසවා තැබීම තුලිනි.

මාක්ස්වාදය තුළින් අතුරුදහන්ව ගිය මේ ලක්ෂණය යළි අපට මිනිස් ආත්මයට ලබා දෙන බව දැක ගත හැකි වන්නේ ෆ්‍රොයිඩියානු මනෝ  විශ්ලේෂණය තුළිනි. මනෝ විශ්ලේෂණය මිනිස් ආත්මය තුළ දකින්නේ නිශේධනය පමණකි. එමෙන්ම මිනිස් ආත්මයේ ගාමක බලවේගය ලෙස මනෝ විශ්ලේෂණය පිළිගන්නේද නිශේධනයයි. මනෝ විශ්ලේෂණයට අනුව මිනිස් ආත්මය සවිඥානය සහ අවිඥානය ලෙස බෙදී පවතී. අවිඥානය යනු අප නොදන්නා, සවිඥානය තුළ පැවතීමට නොහැකි නිසා, අවරෝධනය කළ මනසේ කොටසයි. අවරෝධනයට ලක්වුවද අවිඥානය අක්‍රීයව පවතින  කලාපයක් නොවේ. සවිඥානය පවතින මතුපිට සමාදානය බිඳ දමමින් වරින් වර රෝග ලක්ෂණාත්මක ලෙස කඩා පනින්නේ අවිඥානයයි. එමෙන්ම මනසේ සවිඥානය තුළ ඇති උසස් මානව ක්‍රියාකාරීත්වයන්ගේ පැවැත්ම තීන්දු කරන්නේද අවිඥානය මගින් බව මනෝ විශ්ලේෂණය පැහැදිලි කරයි. එනිසා කිසිවිටෙකත් මිනිසා තම සවිඥානයේ උසස් ක්‍රියාකාරකම්වල පාලකයා නොවේ. එම ක්‍රියාකාරකම් පාලනය වන්නේ අවිඥානය මගිනි. මෙය නිශේධනයේ බලයයි.

වෙනස් කිරීමේ හෝ විප්ලවවාදී භාවයේ ගුණය පවතින්නේ කොහිද? එය පවතින්නේ සවිඥානය තුළ අප දන්නා අදහස් තුළද නැතහොත් අවිඥානය තුළ අප නොදන්නා තෙරපෙන කැකෑරෙන හඹා යාම තුළද? හෙගලියානු හා ලැකානියානු සම්ප්‍රදායට අනුව යමින් අපට කිව හැක්කේ මෙම විප්ලවවාදී ජීව ගුණය පවතින්නේ අවිඥානය තුළ නැතහොත් නිශේධනය තුළ බවයි. මාක්ස්වාදයට තවදුරටත් හේගල්ගෙන් සහ ලැකාන්ගෙන් ඉගෙන ගැනීමට ඇති  එක් පාඩමක් වන්නේ එයයි. මාක්ස්වාදින් නිතරම යථාර්ථය ලෙස දකින දෘෂ්ටිවාදී ගොඩනැංවීමට ඔබ්බෙහි යථාර්ථයේම ඇති පැල්මක් ලෙස නැතහොත් අසම්පූර්ණ භාවයක් ලෙස නැතහොත් අසහනකාරීත්වයක් ලෙස පවතින මේ නිශේධනය යථාර්ථය නම් දෘෂ්ටිවාදී ගොඩනැංවීමේ මතුපිට සමාදානය බිඳ දමමින් වරින් වර ඒ තුළට කඩාවදි. වෙනස් කිරීමේ ජීවගුණය නැතහොත් විප්ලවවාදී ක්‍රියාව වන්නේ මේ කඩා වැදීමයි.

අවසානය

මෙම ලියමනේ පරමාර්ථය වන්නේ මාක්ස්වාදය පිළිබඳ ඉගැන්වීම හෝ මනෝ විශ්ලේෂණය පිළිබඳව ඉගැන්වීම හෝනොවේ. ඒ නිසා මාක්ස්වාදයේ ආර්ථික විද්‍යා නියාමයන් ගැන හෝ මනෝ විශ්ලේෂණයේ ඉගැන්වීම ගැන  හෝ දීර්ඝ පැහැදිලි කිරීම්වලට මෙම ලිපිය යොමුවී නොමැත. ඒ වෙනුවට මේ ලිපිය උත්සාහ කළේ මාක්ස්වාදය විසින් ජයග්‍රහණය කිරීමට උත්සාහ ගන්නා සමාජ පරිවර්තනය මාක්ස්වාදයට තනිව කළ හැක්කක් නොවන බවට පැහැදිලි කිරීමයි. මාක්ස්වාදයට යම් ආකාරයකින් සමාජ පරිවර්තනයක් කිරීමට සහ ධනේශ්වරය පෙරළා දැමීමට හැකියාවක් ලැබෙන්නේ නම් එම හැකියාව ලැබෙන්නේ මාක්ස්වාදයට පරිබාහිරව ඇති වෙනත් දර්ශනවාදයන්ගේ සහ විද්‍යාවන්ගේ උපකාරය ලබා ගැනීමෙන් පමණකි. මාක්ස්වාදයට සමස්ත ලෝකයම ග්‍රහණය කරගත හැකි ආකාරයේ විද්‍යාවක් නෛසර්ගිකවම ගැබ් වී ඇතැයි විශ්වාස කිරීම මගින් ආධානග්‍රාහී මාක්ස්වාදයෙකුට කර හැක්කේ ලෝකය දැකීමට ඇති වෙනත් ඉතා විශිෂ්ට කවුළු තමන් විසින්ම වසා ගැනීම පමණකි. ඒ වෙනුවට අප යෝජනා කරන්නේ මාක්ස්වාදියෙකුට ලෝකය ග්‍රහණය කර ගැනීමට අවශ්‍ය නම් තමන්ගේ උඩඟුභාවය මදකට පසෙකලා ලෝකය දැකීමට ඇති වෙනත් විවිධ කවුළුවලට තම දෙනෙත් යොමු කළ යුතු බවයි. මෙම ලිපිය ඒ වෙනුවෙන් යෝජනා කරන්නේ මනුෂ්‍ය ආත්මය සහ මනෝ ලිංගික ලෝකය විග්‍රහ කර ගැනීමට සහ ග්‍රහණය කර ගැනීමට ඇති ඉතාම විශිෂ්ට මාර්ගයක් වන්නේ මනෝ විශ්ලේෂණය බවයි. විප්ලවවාදී දේශපාලනයේ විෂය වන නිර්ධනයා ඔහුගේ පන්ති දේශපාලනයෙන් ඔබ්බෙහි මනෝ ලිංගික ලෝකය තුළදී පවතින සමාජ ක්‍රමයට ගැට ගැසෙන්නේ කෙසේද සහ එම සමාජ ක්‍රමය තුළ ඔහු ප්‍රමෝදය ලබන්නේ කෙසේද යන්න පිළිබඳව මාක්ස්වාදයට කිසිදු අවබෝධයක් නොමැති බව අපට පිළිගැනීමට සිදුව ඇත. ඒ අවබෝධය ලැබෙන්නේ මනෝ විශ්ලේෂණය මගින් බව අපගේ විශ්වාසයයි. මෙම ලිපිය එම සමාජ ක්‍රමය තුළ නිර්ධනයා ලබන ප්‍රමෝදය පිළිබඳවද සම්පූර්ණ විග්‍රහයක් නොකරයි. ඒ වෙනුවට මෙම ලිපිය පුරාවටම උත්සාහ කර ඇත්තේ ක්‍රමවේදයක් ලෙස මාක්ස්වාදය විසින් ඉදිරියේදී ගත යුතු වෙනස්කම් පිළිබඳව කිසියම් විග්‍රහයක් කිරීමයි.

ලිපිය බාගත කරගැනීම සඳහා

Leftwin Magazine Vol-04 සම්බන්ධිත ලිපි

  • Editor
  • Posted by Editor
August 3, 2024

සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තමාගේ මනෝ චිකිත්සා ක්‍රමය ගැන දේශන පැවැත්වීමට ඇමරිකාව බලා ගමන් කරද්දී තමන් මේ ඇමරිකාවට...

Read More
  • Editor
  • Posted by Editor
August 2, 2024

මාලකගේ "බහුචිතවාදියා" යනු, ‘අප දන්නා දේ, අප දන්නා ආකාරය සහ අපට දැනගත නොහැකි දේ පිළිබඳ වන...

Read More
  • Editor
  • Posted by Editor
August 1, 2024

Left Win හතරවන කලාපයෙන් උත්සාහ ගන්නේ ජර්මානු විඥානවාදය, දේශපාලන ආර්ථික විද්‍යාව සහ මනෝවිශ්ලේෂණය එක් පද්ධතියක් තුළට...

Read More

We use cookies to give you the best experience. Cookie Policy