අපට ලැබුණු ඊනියා නිදහසෙන් පසු අප ආණ්ඩුකරණයට ඇතුල් වන්නේම 1948 දී කඳුරට ජනයාගේ පුරවැසි අයිතීන් නැතිකරගෙනය. ඉන් පසුව භාෂා දෙකක් තිබුණු තැනක එය පැය විසි හතරක් ඇතුළත එක භාෂාවක් බවට පත් කර අනෙක් භාෂාව කතා කළවුන් ඒ රටේම පිටස්තරයින් බවට පත් කරමින්ය. එතනින් නොනැවතුණු සිංහල බෞද්ධ අපරාධකාරී රාජ්‍යය 1958 දී “සාමකාමීව යුක්ති සහගතව ජීවත්වෙන්න ඉඩ දියල්ලා” කියා හඬ නැගූ උතුරේ දෙමළ ජනයාගේ සාමකාමී සත්යග්රහවලට ප්රචණ්ඩ ආකාරයේ මර්දනයෙන් පිළිතුරු දුන්නේය. ඉන් පසු 1971 දි ඒ රාජ්‍ය මර්දනය දකුණේ සිංහල තරුණයින් වෙත මාරු කළේය. ඒ එවකට පැවැති තරුණ ඉච්ඡාබංගත්වය හා සමාජ ආරක්ෂණය පිළිබඳ තිබුණු බිඳවැටීම යන හේතු මුල් කරගෙන ඊට එරෙහිව ආයුධ සන්නද්ධව කෙරුණු තරුණ දේශපාලන නැගිටීම මර්දනය කළේ ඊට වඩා බර අවි භාවිතා කිරීමෙන්ය. එහි ප්‍රතිඵලය වූයේ විසි දහසක් පමණ ඝාතනය කිරීමය. ඉන් පසු 1983 දී දකුණේ සිංහල තරුණයින් මෙන්ම සිය ජාතික නිදහස පිළිබඳ සාධාරණ සාමකාමී ඉල්ලීම් මර්දනයෙන් යටපත් කිරීමට එරෙහිව උතුරේ තරුණයෝද මර්දනීය අපරාධකාරී රාජ්‍යයට එරෙහිව ආයුධ අතට ගත්හ. ලක්ෂයකට ආසන්න මිනිස් ජීවිත බිළි ගනිමින් වර්ග සංහාරක යුද්ධයකින් එය කෙළවර වූයේ 2009 දීය. ඒ අතර එනම්, 1989 දී දකුණේ තරුණයන් එවකට පැවැති රාජ්‍ය මර්දනයට එරෙහිව අවි අතට ගත්හ. 1991 දී එය අවසන් වූයේ ඊට නායකත්වය දුන් දේශපාලන ව්‍යාපාරයේ නායකයා ඇතුළු හැටදාහකට එහා ජීවිත බිළි ගනිමිනි. අපරාධකාරී රාජ්‍යයේ ඉතිහාසයට අයත් මේ සෑම අවස්ථාවකම රාජ්‍යය අපරාධකාරීව මැදිහත් වූයේ සිය පාලන බලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙනි. නමුත් 2019 අප්‍රේල් 21 වැනි දින මේ අපරාධකාරී රාජ්‍යය විසින් සාහසික පාස්කු ප්‍රහාරය සැළසුම් සහගතව දියත් කරන්නේ බලයට ඒම සඳහාය.
ලංකාවේ ආරක්ෂාවට අදාළ ආරක්ෂක කටයුතු භාරව සිටි ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරීන් පස් දෙනෙකු මේ ප්‍රහාරය සම්බන්ධයෙන් විදේශීය ආරක්ෂක බුද්ධි තොරතුරු ජාලා මගින් දැනුවත් කර තිබුණද එය වැළැක්වීම සඳහා කිසිදු ආරක්ෂක ක්‍රියා මාර්ගයක් අනුගමනය නොකිරීම සම්බන්ධව නම් කර තිබෙන්නේ චැනල් 4 හෝ මෙම ප්‍රහාරයට එරෙහි වන්නන් නොව මේ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එවකට පැවැති ආණ්ඩුව විසින් ම පත් කළ කොමිෂන් සභාව ඉදිරිපත් කළ වාර්තාව මගින්මය. බ්‍රිගේඩියර් සුරේෂ් සලෙයි යනු ඉන් එක් අයෙකු පමණි. ඉන්දියාවේ අගමැති මෝදිගේ (2019) ජාතික ආරක්ෂක නියෝජ්‍ය උපදේශක රාජේන්ද්‍ර කන්නා (Rajinder Khanna) 2019 වසරේදී ඒ ඒ රටවලට අයත් ආරක්ෂාව සම්බන්ධව පැවැති ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික ජාත්‍යන්තර සමුළුවකදී ලංකාවේ දී සිදුවීමට යන මේ ප්‍රහාරය ගැන ඊට පෙර එනම්, 2019 අප්‍රේල් 04 වැනිදා(කොළඹ සහ ඊට තදාසන්න ස්ථාන අටකදී සිදු කළ බෝම්බ ප්‍රහාර මාලාව 2019 අප්‍රේල් 21 වැනිදා සිදුවූ අතර ඉන් 269 කට ජීවිත අහිමි වී 500 කට ආසන්න පිරිසකට මාරාන්තික තුවාළ සිදු විය) ලංකාවේ ඉහළ ආරක්ෂක නිලධාරීන් දැනුවත් කළ බව විවෘතව ප්‍රකාශ කර තබුණි. එවකට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා වූයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනය. ඔහුද මෙම ප්‍රහාරය ගැන සෙවීම සඳහා පත් කළ කොමිෂන් සභා වාර්තාවේ මෙම ප්‍රහාරය වැළැක්වීම සඳහා කිසිවක් නොකළ බවට චෝදනා එල්ල වූ ප්‍රධාන ආරක්ෂක නිලධාරීන් පස් දෙනාගෙන් තවකෙකි. ඉන් පසු ගෝඨාභය ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී සති තුනකට පසුව වඩා හොඳ ආරක්ෂාවක් ලබා දෙන බවට පොරොන්දු වෙමින් මෙම ප්‍රහාරය වැළැක්වීම සඳහා කිසිවක් නොකළ බවට කොමිෂන් සභා වාර්තාවෙන් චෝදනා එල්ල වූ සුරේෂ් සලෙයි රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස පත් කළේය. හමුදාවට අයත් නිලධාරියෙකු රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ප්‍රධානියා ලෙස පත් වන්නේ ලංකාවේ ප්‍රථම වතාවටය. මීට පෙර එම තනතුරට පත් කරන ලද්දේ සිවිල් සේවයට අයත් ඉහළ පොලිස් නිලධාරියෙකි. චැනල් 4 මෙම වීඩියෝ වාර්තාව එළි දැක්වීමෙන් සිදුවන ප්‍රධාන සාධනීයම කාරණය වන්නේ මෙතෙක් මේ සිදුවීම සම්බන්ධ සාක්ෂි නොමැතිව ඊට වගකිවයුතු අය ගැන සඳහන් කළද මෙමගින් ප්‍රථම වතාවට ඊට අදාළ සාක්ෂිකරුවන් සම්බන්ධ කිරීමෙන් ඒ පිළිබඳ පැහැදිළි විශ්වාසනීයත්වයක් හෙවත් සාධාරණ සැකයක් (Reasonable Doubt) ගොඩ නැගීමට හැකි වීමත්, මේ හෙළිදරව් කිරීම නිසා මේ සාහසික සිදුවීම ගැන කලින් දැනුවත්ව සිටි එහෙත් එය වැළැක්වීම පැහැරහැරි නිලධාරීන් පස්දෙනාගෙන් කිසිවෙකු රටින් පිටවූ පසු ඒ ඕනෑම රටකදී විශ්ව අධිකරණ බලය (Universal jurisdiction) යටතේ ඕනෑම කෙනෙකුට නඩු පවරා අත් අඩංගුවට ගැනීමේ හැකියාවක් පැවතීමයි. ඒ අනුව 2019 අප්‍රේල් 21 ඉරිදා සිදු කළ සාහසික මිනිස් ඝාතනය සම්බන්ධ සත්‍යය හා යුක්තිය මතුකර ගැනීමට අදාළ වැදගත් සාක්ෂි සහිත චැනල් 4 ගවේශනාත්මක හෙළිදරව්ව මගින් එය නැවත මතු කිරීම ම සත්‍යය හා යුක්තිය අපේක්ෂා කරන්නන්ට අතිශයින් වැදගත්ය. එපමණක් නොව මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළව එම මොහොතේ හමු වූ ජංගම දුරකථන සිම් කාඩ් පත් මගින් හමුවූ මගහැරිය නොහැකි සාක්ෂි කිහිපයකට අනුව ‘ත්රිපොලි ඝාතක කල්ලියක්’ ගැන කතා වුණි. ඒ බව 2017 මාර්තු 20 වැනි දින ලසන්ත ඝාතන නඩු විභාගය කැඳවූ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම සිදුකර ඇත්තේ එවක යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් කපිල හෙන්දවිතාරණ යටතේ සිටි හමුදා “ත්රිපොලි කල්ලිය” නම් බුද්ධි අංශ කණ්ඩායමකින් බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සාක්ෂි දෙමින් පවසා තිබුණි. ලසන්ත ඝාතනයට අදාළ වැඩි දුරටත් සාක්ෂි විමසීමේදී එම ඝාතනය සඳහා පැමිණි ඝාතකයින් පාවිච්චි කළ ජංගම දුරකථන සිම් කාඩ් පත් පහම බුද්ධි අංශ නිලධාරීන් පාවිච්චි කර ඇති බව හෙළි වී ඇතැයි මහේස්ත්‍රාත් අධිකරණයේදී පවසා සිටියේ අන් කවරෙකුවත් නොව රහස් පොලිසියයි. චැනල් 4 එළිදරව්ව මගින් ලසන්ත ඝාතනය ගැන පමණක් නොව ඊට සම්බන්ධ යැයි කියවුණු “ත්රිපොලි කල්ලිය” ගැනද එම කල්ලියට ඝාතන කොන්ත්‍රාත්තුව දුන් එවකට ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය ගැනද පැහැදිළි සාක්ෂි (මේ ඝාතනය සම්බන්ධයෙන්ද මෙතෙක් පැහැදිළි සාක්ෂි නොතිබුණි) ගෙන එයි. එහෙයින්, චැනල් 4 හෙළිදරව්ව ගැන වඩාත් දේශපාලනික ආකාරයට කිවහොත්, ඉතාම නරුම ලෙස උමතුවෙන් පෙළෙන රටක සිය බලය සඳහා සිදු කරනලද අපරාධ වඩා හොඳින් ග්‍රහණය කර ගැනීමට අපට උපකාර කරයි.
එපමණක් නොව, මෙතෙක් බොහෝ දෙනා වයෙන් ඔරෝ කියන ලද පාස්කු ප්‍රහාරයේ ‘මහ මොළකරු’ කව්දැයි නිරවුල්ව කියයි. එනම් 2019 නොවැම්බර් 16 වැනිදා පැවැත්වූ ජනධිපති මැතිවරණයේදී එහි ප්‍රධාන අපේක්ෂකයෙකු ලෙස තරඟ කළ ගෝඨාභය රාජක්ෂගේ ජයග්‍රහණයේ වාසියට මේ සාහසික සිදුවීම සැළසුම් කළ බවය. එපමණක් නොව ගෝඨාභය රාජපක්ෂ එවක ආරක්ෂක ලේකම් ධූරයේ සිටිද්දී සිදු කළ අපරාධ හා වංචා හෙළි කළ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අණ දුන්නේද පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වූ ගෝඨාභය වග මෙමගින් පැහැදිළිව හෙළි කරයි. ලංකාවේ මේ ‘රාජ්‍ය අපරාධකාරීත්වය’ දිග හැරෙන්නේ හරියටම ඇමරිකවේ හෝ මෙක්සිකෝවේ රූපවාහිනී ත්‍රාස්‍යජනක කතා මාලාවක කොටස් ලෙසය. එය එතරම්ම ඇඟ කිළිපොලා යන ආකාරයේ තරම් බිහිසුණුය. චැනල් 4 වීඩියෝවට අදාළව මේ සිදුවීමට සෘජුව සම්බන්ධ චුදිතයන් තිදෙනෙකු දැනටත් රාජ්‍යයේ ප්‍රධාන ආයතන තුනක ප්‍රධානියෝය. එකෙකු සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ය. මේ බරපතල අපරාධකාරයා ඔහුගේ හිටපු මාධ්‍ය ලේකම්වරයා කියන ආකාරයට මේ සාහසික අපරාධය සැළසුම් කර ඇත්තේ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියදීය. මොහු සැකකරුවෙක් ලෙස බන්ධනාගාර ගත වන්නේ 2005 දෙසැම්බර් 25 වැනි දින අළුයම 1.20 ට පමණ මඩකලපුව මධ්‍යම පාරේ ශාන්ත මරියා දේවස්ථානයේ පවත්වන ලද විශේෂ නත්තල් දේව මෙහෙයට සහභාගි වී සිටි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම්ට මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයකින් වෙඩි තබා ඝාතනය කිරීමට අනුබල දීම සම්බන්ධයෙනි. වසර පහකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිට රාජානුග්රහයෙන් නිදහස ලැබූ මේ අපරාධකාරයා දැන් සිටින්නේ රටේ නීති සම්පාදනය කරන ආයතනය වන පාර්ලිමේන්තුවේ ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසය. අනෙකා සුරේශ් සලේය. මේ බරපතල අපරාධකාරයා දැන් සිටින්නේ සංවිධානාත්මක අපරාධ සහ ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් එළිපිට ලබා ගත නොහැකි රහස්‍ය තොරතුරු රැස් කිරීමට, පටිගත කිරීමට සහ හුවමාරු කර ගැනීමට පිහිටුවා තිබෙන රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙසය. මේ දෙදෙනාම මේ වරප්‍රසාද ලබන්නේ ගෝඨාභය ජනාධිපති වී මාසයක් යන්නටත් පෙරය. මේ අපරාධයේ තෙවැන්නා වන්නේ නිලන්ත ජයවර්ධනය. මේ බරපතල අපරාධකාරයා දැන් සිටින්නේ පොලිස් දෙපාර්තමේන්තුවට අදාළව ප්‍රතිපත්ති, රීති, රෙගුලාසි, නීති හෝ ආඥාපනත් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අවධානය යොමු කර වැරදි කර ඇත්තවුන් සේවයෙන් පහ කිරීම ඔවුන්ට විරුද්ධව විනය ක්‍රියා මාර්ග ගැනීමට ඇති ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධාන පරපාලන නිලධාරියා (head Police administration) ලෙසය.
ලංකාවේ හැර ලෝකයේ වෙනත් රටක මෙවැනි දේ සැබෑවට සිදු නොවේ. එනම්, පිල්ලෙයාන් වැනි බරපතල අපරාධකාරයෙකු රෑට මිණී මරා දවල්ට නීති සම්පාදනය කරන පාර්ලිමේතුවට පැමිණෙන්නට හැකි එකම රට ලංකාව පමණි. එසේම සුරේශ් සලේ හා නිලන්ත ජයවර්ධන වැනි අපරාධකාරයන්ට මෙවැනි අපරාද රෑට සැළසුම් කර දවල්ට සංවිධානාත්මක අපරාධ සහ ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් රහසිගත තොරතුරු එක්රැස් කරන ආයතනයක හා නීති ප්‍රතිපත්ති,රෙගුලාසි, නීති ආඥාපනත් උල්ලංඝනය කිරීම් සම්බන්ධව පරිපාලන කටයුතු කරන ආයතනක ඉහළ තනතුරුවල සිටිය හැකි එකම රට ලංකාව පමණි. ලෝකයේ සැබෑවට සිදුවිය නොහැකි මෙවැනි සිදුවීම් සිදුවිය හැක්කේ ඇමරිකවේ හෝ මෙක්සිකෝවේ රූපවාහිනී ත්‍රාස්‍යජනක කතා මාලාවක පමණක් යැයි මුලින් සඳහන් කළේ ඒ නිසාය. ලංකාවේ සත්‍යය හා යුක්තිය තිබෙන්නේ එවැනි ඇඟ කිළිපොලා යන බිහිසුණු තැනකය.
අප බොහෝ දෙනා බොහෝ දේ කියවන්නේ තමන්ට අවශ්‍ය තැනිනි. එනම් සමහරු කියවන දෙයෙහි අත්‍යවශ්‍යම තැන් අතහැර කියවති. එවිට සිදු වන්නේ තමන් කියවන තැන් කියවන දෙයෙහි අත්‍යවශ්‍ය තැන් ලෙස ගැනීමයි. චැනල් 4 වීඩියෝව බොහෝ දෙනා කියවමින් සිටින්නේ එහි කේන්ද්‍රීය තැන් මගහරිමින්ය. එවිට තමන් කියවන තැන් එහි කේන්ද්‍රීය දේ ලෙස සලකා ඒ ගැන ලියති. එමෙන්ම ඒ ගැන කියති. අද සිදුවෙමින් තිබෙන්නේ එයයි.
ඇත්තටම චැනල් 4 විසින් කළ “Sri Lanka’s Easter Bombings – Dispatches” නමැති වර්තා වැඩ සටහනෙන් එළියට එන්නේ කුමක්ද? ඒ අන් කිසිවක් නොව රාජ්‍ය අපරාධකාරීත්වය (Stare Criminality) පිළිබඳ ගැටළුවයි. අපට සමාජයක් ලෙස මේ ‘රාජ්‍ය අපරාධකාරීත්වය’ පිළිබඳ ගැටළුව අභිමුඛ කරගැනීමට උවමනාවක්, ඒ පිළිබඳ අවධානය යොමු කිරීමක් පමණක් නොව ඒ පිළිබඳ කම්පනයක් පවා නැත. කෙටියෙන්ම කිවහොත් සමාජයක් ලෙස අපට ඒ සිදුවීම්වල ‘සත්‍යය’ දැන ගැනීමට හෝ ඒ සඳහා ‘යුක්තිය’ ඉටු කර ගැනීමට අවශ්‍ය නැත. අපේ සමාජය වූ කලි සත්‍යය අපේක්ෂා කරන හෝ යුක්තිය ඉල්ලා සිටින සමාජයක් නොවේ. 89දී තම දේශපාලන නායකයාත් සමග හැට දහසකට වැඩි තම දේශපාලන සගයන් ඝාතනය සම්බන්ධයෙන් සත්‍ය දැන ගැනීමට හෝ ඒ පිළිබඳ යුක්තිය ඉල්ලා සිටීමේ අත් නොහරින යුක්ති සහගත හෘදය සාක්ෂියක් සහිත මතකයන් මෙන්ම දේශපාලනිකව වෙන්ව ගමනක් යන්නට සංවිධානය වූ මොහොතේදීම තම දේශපාලන සගයින් දෙදෙනෙක් වන ලලිත්-කූගන් අතුරුදහන් කර සාහසික ලෙස මරා දැමීම සම්බන්ධයෙන් සත්‍යය දැන ගැනීමට හෝ ඒ පිළිබඳ යුක්තිය ඉල්ලා සිටීමේ අත් නොහරින යුක්ති සහගත හෘදය සාක්ෂියක් සහිත මතකයන් මියැදුණු සමාජයක “චැනල් 4” යනු කුමක්ද? එවැනි අපේක්ෂාවක්, මතකයක් හා නොනවතින යුක්තිය ඉල්ලා සිටින මිනිස් සමූහයක් යම් පමණකට හෝ අදටත් ඉතිරිවී ඇත්තේ උතුරේ දෙමළ සමාජය තුළ පමණි.