අප ජීවත් වන්නේ හරි අමුතු විපරිත කාලයකය. අපගේ වර්තමාන භූ දේශපාලන අර්බුදය නපුරු බියකරු සිහිනයක අපව ගිල්වා ඇත. ඊට හේතුව, අපගේ සාමූහික පැවැත්මට තර්ජනයක් වන අර්බුද එකිනෙකට සම්බන්ධ වී උත්සන්න වෙමින් අප වටා පැවතීමයි. අර්බුදයන්ගෙන් පීඩාවට ලක්වන මහජනයා නැවත නැවතත් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියද, අපි තවමත් ව්‍යසනය දෙසට ම ගමන් කරමින් සිටිමු. සමකාලීන ගෝලීය අර්බුදය අපට විග්‍රහ කළ හැක්කේ මීට පෙර නොතිබූ මීට පෙර අත් නොදුටු ආර්ථික අර්බුදයන්ට සම කළ නොහැකි කැකෑරෙන ගෝලීය අර්බුදයක් ලෙසිණි. මන්ද මිනිසුන්ගේ වර්තමාන හා අනාගත ඉරණම වඩ වඩාත් අපැහැදිලි වෙමින් පැවතීමයි. මේ අර්බුදයන්ට ලංකාවේ වම මුහුණ දෙන්නේ කෙසේද? අර්බුදය කියවා ගැනීමට අවශ්‍ය හැකියාව හා උවමනාව වමට තිබේද? කෙටියෙන්ම කිවහොත් ගෝලීයව පවතින දේශපාලන හා ආර්ථික අර්බුදයට උත්තර වෙනුවට අඩුම තරමින් අර්බුදය තේරුම් ගැනීමට උත්සාහයක් වමට තිබේද? වම ඊට දක්වන ප්‍රතිචාරය කුමක්ද? මේ ඒ කෙරෙහි අවධානය යොමු කරන්නකි.
සමාජවාදය සඳහා ‘මාක්ස්ගේ දාර්ශනික, දේශපාලන හා ආර්ථික ප්‍රැක්සිසය’ ට ගමන් කිරීම සඳහා මාවෝ ගොඩ නැගූ චීනය අද ෂී ජිංපිං ගේ නායකත්වය යටතේද, කොමියුනිස්ට්වාදය සඳහා ‘මාක්ස්ගේ දාර්ශනික, දේශපාලන හා ආර්ථික ප්‍රැක්සිසය’ ට ගමන් කිරීම සඳහා ලෙනින් ගොඩ නැගූ රුසියාව අද පුටින්ගේ නායකත්වය යටතේද පශ්චාත් සමාජවාදී “නව ධනවාදය (new Capitalism)” ක් ලෙස නම් කළ හැකි ‘පශ්චාත් ලිබරල්වාදී (post Liberalism) හා පූර්ව ධනවාදී (Pre-Capitalism) එනම් වැඩවසම්වාදී ලක්ෂණ සහිත හරි අමුතු පාලන ක්‍රමයක් බලහත්කාරී ලෙස ක්‍රියාත්මක කරමින් සිටිති. අවශ්‍ය නම් මෙය, අධිකාරී (ඒකාධිපති) ධනවාදය (authoritarian Capitalism) සහ සානුකම්පිත (සංවේදී) සමාජවාදය (empathetic Socialism) එක් තැන් කළ “නව ධනවාදයක් (new Capitalism)” ලෙස නම් කළ හැකිය. චීනයේ හා රුසියාවේ මේ නව දේශපාලන ක්‍රියාකාරීත්වය සාහිත්‍යමය ආකාරයකින් පැවසුවහොත්, ‘නින්දෙන් අවදි වූ පුරාණ මකරෙකු මෙන්’ පියාපත් විහිදුවමින් සිටියි. නමුත් මේ අධිකාරී ධනවාදය හුදෙක් අපගේ අතීතයේ ඉතිරියක් නොව අපගේ අනාගතයේ පෙරනිමිත්තක් වීමට බොහෝ විට ඉඩ ඇත.
එක පැත්තකින්, නූතන චීනය යනු, ධනවාදයේ පෙරදිග ඒකාධිපති විකෘති කිරීමක් නොව, යුරෝපය තුලම වූ ධනවාදී වර්ධනයේ පුනරාවර්තනයක් ලෙස අවශ්‍ය නම් හඳුණාගත හැකිය. මුල් නූතන යුගයේ බොහෝ යුරෝපීය රාජ්‍යයන් ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඈත් විය. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී නම් (17 වැනි සියවසේදී නෙදර්ලන්තයේ සිදු වූවාක් මෙන්), එය කම්කරුවන් සඳහා නොව දේපළ හිමි ලිබරල් ප්‍රභූවේ ප්‍රජාතන්ත්‍රවාදයක් විය. ධනවාදය සඳහා කොන්දේසි නිර්මාණය කර පවත්වා ගෙන ගියේ අද චීනය මෙන් කුරිරු රාජ්‍ය ආඥාදායකත්වයක් මගිණි. රාජ්‍යය සාමාන්‍ය ජනයාගේ ප්‍රචණ්ඩ ලෙස අත්පත් කර ගැනීම් නීතිගත කළ අතර එමඟින් ඔවුන් නිර්ධන පංතියක් බවට පත් විය. පසුව රාජ්‍යය ඔවුන්ව හික්මවා, ඔවුන්ගේ නව සහායක භූමිකාවට අනුගත වීමට ඔවුන්ට උගන්වා ඇත.
ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස (වෘත්තීය සමිති, සර්වජන ඡන්දය, මාධ්‍ය නිදහස යනාදිය) සමග අද අප හඳුනා ගන්නා ලක්‍ෂණ ධනවාදයේ ස්වභාවික ඵලවලින් බොහෝ දුරස් ය. 19 වැනි ශතවර්ෂය පුරාවටම දීර්ඝ මෙන්ම දුෂ්කර අරගල කරමින් පහළ පංතිය ඒවා දිනා ගත්තේය. මෙහිදී, කොමියුනිස්ට් ප්‍රකාශනය අවසානයේ කාල් මාක්ස් සහ ෆ්‍රෙඩ්රික් එංගල්ස් කළ ඉල්ලීම් ලැයිස්තුව සිහිපත් කිරීම මෙය තේරුම් ගැනීමේදී වැදගත්ය. එනම්, පුද්ගලික දේපළ අහෝසි කිරීම හැරුණු විට, ඒවායින් බොහොමයක් කිසියම් ආකාරයකට යුරෝපය තුල ක්‍රියාත්මක වෙමින් ඇත. කිසියම් ආකාරයක ප්‍රගතිශීලී ආදායම් බදු ක්‍රමයක්, නිදහස් රාජ්‍ය අධ්‍යාපනය සහ ළමා ශ්‍රමය අහෝසි කිරීම වැනි දෑ අද “ධනේශ්වර” ප්‍රජාතන්ත්‍රවාදී රටවල පුළුල්ව පිළිගෙන ඇත. නමුත් ඒ සියල්ල ඔවුන් ගේ කැමැත්තෙන් දුන් දේ ලෙස වටහා ගන්නවාට වඩා ජනතා අරගලවල ප්‍රතිඵලයක් ලෙස ලබා ගන්නා ලද දේ ලෙස වටහා ගැනීම වැදගත්ය. එබැවින් අද චීනයේ අමුතු අලුත් දෙයක් සිදුවන්නේ නැත. එය එක් පැත්තකින් හුදෙක් අපගේම අමතක වූ අශ්ලීල අතීතය පුනරුච්චාරණය කිරීමකි.
චීනයේ හා රුසියාවේ වර්තමාන දේශපාලන ක්‍රියාකාරීත්වය වූ කලි, සාමූහික ආත්මාර්ථකාමී ස්වරූපයක් සහිත ජාතික ආත්මාර්ථකාමී අර්ථයෙන් සාමූහිකත්වය ගැන සහ අර්බුදකාරී අවස්ථාවක සාමූහිකත්වයේ දේශපාලන ආචාර ධර්ම ඔට්ටුවට තැබීමේ වැඩකි. ධනවාදයේ ආක්‍රමණශීලී වෙළඳපල තරඟය සහ සමාජවාදයේ අධිකාරීවාදී නිලධර රාජ්‍ය බලය සමග ඒකාබද්ධ කළ හරි අමුතු පාලනය ක්‍රමයකි. අද චීනය මෙම ලක්ෂණ දෙක ඒවායේ ආන්තික ස්වරූපයෙන් ඒකාබද්ධ කරයි. එනම්, හිතුවක්කාරී ඒකාධිපති රාජ්‍යය සහ නොහික්මුණු ධනේශ්වර ගතිකත්වය සමග වන ඒකාබද්ධතාවයයි. චීනය අද ඇත්තටම ධනවාදය සහ මාක්ස්වාදය එනම්, සතුට සහ වේදනාව එකට බැඳ තබයි. එහෙයින් චීනයේ අනාගතය තීරණය කරන්නේ ඉහත සඳහන් කළ නොහික්මුණු ධනේශ්වර අධිකාරීවාදී නිලධර රාජ්‍ය තන්ත්‍රය මිස නිර්ධන පංතිය නොවේ. ධනවාදී සහ සමාජවාදී පාලනයේ මේ අමුතු සංයෝජනය චීනයට වෙස්වලාගත් ආශිර්වාදයක් වී ඇත්දැයි ගණන් බැලීමට අප ඉක්මන් නොවිය යුතු යැයි මම යෝජනා කරමි.
මෙහිදී අප පළමුව, මාක්ස්වාදය සහ වාමවාදය අතර වෙනස සළකුණු කර ගත යුතුය. එනම්, වාමවාදය යනු කම්කරුවන්ගේ විමුක්තිය නිදහස් වෘත්තීය සමිතිවල සිට ධනවාදය ජය ගැනීම දක්වා වූ ඕනෑම කතිකාවකට යොමු වන යෙදුමක් ලෙස ගත හැකි අතර, එහෙත් මාක්ස්වාදී නිබන්ධනය පවසන්නේ නිෂ්පාදන බලවේග වර්ධනය කිරීම සමාජ ප්‍රගතිය සඳහා යතුර වන අතර, අඛණ්ඩ වේගවත් “නවීකරණය” සඳහා කොන්දේසි පෝෂණය කරන්නේ මෙවැනි මාක්ස්වාදී සංවර්ධනයක් බවයි.
1905 දී ට්‍රොට්ස්කි, සාර්වාදී රුසියාව යනු කුමක් දැයි හඳුන්වා දීමට භාවිතා කළ සංලක්ෂිත අර්ථය අපට අවශ්‍ය නම්, වර්තමාන චීනය හඳුණා ගැනීමට සංලක්ෂිත අදහසක් ලෙස භාවිතා කළ හැකිය. එනම්, “ආසියානු ගැටය සහ යුරෝපීය කොටස් වෙලඳපොළේ දුෂ්ඨ සංයෝජනයක්” ලෙසයි.
සමාජවාදය සහ ධනවාදය අත්වැල් බැඳගත් ‘ශුභාරංචිය’ විසින් චීනයේ සාර්ථක නැගීම පිළිබඳ අදහස අපේ හිස මතට තට්ටු කරනු ලබයි. මේ අනුව, ධනවාදය සහ සමාජවාදය අතර ලෝක ව්‍යාප්ත අරගලය, 1989 බර්ලින් තාප්පය බිඳ දැමීමත් සමග එතෙක් පැවැති ඇමෙරිකා එක්සත් ජනපදය හා සෝවියට් සංගමය එනම්, ධනවාදය හා සමාජවාදය අතර පැවැති උණුසුම් දේශපාලනික යුද්ධය අප කැමති වූවත් නැතත් ශීතල යුද්ධයක් ලෙස අද පවතින්නේ ඇමරිකාව සහ චීනය අතරය. අද චීනයේ ධනවාදයේ පිපිරීම කියවන්නට සිදු වන්නේ මුල් සෝවියට් සංගමයේ ඔවුන්ගේ දැඩි විවේචනයට ලක් වූ ධනවාදයේ නව ආර්ථික ප්‍රතිපත්තිය ලෙස හැඳින්වූ දෙයෙහි යෝධ අවස්ථාවක් ලෙසිනි. එබැවින් අද චීනයේ ඇත්තේ නව “චීන ලක්ෂණ සහිත සමාජවාදයක්” යන්න ඇත්තකි. අප එය මුලින්ම සමාජවාදයක් ලෙස භාර ගත යුතුය. ආගමික අර්ථයකින් කිවහොත් එය ‘දෙවියන්ගේ වැරදි මැවීමක් ලෙස’ භාර ගත යුතුය.
17 සෝවියට් විප්ලවයෙන් පසු සෘජුවම නව කොමියුනිස්ට් සමාජයක් පිහිටුවීමට අවශ්‍ය “පිරිසිදු” මාක්ස්වාදයට එරෙහිව සහ වඩාත් “යථාර්ථවාදී” දැක්මක් සඳහා වන සමාජවාදයේම දිගුවක් ලෙස අවශ්‍ය නම් එය හැඳින් විය හැකිය. එනම්, ඉතාලි සම්භාව්‍ය මාක්ස්වාදි දාර්ශනිකයෙකු හා විචාරකයෙකු වන ඩොමිනිකෝ ලොසුර්ඩෝ (Domenico Losurdo) ගේ අර්ථයෙන් ‘හැරීම් සහ අසාර්ථකත්වයන් සමඟ මුසුවූ ක්‍රමානුකූල ප්‍රවේශයක්’ ලෙස විස්තාරණය කළ හැකිය. එය ඔහු තවත් විදියකින් මතුකරන්නේ, බොහෝ උත්සාහයන් සමාජවාදී සමානාත්මතාවය සහ සාමූහික ප්‍රයත්නය කෙරෙහි අවධානය යොමු කරමින් නිෂ්පාදන සබඳතා හරහා යමින් නිෂ්පාදන බලවේග මුදා හැරීමේ අවශ්‍යතාවයට යොමු කරන ලද මාක්ස්වාදයේ තවත් පැතිකඩක් ලෙස අවධාරණය කරයි. මෙය 1859 මාක්ස්, දේශපාලන ආර්ථිකය පිළිබඳ විවේචනයට දායක වෙමින්, කතා කළ, “සංවර්ධනයේ එක්තරා අවධියකදී, සමාජයේ ද්‍රව්‍යමය නිෂ්පාදන බලවේග, පවතින නිෂ්පාදන සම්බන්ධතා සමඟ ගැටීමට හෝ මෙය හුදෙක් නීතිමය වශයෙන් එකම දෙය ප්‍රකාශ කරයි. එනම් රාමුව තුළ ඇති දේපල සම්බන්ධතා සමඟ යන්නයි. ඔවුන් මෙතෙක් ක්‍රියාත්මක වූ දේ නිෂ්පාදන බලවේගවල වර්ධනයේ ආකාරවලින් මෙම සබඳතා ඔවුන්ගේ විලංගු බවට පත්වේ. ඉන්පසු සමාජ විප්ලවයේ යුගයක් ආරම්භ වේ” යන්නට චීන දේශපාලන ආර්ථික වෙනස්කම් සමග සම්බන්ධදයක් නැතැයි යන්නට වඩා එහි සම්බන්ධයක් ඇතැයි පිළි ගැනීමෙන් ගැටළුවට අවතීර්ණ විය යුතුය. නමුත් එහි උත්ප්‍රාසය නම්, මාක්ස්ට කොමියුනිස්ට්වාදය පැන නගින්නේ නිෂ්පාදන මාධ්‍යයන් තවදුරටත් වර්ධනය කිරීමට ධනේශ්වර නිෂ්පාදනයේ පැතිකඩ බාධාවක් වූ විටය. මෙයින් අදහස් කරන්නේ මෙම සංවර්ධනය සුරක්ෂිත කළ හැක්කේ ධනේශ්වර වෙළඳපොළ ආර්ථිකයක සිට සමාජගත ආර්ථිකයක් (a capitalist market economy to a socialized economy) දක්වා අත්කර ගන්නා ප්‍රගතියෙන් පමණි.
මෙය යම් ආකාරයකට චීනය තුල ඩෙං ෂියාඕපිං (Deng Xiaoping) ගේ කාලයේ සිදුවූ ආර්ථික “ප්‍රතිසංස්කරණ” මාක්ස්ගේ පැත්තට යම් පමණකට හරවයි. එක්තරා මොහොතක සම්පූර්ණ වෙනස් කිරීමක් සඳහා එහි කිසියම් සංක්‍රාන්තීය අවධියක් වන සමාජවාදයේ ආර්ථික සංවර්ධනය සඳහා ධනවාදය නොගිය තැන් වෙත ආපසු යාමට තැත් කිරීමක් ලෙස අපට සඳහන් කළ හැකිය. නමුත්, අභිබවා යා නොහැකි උත්ප්‍රාසයක් පැන නගින්නේ එතනදීය.
20 වැනි සියවසේ වම නිර්වචනය කරන ලද්දේ නූතනත්වයේ මූලික ප්‍රවනතා දෙකකට ප්‍රතිවිරුද්ධවය. එනම්, ප්‍රාග්ධනයේ ආක්‍රමණශීලී පුද්ගලවාදී විරසක ගතිකත්වය සහ අධිකාරී-නිලධාරීවාදී රාජ්‍ය බලයයි. අද තෙවැනි වරටත් පත් වී සිටින ජිංපිං ගේ නායකත්වයෙන් යුත් චීනයෙන් අපට දක්නට ලැබෙන්නේ එහි ආන්තික ස්වරූපයේ මෙම ලක්ෂණ දෙකේ සංකලනයයි. කෙටියෙන් පැවසුවහොත් ශක්තිමත් අධිකාරීවාදී රාජ්‍යයක් සහ වල් ධනේශ්වර ගතිකත්වයක් සහිත හරි අමුතු දේශපාලන ආර්ථික ක්‍රමයකි. ප්‍රතිවිරුද්ධ ප්‍රවනතා දෙකෙන්ම හොඳම දේ එකට ගෙන එන විට සැබෑ වෙනසක් සිදු කළ හැකි බව යෝජනා කර එය ක්‍රියාවට නැගීමයි. එහෙත් ප්‍රතිවිරුද්ධ ප්‍රවනතා දෙකෙහිම (ලිබරල් ධනවාදය සහ කොමියුනිස්ට් අධිකාරීවාදය) නරකම යැයි අප සැලකූ දේ එකට ගෙන ඒමෙන් චීනය යම් සාර්ථකත්වයක් අත් කරගෙන ඇති බව පෙනේ. මේ පෙනෙන සාර්ථකත්වය තුල එරට ඇති නැති පරතරය තුල දුප්පතුන්ගේ වැඩිවීම, ලාභ ශ්‍රමය හා ළමා ශ්‍රමිකයින්ගේ ප්‍රමාණය මහාපරිමාණයෙන් වැඩිවීම, මානව හිමිකම්වල අයිතිය හා තොරතුරු දැන ගැනීමේ අයිතියට වැට බැඳීම, ලෝකයට ණය දී ඒ හරහා පොලිය එකතු කරන ගෝලීය පොලී මුදලාලිකෙනෙකුගේ තත්ත්වය හෙවත් ණය මගින් නව අධිරාජ්‍යවාදයක් ගොඩ නැගීම, දූෂිත පාලන තන්ත්‍රයන් ආරක්ෂා කිරීම හා ගෝලීයව ඔවුන් ආරක්ෂා කිරීම, සමස්තයක් ලෙස “චීනය” යනු, සිය දියුණුව සඳහා අනුගමනය කරන ‘ධනවාදය හා සමාජවාදය යන සමාජ ක්‍රම දෙකෙහි ඇති දේශපාලනික මූලධාර්මික දේ වෙනුවට එහි අන්තර්ගත අංග ක්‍රියාවට නැගීම සමාජ ප්‍රගමනයට කොතරම් අහිතකරද යන්නට දිය හැකි හොඳම නිදර්ශනයයි. එහෙයින් එහි ඇති මූලික ගැටළුව වන්නේ එම සැබෑ වෙනස සමාජවාදය යන්නේ අදහස් කළ “සැබෑ සමාජ සාමූහික ප්‍රගතිය” ට සම්බන්ධයක් නොවීමයි. එක් අතකින්, පුටින් හා ජිංපිං සමාජවාදය උකසට තබා මේ ඔට්ටු අල්ලමින් සිටින්නේ ඔවුන් සමඟ පක්ෂය යටතේ මධ්‍යගත වීම මෙම විෂම ප්‍රශ්නවලට විසඳුමක් ලෙසය.
20 වැනි සියවසේ කොමියුනිස්ට්වාදයේ දුර්වලතාවය මූලික වශයෙන් දේශපාලනික එකක් විය. මධ්‍යගත සහ මිලිටරිකරණය වූ “කොමියුනිස්ට් පක්ෂය” බලය අල්ලා ගැනීම සඳහා හොඳ උපකරණ විය. නමුත් එය කොමියුනිස්ට් සමාජයක් සංවිධානය කිරීමට හොඳ උපකරණ නොවීය. ඔවුන් රාජ්‍ය බලයට (ජාතික රාජ්‍යයට) ඕනෑවට වඩා බැඳී සිටි අතර සැබෑ ජාත්‍යන්තරවාදයක් වර්ධනය කර ගත්තේ නැත.
මේ මොහොත ලංකාවේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මහජනයා තුල දැවැන්ත කඩා වැටීමක් එක පැත්තකින් නියෝජනය කරන අතර ඒ පිළිබඳව මහජනයාගේ බරපතළ අවදානයක් හා ඒ කෙරෙහි වන බරපතල විශ්වසයක් ජනිත කිරීමට ජනතාවාදී වම බරපතල අසාර්ථක උත්සාහයක් දැරීම තවත් පැත්තකින් දක්නට ලැබෙන කාල වකවානුවකි. මේ පිළිබඳ වන ගෝලීය තත්ත්වය කුමක්ද? එය ඉතාම කෙටියෙන් මෙසේ සංලක්ෂිත කළ හැකිය. එනම්, මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය රුසියාවේ අභාවයට යමින්, නැගෙනහිර යුරෝපයේ අසාර්ථක වෙමින් හා බටහිර යුරෝපයේ රෝගාතුර වී ඇති දේශපාලන විධි ක්‍රමයක් ලෙසය. එබැවින්, පාලනය සඳහා වඩා හොඳ සැලැස්මක් සෙවූ ආදර්ශනවල උපන් ස්ථානය වන ඇතන්ස් වෙත ආපසු පිම්මේ දිවීමෙන් වැරදී ඇත්තේ කුමක්ද සහ එය නිවැරදි කළ හැක්කේ කෙසේද යන්නට උත්තරයක් බලාපොරොත්තු වීම ‘ඉබ්බන්ගෙන් පිහාටු අපේක්ෂා කිරීම’ ට සමාන නිශ්ඵල වැඩකි.
ධනේශ්වර සමාජයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පවත්වාගෙන යාමේ අරගලය තීව්‍ර වුවත්, ධනේශ්වර විරෝධී රටවල ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පවත්වාගෙන යාමේ අරගලය ව්‍යසනකාරී වී ඇත.
දේශපාලනය යනු ඔබ සමඟ එකඟ වන සියලු දෙනා එකමුතුව ක්‍රියා කිරීමට පෙළඹවීමක් නම් මෙය ප්‍රජාතන්ත්‍රවාදී සමාජවල විශාල කොටසක නියෝජනයකි. සභාග පිහිටුවීම, ජනතාව රැස් කිරීම, හදිසි ප්‍රශ්න සඳහා ක්‍රියා කිරීමට දිරිගැන්වීම ආදී මේ සියල්ල සෞඛ්‍ය සම්පන්න රටකට අත්‍යවශ්‍ය වේ. නමුත් දේශපාලනයේ ලොකුම සේවය වන්නේ එකම අදහස් ඇති මිනිසුන් බලමුලු ගැන්වීම නොවේ. එය විවිධ අදහස් ඇති මිනිසුන්ට ඔවුන්ගේ වෙනස් වූ අදහස් ඔවුනොවුන් අතර බෙදාගනිමින් එකට ජීවත්වීමට ඉඩ සැලසීමයි. දේශපාලනය යනු අප කැමති පුද්ගලයන් ඒකරාශි කර ගැනීම වෙනුවට අපගේ විවිධ අදහස් – උදහස් වාද විවාද කර ගැනීමේ මාර්ගයකි. ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේ මිනිසුන් වොෂින්ටනයට පෙළපාලි යන විට සහ තම අයිතීන් ඉල්ලා උද්‍යානවල රැස්වන විටය. නොඑසේ නම් බකිංහැම් මාළිගය අවට විරෝධය දක්වන ජනයා වාඩිලාගත් විටය. එසේත් නැතිනම් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට කෝචොක් කරන එය සමච්චලයට ලක්කරන එකදු මහජන නියෝජනයක් නැති රනිල් ට එරෙහිව මහා පරිමාණයෙන් මහ ජනයා වීදි බසින විටය. ඇත්ත වශයෙන්ම ඔවුන් පොදු හඬක් සොයාගෙන ඇති බව පසක් කිරීම සඳහා දේශපාලනය භාවිතායට ගැනෙන්නේ, ‘ඊට එරෙහිව කැකෑරෙන විරෝධය ඔවුන් අතර හුවමාරු වන විට’ ය.
සමාජය පිළිබඳ ගතානුගතික අදහසකට සහාය දෙන ඕනෑම පාර්ශ්වයක් ඡන්දය දීමේ ප්‍රතිඵලයක් ලෙස සම්පූර්ණ පෙරළියක් පිළිගත හැක්කේ කෙසේද? සහ ප්‍රතිලෝමව, ඔබ විප්ලවයක් හරහා සමාජය වෙනස් කරන්නේ නම්, දේවල් තිබූ ආකාරයටම නැවත පැමිණීම පිළිගෙන සන්සුන්ව බලය ප්‍රතිගාමීන්ට භාර දෙන්නේ කෙසේද? අපගේ “බටහිර” රටවල රීතිය තරමක් සරල ය. බලයට පත් වූ පසු, ඔබට කුඩා අංශු කිහිපයක් වෙනස් කළ හැකිය. නමුත් සමාජයේ ධනේශ්වර පදනම වෙනස් කිරීම පිළිබඳ ප්‍රශ්නය ඊට ඇතුළත් නැත. ඇත්ත වශයෙන්ම සියල්ලටත් වඩා අතිශය ස්ථාවර හා නිදහස්කාමී සර්ව සාධාරණ ධනවාදයකින් ආධිපත්‍යය දරන “ප්‍රජාතන්ත්‍රවාදී” රටක් ගැන ඔබ දන්නවාද? එහෙයින්, මැතිවරණ යනු කුමක්ද? බලයේ සිටින පන්තියේ ආධිපති පර්යාය තවදුරටත් මුදා හැරීමේ හා ආරක්ෂා කිරීමේ මුහුණුවරක් පමණක් නොවේද? එය තවදුරටත් ලිහා බැලිය යුතු, විමසා බැලිය යුතු, අත්හදා බැලිය යුතු දෙයක්ද?
කීර්තිමත් ජපන් දාර්ශනිකයෙකු වන Kōjin Karatani විසින් ඉදිරිපත් කරන ලද තාර්කික නිබන්ධනය වන “Isonomia and the Origins of Philosophy” පොතෙහි ඇතීනියානු ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යාජ ස්ථාපනයක් ලෙස හෙළිදරව් කර ඇති අතර මෙය කිසියම් ආකාරයක ස්ට්‍රවුසියානු ව්‍යුහවාදී ඉදිරිදර්ශනයකින් ඔබ්බට ගිය දෙයක් ලෙස නොදකියි. ඊට පටහැනිව, ඇත්ත වශයෙන්ම “පාලකයා සහ පාලනය” (ruler and ruled) යන මූලික පීඩාකාරී රිද්මය නිදර්ශනය කරන බව ඔහු දැඩිව විශ්වාස කරයි.
“ආර්ථික ජීවිතයේ විනාශකාරී ප්‍රතිවිපාක කළමනාකරණය කිරීමට නොහැකි බව ඔප්පු කර ඇති බහු-පක්ෂ ජාතික රාජ්‍යයන් මත පදනම්ව, ප්‍රජාතන්ත්‍රවාදය එහි වර්තමාන ස්වරූපයෙන් ඔබ්බට පුළුල් කරන්නේ කෙසේද යන්න ගැන සිතීම අප ආරම්භ කළ යුතුය. ගෝලීය ආර්ථිකය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ විෂය පථයට පිටින් පවතින බැවින්, එය කළමනාකරණය කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කිරීමට දරන ඕනෑම උත්සාහයක් ප්‍රජාතන්ත්‍රවාදයේ පරිහානිය වේගවත් කරනු ලබයි”
මේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන්, පෝලන්ත සම්භවයක් ඇති ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පතේ කර්තෘ මණ්ඩල සාමාජිකාවක් ලෙස කටයුතු කළ ඇමෙරිකානු මාධ්‍යවේදිනියක්, ගත් කතුවරියක් සහ ඉතිහාසඥවරියක් වන ඈන් ඇපල්බෞම් (Anne Applebaum) නම් සිවිල් සමාජ සිතන්නිය ‘ප්‍රජාතන්ත්‍රවාදය’ (කියවන්න: Twilight of Democracy) සම්බන්ධයෙන්, සිතන ආකාරයයි.
මෙහිදී, මාක්ස්ගේ ප්‍රධාන තීක්ෂණ බුද්ධිය වෙන කවරදාටත් වඩා අදට අදාළ වේ. නිදහස පිළිබඳ ප්‍රශ්නය මූලික වශයෙන් දේශපාලන ක්ෂේත්‍රය තුළ,එනම් නිදහස් මැතිවරණ, ස්වාධීන අධිකරණ, නිදහස් මාධ්‍යය හා මානව හිමිකම්වලට ගරු කිරීම වැනි දේ තුළ ස්ථානගත නොවිය යුතුය. සැබෑ නිදහස පවතින්නේ වෙළඳපොළේ සිට පවුල දක්වා වූ එක විටම ‘අදේශපාලනික’ ලෙස පෙනෙන සමාජ සම්බන්ධතා ජාලය තුළ වන අතර එහිදී වැඩිදියුණු කිරීම් සඳහා අවශ්‍ය වෙනස ඇත්තේ දේශපාලන ප්‍රතිසංස්කරණ තුළ නොව, නිෂ්පාදන සමාජ සබඳතාවල වෙනසක් තුලය. දේශපාලන ක්ෂේත්‍රයෙන් පරිබාහිර ක්‍රියාවලීන් ලෙස එවැනි දේ ඉතිරි කර ඇති අතර, ප්‍රජාතන්ත්‍රවාදය ‘පුළුල් කිරීම’ මගින් කෙනෙකුට ඒවා වෙනස් කළ හැකිය යන්න මිත්‍යාවකි. එනම්, ජනතාවගේ පාලනයක් යටතේ ‘ප්‍රජාතන්ත්‍රවාදී’ බැංකු පිහිටුවීමෙන් මෙම ආර්ථික අර්බුදයට යම් සහනශීලී හුස්මක් ගැනීමට කල්පනා කිරීම ඊටත් වඩා මිත්‍යාවකි. මේ මොහොත තුල රැඩිකල් වෙනස්කම් සිදු කළ යුත්තේ නෛතික අයිතීන් වැනි ප්‍රජාතන්ත්‍රවාදී උපාංග ක්ෂේත්‍රයෙන් පරිබාහිරව යැයි සටහන් කළේ ඒ නිසාය. එයට යම් ධනාත්මක භූමිකාවක් තිබිය හැකිය. නමුත් ගැටළුව වන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී යාන්ත්‍රණය ධනේශ්වර රාජ්‍ය යාන්ත්‍රණයේම කොටසක් බව අපට අමතක වී යාමය. ඒ තුල ධනේශ්වර ප්‍රතිනිෂ්පාදනය බාධාවකින් තොරව ක්‍රියාත්මක වීම සහතික කිරීමට සැලසුම් කර ඇති වග අපට අමතක වී යාමය. අද ‘ව්‍යවහාරික වර නැගීම තුල’ පරම සතුරාගේ නම ධනවාදය, ප්‍රාග්ධනය හා සූරාකෑම හෝ එවැනි කිසිවක් නොව (වම ඇතුළු බොහෝ අය කතා කරන ආකාරයට) “ප්‍රජාතන්ත්‍රවාදය” බව ඇලන් බදියුගේ කීම නිවැරදි වන්නේ ඒ නිසාය. එම ‘ප්‍රජාතන්ත්‍රවාදී මිත්‍යාව’, වෙනස් කිරීමේ එකම නීත්‍යානුකූල මාධ්‍යය ලෙස ප්‍රජාතන්ත්‍රවාදී යාන්ත්‍රණයන් පිළිගැනීම, ධනේශ්වර සබඳතාවල සැබෑ පරිවර්තනයක් වළක්වයි.
මේ විවිධ ක්ෂේත්‍ර තුල වැඩ කරන සිතන්නන්ගෙන් කියවෙන අදහස්වලට අනුව ප්‍රජාතන්ත්‍රවාදය යනු අසාර්ථක හා අතාර්කික පාලන විධික්‍රමයකි. කොහොමටත් අද සමකාලීන ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය නියෝජනය කරන්නේ විරුද්ධාභාසයකි. එනම්, ඒ පිළිබඳව ශාස්ත්‍රීය විශ්ලේෂණය ශක්තිමත් ව්‍යවසායයක් වන විට, මේ සම්බන්ධ බටහිර සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතය වඩ වඩාත් බිඳෙනසුලු හා වටලෑමට ලක්වීමය. කෙටියෙන් කිවහොත් සියල්ල තර්ජනයට ලක්වීමය. ලංකාවේ මහජනයා පවා පාර්ලිමේන්තු ප්‍රජාත්ත්‍රවාදයට එරෙහිව (225 ම දූෂිතයි) සිට ගත්තේ ඒ පිළිබඳව අත්දැකීමෙන් ලද අවබෝධයට අනුවය. නමුත්, අප රටේ ප්‍රධාන පෙළේ (එහි සාමාජික ප්‍රමාණය අතින්) වාමාංශික හැඩයක් ඇති ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය මේ නියෝජන ප්‍රජාත්ත්‍රවාදය තුල තවදුරටත් ඉතිරි වී නැති දෙයක් පෙන්වන්නට උත්සාහ කරමින් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ කපටි ආරක්ෂකයා ලෙස ක්‍රියා කරමින් සිටියි. ඔව්හු ඊට ඊනියා ධනේශ්වර සදාචාරයේ සළුපිළි අන්ඳවමින් මහජනයා ඒ තුල ගාල් කරවමින් සිටියි. වර්තමාන ලාංකීය සියලු ව්‍යසනයන්ට ‘නියොජන මැතිවරණ’ මගින් පිළිතුරු ලැබේ යැයි යන හැඟීමක් මහජනයා තුල ඔවුහු මතු කරමින් සිටිති. කෙටියෙන්ම කිවහොත් ජවිපෙ ඇතුළු ජාතික ජන බලවේගය සිටින්නේ මැතිවරණ සිහිනයකය. මැතිවරණ මගින් රාජ්‍ය බලය ලබා ගැනීමටය. ඔව්හු මේ උඩ දමමින් සිටින්නේ යල්පැනගිය අතාර්කික හා අසාර්ථක මෙවලමකි. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව නමැති අතාර්කික හා අසාර්ථක ආයතනක තමන්ටමත් අහිමි බෝනස් අසුණක් කරකවමින් එකදු මහජන නියෝජිතයෙකු නොමැතිව සියලු දෙනාගේ ගැළවුම්කරුවා ලෙස පාර්ලිමේන්තුවේදී නැගිටිමින් සියලු නියෝජිතයින්ට කෝචෝක් දමමින් “කල් දමන්නට මැතිවරණයක් කොහේදැයි” අසයි. උත්තරීතර යැයි හඳුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පාර්ලිමේන්තුව ඔහු විකාරයක් බවට පත් කරමින් සිටියි. ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයට රටේ ජනාධිපතිධූරය හිස්වූ අවස්ථාවක ජනාධිපතිවරණයක් නොපවත්වා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට වගන්ති දෙකක් තිබේ. එකක් අගමැතිවරයා ඊට පත් කිරීමය. ගැටළුව වන්නේ පසුගිය වසරේ ජූලි මාසයේ මෙරට ජනාධිති වූ ගොඨාභයත් අගමැති වූ මහින්දත් යන දෙදෙනාම මහජනයා එළවා දැමීමය. ඊළඟට ව්‍යවස්ථාවට අනුව කළ යුතු වන්නේ පාර්ලිමේන්තුවේ ඊළඟට බහුතර පක්ෂයේ විශ්වාසය දිනාගත හැකි කෙනා අගමැති කොට ඔහු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා බවට පත් කිරීමය. අවසාන විග්‍රහයේදී එම ආයතනය නියෝජනය කරන බහුතර නියෝජිතයින්ගේ විශ්වාසය යනු ඒ නියෝජිතයින් පත් කර එවන ලද බහුතර ඡන්දායකයාගේ විශ්වාසයයි. එහෙත් රනිල් යනු ඒ විශ්වාසයට ප්‍රතිවිරුද්ධ කෙනායි. ජනතා මතයට පටහැනි කෙනායි. එනම් එහි ප්‍රතිලෝමයයි. රනිල් ඉතා කුමන්ත්‍රණකාරී ලෙස ව්‍යවස්ථාවේ හිඩැස්වලින් රිංගා ජනාධිපති වීම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් ලෙස පවතින ව්‍යවස්ථාව සළකන්නේ නැත. ඒ මේ ආණ්ඩුක්‍රම නීතියේ ඇති උත්ප්‍රාශයයි. එලෙස මහජන විශ්වාසයක් නොමැති එහෙත් එය පවතින ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමකුත් නොවන නීත්‍යානුකූල ලෙස දැන් ජනාධිපති වී රනිල් තමන්ට කැමති ලෙස බලය හසුරුවමින් සිටියි. ඒ ඔහුට ‘වග කියන්නට ජනතාවක්’ නැති වටපිටාවකය. එකදු නියෝජනයක් නොමැතිව මහජනයා දේශපාලන කුණු කූඩයට විසි කළ, කිසිදු ආකාරයකට ප්‍රජාතන්ත්‍රවාදී නොවන කුමන්ත්‍රණකාරී ලෙස ඕනෑම දූෂිතයෙකුට බලය ගත හැකි නීත්‍යාණුකූල ක්‍රමයක් ලෙස ‘නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය’ ලාංකීය අත් දැකීම් අනුවම වූවත් අවශ්‍ය නම් නම් කළ හැකිය. එපමණක් නොව, එවැනි කිසිදු ආකාරයක මහජන නියෝජනයක් නැති පුද්ගලයෙකු කුමන්ත්‍රණකාරී ලෙස බලය ලබාගෙන නියෝජිත මැතිවරණ සිතියම හකුළා මහජන නියෝජනයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිතයින්ට එහි උත්තරීතර යැයි පාරම්බාන පාර්ලිමේන්තුවේදීම කෝචෝක් දැමිය හැකි හරි අපූරු විගඩම් ක්‍රමයක් බවට පත් වී තිබේ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යනු සෑම අතකින්ම එවැනි මළ විකාරයකි. අසාර්ථක හා අතාර්කික ව්‍යාපෘතියකි. විශේෂයෙන්ම ලංකාවේ “වම” ඒ අතාර්කික ධනේශ්වර උත්තරය යළි යළිත් පුබුදුවා ඒ පිළිබඳව කඩ වී ඇති විශ්වාසය යළිත් මහජනයා තුල තහවුරු කරන්නට වැදගත්ම කාර්යභාරය ඉටුකරමින් සිටියි. මේ ජනතාවාදී දේශපාලන රැල්ල ඔවුන් ගෙන එන්නේ එක් පැත්තකින් සංගත ධනවාදයේ සහ අනෙක් පැත්තෙන් සමාජවාදයේ පීඩාකාරී සමාජ සංවිධානවලට එරෙහිව ගෙන එන සාර්ථක ලිබටේරියානු (ලිබටේරියන්වාදය – Libertarianism යනු නිදහස මූලික වටිනාකමක් ලෙස තහවුරු කරන දේශපාලන දර්ශනයකි. ලිබටේරියානු ස්වාධීනත්වය සහ දේශපාලන නිදහස උපරිම කිරීමට උත්සාහ කරයි. පුද්ගල නිදහස අහුරන රාජ්‍ය ආක්‍රමණය සහ උල්ලංඝනය කිරීම් අවම කිරීම, නීතියේ ආධිපත්‍යය, බහුත්වවාදය, විශ්වීයත්වය, සහයෝගිතාව, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්, ශාරීරික ස්වාධිපත්‍යය, නිදහස් සංගමය, නිදහස් වෙළඳාම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, තේරීමේ නිදහස, චලනය වීමේ නිදහස, පුද්ගලවාදය සහ ස්වේච්ඡා ඇසුර අවධාරණය කිරීම, ඕනෑම අධිකාරිමය බලයක්, රාජ්‍ය බලය, යුද්ධය, මිලිටරිවාදය සහ ජාතිකවාදය ගැන සැකයෙන් හෝ ඊට විරුද්ධ වීම ලිබටේරියන්වාදය ලෙස සරළව හැඳින්විය හැකිය) රැල්ලක් ලෙසය.
ඇත්ටම අවශ්‍ය වෙනස, දේශපාලන ප්‍රතිසංස්කරනයක් නොව නිෂ්පාදන සමාජ සම්බන්ධතාවල පරිවර්තනයකි. එය ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණවලට වඩා නිශ්චිතවම විප්ලවවාදී පන්ති අරගලයට ඇතුළත් වැඩ කොටසකි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට හෝ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට ධනවාදය විසින් ගෙන එන ව්‍යසනයන් හසුරුවා ගැනීමට හැකියාවක් නැති වග වසර 200 කට එහා ගිය ඉතිහාසය සාක්ෂි සපයයි. මෙය ජය ගැනීම සඳහා දැනට පවතින දේශපාලන හා ආර්ථික ක්‍රමවලින් සම්පූර්ණයෙන් ඉවත් වීම අවශ්‍ය වේ. එහෙත්, එවැනි සැබෑ ඉවත්වීමක් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාවන් තුළ පැවතිය හැකිද? මෙවැනි විකාරරූපී, අතාර්කික, කුමන්ත්‍රණකාරී ඊනියා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයකට ජවිපෙ විසින් සුදු සළුපිලි ඇන්ඳවීමට යාම හා ඒ වෙනුවෙන් මරාගෙන මැරෙන්නට යාම අප තේරුම් ගත යුත්තේ කෙසේද?
ඉතිහාසයේ ඕනෑම රාජ්‍යයක් තුල වාමාංශික දේශපාලන භීෂණය ක්‍රියාත්මක වූයේ, ජනතාව මුලුමනින්ම ධනේශ්වර දෘෂ්ටිවාදී නින්දේ ගිලී ඇති යුගයකය. දෘෂ්ටිවාදය පිළිබඳ සම්මත විවේචනය තවදුරටත් ක්‍රියාත්මක නොවන බවට විශ්වාසයක් පවතින තත්ත්වයක් යටතේ ය. මෙවැනි පසුබිමක ඔවුන්ව යළි අවදි කළ හැක්කේ ‘විමුක්ති දේශපාලනය’ පදනම් කරගත් සෘජු ප්‍රචණ්ඩත්වයේ අමු යථාර්තය තුල වැඩ කරන කශේරුකාවක් සහිත ඇත්ත වාම ක්‍රියාකාරීත්වයකට පමණක් යැයි ලියා තැබීම වෙස් මුහුණු බැඳ දෙබිඩි දේශපාලනයක නිරත සමාජයක සිටින අපට ඉතාම වැදගත්ය.
පසුගිය දශක තුන තුළ ධනවාදයේ නිශේධනීය දේවල් බැහැර කොට එහි සාධනීය දේවල් සමඟ අත්වැල් බැඳගෙන ඉදිරියට යාමට වෙර දරන ජනතාවාදී වාම දේශපාලනයක නිරත වැදගත් මහත්වරුන් ඉදිරියේ ඇත්තේ එකම එක උබතෝකෝටික සත්‍ය ප්‍රශ්නයකි. එනම්, ධනවාදයේ මෙම ස්වභාවිකකරණය අපි අනුමත කරනවාද? නැතහොත් අද ගෝලීය ධනවාදයේ අවිනිශ්චිත ප්‍රතිනිෂ්පාදනය වැලැක්වීමට තරම් ප්‍රබල ප්‍රතිවිරෝධතා නව ආකාරයකින් ඉදිරි දර්ශනයක් සහිතව මතු කර ගන්නවාද? යන්නයි.
වමේ ක්‍රියාකාරිකයෙකු ඉදිරියට යා යුත්තේ සැබෑ ලෙනින්වාදී වඩාත් නිවැරදි, විචක්ෂණශීලී මාර්ගයක් වන “සංයුක්ත තත්ත්වයන් පිළිබඳ සංයුක්ත විශ්ලේෂණය” හරහා පමණි.
වමේ පරම්පරාගතව පවතින නිදන්ගත ගැටළුව වන්නේ, විශේෂයෙන් අර්බුද ගහන සමයක නව දේශපාලනික පරිකල්පනයකින් සිදුවෙමින් යන දේශපාලන විපර්යාශයන් තේරුම් ගන්නේ කෙසේද? යන්නයි. මෙය ලංකාව නම් වූ ජාතික රාමුවෙන් එහා ගිය එනම්, වමේ ගෝලීය ගැටළුවක් බවට පත් වූවකි. පළමුව සංකල්පීයව එසේත් නැතිනම් න්‍යායිකව, විද්‍යාත්මකව ගැටළුව තේරුම් ගැනීම වෙනුවට වම උත්සාහ කරන්නේ ඊට පිළිතුරු ගොණු කිරීම හෙවත් උත්තර දෙන්නට යාමය. එතනදී වම දැනුවත්ව හෝ නොදැනුවත්ව ඇතුළු වන්නේ, භයානක අවකාශයක් වන ප්‍රායෝගිකවාදය(pragmatism) කටය.
දේශපාලකයෝ, මහජනතාවෝ, විචාරකයෝ සහ විද්වත්හු යන සෑම සමාජ තීරුවකම සැවොම “ප්‍රායෝගික” යන වචනයට බෙහෙවින් ඇලුම් කරති. ටෝනි බ්ලෙයාර් 1997 ඔහුගේ මැතිවරනයේදී අපට පැවසුවේ වැදගත් වන්නේ “යල් පැන ගිය දෘෂ්ටිවාදය”(outdated ideology)නොව “වැඩ කරන දේ”(what works) බවයි. කොමියුනිස්ට්වාදය, සමාජවාදය මෙහි සතුරන්ය. 1870 ගණන්වල ඇමෙරිකා එක්සත් ජනපදය තුල “ප්‍රායෝගිකවාදය” (pragmatism) ආරම්භ විය. එහි ආරම්භකයින් ලෙස චාල්ස් සැන්ඩර්ස් පීර්ස්, විලියම් ජේම්ස් සහ ජෝන් ඩිවි(Sanders Peirce, William James, and John Dewey) යන දාර්ශනිකයන් හඳුන්වාදිය හැකිය. https://plato.stanford.edu/entries/pragmatism/ ප්‍රායෝගිකවාදය යනු සාමාන්‍යයෙන් න්‍යායික විශ්වාසයන්ට වඩා ප්‍රායෝගික තත්ත්වයන් ගැන සැලකිල්ලක් දක්වන කලාපයකි. පරමාදර්ශී ලෝකයක සාක්ෂාත් කරගත යුතු දේට ප්‍රතිවිරුද්ධව සැබෑ ලෝකයේ සාක්ෂාත් කරගත හැකි දේ සමඟ එය ගමන් කරයි. දේශපාලන අර්ථයෙන් ගත් කල, ප්‍රායෝගිකත්වය ප්‍රායෝගික අත්දැකීම් සඳහා න්‍යාය සහ චින්තනය ප්‍රතික්ෂේප කරයි. සමාජයට ප්‍රවේශය නම්‍යශීලී විය යුතු අතර, ක්‍රියා කරන දේ මත පදනම්ව තීරණ ගනු ලැබේ. වෙනස්වීම් සහ වෙනස්කිරීම් එකහෙළා ප්‍රතික්ෂේප කරන (අරගලය හා විප්ලවය) අතර ඒ වෙනුවට මධ්‍යස්ථ ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමෙන් සමාජය වෙනස් වන තත්ත්වයන්ට අනුගත විය යුතුය යන අදහස මේ තුල ගම්‍ය වේ.
මූලික වශයෙන් එක්සත් ජනපදයෙන්, ඇන්ග්ලෝ-සැක්සන් ෆැසිස්ට් දේශපාලන-ආර්ථික ලෝක පිළිවෙල සහ රාජ්‍ය අනුග්‍රහය – ගෝලීය පාලන යාන්ත්‍රණය මගින් සක්‍රීය විය. වාමාංශික ආර්ථික සහ දේශපාලන පදනම් සහ දක්ෂිණාංශික පීඩාකාරී ප්‍රායෝගිකත්වයේ එකතුවක් හේතුවෙන් ෆැසිස්ට් පර්යාය තල්ලු වෙමින් පැවතුණි. ලෝක ආයතනික පද්ධතියේ ක්‍රියාකාරීත්වයේ පදනම ලෙස, සංගතවාදය ආයතනික ආධිපත්‍යයේ සහ රාජ්‍ය බලයේ එකමුතුවක් ලෙස ස්ථානගත කර ඇත. ගෝලීයකරණය භූ දේශපාලනික සුපිරි පාලනයක් ලෙස හඳුනාගෙන ඇත. ගෝලීය පාලනය යනු ධනය ප්‍රමුඛකොටගත් කුමන්ත්‍රණකාරී සවරූපයක් සමඟ ගණුදෙණු කිරීමයි. වත්මන් ලෝක මූල්‍ය අර්බුදය, බැංකු, මුදල් සහ ණය බලහත්කාරයෙන් ප්‍රතිසංස්කරණය කිරීමේ ප්‍රයත්නයක් සහ ෆැසිස්ට්වාදය වඩාත් සංක්ෂිප්තව ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ප්‍රයත්නයක් ලෙස ප්‍රායෝගිකවාදය හඳුණාගත යුතු අතර, ආයතනික කළමනාකාරිත්වයේ ඒකාධිපති හැසිරීම් පවත්වා ගැනීම සඳහා පැහැදිලි ලෙස වැඩිදියුණු කිරීමක් ද මේ තුල අන්තර්ගතය. ප්‍රමුඛ පෙළේ ලෝක විද්‍යාඥයින්ගේ න්‍යායික පදනම ජාතික හා ගෝලීයවාදී ආර්ථික පද්ධති සහ ප්‍රතිපත්ති නිරන්තර විකෘති කිරීම්, උපාමාරු ආකෘතිකරණය සහ සවිඥානිකව වසන් කිරීමේ සවිඥාණික අතිශයින් භයානක ෆැසිස්ට් ක්‍රියාවලියක් ලෙස ‘ප්‍රායෝගිකවාදය’ (Pragmatism) හැඳින්විය හැකිය.
මෙය අන්ත දක්ෂිණාංශික ප්‍රයත්නයක් වන අතර ඕනෑම අවස්ථාවක නව ෆැසිස්ට්වාදයක් කරා යා හැකි අතිශයින්ම භයානක ප්‍රවේශයකි. බලය ලබාගත් පසු ඕනෑම භයානක අන්තයකට යා හැකි ප්‍රවේශයක් මෙහි අන්තර්ගතය. මෙම ප්‍රයෝගිකවාදී සංස්කෘතියේ පළමු ගැටළුව නම්, “ප්‍රායෝගික” යන්නෙන් ඔවුන් අදහස් කරන දේ හරියටම හඳුනා ගැනීමට කිසිවෙකු අසමත් බවයි. එක් හැකියාවක් නම් දේශපාලන ප්‍රායෝගිකත්වය යනු තම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වඩාත් ඵලදායී මාධ්‍යයන් සොයා ගැනීමයි. කෙසේ වෙතත්, මෙම කියවීම ප්‍රායෝගිකවාදයේ ගුණය ඉතා පටු කරයි. “ප්‍රායෝගිකත්වය” යනු වෙනත් දෙයක් සඳහා සදාචාරාත්මක අභිලාෂයන් කැප කිරීමයි. නමුත් ඇත්ත වශයෙන්ම වෙනත් දෙයක් යනු කුමක්ද? එය කෙනෙකුගේ පුද්ගලික දේශපාලන වාසිය විය නොහැකිද? නමුත් ගෝලීය පාලකයෝ තමන් ප්‍රායෝගිකවාදීන් යැයි කියා ගන්නා විට, ඔවුන් තමන්ගේම පන්තිමය ලෝකය රැක ගැනීමට ඕනෑම දෙයක් කරන බව ප්‍රකාශ කිරීමට අදහස් නොකරති. න්‍යායික මතවාදයෙන් සම්පූර්ණයෙන්ම ගැලවී ගිය එකම අභිලාෂය වැඩ කිරීම නම්, කරන වැඩ කුමක්ද යන්න තක්සේරු කිරීම සඳහා යම් වටිනාකමක්, මධ්‍යස්ථ ආස්ථානයක් සොයා ගැනීමට උත්සාහ කිරීම කළ නොහැක්කකි. දේශපාලනඥයෝ වැඩ කිරීම ගැන කතා කරන විට, රාජ්‍ය ප්‍රතිපත්තියේ නිසි අරමුණු සම්බන්ධයෙන් විවිධ සදාචාරාත්මක ප්‍රශ්න ගැන නිහඬතාවක් අනුගමනය කරති. බොහෝ විට, පාලකයෝ පාලක පන්තියේ න්‍යාය පත්‍රයක් හොර රහසේ අනුමත කරමින් ඔවුන්ටම වූ විශේෂිත වටිනාකම් සහිත න්‍යාය පත්‍රයක් අපි වෙනුවෙන් අපට ලබාදෙති. මෙම වංචනික වාචාලකමේ ප්‍රධානියා ලෙස අවශ්‍ය නම් අපට රනිල් වික්‍රමසිංහ නම් කළ හැකි අතර අවස්ථාවාදී වාචාලකමේ ප්‍රධානියා ලෙස අවශ්‍ය නම් අපට අනුර කුමාර නම් කළ හැකිය. මේ ආකාරයෙන්, “ප්‍රායෝගිකවාදයේ” නොපැහැදිලි භාෂාව කිසිදු ආකාරයක සාරභූත තර්කයක් ලබා නොදී පවතින තත්ත්වය සාධාරණීකරණය කිරීමට උත්සාහ කරයි. පැරණි “දෘෂ්ටීන්” අවම වශයෙන් ඔවුන්ගේ න්‍යාය පත්‍රය ගැන අවංක වූ අතර, නව “ප්‍රායෝගිකවාදීන්” ඔවුන්ගේ න්‍යාය පත්‍රය ගැන පවා අපට කියන්නේ නැත. ප්‍රායෝගිකවාදයේ භාෂාව මේ අනුව “කෙලින් කතා කිරීම” ට වඩා බොහෝ දුරස් ය. ඒ වෙනුවට, එය පුරවැසියන්ට විරුද්ධ අදහස් ප්‍රකාශ කළ හැකි භාෂාව අහිමි කිරීමේ ක්‍රමයකි. අප සියල්ලෝම දැන් ප්‍රායෝගිකවාදීන් නම්, අපගේ දේශපාලන ක්‍රමය අපට අවශ්‍ය වන්නේ කෙසේද යන්න පිළිබඳ අපගේ දැක්ම අපට අහිමි කරති. “වැඩ කිරීමට” අපට අවශ්‍ය ආකාරය යනු එයයි.
ජර්මනිය, ප්‍රංශය සහ එංගලන්තය යන භූගෝලීය ත්‍රිත්වයේ වෙනස් පැවැත්මේ ආකල්ප තුනක ප්‍රකාශනයක් දුටු පළමු අය අතර හේගල් ද විය. පරාවර්තක පරිපූර්ණත්වය (ජර්මානු), විප්ලවවාදී කඩිමුඩිය (ප්‍රංශ) හා උපයෝගිතාවාදී ප්‍රායෝගිකවාදය (ඉංග්‍රීසි)යි. දේශපාලන අර්ථයෙන් ගත් කල, මෙම ත්‍රිත්වය ජර්මානු ගතානුගතිකවාදය, ප්‍රංශ විප්ලවවාදී රැඩිකල්වාදය සහ ඉංග්‍රීසි ලිබරල්වාදය ලෙස කියවිය හැකිය.
අවසාන වශයෙන්, ඇලන් බදියුගේ වචනයෙන් කිවහොත්, ව්‍යසනය මධ්‍යයේ, කළ යුතු දේ දෙසට අපගේ මාර්ගය සිතන්නේ කෙසේද? කුමක් කළ යුතු වුවද, එයට පැහැදිලි චින්තනයක් ඇතුළත් විය යුතු බව ඔහු තදින් අදහස් කරයි.
අද වමට අවශ්‍යව ඇත්තේ කුමක්ද? එනම්, වම අතර පූර්ණ කොන්දේසි විරහිත සහයෝගීතාවයක් (A Full unconditional solidarity)සහ ගෝලීය වශයෙන් සහයෝගීතා ප්‍රතිචාරය (A Globally coordinated response are needed) කි. තවත් විධියකින් කිවහොත් සතුරාට මුහුණ දීමට වම එක්ව සටන් කරන හා වෙන්ව වැඩ කරන සාමූහිකත්වයක් ගොඩ නගා ගැනීමයි. අපගේ වර්තමාන සියලු උත්සාහයන් මෙම දිශාවට යොමු නොකරන්නේ නම්, අපට අනාගතයක් නැති ඉදිරියක් හා පතුළක් නොපෙනෙන අගාධයක් ඉතිරි වනු ඇත.
එබැවින්, ප්‍රකෝපකාරීවීම අපගේ ශෛලියේ කොටසක් (part of style to be provocative) බවට පත් කර ගත යුතුය. එහි තේරුම සෑම විප්ලවීය වෙනසකටම පසුව, නව සමෘද්ධිය කරා යන මාවත “කඳුළු නිම්නයක්” (a valley of tears) හරහා ගමන් කරන බව ය. එය කිසිසේත් ටිල්වින්ලා, අනුර කුමාරලා පවසන ආකාරයේ සතුට ගෙන දෙන ක්ෂණික වෙනසක් නොවේ. වෙනත් වචනවලින් කිවහොත්, රාජ්‍ය සමාජවාදයේ බිඳවැටීමෙන් පසු රටක් ක්ෂණිකව සාර්ථක වෙළඳපොල ආර්ථිකයක් බවට පත් කළ නොහැකිය. එම අවශ්‍ය පළමු පියවර වේදනාකාරී එකක් වේ. පශ්චාත් සමාජවාදී ජාතීන් තුල, මෙම නව ප්‍රජාතන්ත්‍රවාදී පර්යායේ ආර්ථික ප්‍රතිඵල, 1989 කීර්තිමත් දිනවලදී, බටහිර පරිභෝජනවාදී සමාජවල බහුලත්වය සමඟ ප්‍රජාතන්ත්‍රවාදය සමාන කළ ජනගහනයේ විශාල ස්ථරයක් කලකිරීමට පත් කර ඇත. දැන්, අවුරුදු 30කට පසුව, ඒ බලාපොරොත්තු වූ බහුලත්වය තවමත් අතුරුදහන් ව ඇති විට, ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයට දොස් පවරමින් සිටින්නේ එබැවිණි. සමහර විට චීනයේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඌනතාවය ගැන කනස්සල්ලට පත්වන්නන් ඇත්ත වශයෙන්ම කනස්සල්ලට පත්වන්නේ එහි වේගවත් සංවර්ධනය එය මීළඟ ගෝලීය සුපිරි බලවතා බවට පත් විය හැකිය යන විශ්වාසය සහ එමඟින් බටහිර ප්‍රමුඛතාවයට තර්ජනයක් විය හැකි යැයි යන උපකල්පනය මත නම්, එය අප තේරුම් ගත යුත්තේ කෙසේද? එහි ‘අධිකාරී ධනවාදය’ නම් වූ කොටස හුදෙක් අපගේ අතීතයේ ඉතිරියක් නොව එය අපගේ අනාගතයේ පෙරනිමිත්තක් විය හැකියැයි සිතීම කොහොමටත් ගුණදායකය.
මම ලියමන අවසන් කිරීමට පෙර, ‘මාඕ’ පූර්ව විප්ලවීය සමයේදී චීන තරුණයන් අමතා කළ ඉල්ලීම උපුටමි.
“ඔබ කළ යුතු දේ වෙනත් කෙනෙකු පවසන තෙක් හෝ කරන තෙක් බලා නොසිටින්න, ඔබට කැරලි ගැසීමට අයිතියක් ඇත! එබැවින් ඔබ ගැන සිතා ක්‍රියා කරන්න, සංස්කෘතික ධාතූන් විනාශ කරන්න, ඒ මග යන ඔබේ වැඩිහිටියන් පමණක් නොව ඔබේ පක්ෂ නිලධාරීන් ද හෙළා දකින්න, පහර දෙන්න! මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රණය වෙනස් කිරීමට සංවිධානය වන්න!”
චීනයේ මාඕගේ බලාපොරොත්තුව ඔහු අපේක්ෂා කළ ආකාරයට වඩා එහාට ගියේය. අවසානයේදී, සාමය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මාඕට රතු හමුදාව කැඳවීමට සිදු විය. මෙහි විරුද්ධාභාසය නම්, සංස්කෘතික විප්ලවයේ ප්‍රධාන සටන දිග් ගැස්සුණේ කොමියුනිස්ට් පක්ෂ යාන්ත්‍රණය සහ එය හෙළා දකින සම්ප්‍රදායික සතුරන් අතර නොව, කොමියුනිස්ට් අදහස් දරන්නන් හා මාඕ විසින්ම ඇති කළ බලවේග අතර වීමය.
1989 සෝවියට් දේශපාලන බල කඳවුරේ බිඳ වැටීම සංකේතවත් කරන බර්ලින් තාප්පය බිඳ දැමීමත් සමග දේශපාලන ආර්ථික විද්‍යාඥ ෆ්‍රැන්සිස් ෆුකුයාමාගේ “ඉතිහාසයේ අවසානය” පිළිබඳ අදහස ලිබරල් ධනවාදය තුළ අපට හමුවූයේ හොඳම සහ එකම සමාජ ක්‍රමය ලෙසය. පසුකාලීනව ගෝලීය වම ඔහුගේ ප්‍රකාශය විහිළුවට ලක් කළේය. නමුත් එදා ෆුකුයාමාට විහිළු කළ වමේ බහුතරය අද ෆුකුයාමාටත් වඩා ෆුකුයාමාවාදීන් වී ඇත. එබැවින්, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ධනවාදය හැකි සෑම ලෝකයකම හොඳම දේ සඳහා අවසාන වශයෙන් සොයාගත් සූත්‍රය ලෙස පිළිගනු ලබමින් තිබේ. දැන් බොහෝ වම්මුන්ගේ සිට කිරීමට ඉතිරිව ඇත්තේ ඊට වඩාත් සාධාරණ, සමානාත්මතාවය, විනිවිදභාවය, ඉවසිලිවන්තභාවය සහ මානවවාදය යනාදිය එකතු කිරීමය. එනම් කවදාවත් කළ නොහැකි බලු නගුට කෙලින් කිරීමය. ඉන් අදහස් කරන්නේ අපට ‘නිසි කොමියුනිස්ට් ඉදිරි දර්ශනයක් අවශ්‍ය බව’ නොවේද? “පොදුබව” ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය විසින් කොමියුනිස්ට්වාදය පිළිබඳ සංකල්පය නැවත පණ ගැන්වීම යුක්තිසහගත කරනු ලබයි. කෙසේ වෙතත්, කොමියුනිස්ට් යන පදය නිසි ලෙස සාධාරණීකරණය කරන්නේ ඇතුළත් කරගත්තවුන් සහ බැහැර කළවුන් යන අය අතර ඇති ප්‍රතිවිරෝධතාවයයි.
19 වැනි සියවසේ විමුක්ති දේශපාලනයේ ප්‍රධාන කර්තව්‍යය වූයේ කම්කරු පන්තිය දේශපාලනීකරණය කිරීමෙන් ධනේශ්වර ලිබරල්වාදීන්ගේ ඒකාධිකාරය බිඳ දැමීම නම්, 20 වැනි සියවසේ විමුක්ති දේශපාලනයේ කාර්යය වූයේ ආසියාවේ සහ අප්‍රිකාවේ අතිවිශාල ග්‍රාමීය ජනතාව දේශපාලනිකව අවදි කිරීම නම්, 21 වැනි සියවසේ විමුක්ති දේශපාලනයේ කාර්යය විය යුත්තේ, මුඩුක්කුවාසී පහළ පන්තිකයාගේ සිට මධ්‍යම පන්තිකයා දක්වාත් එමෙන්ම ශිෂ්‍ය ව්‍යාපරයේ සිට ගොවි, කම්කරු ව්‍යාපාරය දක්වාත් මේ සියලු දෙනා දේශපාලනීකරණය කොට, මනාව සංවිධානය කිරීමක් හරහා ඉදිරි දර්ශනයක් සහිත මහජන අරගලයකට වම නායකත්වය දීම ය. වම ඉදිරියට යා යුත්තේ සැබෑ ලෙනින්වාදී වඩාත් නිවැරදි, විචක්ෂණශීලී මාර්ගයක් වන “සංයුක්ත තත්ත්වයන් පිළිබඳ සංයුක්ත විශ්ලේෂණය” හරහා පමණි.
ඉතාලි මාධ්‍යවේදියෙකු වන Marco Cicala මෑතකදී ඉතාලි දිනපතා පුවත්පතක් වන ‘La Repubblica’ සඳහා ලියූ ලිපියක “ධනවාදය” යන වචනය භාවිතා කළ විට, ඔහුගේ කතුවරයා ඔහුගෙන් මෙම යෙදුම භාවිතා කිරීම ලිපියට අවශ්‍යමදැයි සහ ඔහුට එය අවශ්‍යම නම් ඊට වෙනත් සමාන පදයක් ඊට ප්‍රතිස්ථාපනය කළ නොහැකිදැයි විමසීය. බොහෝ දෙනා දේශපාලන මූලධර්ම වෙනුවෙන් පෙනී සිටීම හෝ ඒ ගැන කතා කිරීම පවා ප්‍රතික්ෂේප කරති. අද මෙය ජනතාවාදී වමේ කැපී පෙනෙන ලක්ෂණයක් වී ඇත. ඔව්හු ධනවාදය, ප්‍රාග්ධනය ගැන කතානොකොට මේ ක්‍රමය විවේචනය කරති. ඊට විරෝධය දක්වති.
එබැවින් අපගේ දුෂ්කරතාවයේ පරස්පරය නම්, ගෝලීය ධනවාදයට එරෙහි ප්‍රතිරෝධය එහි ප්‍රගතිය නැවැත්වීමට නැවත නැවතත් අසාර්ථක වන බවක් පෙනෙන්නට තිබුණත්, ධනවාදයේ ප්‍රගතිශීලී විසංයෝජනය පැහැදිලිව පෙන්නුම් කරන බොහෝ ප්‍රවණතා හඳුනා ගැනීමට එය අසමත් වීමයි. සැබෑ වෙනස යනු පැරණි පිළිවෙළ පෙරලා දැමීම පමණක් නොව, සියල්ලටත් වඩා, නව නියෝගයක් යෝජනා කිරීමයි. ඊටත් එහා ගිය වමේ කර්තව්‍යය විය යුත්තේ, නව නියෝගයක් යෝජනා කිරීම පමණක් නොව, හැකි යැයි පෙනෙන දේ වෙනස් කර ඉදිරි දර්ශනයක් සහිත නව නියෝගයක් ස්ථාපිත කිරීමයි. වම තුල දැන් සිදුවෙමින් ඇත්තේ එයද?
අදාල පතපොත
Liberalism: A Counter History by Domenico Losurdo
Deng Xiaoping and the Transformation of China by Ezra Vogel
Twilight of Democracy by Anne Applebaum