Back

සේපාල ආගම විවේචනය කරන්න යාම

සේපාල අමරසිංහ දළදාවට ‘ලබ්බ’ කීම නිසා ‘මහනායක’ භික්ෂූන්ගේ බලපෑම මත දේශපාලන කුණු කූඩයට විසිවී සිටි ‘පිං ජනාධිපති’ රනිල්ගේ බලපෑමෙන් අත්අඩංගුවට පත්වීමත් සමග කුජීතවී සිටි ජාතිවාදී හා ආගම්වාදී බත්බැළයන් ලබ්බට එරෙහිව අවි අමෝරා ගැනීම විකට චිත්‍රපටයක ආකාරයෙන් දිගහැරෙමින් තියෙනව. දැන් බොහෝ දෙනා ‘ලබ්බ’ ගැන විශේෂයෙන් උනන්දුයි. සමහර සිංහල මහාචාර්යවරු ලබ්බ ආදි සිංහලයට අනුව අර්ථකතනය කරමින් ඉන්නව. තවත් සමහරු ලබුකැට එල්ලගෙන දඟලනව.

1993 සිරස FM නාලිකාවේ සති අග වැඩසටහනක් වූ ‘සුළංකපොල්ල’ ට අතින් ගෙවාගෙන ටෙලිෆෝන් කර පටන් ගත් සේපාලගෙ තිස් අවුරුදු හිස් නන්දෙඩවිල්ල එක්තරා කඩඉමකට පැමිණ තියෙනව. තව පොඩ්ඩෙන් සේපාල හිරේට දාන්නෙ පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු ද කැම්පේන් කර බලයට ගෙනා ගෝඨාභයගෙ නියෝගයෙන් හිරේට යාම වැළකුණේ අනූ නවයෙන්. ඒ මේ රටේ මහජන නැගිටීම විසින්. සේපාල කියන්නෙම මේ රටේ සාමාන්‍ය සිංහල බෞද්ධ ආත්මයක්. ඒ තුල දෙමළාට මෙන්ම මුසල්මානුවාට එරෙහි ජාතිවාදය යහමින් තිබූණ. එහි කූටප්‍රාප්තිය තමයි 2019 දි “උත්තරය” ගෝඨාභය කියල ‘හැට නම ලක්ෂෙ එකෙක්’ වීම. කොහොමටත් සේපාල කියන්නෙ, සාමාන්‍ය මහජනයා වගේම ජනප්‍රිය රැළි බලා පිහිනන්නෙක්. ජවිපෙ පස්සෙ වැටුණෙත් ඒ නිසයි. ජවිපෙ සේපාල ව දන්නෙ නෑ කිව්වම සමහරුන්ට මළ පැන්නා. ජවිපෙ සේපාල දන්නෙ කොහොමද ‘කුමාර් ගුණරත්නම්’ වත් දන්නෙ නැතිකොට. සේපාල 2013 දී ‘අපේ කාලයේ දාර්ශනිකයා’ ලෙස හැඳින්වූ දාර්ශනිකයාගේ සිට හැමෝම ලබ්බට තඩිබානු පෙනෙයි. කොහොම නමුත් සේපාලගෙ මේ නන්දෙඩවිල්ල නිසා එක දෙයක් සිද්ද වුණා. ඒ මාක්ස් කිව්ව වගේ “දළදාව” අර්චනකාමී වස්තුවක් ලෙස පෙබරවාරි සිට මහජනයාට විවෘත වෙනව.

අපිට කියන්න තියෙන්නෙ, ඔය කොයි මාළිගාවෙත්, කොයි දේවලෙත් එල්ලා ඇති තිරය පිටුපස දෙයියො නෑ. එතන හිස්. ඒ වගේම සේපාල කියන ලබ්බට එහාත් කිසිවක් ඇත්තෙත් නෑ. ඒ වචනෙට යටින් හෝ එපිටින් කිසිදු යටි පෙළක් නෑ. එතනත් හිස්.

කොහොමටත් “ආගම” සංකල්පයක් ලෙස හා බල අධිකාරයක් ලෙස විවේචනය කර අවසන්. එය අවසන් කළ කාර්යයක්. එක පැත්තකින් දාර්ශනිකවත් අනෙක් පැත්තෙන් දේශපාලනිකවත් විවේචනය කර අවසන්. සිහි බුද්ධිය තිබෙන අය අවසන් කළ දෙයක් නැවත කරන්න යන්නෙ නෑ. සේපාලගෙ ලබ්බ පැත්තකින් තබා අපි කරන්නෙ ඒ දාර්ශනික හා දේශපාලනික විවේචනය ඉතාමත් සංෂිප්තව නැවත මතක් කිරීම.

ආගම පිළිබඳ විවේචනය

ක්‍රිස්තියානි ආගම ස්වයං විඥානයේ ආකාරයක් ලෙස මුලින්ම මතු කරන්නෙ හේගල්. ඔහුගේ සුවිශේෂී දාර්ශනික ප්‍රවේශයට අනුව, අපෝහක හා ඓතිහාසික ක්‍රමයක් භාවිතා කරමින්, හේගල් ක්‍රිස්තියානි ආගමේ අර්ථය සහ එහි ලාක්ෂණික මූලධර්ම පිළිබඳ රැඩිකල් ලෙස නැවත ප්‍රතිඅර්ථකථනයක් ඉදිරිපත් කරනව. ඒ පිළිබඳව ඔහු මුලින්ම කතා කරන්නෙ, 1807 දි ප්‍රකාශයට පත් කරන The Phenomenology of Spirit තුලින්. ඉන් පසු, 1832 දි ප්‍රකාශයට පත්වූ Lectures on the Philosophy of Religion හා 1906 දි ප්‍රකාශිත Life of Jesus තුලින් තව දුරක් යනව.

හේගල් සිය Encyclopaedia Philosophical Sciences කෘතියේ කියා සිටියේ දර්ශනය විරහිත ආගමක් තිබීමට පුළුවන් නමුත් ආගම විරහිතව දර්ශනයක් තිබිය නොහැකි බව. මක්නිසාද දර්ශනය තුළ ආගම ඇතුළත් නිසා. ආගම මගින් අති මූලික සත්‍යයක් ප්‍රකාශ කරන අතර දර්ශනය මගින් කරන්නේ දාර්ශනික යෙදුම් ආශ්‍රයෙන් එම අති මූලික සත්‍යය ප්‍රකාශ කිරීමයි. මේ දෙකෙන්ම කරන්නේ ඵකම සත්‍යය ආකාර දෙකකට ප්‍රකාශයට පත්කිරීමයි. දර්ශනයේ වස්තුව මෙන්ම ආගමේ වස්තුව දෙකක් නොව එකක්. හේගල් තමන්ගේ Lectures on the Philosophy of Religion කෘතියේ කියා සිටියේ God is the one and only object of philosophy යනුවෙන්. Absolute යනු දර්ශනය තුළ දෙවියන් වහන්සේ හඳුන්වන වචනයයි. පරමත්වය අවබෝධ කර ගත හැකිවා මෙන්ම දෙවියන් තුළ ද කිසිදු රහසක් නැත. දෙවියන්ගේ සාරය යනු අවසානයේ මනුෂ්‍ය සාරය මයි. දෙවියන්ට ද විමුක්තිය ලැබිය හැක්කේ මිනිසා හරහාමයි. දර්ශනය තුල ක්‍රිස්තියානිය ලෙස ගත්තේ ආගමික විඥාණයේ ඉහළම ආකෘතිය ලෙසයි. එමෙන්ම ආගමික සත්‍යය සමපේක්ෂණමය දර්ශනයෙන් අවබෝධ කරගත හැකියි. මේ ලෝකය නොමැතිව දෙවියන්ට දෙවියන් විය නොහැකිය. යුදෙව් ආගමේ දෙවියන් උත්කර්ෂණමය වස්තුවක් වුවත් ක්‍රිස්තියානිය තුළ දෙවියන්ගේ උත්කර්ෂණමය බව අහෝසි වී යයි. කුරුසයේ ඇණ ගසා සිටි ජේසුස්ව දෙවියන් වහන්සේට ගලවාගැනීමට නොහැකි වුණා.

ආගම සම්බන්ධයෙන් මාක්ස් හ එංගල්ස් කරන්නෙ හේගල් අවසන් නොකළ වැඩ කොටස සම්පූර්ණ කිරීම.

මාක්ස් ප්‍රසිද්ධියේ කියා සිටියේ සියලු විවේචන ආරම්භ වන්නේ ආගම විවේචනය කිරීමෙන් බවයි. මාක්ස්ට අනුව ආගම යනු සමාජය ක්‍රියාත්මක වන ආකාරයට හේතු සහ නිදහසට හේතු සපයන මායාවක්. ඔහු කියන්නෙ ආගම සමාජයේ අනෙකුත් සමාජ සංස්ථා හා සමාන බව. ඒ අනුව ආගම ද රඳා පවතින්නේ සමාජය තුල පවත්නා ද්‍රව්‍යමය හා ආර්ථික යථාර්ථයන් මත. එයට ස්වාධීන පැවැත්මක් හා ඉතිහාසයක් නෑ. ඒ නිසයි ඔහු කිව්වෙ, “ආගමික ලෝකය යනු සැබෑ ලෝකයේ ප්‍රත්‍යාවර්තකයක්” (“The religious world is but the reflex of the real world.”) කියා.

මාක්ස් සහ එංගල්ස් ට අනුව, මිනිසුන්ගේ එදිනෙදා ජීවිතය පාලනය කරන්නේ බාහිර බලවේගයන්ගේ මනස් තුළ ඇති අපූරු පරාවර්තනයකින් මිස අන් කිසිවකින් නොවෙයි. ප්‍රාථමික සමාජය තුළ මිනිසා පාලනය කළේ ස්වභාවධර්මයේ බලයෙන් වන අතර, නූතන ලෝකයේ මෙම බාහිර ආධිපත්‍යය ක්‍රියාත්මක කරන්නේ සමාජ ක්‍රමයේ පන්ති බලවේගයයි. මෙතෙක් පැවැති ස්වභාවධර්මයේ අර්චනකාමය (fetishism of nature) වෙනුවට මෙතැන් සිට “භාණ්ඩවල අර්චනකාමය” (fetishism of commodities) ට පැමිණේ. මාක්ස් ආගම පිළිබඳ සිය න්‍යාය වර්ධනය කළේ හේගල් මෙන්ම විශේෂයෙන් ෆොයබාහ්ක් ආදර්ශයට ගනිමින්. ඔහු සිය විවේචනය සඳහා යොදා ගත්තේ හේගල්ගෙන් විඥානවාදී අපෝහක ප්‍රවේශයත්, ෆොයබාහ්ක්ගේ භෞතිකවාදී පදනමත්. මිනිසා තමාගේම පරිපූර්ණත්වය අද්භූත දේට ප්‍රක්ෂේපණය කරන අතර මෙම ගුණාංගවල එකතුව ‘දෙවියන්’ ලෙස හඳුන්වනව. මෙම ක්‍රියාවලිය ඇත්ත වශයෙන්ම මිනිසා තමාගෙන් ඈත් කරන බව මාක්ස් පවසනව. දෙවියන් වැනි මිත්‍යාවන් නිර්මාණය කිරීමට මිනිසාව පොලඹවන්නේ ආර්ථික හා සමාජ බලවේග බව ප්‍රකාශ කිරීමේදී ඔහු ෆොයබාහ්ක් ඉක්මවා යනව. මාක්ට අනුව, ආර්ථික පර්යාය තුළ දක්නට ලැබෙන විරසකයට යටින් පවතින හේතූන්වලින් මිනිසා නිදහස් නොවන තාක් මිනිසා තමාගෙන් විරසක වී ඇති බව හුදෙක් හඳුනාගැනීමෙන් යහපතක් සිදු නොවේ. මක්නිසාද යත්, “මිනිසුන්ගේ විඥානය විසින් ඔවුන්ගේ ජීවිත තීරණය කරන්නේ නැත, නමුත් ඊට ප්‍රතිවිරුද්ධව, ඔවුන්ගේ සමාජීය පැවැත්ම විසින් ඔවුන්ගේ විඥානය තීරණය කරයි.” මානව දුෂ්කරතා සහ විරසකභාවය පිළිබඳ මාක්ස්ගේ විග්‍රහය ඔහුව ආගම විවේචනයේ සිට සමාජය විවේචනය කිරීම දක්වා ගෙන යනව. සමාජයේ සහ ආර්ථික ක්‍රමයේ රැඩිකල් වෙනසක් නොමැතිව ආගම බැහැර කළ නොහැකි බවයි ඔහු පවසන්නෙ. ආගම විවේචනය කිරීමෙන් පමණක් මිනිසුන්ගේ මනසින් ආගම ඉවත් කළ හැකි බව ඔහු විශ්වාස කළේ නැත. ඊට වෙනස්ව ආගම විවේචනය කිරීම සමාජය විවේචනය කිරීමේ මූලික පියවරක් ලෙස ගෙන සමාජය වෙනස් කිරීම පමණක් නොව ආගමේ පදනම ද විනාශ කරන විප්ලවවාදී දේශපාලන ක්‍රියාමාර්ගය සමඟ සමාජය විවේචනය ද අත්වැල් බැඳගත යුතුබව ඔහු පවසනව. මාක්ස්ගේ ආගම පිළිබඳ විවේචනයේ මූලික මූලධර්මය වන්නේ, රාජ්‍යය සහ සමාජය ඔවුන්ගේ නිශ්චිත, අසම්පූර්ණ, අසාධාරණ, අමානුෂික ස්වරූපයෙන් මනුෂ්‍යයන් තුළ මිනිසාගේ විකෘතියට අනුරූප වන ප්‍රතිලෝම හෝ විකෘති විඥානයක්, එනම් ආගමික විඥානයක් ඇති කරනවා යන්නයි.

දුප්පතුන්ට මේ ජීවිතයේ සතුට සොයාගත නොහැකි නිසා, ඊළඟ ආත්මයේදී එය සොයාගත හැකි බව ආගම ඔවුන්ට කියනව. මාක්ස් නිගමනය කරන්නේ අබිං පදනම් වූ මත්ද්‍රව්‍ය සේම, ආගම දුක් විඳීමට තාවකාලික විසඳුමක් පමණක් වන අතර එය දුක් විඳීමට සැබෑ හේතුව අමතක කිරීමට උපකාර වන බැවින් එය අතිශයින් හානිකර විය හැකි බව. මාක්ස් හා එංගල්ස් ආගම සම්බන්ධයෙන් කළ මේ අදහස් ප්‍රකාශයට පත් වන්නෙ 1955 දි. ඒ “On Religion” තුලින්.

We use cookies to give you the best experience. Cookie Policy