Leftwin Magazine Vol - 03

විචාරයේ වෙස් මුහුණ ගැළවීම

තිලක් කෝදාගොඩ
සංස්කරණය
සමන් පුෂ්ප කුමාර
සංස්කරණය
රුවන් කුමාර
සංස්කරණය
නදීෂ ගමආරච්චි
නිර්මාණ සංකලනය සහ අධීක්ෂණය
කුකුළෙකුට අවශ්‍ය වන්නේ පැතලි භූමියකි. කුකුළා කරන්නේ භූමියේ තැනින් තැනට දිව ගොස් පොළොව පහුරුගා පණුවන් සෙවීමත් සොයා ගන්නා පණුවන් ගිල දමා උස් තැනකට ගොස් සතුටින් හැඬලීමත්‍ ය. මතුපිට පහුරුගාන කුකුළෙකු මහපොළවේ ගැඹුරු ස්ථරයන් පිළිබඳව කිසිදා අවබෝධයක් ලැබෙන්නේ නැත. අද සිටින බොහෝ සමාජ විචාරකයන් පොළොව මතුපිට පහුරුගාන කුකුළන් වැනි ය.

සමාජ ප්‍රපංචයක් උත්පාදනය වන තත්ත්වය පරික්ෂා කිරීම, මතුපිට දෘශ්‍යමානයට යටින් තිබෙන ගැඹුරු ව්‍යුහ ගවේෂණය කිරීම හෝ ප්‍රපංචයන් වර්ධනය වන ඉතිහාසය පරික්ෂා කිරීම මතුපිට පහුරුගාන විචාරකයකුට කළ නොහැකි ය.

තිලක් කොදාගොඩ විසින් ලියා ඇති “කට වෙනුවට අත පාවිච්චි කිරීම: භූපති නලින් වික්‍රමගේ රචිත ‘අප්‍රේල් නැගිටීම ගැන අප්‍රේල් සටහන්’ පිළිබඳ  දේශපාලන මැදිහත්වීම” ලිපියෙන් ඉහත දක්වා තිබෙන ආකාරයේ මතුපිට පහුරුගැසීමක් පිළිබඳව පරික්ෂා කරයි. අරගලය සම්බන්ධයෙන් භූපතිගේ සරල අනුභූතිවාදි කියවීම අරගලය පිළිබඳ බැරෑරුම් කියවීමක් නොවන් බවත් අරගලය මුවහත් කිරීමට කිසිදු කායික හෝ බුද්ධිමය මැදිහත්වීමක් නොකර අරගල භූමියේ සැරිසරා ඕපාදූප සොයන්නෙකුමෙන් කරන ලද ලියවිල්ලක් බවත් තිලක් කෝදාගොඩගේ ලිපියෙන් පෙන්වා දෙයි. අරගල භූමියේ යම් වරදක් දුටු සැණින් ‘මම කිව්වේ මෙන්න මේකයි යනුවෙන් හඬලෑම’ කිසිදු ගැඹුරු විශ්ලේෂණයක් නොවන බව මෙහිදී පෙන්වා දෙයි.

යම් අරගලයක් දෙස වඩාත් ගැඹුරින් විචාරශීලීව සිතන්නේ කෙසේද සහ යම් භෞතිකව සිදු වූ අරගලයක් සම්බන්ධයෙන් පසුආවර්තිතව ලියන්නේ කෙසේද යන්න පිළිබඳ නිදර්ශනයක් මෙහි දී තිලක් කෝදාගොඩ විසින් ගෙනහැර දක්වයි.ක්‍රිස්ටෝපර් ක්ලාක් විසින් 2023 වර්ෂයේදී ලියන Revolutionary Spring: Fighting for a New World 1848-1849 පොත ගැන කරන අත්‍යවශ්‍ය පෙරවදනක් හරහා භූපතිගේ පොතට එළඹෙයි. 1848 විප්ලවීය කාල පරිච්ඡේදය තුළ මාක්ස් සහ එංගල්ස් යන දෙදෙනා ම විප්ලවීය සිදුවීම්වලට සහාය දක්වා ඇත. 1848 දී කොමියුනිස්ට් ප්‍රකාශනය ලියවෙන්නේ මෙම අරගල  සන්දර්භය තුළ ය.මාක්ස් සහ එංගල්ස් මෙහි දී කරන්නේ 1848 සිදුවීම් යට තිබෙන පන්ති අරගලය, මේ අරගලයට හේතු වූ දේශපාලන ආර්ථික තත්ත්වයන්, අරගලය ජයග්‍රාහී දිශාවකට ගෙන යාම සඳහා වැඩ කරන පන්තියේ එකමුතුවෙහි ඇති අවශ්‍යතාව සොයා බැලීම ය. මෙම ඓතිහාසික සිද්ධිය ඉතාම පරිස්සම් සහගත ලෙස මාක්ස් පරීක්ෂා කරයි. එරික් හොබ්ස්බෝම්ගේ ‘The Age of Revolution’ කෘතිය 1789-1848කාලය ගැන ලියවුණු එකකි. මේ විප්ලවීය සිදුවීම්වල වැදගත්කම නිසාම ක්‍රිස්ටෝපර් ක්ලාක් සිය කෘතිය සඳහා පිටු දහසක් පමණ වැය කර ඇත. එම ශික්ෂණයට හා එම සම්ප්‍රදායට ප්‍රතිවිරුද්ධව ඉතාමත් ම සරල ආකාරයට, අපහාස හා උපහාස සහිතව ගෝල්ෆේස් අරගල දාමයට භූපති විසින් මැදිහත්වීමක් කර ඇත. කෝදාගොඩ දක්වන ආකාරයට ‘ක්ලාක්ගේ ලිවීම හෙවත් කියවීම කුමක් දැයි හරියටම සටහන් කළ හොත්,ඔහුගේ ලිවීම යනු හුදු වසරක් (1848-1849) තුළ ඇතිවු දේශපාලන සංසිද්ධියක් වෙනුවට ඒ වසර විසින් ඉදිරි වසර එකසිය හැත්තෑ පහට කරන ලද බලපෑම ගැන කියවන ඓතිහාසික ලිවීමකි’. නමුත් භූපති තමන් ‘කොමියුනිස්ට්වාදියෙක්’ යැයි කියා ගනිමින් ගෝල්ෆේස් සංසිද්ධිය අවතක්සේරු කරමින් තම ආත්මීය වුවමනාවකට අනුව ෆැන්ටසි යතාර්ථයක් බිහි කරයි. 

සමන් පුෂ්පකුමාර විසින්  ලියා තිබෙන ‘ප්ලේටෝට විතණ්ඩවාදීන් මුණගැසීම’ නම් ලිපිය මේ යුගයේ විචාරය සිදුවන තවත් එක් නරුම විලාසිතාවක් හෙළිදරව් කරයි. මේ සඳහා කතුවරයා පාදක කරගන්නේ දීප්ති කුමාර ගුණරත්න විසින්  මෑත කාලයේ සමන්ට එරෙහි ව  ලියන ලද සහ විවිද තැන්වල කරන ලද විවේචනයන් කිහිපයකි. යමෙකු තවත් කෙනෙකු සම්බන්ධයෙන් විවේචනය කිරීමට කලින් තමන් ගැන ම ස්වයං විවේචනාත්මක වීම, තමන් කරමින් සිටින්නේ කුමක්ද, තමන් සේවය කරන්නේ කාටද යන ඒවා සම්බන්ධයෙන් ස්ව සවිඥානකත්වයක් තිබිය යුතු බව මෙම ලිපියෙන් පෙන්වා දෙයි. විවේචකයා තමන් දෙසට ම පරාවර්තනය වීමත් ශික්ෂකයා ද ශික්‍ෂණය වීමත් ගැන මෙම ලිපියෙන් ඇඟවුම් කෙරෙයි. යමෙකු තවකෙකෙකු සම්බන්ධයෙන් විවේචනයක් ගෙන එන්නේ නම් අවම වශයෙන් කරුණුමය නිවැරදිතාව, සංඝත බව, න්‍යායාත්මකව ගම්‍යමාන වීම සහ පුළුල් සමස්තයක තබා කොටස් විශ්ලේෂණය කිරීම අපේක්ෂා කෙරේ. එමෙන්ම විචාරය හරහා අනෙකාව වෙනස් කිරීමත්, එයින් තමන්වමත් වෙනස් කර ගැනීමත් එහි දී බලාපොරොත්තු වෙයි. නමුත් දීප්ති කුමාර ගුණරත්න සිය විවේචනයන් ඉදිරිපත් කරන්නේ විවේචනයට ලක්වන පුද්ගලයා තමන්ට පක්ෂපාතී වනවා ද නොවනවාද, තමන්ව වගවර්ණනා කරනවා ද නොකරනවා ද, තමන්ගේ ව්‍යාපෘතියේ කොටස්කාරයකු වනවා ද නොවනවා ද යන ඒක පාර්ශ්වීය සහ ද්වෛතවාදී  දැක්ම හරහා ය. ඔහු අන්‍යෝන්‍ය ප්‍රතිපක්ෂ හරහා තමන්ගේ සියලු ම විචාරයන් ගොනුකර ඇත. එනිසා ම ඔහුගේ විචාරයන් අවිචාර විචාරයන්ය. යමෙකු නිශ්චිත අදහස් පද්ධතියක් සමග කාලයක් වැඩ කරන විට තමන් තුළම ස්වයං ශික්ෂණයක් ගොඩනැගෙයි. දීප්ති කුමාර ගුණරත්න ව්‍යුහවාදය, පශ්චාත් ව්‍යුහවාදය, මනෝ විශ්ලේෂණය, විසංයෝජනය ආදී විෂයයන් සමග ගනුදෙනු කරනවා යැයි කීව ද ඔහු එම විෂයයන් හරහා ශික්ෂණයක් ලබාගෙන නැත. මෙම කිසිදු විෂයක සාරය ඔහු ආත්ම ගත කරගෙන නැත. මේ නිසා ම ඔහු බුද්ධිමය, දේශපාලනික, දාර්ශනික සහ අධ්‍යාත්මික වශයෙන් දැවැන්ත පිරිහීමකට ලක් වී ඇත. එමෙන්ම අවිචාර විචාරකයෙකුට කිසිදු සමාජ ප්‍රගමනයක් වෙනුවෙන් ක්‍රියාත්මක විය නොහැකි ය. මෙම ලිපියෙන් පෙන්වා දෙන්නේ ඔහු දර්ශනය පාවිච්චි කරන්නේ අතිශය පෞද්ගලික සහ ආත්මවාදී කටයුත්තකට බවත් ඔහු සේවය කරන්නේ අන්ත ප්‍රතිගාමී දේශපාලනයකට බවත් ය.

රුවන් කුමාර විසින් ලියා තිබෙන ‘අධ්‍යාපනය පාරිභෝගික භාණ්ඩයක්ද?’ ලිපිය මුල් ලිපි දෙකට වඩා තරමක් වෙනස් ය එය අධ්‍යාපනය සම්බන්ධයෙන් විචාරාත්මක අදහසක් ගොඩනැගීමට ගන්නා උත්සාහයකි. පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් දැනට සිංහල භාෂාවෙන් ලියැවී තිබෙන කෘතීන් දෙකක් වන අනුරුද්ධ ප්‍රදීප් කර්ණසුරිගේ ‘පෞද්ගලික විශ්ව විද්‍යාලය විලාසිතාව සහ යථාර්ථය’ නම් කෘතියත් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ලියා තිබෙන ‘පෞද්ගලික විශ්වවිද්‍යාලයේ මිත්‍යාවෙන් යථාර්ථයට’ කෘතියත් විචාරාත්මකව පරීක්ෂා කිරීමත් ඒවායේ අදහස් වලින් ඔබ්බට යෑමේ අවශ්‍යතාවත් පෙන්වා දීම මෙම ලිපියෙහි අරමුණ වේ. කෘති දෙක ම අධ්‍යාපනය සම්බන්ධයෙන් තාක්ෂණික, ඥාන විභාගාත්මක සහ සද්භවවාදී කාරණාවන් ගණනාවක් ගොනුකර ඇති බව රුවන් කුමාර පෙන්වා දෙයි. මෙම ලිපියේ කතුවරයා අධ්‍යාපනය සම්බන්ධයෙන් දේශපාලන ආර්ථික විද්‍යාත්මක සහ සත්භාවවාවාදී ප්‍රවේශය තවදුරටත් ඉදිරියට ගෙන යාමක් කර ඇත. විශේෂයෙන්ම අතිරික්ත වටිනාකම නම් ප්‍රවර්ගය හරහා අධ්‍යාපනය දෙස බැලීමක් මෙහිදී සිදු කර ඇත. ප්‍රාග්ධනයේ තර්කයට අධ්‍යාපනය සම්පූර්ණයෙන් ම යටත් කළ යුතු ද, අධ්‍යාපනයෙන් කොටසක් යටත් කළ යුතු ද, ප්‍රාග්ධනයේ තර්කයෙන් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ගැලවිය යුතු ද යන සංවාදයක් මේ මොහොතේ ක්‍රියාත්මක වන අවස්ථාවක රුවන් කුමාර තම  තර්කයන් ගොනු කරයි. අනුරුද්ධ ප්‍රදීප් අධ්‍යාපනය පාරිභෝගික භාණ්ඩයක් ලෙස සැලකීමේ ගැටලුවක් නැති බව යම් යම් කොන්දේසි යටතේ තර්ක කර ඇති බවත් රාජ්‍යය  විසින් නියාමනය කරන්නේ නම් සහ රාජ්‍යයට බදු මුදල් ගෙවන්නේ නම් අධ්‍යාපනය පාරිභෝගික භාණ්ඩයක් ලෙස සැලකීම ගැටලුවක් නොවන බව අනුරුද්ධගේ තර්කය බව ලිපියේ කතුවරයාගේ මතය වේ. නමුත් මෙයට ප්‍රතිවිරුද්ධව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ‘අධ්‍යාපනය පාරිභෝගික භාණ්ඩයක් නො වේ’ යනුවෙන් සත්භාවවාදී තර්කයක් මතුකර තිබීම ඉතාමත් වැදගත් බව කතුවරයාගේ මතය වේ.  ඔහු නිර්වචනය කරන ආකාරයට ‘යම් නිශ්චිත කාරණයක්හි ප්‍රායෝගික ස්වරූපය හෝ අන්තර් සම්බන්ධතා හැටියට සලකනවා වෙනුවට ප්‍රපංචයේ මූලික ස්වරූපයෙන් සලකා ලැලීමට, එනම්, ප්‍රපංචය (අධ්‍යාපනය) ක්‍රියාත්මක වන්නේ රාජ්‍යය යටතේ ද, උගන්වන්නේ මොනවා, ද විශ්ව විද්‍යාල කීයක් තිබෙනවා ද වැනි ප්‍රශ්න වෙනුවට අධ්‍යාපනය සියලුම දෙනාගේ ජාතිය, ආගම, වර්ගය, මූල්‍ය හැකියාවන්ගෙන් ඔබ්බේ ඇති සියලු දෙනාම ලැබිය යුතු සහ වටිනාකමක් ඇතත් මිලක් කිසිම විටෙක නියම නොකළ යුතු  අතිශයින්ම මූලික අයිතිවාසිකමක් හැටියට සලකන්න සහ පිළිගන්න’ යන තර්කයෙන් රුවන් කුමාර පෙන්වා දෙන්නේ අධ්‍යාපනය පාරිභෝගික භාණ්ඩයක් කිරීමට බාධා කෙරෙන සද්භවවාදී හේතුව ය. ශිෂ්‍ය ව්‍යාපාරයේ ප්‍රවේශය මගින් පෞද්ගලික විශ්වවිද්‍යාල සහ අධ්‍යාපනය සම්බන්ධ  අනුරුද්ධ ප්‍රදීප්ගේ තාක්ෂණික විසඳුම් වෙනුවට අධ්‍යාපනයේ නෛසර්ගික සද්භවවාදී කාරණයන් මතු කිරීම දියුණු ක්‍රමවේදයක් ලෙස දකියි. නමුත් සිසු ව්‍යාපාරයේ ප්‍රවේශය තුළත් පවතින ගැටළුවක් කතුවරයා මෙහිදී පෙන්වා දෙයි. ශිෂ්‍ය ව්‍යාපාරය සහ වාමාංශික ව්‍යාපාරය දැනටමත් දිනා ගත් දේවල්  පාරිභෝගික භාණ්ඩ බවට පත්වීමේ විභවයක් පවතින බව රුවන් කුමාරගේ තර්කය ය. අධ්‍යාපනය පමණක් නොව ආහාර, නිවාස, සෞඛ්‍යය යන කලාපයන්ද අතිරික්ත වටිනාකම් සහ වෙළඳපොළ  තර්කනයෙන් ගලවා සද්භාවවාදී ක්ෂේත්‍රයකට රැගෙන ආ යුතු බව ඔහුගේ තර්කය වේ.

Leftwin Magazine Vol-03 සම්බන්ධිත ලිපි

  • Editor
  • Posted by Editor
December 8, 2023

කුකුළෙකුට අවශ්‍ය වන්නේ පැතලි භූමියකි. කුකුළා කරන්නේ භූමියේ තැනින් තැනට දිව ගොස් පොළොව පහුරුගා පණුවන් සෙවීමත්...

Read More
  • Editor
  • Posted by Editor
December 7, 2023

1848 පැරීසියෙන් පටන්ගෙන යුරෝපය හරහා හඹා ගිය විප්ලවය සාර්ථක වූයේ නැත. නමුත් එය අසාර්ථක වූයේද නැත....

Read More
  • Editor
  • Posted by Editor
December 7, 2023

විතණ්ඩවාදීන් වනාහි ක්‍රි.පූ. පස්වන සියවසේ ග්‍රීසියේ සිටි දාර්ශනික කණ්ඩායමකි. නම් වලින් හඳුනා ගතහොත් ප්‍රොටගෝරස්, ජෝර්ජියාස් හා ...

Read More
  • Editor
  • Posted by Editor
December 6, 2023

2022 ආර්ථික අර්බුදය පසු ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇතිවන සාකච්ඡාවල ප්‍රධාන මාතෘකාවක් වන්නේ රාජ්‍යය විසින් කරන...

Read More

We use cookies to give you the best experience. Cookie Policy