Leftwin Magazine Vol - 02

චාවේස්, මෙසරෝස් සහ ජනතාවාදය

෴ සමන් පුෂ්ප කුමාර

මෙසරෝස් සහ චාවේස්

වෙනිසියුලාවේ විප්ලවීය දේශපාලන නායකයෙකු වූ හියුගෝ චාවේස් සහ හංගේරියානු මාක්ස්වාදී චින්තකයෙකු වූ ඉස්ට්වාන් මෙසරෝස් අතර සමීප සබඳතාවක් බිහි වූයේ කෙසේ ද? එයින් ජනිත කළ ප්‍රතිඵලයන් මොනවා ද? තරුණ කාලයේ දී හමුදාවට බැදුණු චාවේස්ට දේශපාලනය සහ ඉතිහාසය හැදෑරීමට හමුදාවෙන්ම අවස්ථාවක් සලසා දුන් අතර මේ කාලයේ දී වෙනිසියුලාවේ තිබුණු අසාධාරණකම් සහ ප්‍රතිවිරෝධයන් තේරුම් ගැනීමට ඉඩක් ලැබිණි. මෙසරෝස් ගත් විට ඔහුට වඩා පරම්පරාවක් ඉහළින්  සිටියේ ය. චාවේස් ගත්විට ඔහුට තිබුණේ දරිද්‍රතාවලින් ගහන පවුල් පසුබිමකි. එමෙන්ම මෙසරොස්ට තිබුණේත් එවැනිම පවුල් පසුබිමකි. නමුත් චාවේස්ගෙන් වෙනස්ව මෙසරොස් පසුකාලීනව ශාස්ත්‍රීය සහ දේශපාලනික වශයෙන් ඉහළ බුද්ධිමතෙකු වූ ජෝර්ජ් ලූකාශ්ගේ බලපෑමට හසු විය. 1956 හංගේරියාවේ මහජන නැගීසිටීමත් සමග ඉතාලියටත් එතනින් එංගලන්‍තයටත් ගියේ ය.

සමාජවාදය ගොඩ නැගීම නම් ක්‍රියාවළියේ දී මෙසරෝස් අවබෝධකරගත් කාරණයක් විය. එය නම් ‘සැබෑ සමාජවාදය’ වශයෙන් මතු වූ සංසිද්ධිය සහ 20 වන ශත වර්ෂ‍යේ ධනවාදය යන්න එකම පද්ධතියක ප්‍රකාශනයන් දෙකක් බව ය. මෙයට මෙසරෝස් කීවේ ප්‍රාග්ධන පද්ධතිය (capital system) කියා ය. පෙරදිග මෙන්ම බටහිර රටවල් දෙවර්ගයටම පොදු කරුණක් වූයේ ශ්‍රමිකයන්ගෙන් අතිරික්ත වටිනාකම් උකහා ගැනීම ය. නිෂ්පාදන ක්‍රියාවලියට ඔවුන් යටත් වූ අතර එම නිෂ්පාදන ක්‍රියාවලිය තමන්ගේ අභිමතය පරිදි පාලනය කිරීමට ඔවුන්ට ඉඩක් ලැබුණේ නැත. 1960-70 දශකවල එංලන්තයේ සිටි මෙසරෝස්ට නිරීක්ෂණය  වූයේ මේ දෙවර්ගයේම රටවල් එකම ප්‍රාග්ධන පද්ධතියක් හුවමාරු කරගන්නා ආකාරය යි. අමතර වශයෙන් මෙම ප්‍රාග්ධන පද්ධතියෙන් ජනිත කළ ප්‍රතිවිරෝධයන් ග්‍රහණය කරගැනීමටත් මෙසරෝස්ට හැකි විය.

ෆ්‍රන්සිස් හෙයක් (Frances Hayek) සහ මිල්ටන් ෆ්‍රීඩ්මන් (Milton Friedman) යන අයගේ න්‍යායාත්මක කාරණාවන්ගේ බලපෑම් හරහා නව ලිබරල්වාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට පටන් ගත් අතර මෙම නව ලිබරල්වාදී ප්‍රතිපත්ති නිසා හටගත් ප්‍රශ්න විසඳුණේ නැත. මහ මග කඳුළු ගෑස්, බැටන් පොලු සහ ජල ප්‍රහාර මගින් මෙම ප්‍රශ්න විසඳා ගැනීමට පීඩනයට පත්වූ අය යොමු වූහ. අනෙක් අතට නැගෙනහිර යුරෝපීය රටවල් තුල බටහිර රටවල් හා සමාන ආකාරයට ව්‍යුහාත්මක ගැටළු හටගත්හ. මෙම රටවල් තුළ බටහිර රටවල් තුළ සිදු වන ආකාරයටම කම්කරුවන්ගේ ශ්‍රමය හරහා අතිරික්ත වටිනාකම් උකහා ගත් අතර ධනවාදී රටවල් හා සමාන ආර්ථික  පීඩනයක් ඔවුන් මත එල්ලකළේය. එම රටවල්වලටත් ධනවාදී රටවල් හා සමානව ව්‍යුහාත්මක අර්බුදවලින් ගොඩ ඒමට නොහැකි විය. මෙසරෝස් තමන්ගෙ ප්‍රධාන න්‍යායගත කිරීම් කරන්නේ මෙම තත්ත්වයන් තුල ය. මේවා අතරින් ඔහු සූත්‍ර ගත කළ ප්‍රධාන කාරණාවක් නම් ප්‍රාග්ධනය යන්න අවශ්‍යයෙන්ම පරිවෘත්තීය පද්ධතියක් (metabolic system) බව ය. ප්‍රාග්ධනයේ පරිවෘත්තීය පද්ධතිය ධනවාදය වශයෙන් බටහිර රටවල ප්‍රකාශයට පත්වන අතර පශ්චාත් විප්ලවීය සමාජයන් තුළ ද ප්‍රාග්ධන ක්‍රියාවළිය සිදු විය. මේ තත්ත්වයන් පැහැදිළි කිරීමට මෙසරෝස් සංකල්පයන් කිහිපයක් පාවිච්චි කරයි: ‘සෝවියට් ප්‍රාග්ධන පද්ධතිය’, ‘පශ්චාත් විප්ලවීය ප්‍රාග්ධන පද්ධතිය’, ‘පශ්චාත් ධනේශ්වර ප්‍රාග්ධන පද්ධතිය’ මේවා අතරින් කිහිපයකි. මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී පරිවෘත්තීය ක්‍රියාව සහ අතිරික්ත වටිනාකම් උකහා ගැනීම වරදි ලෙස නම්කර ගත්තේ ‘ඇත්තටම පවත්නා සමජවාදය’ (actually existing socialism) ලෙසට ය. මෙම ප්‍රවේශයෙන් වෙනස්ව මෙසරෝස් කියන්නේ සමස්ත ප්‍රාග්ධන පද්ධතිය ඉකමවා යා යුතු බව ය. ප්‍රාග්ධන පද්ධතියේ ධනවාදී රාමුව (capitalist form) ඉක්මවා යාමෙන් මේ ප්‍රශ්නය නොවිසඳෙන අතර මෙහි දී කළ යුත්තේ රඩිකල් ආකාරයට මූලයන්ටම යොමු වී සමාජ සංශෝධනයක් සහ ශ්‍රමිකයන් විසින් සවිඥාණිකව සහ ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට කෙරෙන පාලන ක්‍රමයක් ස්ථාපනය කිරීම ය. ප්‍රාග්ධන පද්ධතියේ අර්බුදයට සමාජවාදය පරිපූර්ණ විසදුමක් නොවේ. එයට වඩා පුළුල් විසඳුමක් අවශ්‍ය වේ. නිෂ්පාදනය ස්වයං නියාමනයට ලක්වන, නිෂ්පාදනයේ සෑම මට්ටමකම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වන විකපල්පයක් අවශ්‍ය වේ. මෙම විකල්පයට මෙසරෝස් කියන්නේ ‘ප්‍රජාමය පද්ධතියක්’ (communal system) කියා ය.

මෙසරෝස් විසින් යෝජිත එවැනි ආකාරයේ විකල්පමය ක්‍රමයක් චාවේස් තම රට තුල බිහිකිරීමේ උනන්දුවෙන් සිටියේ ය. ඉහත සදහන් කළ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ වෙනිසියුලානු සමාජවාදයෙන් ඔහු බලාපොරොත්තු විය. ප්‍රජාමය සභාවන් (community councils) සහ අනෙකුත් ස්වයං-සංවිධානයන් හරහා වෙනිසියුලානු ජනතාවට විමුක්‍තියක් අත්පත් කර දීම ඔහුගේ බලාපොරොත්තුව විය. ඔහුගේ ප්‍රමුඛ සටන් පාඨයක් වූයේ මිනිසුන්ට පමණක් මිනිසුන්ව මුදවා ගත හැකි බව ය. ඔහුට අවශ්‍ය වූයේ අඩු සමාජවාදයක් නොව වැඩි සමාජවාදයකි. 21 වන සියවස සදහා සමාජවාදය අවශ්‍ය බව චාවේස්ගේ මතය විය. ඔහු සිය රටෙහි තමන්ගේ අනුගාමිකයන්ව සහ රටෙහි සම්පත් බලමුළු ගන්වා ගත්තේ සමාජවාදී පරිවර්තනයක් සදහා වූ හංගේරියානු දාර්ශනිකයාගේ ප්‍රවේශයට අනුව යමිනි.

මෙසරෝස්ගේ බලපෑම යටතේ චාවේස් සමාජවාදය ගොඩ නැගීම සදහා යෝජනා කළේ කොමියුන පිලිබඳ අදහස ය. බොලිවෙරියානු ක්‍රියාවලිය මගින් නිෂ්පාදනය සඳහා ගත් ක්‍රියාමාර්ග දෙස නැවත සිතා බැලීමට චාවේස්ව යොමු කළේ කොමියුන පිලිබඳ අදහස ය. මෙහිදී මුලින්ම ගත් උත්සාහය නම් වෙනිසියුලාවේ ආර්ථිකය සම්පූර්ණ වශයෙන් වෙනස් කිරීම ය. ඔහු රට පුරා සමුපකාර ගොඩ නැගීමේ දිශාවට යොමු විය. 2003 කාලයේ දී මෙම අත්හදා බැලීම සිදු විය. රාජ්‍යය මැදිහත් වී රටේ සම්පත් විශාල වශයෙන් බලමුළු ගන්වා ගැනීමට යොමු විය. විශේෂයෙන්ම ඛණිජ තෙල්වලින් ලබා ගන්නා ලාභය මහජන සුභ සාධනය සදහා යොදාගත් අතර ජනතාවගේ උද්‍යෝගිමත් සහභාගිත්වය ලබා ගැනීමට කටයුතු කරන ලදී. ටැක්සි සේවාව, කොණ්ඩා කැපීමේ සේවාව සමුපකාර හරහා ලබා දුන් අතර කෘෂිකාර්මික, කාර්මික සහ ඉහළ කර්මාන්තමය නිෂ්පාදන සමුපකාරයන්ද පටන් ගන්නා ලදී.

කෙසේ නමුත් සමුපකාරයක් පටන් ගැනීම ඕනෑම කෙනෙකුට පහසුවෙන් කළ හැකි ය. කඩදාසියකින් ඒවා ලියාපදිංචි කරගත හැකි ය. විශේෂයෙන් රජයේ කොන්ත්‍රත්‍ ලබා ගැනීම, මුදල් ප්‍රධාන ලබා ගැනීමට සමුපකාරයක් අටවා ගත හැකි ය. නමුත් මේවායින් වෙනස්ව ශ්‍රමිකයන්ගේ සැබෑ සමුපකාරයන් ද පිහිටුවා ගත හැකි ය. චාවේස්ගේ මතය වූයේ සාමූහික අයිතිකාරකමක් නොමැතිව ක්‍රියාත්මක වන සමුපකාරයන් ප්‍රශ්නකාරී වන බව ය. සාමූහික අයිතිකාරකම නැති තැන බිහිවන්නේ පෞද්ගලික දේපළකි. 

2006 කාලයේ දී චාවේස් කියා සිටියේ සාමජවාදය දිනා ගැනීම වෙනිසියුලාවේ අරමුණ බව ය. ඔහු එහි දී විවිධ අත්හදා බැලීම් කරමින් විවිධ රාජ්‍යය දේපළ බිහිකර ගැනීමේ කටයුත්ත ආරම්භ කළේය. එහි දී ඔහු තේරුම් ගත් කාරණයක් වූයේ ධනේශ්වර දේපළ ක්‍රමය පෞද්ගලික වෙන අතරම සමාජ විරොධී වන බව ය; ඒවා කිහිප දෙනෙකුගේ පාලනයට ලක් වී තිබෙන බව ය. සමහර උත්සහයන් සාර්ථක වූ අතර සමහර උත්සාහයන් අසාර්ථක විය. ආහාර පිසින තෙල් ව්‍යාපාරය රාජ්‍යයට අයිති එකක් ලෙස ක්‍රියාත්මක වූ අතර එහි තිබුණේ සම කළමනාකාරිත්වයකි. Oliver Ressler සහ Dario Azzellini විසින් ලියනු ලැබූ Five Factories: Worker Control in Venezuela (2006) පොතෙහි මේ සම්බන්ධයෙන් කරුණු අඩංගු ය. වෙනිසියුලාවේ ඇලුමිනියම් නිෂ්පාදන කටයුතු ද පර්යේෂණානාත්මක මට්ටමින් කළේ ය. මේවා සමගින් චාවෙස්ගේ උනන්දුව සමාජවාදී නිෂ්පාදන ක්‍රමයක් වෙත යොමු විය. වසර පහක් පමණ බොලිවේරියානු ක්‍රියාවළිය මගින් මුල දී සමුපකාර ක්‍රමයත් දෙවනුව රාජ්‍යය දේපළ ක්‍රමයත් අත්හදා බැලූ අතර මේ දෙකෙහිම තිබෙන සීමාවන් ගැන දනුවත් බවක් ලබා ගැනීමට ද හැකි විය. මේ අත්දැකීම්වලින් පසුව චාවේස් තමන් ක්‍රියාත්මක කළ මුල් අකෘතීන්ගේ දුර්වලතා ඉක්මවා යමින් අලුත් ආකෘතීයක් වෙත ගමන් කළේය. එය නම් ‘කොමියුන’ නම් විකල්පය ය. 2009-2010 කාලයේ දී මෙම ගමන් කිරීම සිදු විය. මෙහිදී චීන කොමියුන වලින් ආදර්ශයක් ගත් අතර මෙම චලනය සඳහා පුළුල්ම බලපෑම ලැබුණේ මෙසරෝස්ගෙන් ය. වෙනිසියුලාව තුළ සමාජවාදය ගොඩ නැගීම, ප්‍රජා පද්ධතිය කේන්ද්‍රයට ගැනීම සහ විශාල සම්පත් ප්‍රමාණයක් බලමුළු ගන්වා ගැනීම ආදිය යටින් තිබුණේ මෙසරෝස්ගේ අදහස්‍ ය.

මෙසරෝස් සහ චාවේස් අතර සබඳතාව  ගොඩ නැගුණේ කෙසේද? මේ සඳහා මැදිහත් වූ තුන්වැන්නා වූයේ ජෝර්ජ් ජියොදානි (Jorge Giordani) නම් වෙනිසියුලානු මහාචාර්යවරයාය. ඔහු චාවේස්ගේ මෙන්ම මෙසරෝස්ගේ ද යහළුවෙකු විය. මොහු දීර්ග කාලීන වාමාංශියෙකු විය. එමෙන්ම ඔහු වෙනිසියුලාවේ සිට ඉතාලියටත්  එතනින් එංගලන්තයටත් අධයාපන කටයුතු සඳහා ගිය අතර එහි දී මෙසරෝස්ව හඳුණා ගත්තේ ය. 1993 කාලයේ දී චාවේස් බන්ධනාගාරගතව සිටිය දී ජියොදානි ඔහුව හමු වූ අතර බන්ධනාගාරයේදී ම දේශපාලන විද්‍යාව පිලිබඳව උපාධිය හදාරමින් සිටියේ ය. චාවේස්ට අවශ්‍යය වූයේ තමන්ගේ නිබන්ධයේ උපදේශකයා වශයෙන් ජියොදානිව පත් කර ගැනීම ය. මේ දෙදෙනා අතර මිතුදම ඇතිවූයේ එලෙසය. ඔහු හිර ගෙදර දී සෑම සතියක ම පාහේ චාවේස්ව මුණ ගැසුණේ ය. මේ කාලයේ දී මොවුන් දෙදෙනා කාල් මාක්ස්, අන්තෝනියෝ ග්‍රාම්ස්කි  සහ මෙසරෝස් යන අය ගැන පුළුල්ව සාකච්ඡා කළහ. ජියොදානිගේ ප්‍රබල උත්සාහයක් වූයේ මෙසරෝස් විසින් 1995 දී කළ Beyond Capital  පොත ස්පාඤ්ඤ භාෂාවට පරිවර්තනය කර ගැනීම ය. පසුව ඔහු තමගේ යහළුවෙකු ලවා මෙම පොත පරිවර්තනය කර ගත් අතර වෙනිසියුලාවට මෙම පොත අවේ ඒ ආකාරයට ය. මෙසරෝස් මෙම පොතට වෙනිසියුලාව තුල ඉහළ ප්‍රසිද්ධියක් ලබා දුන් අතර සිය මන්ත්‍රීවරුන්ට මෙම පොත කියවන ලෙස ඉල්ලා සිටියේ ය. චාවේස් මෙසරෝස්ගේ අනෙක් පොත් ද හැදෑරීමට යොමු විය. 

මේ අයගේ විශේෂ අවදානයට ලක් වූ මෙසරෝස්ගේ ප්‍රධාන සංකල්ප මොනවාද? ප්‍රාග්ධන පද්ධතිය සහ ධනවාදය එකිනෙක සමාන නොවන බව මෙහිදී මතු කළ ප්‍රමුඛ කාරණයක් විය. මාක්ස්ගේ ප්‍රාග්ධනය පොතෙහි උපමාතෘකාව වැරදියට පරිවර්තනය වී තිබෙන්නේ ‘ A Critical Analysis of Capitalist Production’ ලෙසට ය. නමුත් එය පරිවර්තනය විය යුත්තේ ‘A Critical Analysis of the Production of Capital’ ලෙසට ය; විය යුත්තේ ධනේශ්වර නිෂ්පාදනය නොව ප්‍රාග්ධන නිෂ්පාදනය බව ය. මෙසරෝස් මෙහි දී පෙන්වා දෙන්නේ මාක්ස්ගෙ ප්‍රධාන අධය්‍යයන වස්තුව ප්‍රාග්ධනය බව ය. ප්‍රාග්ධනය යනු ධනපතීන් විසින් ඉතාමත් කෑදර අන්ද්මින් කම්කරුවන් සූරා කමින් අතිරික්ත වටිනාකම් උකහා ගැනීමට දරන උත්සාහයක් සම්බ්න්ධයෙන් විවේචනයක් නොවේ. මෙම විවේචනය යොමු වන්නේ ප්‍රාග්ධනයේ තර්කය මගින් මිනිසා සහ සොබාදහම අතර සබඳතාවටත් මිනිසා සහ මිනිසා අතර ඇති සබඳතාවටත් බලපාන මැදිහත්කරණයක් (mediation) ගැනය. ප්‍රාග්ධනය මගින් සමස්ත පද්ධතියක් ගොඩ නගා තිබෙන අතර පරාරෝපිත නිෂ්පාදන මාර්ගයන් නිපදවා තිබේ. මෙහි දී නිෂ්පාදකයාට නිෂ්පාදන ක්‍රියාවළිය මත පාලනයක් දැක්විය නොහැකි ය. නිෂ්පාදකයගේ ශ්‍රමය බාහිර බලවේග මගින් පාලනයට ලක් වේ. අනෙක් අතට ප්‍රාග්ධන පද්ධතිය මගින් පවුල් සබඳතා ව්‍යුහගත කරන අතර මිනිස් සබඳතා මුදලේ ගූඩවාදී ආකෘතිය මගින් පාලනය වේ. 

මෙසරෝස් සොයා බලන්නේ සියල්ල වැළඳ ගන්නා සුලු ඓතිහාසික ප්‍රාග්ධන පද්ධතිය ගැන ය. මෙය ශුද්ධ නය්‍යාත්මක ප්‍රශ්නයක් නොව ප්‍රායෝගික ප්‍රතිඵලයන් ඉතිහාසය තුල ජනිත කළ ගත හැකි සංසිද්ධියකි. ඔබට ධනේශ්වර පද්ධතිය පරාජය කළ හැකි ය. නමුත් ප්‍රාග්ධනයේ ක්‍රියාවළිය සහ එහි පරිවෘත්තීය බව නැවත නැවත් ප්‍රති නිෂ්දනය වේ. සෝවියට් දේශය සහ නැගෙනහිර යුරෝපීය රටවල් තුළ සිදු වූයේ එවැන්නකි. මේ රටවල් ‘පශ්චාත් ධනේශ්වර’ රටවල්  හෝ ‘රාජ්‍ය ධනෙශ්වර’ රටවල් ලෙස නම් කළ හැකි ය. කලෙක දී මෙම රටවල් ‘සමාජවාදී’ රටවල් වශයෙන් නම් කළ ද ප්‍රාග්ධන පද්ධතියේ මූලිකාංගයන් තව දුරටත් එම රටවල ප්‍රතිනිෂ්පාදනය විය. මේ රටවල සිටි කම්කරුවන්ට නිෂ්පාදන ක්‍රියාවළිය මත තමන්ගේ පාලනය යෙදවීමට හැකි වූයේ නැත. තමන්ගේ ශ්‍රමය මත   ධුරාවලි ගත අණපනත් ක්‍රියාත්මක විය. නිෂ්පාදන එල්ලයන් කම්කරුවන් හරහා කරගත්තේ ‍ප්‍රජාතන්ත්‍රවාදී නොවන ආකාරයට ඉහළ සිට බලපෑම් කිරීමෙනි. මෙම රටවලත් පරාරෝපිත නිෂ්පාදන මාර්ග තිබීම,  අතිරික්ත ශ්‍රමය උකහා ගැනීම, ශ්‍රමය වස්තුකරණය වීම යන සියල්ල සිදුවිය. මේ අනුව මෙසරෝස් කියා සිටියේ සෝවියට් පද්ධතිය ප්‍රාග්ධන පද්ධතියක් බව ය. එය ධනේශ්වර පද්ධතියක් නොවුනත් ප්‍රාග්ධන පද්ධතියකි. ප්‍රාග්ධනයේ සියලුම රූපාකාරයන් සෝවියට් දේශය සහ නැගෙනහිර යුරෝපීය සමාජවාදී රටවල සිදුවිය. ධනවාදය මගින් කම්කරුවන්ට පීඩනයක් එල්ල කරන ආකාරයට ම මේ රටවල සිදුවූයේ ‘එක්කෝ වැඩ කරනු නැත්නම් බඩගින්නේ සිටිනු’  යන තර්කනය ය. මේ රටවල්වලට අවශ්‍ය වූයේ බටහිර රටවල් සමග තරග කළ හැකි නිෂ්පාදනීය තත්ත්වයක් ගොඩනඟා ගැනීම ය. ඉහළ සිට පාලනය කෙරෙන ව්‍යාපාර හරහා සෝවියට් නායකයෝ අවසානයේ දී නිදහස් වෙළඳපළ සහ ධනවාදය පුනස්ථාපනය කළ හ.

මෙසරෝස් මේ අදහස්වලින් කරන්නේ නැගෙනහිර යුරෝපයේ ‘ඇත්තටම පැවතුණා වූ සමාජවාදය’ විවේචනය කිරීමක් නොවේ.  ඔහුට අවශ්‍ය වන්නේ ඔහුගේ දේශපාලනික අදහස් හරහා විකල්පමය ව්‍යාපෘතියක් ඉදිරිපත් කිරීම ය. ‍ප්‍රාග්ධනය ඉක්මවා යාම සඳහා ගත්තා වූ අසාර්ථක ව්‍යාපෘතීන් වෙනුවට අතරමැදි පරිවර්තනීය සැබෑ සමාජවාදී ව්‍යාපෘතියක් ගොඩනැගීම ඔහුගේ උත්සාහය ය. සමස්ත ප්‍රාග්ධන පද්ධතියට විකල්ප ක්‍රමයක් යෝජනා කිරීම මෙසරෝස්ගේ අදහස ය. මෙහි දී ප්‍රාග්ධනයට විකල්පමය පද්ධතියක් ඉදිරිපත් කිරීම සහ එය ක්‍රියාවට නගා ගැනීම අඟහරු ග්‍රහයා වෙත යනවාට වඩා අභියෝගයක් බව චාවේස් ද කියා සිටියේ ය. ප්‍රාග්ධන පද්ධතිය හා සමාන ඓන්ද්‍රීය පද්ධතියක් ගොඩ නගා ගැනීම අසීරු කටයුත්තකි. විවිධ මූලිකාංග එකිනෙකාට උදව් කරගන්නා සුළු පද්ධතියක් ගොඩ නගා ගැනීම අපහසුකාරී කටයුත්තකි. මේ පද්ධතියේ යම් පාර්ශ්වීය අංගයක් පද්ධතියේ අනෙකුත් අංග ඉක්මවා යාමට කටයුතු කළහොත් එම පද්ධතිය ගොඩනඟා ගැනීම කළ නොහැකි ය. මෙම විකල්පීය පද්ධතියට මෙසරෝස් කියන්නේ ‘අව්‍යාජ සමාජවාදී පද්ධතියක්’ බව ය. මෙය සාරාත්මක වශයෙන් ප්‍රජාමය එකකි. එයට ඔහු කියන්නේ ස්වයං ආකාරයට තමන්ව ගොඩනගාගන්නා ප්‍රජාමය පද්ධතියක් (self-constituting communal system) බව ය.

මාක්ස්ගේ පොත්පත් සහ මෙසරෝස් විසින් ලියූ පොත් පත් හරහා චාවේස් කියන්නේ ‍ප්‍රාග්ධන පද්ධතියට විකල්පයක් ලෙස ප්‍රජාමය නිෂ්පාදනයක් (communal production) බිහිකර ගත යුතු බව ය. මූලික වශයෙන් බලාපොරොත්තු වන්නේ නිෂ්පාදකයාට නිෂ්පාදනයේ සම්පූර්ණ පාලනය අත්පත් කර දීමකි. එමෙන්ම වෙළෙඳපොළ යන්න ඉක්මවා යාමකි. පාරිභෝගික භාණ්ඩ සහ මුදල් අර්චනය වීම පැත්තකින් තැබීමකි. සබුද්ධික ලෙස ස්ථාපනය කරන ලද අරමුණු මත පදනම් වූ තිරසාරත්වය මෙහිදී යෝජනා වෙයි. මෙය ඓන්ද්‍රිය පද්ධතියක් වන අතර එය ප්‍රජාමය පද්ධතියක් ද වේ. එහි අභ්‍යන්තරික කොටස් එකිනෙක සම්බන්ධ වේ. ප්‍රාග්ධනයේ විනාශකාරී ඓන්ද්‍රීය පද්ධතියට විකල්පම ය වශයෙන් ඇති එකම පද්ධතිය මෙම ප්‍රජාමය පද්ධතිය ය. මෙයින් ඉදිරියට දමන්නේ පරිවෘත්තීයමය හුවමාරුවකි. මෙසරෝස් Monthly Review, 59, No 10 කලාපයට සපයන ‘The Communal System and the Principle of Self-Critique’ ලිපිය මගින් කියා සිටියේ සියලුම ආකාරයේ නිර්මාණාත්මක පුද්ගලයන් සහ සාමූහික බලයන් තනි සංගත පද්ධතියක් බවට පත්කළ හැක්කේ ප්‍රජාමය වශයෙන් සංවිධානය වූ පද්ධතියකට බව ය. මෙහි දී බලාපොරොත්තු වන්නේ දියුණු සමාජීය පුද්ගලයෙකු බිහි කිරීම ය. ස්වයං-විඥ්ඥාණය ලබාගත හැක්කේ නිදහස් ලෙස සංවිධානය වූ නිෂ්පදකයන්ට ය. මාක්ස් ප්‍රාග්ධනය පොතෙහි අරමුණු, ක්‍රමවේද සහ තමන්ගේම වැඩ ගැන සවිඥ්ඥාණිකව තීන්දු කළ හැකි මිනිසුන් කොට්ඨාශයක් ගැන ය. 

කොමියුන මගින් තිරසාර විකල්පයක් ලබා දෙන්නේ එය සහයෝගීතාව මත පදනම් වී තිබෙන නිසා ය. ප්‍රාග්ධන පද්ධතිය ගොඩ නැගී තිබෙන්නේම ගැටුම මතය. එහිදී විවිධ ධනපතීන් අතර පසමිතුරුතාවන්  ක්‍රියාත්මක වෙන අතරම ප්‍රාග්ධනය සහ ශ්‍රමය අතරත් ව්‍යුහාත්මක ගැටුම්ද  හට ගනී. සමාජවාදී විකල්පමය පද්ධතියක් තුල සෘජු නිෂ්දකයන් තීන්දු ගන්නන් බවට පත් වේ. 

ඔවුන් ස්වයං නිර්මිත අභිමතාර්ථයන් ගැන වග කියනු ලැබේ. සමාජවාදී විකල්පයට අවශ්‍ය වන්නේ විස්තීරණ ලෙස ඒකාබද්ධ වූ සමාජ විඥ්ඥාණයකි. මෙහි දී අභිමතාර්ථයන් සම්බන්ධයෙන් ඇති තීන්දු ගැනීමේ ක්‍රියාවළියේ දී කම්කරුවන්ට පුද්ගලික වශයෙන් මැදිහත්වීමේ අවස්ථාව ලැබෙයි. නමුත් මෙවැනි සමාජයක අනෙකුත් සමාජ ඒජන්තයෝ සමාජය ප්‍රතිවිරුද්ධ දිශාවට තල්ලු කිරීමට පෙළඹෙති. පුද්ගලයන් හා සාමූහික අධිෂ්ඨානය අතර ගැටුම සහ පසමිතුරුතා මගින් බිහිකරන්නේ පාලනය කළ නොහැකි කේන්ද්‍රපසාරී බලයන් ය. එයින් සමාජය අසංගත භාවයට පත් වේ. මේ තත්ත්වය ඉක්මවා යා හැක්කේ සහයෝගීතාව මත පදනම් වූ ප්‍රජාමය පද්ධතියකට ය. නිෂ්පාදනයේ ස්වයං නියාමන පාලනයක් ගෙන ආ හැක්කේ මෙවන් ප්‍රජාමය පද්ධතියකට ය. චාවේස් මෙවන් පාඨයක් ගෙන එන්නේ මේ තත්ත්වයන් තුළ ය. ‘එක්හෝ කොමියුනය නැත්නම් මොනවත් නැත’. මෙසරෝස් විසින් ලියන ලද පිටු දහසක පමණ පොත මගින් කියන්නේ ප්‍රජාමය පද්ධතියට පමණක් විනාශකාරී, පරාරෝපිත සහ භයානක  ප්‍රාග්ධන පද්ධතිය විස්ථාපනය කළ හැකි බව ය. මෙසරෝස් දකින ආකාරයට රාජ්‍යය යන්න ලෙහෙසියෙන් පිටුදැකිය හැකි හෝ පරාජය කළ හැකි ආයතනයක් නොවේ. එය ඉක්මවා යා හැක්කේ කම්කරුවන්ගේ දීර්ඝකාලීන ක්‍රියාවලියකින් ය; නොනවතින සමාජ විප්ලවයකින්‍ ය. මේසරෝස් සිය කෘතියේ සඳහන් කරන ආකාරයට:‘active involvement in the revolutionary process itself on a painfully long time scale’ (Meszaros, p.470).

කම්කරුවන්ගේ මේ මැදිහත්වීමෙන් නව ආකාරයක පරිවෘත්තිය බවක් ජනිත කළ හැකි අතර එයින් පමණක් රාජ්‍යය අවසන් වශයෙන් මිලින වී යයි. සමාජ පරිවෘත්තීය බව ප්‍රතිව්‍යුහගත කිරීමේ සාර සමාජ භාවිතයකි. මේ සඳහා නව ආකාරයේ දේශපාලන ආකෘතියක් අවශ්‍ය වේ. එය කම්කරුවන්ගේ රාජ්‍යයක් හෝ වෙනත් ආකාරයේ ජනප්‍රිය ආණ්ඩුවක් විය හැකි ය. මේ ආකාරයේ ආණ්ඩු මගින් පසමිතුරුතාමය නොවන පාලන ප්‍රකාරයක් බිහි කරනු ලැබේ. මෙහි දී මූලික පරිවර්තනීය කර්තව්‍යය සිදුවන්නේ බිම් මට්ටමිනි. මිනිස් ශ්‍රමය හා කොමියුන සම්බන්ධ වූ ක්‍රියාකාරකමක් මෙහිදී සිදු වේ. 

ලෙනින් කියා සිටියේ ඕනෑම විප්ලවයක දී ප්‍රමුඛ වන ප්‍රධාන දෙය වන්නේ රාජ්‍ය බලය පිළිබඳ ප්‍රශ්නය ය. රාජ්‍යය කේන්ද්‍රීය වී කේන්ද්‍රීය ප්‍රාග්ධන පද්ධතිය නඩත්තු කිරීම සිදු වේ. මේ පද්ධතිය ගොඩනැගී තිබෙන අනෙක් මුල්ගල වන්නේ ශ්‍රමය ‍හා ප්‍රාග්ධනය ය. මෙසරෝස්ට අනුව රාජ්‍යය වනාහි අභ්‍යන්තරික සබඳතා එකිනෙක සම්බන්ධ කරන මැදිහත්කරණමය කටයුත්ත කරන ආයතනය වේ. රාජ්‍යය, වැටුප්, ශ්‍රමය සහ ප්‍රාග්ධනය එකිනෙක අත්‍යන්ත වශයෙන් සම්බන්ධිතව පවතින නිසා ධනේශ්වර රාජ්‍යය ලෙහෙසියෙන් මුලිනුපුටා දැමිය නොහැකි ය. ප්‍රාග්ධනය මත ශ්‍රමය පදනම් වීම රාජ්‍යයේ භෞතික පදනම වේ. මෙවැනි පදනම් වීමක් වෙනස් කළ හැක්කේ සමාජ ප්‍රතිනිෂ්පාදනයේ සමස්තය මුල් වලින්ම වෙනස් කිරීමෙනි. ශ්‍රමය සම්බන්ධයෙන් පවත්නා විෂම චක්‍රය වන්නේ ශ්‍රමය ව්‍යුහාත්මක ආකාරයට ප්‍රාග්ධනය මත රැඳී තිබීමත් එය පරාරෝපිත රාජ්‍යයේ දේශපාලන තීන්දුවලට යටත් වීමත් ය. මෙය නතර කළ හැක්කේ නිෂ්පාදකයන් ඉතාමත් ප්‍රගතිගාමී ආකාරයට ප්‍රාග්ධනයේ භෞතිකමය ආධිපත්‍ය ශක්තිමත් කිරීමෙන් වැලකීමෙනි. මෙහිදී ඉතාමත් රැඩිකල් ආකාරයට ශ්‍රම විභජනයේ ව්‍යුහාත්මක ක්‍රියාවළිය අභියෝගයට ලක් කළ යුතු වේ. ශ්‍රමය මත පිටතින් පනවා තිබෙන බෙදීම ඉවත් කළ හැක්කේ කම්කරුවන් සවිඥානක ආකාරයට සිය ශ්‍රමය සංවිධානය කර ගැනීමෙනි. චාවේස් කියන්නේ මෙය කොමියුන හරහා කළ හැක්කක් බවට ය.

වෙනිසියුලාවේ කොමියුනයන් නව සමාජවාදී පද්ධතියට අවශ්‍යය මූලික පදනම බව චාවේස්ගේ මතය විය. එය මගින් ගුණාත්මක වශයෙන් වෙනස් සහ දියුණු නව සමාජ පරිවෘත්තිය පිළිවෙළක්  ඉදිරිපත් කෙරිණි. ඒවා මගින් නිෂ්පාදනය ස්වයං ආකාරයට පාලනය කරන අතර බිම් මට්ටමේ ඇති අනෙකුත් සංවිධානමය ව්‍යුහයන් ඒකාබද්ධ කරනු ලැබේ. එමෙන්ම මෙම කොමියුනයන් මගින් දෝංකාරය දෙන්නේ ප්‍රජාත්න්ත්‍රවාදී ආකාරයට තීන්දු ගැනීමේ ක්‍රමවේදය ය. ප්‍රාග්ධන පද්ධතිය මගින් කම්කරුවන් තුලින් නිෂ්පාදන මාධයන් විගලිත කරන නමුත් කොමියුනයන් මගින් කරන්නේ මෙම නිෂ්දන මාර්ගයන් ප්‍රජාව සතු කිරීම ය. ප්‍රාග්ධනයේ ධුරාවලිගත ශ්‍රම විභජනය ඉල්ලා සිටින්නේ ඉහළ සිට අන කරන ව්‍යුහයන් මගින් කම්කරුවන්ව පාලනය කිරීම ය. කොමියුනයන් මගින් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී තීන්දු හරහා නිෂ්පාදනයේ ක්‍රමවේද සහ අරමුණු සංවිධානය කිරීම ය. ස්වයං නිර්නිත ක්‍රමවේද සහිත කොමියුනයන්ට ප්‍රාග්ධනය මගින් පරිබාහිර ආකාරයට පනවන නිෂ්පදන අරමුණු පිටු දැකිය හැකි ය.  මේවායින් ගොඩනැගෙන්නේ බිම් මට්ටමේ සිට ක්‍රියාත්මක වන නව සමාජ පරිවෘත්තිය බවකි. අද බොහොමයක් සමාජවාදී ව්‍යාපෘතීන් මගින් නිර්දේශ කරන්නේ යම් අරගලයක් කර සරල ආකාරයෙන් බලය අල්ලාගන්නා බවත් එයින් පසුව කම්කරුවන්ට සහ සමාජයේ පීඩිත කොටස්වලට සහන මල්ලක් ලබා දෙන බවත් ය.  

මෙහිදී කම්කරුවන්ගේ ස්වයං ක්‍රියාකාරීත්වයට අවධානය යොමු නොකෙරෙන අතර කම්කරුවන් සමාජ ව්‍යුහය ප්‍රතිනිර්මාණය කිරීමත් එයින් කම්කරුවන් තමන්ව වෙනස් කරගැනීමට යොමු කිරීම සිදුවන්නේ නැත. කම්කරුවා තමන්ව සාක්ෂාත්කරණය කරගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු වන්නේ නැත. මේවා පසුව දිනා ගත යුත්තක් පමණක් බව කියැවෙයි. සමාජවාදී පක්ෂ බලය ලබා ගත්තද සමාජවාදී විඥාණය සහිත මනුෂ්‍යයෙකු බිහි නොවුණහොත්  ග්‍රීසියේ ශිරිසා ව්‍යාපාරයට අත් වූ ඉරණම අත්පත් වේ.  කොමියුන වැනි ප්‍රජාව පදනම් කරගත් ආයතන රාමුවක් බිහි නොකළ හොත් ග්‍රීසියේ ශිරිසා  

ව්‍යාපාරය ලැබූ අත්දැකීම ලබාගත හැකි ය. 

වෙනිසියුලාවේ විප්ලවීය අත්දැකීම්වලින් සහ මෙසරෝස්ගේ නැවුම් චින්තනයෙන් පෙන්නුම් කරන්නේ සාමාන්‍ය සමාජවාදී පක්ෂවලින් සරලව කියවෙන කාරණයට වඩා වැඩි දෙයකි. කම්කරුවන්ගේ ස්වයං ක්‍රියාකාරී බව සහ ස්වයං නිර්ණය සහිත ශ්‍රමය ඇතුළත් කොමියුන මගින් පමණක් ප්‍රාග්ධනයට එරෙහි ව්‍යුහාත්මක වෙනසක් සිදුකළ හැකි ය. මෙසරෝස් ගතහොත් අධිරාජ්‍ය විරෝධී අරගලයන්ට කැපවූ ගෝලීය චින්තකයෙකි. ඔහු පිලිපීනය, නිකරගුවාව වෙනිසියුලාව සහ බ්‍රසීලය යන රටවල සමාජවාදී පරිවර්තනයක් වෙනුවෙන් මහන්සි ගත්තේ ය. ඔහු වෙනිසියුලාවේ බොලිවෙරියන් විප්ලවයට මූලෝපායික සහයක් ලබා දුන්නේ ය. ඔහු Beyond Capital කෘතියේ එක් පරිච්ඡේදයක් නම් කළේ ‘The Historical Actuality of the Socialist Offensive’ ලෙස ය. මේ පරිච්ඡේදය ලියන කාලයේ හියුගෝ චාවේස් වෙනිසියුලාවේ අසාර්ථක දේශපාලන මැදිහත්වීමක් කිරීමට ගොස් බන්ධනාගාරගතව සිටියේ ය. ආණ්ඩුව විසින් දහස් ගණනක් උද්ඝෝෂකයන් ඝාතනය කරන ලද අතර චාවේස් මෙහි දී මෙවැන්නක් ලියා තැබුවේ ය: ‘the sovereign people must transform itself into the object and the subject of power. This option is not negotiable for revolutionaries’. මැතිවරණයකින් ලබාගන්නා බලය විප්ලවීය ආකාරයකට මෙහෙයවිය යුතු බවත් එයට බලගතු සමාජ ව්‍යාපාර මගින් සහය ලබාගත යුතු බවත් ය. ස්වාධිපත්‍යය මහජනයා අතර රැඳීමට කටයුතු කළ යුතු වේ. ඔහු තවදුරටත් පවසන ආකාරයට: ‘popular sovereignty whose exercise will really remain in the  hands of the people’. ඔහුට අනුව බලය කේන්ද්‍රයේ සිට පරිධිය දක්වා විතැන් කළ යුතු ය: ‘polycentric distribution of power displacing power from the center towards periphery’. සුවිශේෂ ජන කොටස්වලට හ ප්‍රාදේශීය සභාවන්වලට ස්වාධීනව තීන්දු තීරණ ගැනීමේ බලය ලැබිය යුතු ය. එමෙන්ම  ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයන්ට යොමුවිය යුතු ය. මෙහි දී මෙසරෝස් විසින් චාවේස් තුළ ඇති රූසෝවාදී ස්වභාවය නිරීක්ෂණය කරනලදී. 

2015 පෙබරවාරි 16 වන දින මේසරෝස්, චාවේස් අතර ඇති සබඳතාව ගොඩනැගුණු ආකාරය සම්බන්ධයෙන් සටහනක් තැබුවේය. 2001 වනතෙක් තමන්ට චාවේස් සමග පුද්ගලික සබඳතාවක් තිබුණේ නැත. නමුත් 1995 කාලයේ දී චාවේස් තමන්ට නත්තල් සුභ පැතුමක් එවා තිබිණි. එහි දී දිනය වශයෙන් තමන්ගේ අත්අකුරින් ම සටහන් කර තිබුණේ 1995 දෙසැම්බර් 19 කියා ය. එය මෙසරෝස්ගේ හැටපස් වන උපන් දිනය මතක් කරමින් එවන ලද්දකි. ඒ කාලයේ දි Beyond Capital කෘතියේ ස්පාඤ්ඤ පරිවර්තනයක් තිබුණේ නැත. 1997 කාලයේ දී  ස්පාඤ්ඤ පරිවර්තනය නිම වෙමින් පැවතිණි. එම පරිවර්තනය සඳහා විශේෂ හැඳින්වීමක් කිරීමට මෙසරෝස්ට ආරාධනාවක් ලැබිණි.  ඒ සඳහා ඔහු වචන දහදාහක පමණ හැඳින්වීමක් ලීවේ ය.

2000 දී චාවෙස් සාර්ථක මැතිවරණ ජයග්‍රහණයකින් වෙනිසියුලාවේ ජනාධිපති විය. 2001 වර්ෂයේ දී චාවේස්, ආණ්ඩුවේ සංස්කෘතික ස්ම්මන්ත්‍රණයක් සඳහා මෙසරෝස් ට ආරාධනාවක් කළ අතර එය ඔහු භාරගත්තේ ය. එහිදී ඔහු ‘The Challenge of Sustainable Development and the Culture of Substantive Equality’ යනුවෙන් දේශනයක් කළ අතර පසුව එය The Necessity of Social Control නම් පොතෙහි අන්තර්ගත කළේ ය. මෙසරෝස් හා චාවේස් අතර භෞතිකමය හමුව මුල් වතාවට සිදුවූයේ මෙහිදී ය. එම වසරේ දී ම සැප්තැම්බර් මාසයේ දී වෙනිසියුලාවේ ශාස්ත්‍රීය කවයක් මගින් දේශනයක් සඳහා ඔහුට ආරාධනා කෙරිණි. දේශනයේ තේමාව වූයේ ‘ලෝක ආර්ථික අර්බුදය’ යන්න ය. පසුව එම දේශනය The Challenge and Burden of Historical Time කෘතියේ අන්තර්ගත කළේ ය. එම අවස්ථාවේදී මෙසරෝස් සහ චාවේස් හමු වූ අතර ඒ වන විට චාවේස් Beyond Capital කෘතියේ ස්පාඤ්ඤ පරිවර්තනයේ බොහොමයක් කොටස් කියවා තිබිණි. පොතෙහි විශේෂ කොටස් අවධාරණය කරමින් සහ සටහන් තබමින් ඔහු එය පරිශීලනය කර තිබිණි. කෙසේ නමුත් චාවේස් දැඩි ලෙස රෝගී තත්ත්වයට පත්ව සිටි අතර 2013දී ඔහු මිය ගියේ ය. මෙය මෙසරෝස්ට දැඩි කම්පනයක් ඇති කළේ ය. චාවේස් ට ප්‍රයෝජනවත් වන ප්‍රධාන උපාය මාර්ගයන් දෙකක් සම්බන්ධයෙන් මෙසරෝස් මේ කාලයේ දී අවධාරණය කළේ ය:

  1. මාක්ස්ට අනුව යමින් මෙසරෝස් කියන්නේ ප්‍රග්ධනය වනාහි සමාජීය පරිවෘත්තීයමය ප්‍රතිනිෂ්පාදන පද්ධතියක් බවත් එය  ස්වයං ආකාරයට ක්‍රියාත්මක වන සංකීර්ණ සබඳතාවන් සමෝධානය වූ පද්ධතියක් බව ය. මෙහි කෑලි කෑලි වෙනසකට ලක් කර මෙම පද්ධතිය මුලිනුපුටා දැමිය නොහැකි ය. මෙය විස්ථාපනය කර දැමිය හැක්කේ විකල්පමය ඓන්ද්‍රීය පරිවෘත්තීය ක්‍රි‍යාකාරිත්වයකින් ය. එය පදනම් විය යුත්තේ ප්‍රජාමය සබඳතාවන්ගෙන්ය.
  2. Beyond Capital කෘතියේ මෙසරෝස් විසින් ප්‍රජාමය සමාජ සබඳතාවන් සඳහා විප්ලවීය ආකාරයේ ආයතනික රටාවක් සඳහා පක්‍රමික පදනමක් සම්පාදනය කරන ලදී. සමාජවාදයට පරිවර්තනය වීම සඳහා නව ආකාරයේ කොමියුනමය රාජ්‍යයක් හෝ පද්ධතියක් බිහි කළ යුතු වේ යැයි අවධාරණය කළ ඔහු, මෙහිදී සිදුවන්නේ බලය ජනතාව වෙත විතැන් වීමක් යැයි කියා සිටියේය.
  3. . වෙනිසියුලාවේ 2010 කාලයේදී කොමියුනයන් සඳහා ඓන්ද්‍රීය නීතිය සම්මත විය. මෙහිදී කොමියුන සභාව මගින් පත්වූ නියෝජිතයන් ධනපති නියෝජන ආණ්ඩුවේ කොටස්කරුවන් වූයේ නැත. කොමියුනමය හුවමාරුව යොමුවූයේ ‍ප්‍රයෝජ්‍ය වටිනාකම්වලට සහ ප්‍රාථමික අවශ්‍යතාවන් වලට ය. එය පාරිභෝගික භාණ්ඩ හුවමාරුවට ප්‍රතිවිරුද්ධ ආකාරයට ක්‍රියාත්මක විය. 2005 වර්ෂයේදී වෙනිසියුලාව තුළ 21 වන සියවස සඳහා සමාජවාදය ගොඩනැගීම නම් කාරණයේ දී පදනම් කරගත්තේ මෙසරෝස්ගේ කෘති ය. එහිදී ආසන්නයේම කළයුතු කටයුත්ත ලෙස ගත්තේ ‍කොමියුනමය ආර්ථිකයක් හා රාජ්‍යයක් ගොඩනැගීම‍ ය. නිෂ්පාදනයේ සහ පරිභෝජනයේ කොමියුනමය පද්ධතියක් ගොඩනැගීම මෙහි අභිමතාර්ථය විය.

2007 ජනවාරි මාසයේ දී චාවේස් 21 වන සියවස සඳහා සමාජවාදයට අවශ්‍ය මූලෝපාය ඉදිරිපත් කළේ ය. එය ඉදිරිපත් කරන ලද්දේ ‘වෙනිසියුලාවේ ‘බොලිවෙරියානු විප්ලවය’ නම් සන්දර්භය තුළ ය. එහි දී සමාජවාදයේ  තුන් වැදෑරුම් මූලිකාංගයන් ගෙනහැර දැක්වී ය:

  1. සමාජ දේපළෙහි ඓන්ද්‍රිය එක්සත්කරණය (The organic unification of social property) 
  2. සමාජ නිෂ්පාදනය (social production)
  3. සමාජ අවශ්‍යතාව තෘප්තිමත් කරගැනීම (satisfaction of social needs) 

චාවේස්ගේ න්‍යායාත්මක පියවර ගමන් කළේ මෙසරෝස්ගේ Beyond Capital දෙසට ය. මෙහි දී මාක්ස් වෙත යොමු වෙමින් ධනවාදය ඓන්ද්‍රිය පද්ධතියක් ලෙසට තේරුම් ගන්නා අතර නිෂ්පාදනය, බෙදාහැරීම සහ පරිභෝජනය එකිනෙක සම්බන්ධිතව ඇත. 21 වන සියවසෙහි සමාජවාදය සඳහා වූ පර්යේෂණය අසමත් වීමෙන් පෙන්නුම් කරන්නේ ප්‍රාග්ධනයෙන් ඔබ්බට යාමට නොහැකි වූ බව ය. චාවේස් බොලිවෙරියානු සම්ප්‍රදායට යොමුවෙමින් නියෝජනමය ආණ්ඩුව අභියෝගයට ලක් කළේ ය. 2010 වර්ෂයේ දී චාවේස් හා මෙසරෝස් අතර දීර්ඝ සාකච්ඡාවකින් පෙන්වා දුන්නේ ඇමෙරිකානු සහ යුරෝපියානු අක්ෂ‍යන් එකතුවී නැවත රටවල් යටත්විජිතකරණයට ලක් කිරීමට එරෙහිව ලෝක පරිමානව සමාජවාදය ගොඩ නැගීම අවශ්‍ය බව ය. මේ සඳහා ජාත්‍යන්තරයක් ගොඩනැගීමේ අවශ්‍යතාව ද අවධාරණය විය. නමුත් මෙය නව ජාත්‍යන්තරයක් විනා පස්වන ජාත්‍යන්තරය නොවේ. කලින් පැවතුණු ජාත්‍යන්තර ජාලයෙන් කැඩීමක් මෙහිදී අපේක්ෂා කරයි. ජාත්‍යන්තරයට අවශ්‍ය ලියවිල්ලක් කරන ලෙස මෙසරෝස් ගෙන් ඉල්ලීමක් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ‘Reflection on the New International’ යනුවෙන් ලියවිල්ලක් කළේ ය. පසුව මෙය Necessity of Social Control නම් කෘතියේ අන්තර් ගත කළේ ය. මෙහි දී ඉදිරිපත් කෙරෙන විකල්පීය පරිවෘත්තිය පද්ධතිය ප්‍රාග්ධනයෙන් මෙන්ම සමාජවාදයෙන් ද ඔබට යන්නකි. වෙනිසියුලාව තුළ මෙම විප්ලවීය අරගලය ශක්තිමත් කිරීමේ අටියෙන් 2012 සිට මෙසරෝස් තමන්ගේ පූර්ණ ශක්තිය යොදවමින් කටයුතු කළ අතර Leviathan: Critique of the State කෘතිය රචනා කරන ලදී. 

4-7
4-4

සමාජවාදය, ජනප්‍රියවාදය සහ ජනතාවාදය

මෙසරෝස්ගේ න්‍යායාත්මක දැක්ම සහිත ව චාවේස් විසින් ගොඩනගන්නට උත්සාහ කළ ව්‍යාපෘතිය ජනතාවාදී (populist) එකක් නොවේ. එය ප්‍රාග්ධන ක්‍රියාවළියෙන් ගැල වී සමාජවාදය ගොඩ නැගීමට ගත් උත්සාහයකි. අද දේශපාලන න්‍යාය තුළත් රැඩිකල් දේශපාලන ව්‍යාපෘති තුළත් සාකච්ඡා කෙරෙන ජනතාවාදය චාවේස්ගේ ව්‍යාපෘතියයෙන් වෙනස් වන්නේ කෙසේ ද යන්න සොයා බැලිය යුතු ය. ඉතාමත් සුලබ ව පාවිච්චි වන ‘ජනප්‍රියවාදය’ යන යෙදුම ‘populism’ යන්නට කොතරම් ගැලපේ ද යන්නත් සොයා බැලිය යුතු ය. මෙහි ඇති සැබෑ අර්ථය ‘ජනප්‍රියවාදී වීම’ පිළිබඳ එකක්ද ‘ජනතාවාදී වීම’ පිළිබඳ එකක් ද යන්න සොයා බැලිය යුතු ය. මේ දේශපාලන ව්‍යාපෘතින් ජනතාවට ආමන්ත්‍රණය කරනවා නම්  ජනප්‍රියවාදය සඳහා ඉංග්‍රීසි වචනය විය යුත්තේ ‘popularism’ යන්න . මෙම ලිපිය තුළ ‘populism’ යන්න සඳහා ජනතාවාදය යන වචනය භාවිත කරනු ලැබේ

ඇමෙරික එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන ආගමනය, එංගලන්තයේ බ්‍රෙක්සිට් ව්‍යාපෘතිය, ප්‍රංශයේ මැරින් ලා පෙන්ගේ ජාතිකවාදී පෙරමුණ, ස්පාඤ්ඤයේ පොඩිමෝස් වාමාංශික ව්‍යාපාරය සහ ඉන්දියොවේ නරේන්ද්‍ර මෝදිගේ දේශපාලනය පුළුල් වශයෙන් ගත්තොත් ජනතාවාදී ව්‍යාපාරයන් ලෙස සැලකිය හැකි ය. ශබ්ද කෝෂ තුළ ‘populism’ යන්න අර්ථ ගන්වා ඇත්තේ ‘the political effort of ordinary people to resist elites’ ලෙස ය. සාමාන්‍ය මිනිස්සු ප්‍රභූන්ට එරෙහිව කරන දේශපාලන පෙළ ගැසීමක් ලෙසින් ජනතාවාදය මෙහි දී අර්ථ ගැන්වී ඇත. මේ නිසාම ප්‍රභූන් ජනතාවාදය දෙස බලන්නේ ගරහාත්මක  අරුතකිනි. ප්‍රභූවරුන්ගේ දේශපාලන ආධිපත්‍යයට එරෙහිව සාමාන්‍ය මිනිසුන්ගේ පෙළ ගැසීම නරක දෙයක් වන්නේ ද යන්න්ත් මෙහි දී පැන නැගේ. සාමාන්‍ය මිනිස්සු එකතුවී ‍ප්‍රභූන්ගේ ආධිපත්‍යයට එරෙහිව ක්‍රියාත්මක වීම ‍ප්‍රජාතන්ත්‍රවාදී නොවන මැදිහත්වීමක්ද යන ප්‍රශ්නයත්  පැන නැගේ.  

ජනතාවාදය යන්න විවිධ අර්ථයන් ගෙන දීම සඳහා යොදා ගෙන ඇත. එකිනෙක විසංවාදමය අදහස් ගෙනදීම සඳහා ද මෙම වචනය පාවිච්චි වී ඇත. ට්‍රම්ප්, බර්නි සැන්ඩර්ස් , මෝදි, කෝබින්,  ලා පෙන්,  ආජන්ටිනාවේ පෙරොන්වාදය, රුසියාවේ නරෝද්නික්වාදය හා 19 වන සියවසේ අග භාගයේ හටගත් ඇමරිකාවේ කෘෂිකාර්මික ව්‍යාපාර යන මේ සියල්ලම ජනතාවාදී ව්‍යාපාර ලෙසට හඳුනාගනු ලැබේ. මේ සෑම ව්‍යාපාරයකටම පොදු ලක්ෂණයක් හදුනාගත නොහැකි ය. ට්‍රම්ප් සහ බ්‍රෙක්සිට්වාදීන් ගතහොත් මේ අය පොදුවේ ගෝලීයකරණයට විරුද්ධ ය. මෝදි සහ  තුර්කියේ එරඩෝන් ගතහොත් ඔවුන් ගෝලීයකරණයට පක්ෂ ය. කොබින් සහ සැන්ඩර්ස් ගතහොත්  ඔවුන් වාමවාදී ජනතාවාදීන් ය.  ලී පෙන් සහ ට්‍රම්ප් ගත්තොත් ඔවුන් දක්ෂිණාංශික ජනතාවාදීන්ය. නරෝද්නික්වාදීන් සහ ඇමරිකානු කෘෂිකාර්මික ජනතාවාදීන් ගතහොත් ඔවුන් කෘෂිකර්මාන්තය වටා කේන්ද්‍රගත වී ඇත. පෙරොන්වාදී ජනතාවාදය වැඩ කරන  නාගරික පන්තියට අයත් ය. 2016 දී පමණ ට්‍රම්ප්ගේ දේශපාලන ආගමනය හා ජනප්‍රියභාවය ඉහළ යාම දැක ඔබාමා කියා සිටියේ ජනතාවාදී අවතාරය හොල්මන් කරන බව ය.  ජර්මනියේ ඇන්ජලා මාර්කල්ගෙ හැඩය ප්‍රති ජනතාවාදී එකක් ලෙසට ඉදිරිපත් විය. ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් තමන්ව හඳුන්වා දුන්නේ ජනතාවාදියෙකු ලෙසට ය. ට්‍රම්ප්ගේ ජයග්‍රහණය අර්ථකථනය වූයේ දක්ෂිණාංශික ජනප්‍රියවාදයේ ජයග්‍රහණයක් ලෙසට ය.  මෙහි දී පෙනී යන්නේ ජනතාවාදය අර්ථකථනය කරගැනීම සංකීර්ණ කටයුත්තක් බව ය. එක් කරුණක් පැහැදිලි ය. මේ සියලු ව්‍යාපෘති ජනතාවට ආමන්ත්‍රණය කරනු ලැබේ (appeal to the people). මෙසේ ජනතාවට ආමන්ත්‍රණය කරන විට ම ප්‍රභූන්ට හෝ ප්‍රභූවාදයට පහර ගැසීමක් ද සිදු වේ.

එක්සත් ජනපදය ගත්තොත් එහි මහජනයාට ආමන්ත්‍රණය කිරීමේ ජනතාවාදය වඩාත් අතීතයට ගමන් කරයි. 19 වන ශත වර්ෂයේ අග භාගයේ සිදු වූ ගොවි කැරැල්ල දක්වා පසුපසට ගෙන යා හැකිය. නමුත් වර්තමානයේ දී ජනතාවාදය සම්බන්ධ වන්නේ යුරෝපියානු දේශපාලනයට සහ ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලනයට ය. මේවා දක්ෂිණාංශික ජනතාවාදයන් වන අතර ග්‍රීසියේ ශිරිසා, ස්පාඤ්ඤයේ පොඩිමෝස්, ඇමරිකාවේ අත්පත් කරගැනීමේ ව්‍යාපාරය දක්ෂිණාංශික ජනතාවදයන් ලෙසට ගත හැකි ය. යුරෝපය තුළ වර්තමාන කාලයේ දී බිහිවී තිබෙන ජනතාවාදි ව්‍යාපාරයන් රූපාකාරයන් කීපයක් ගනි යි. විදේශිකයන් පිටුදැකිමේ ව්‍යාපාර,  අතිධාවනකාරී ජාතිකවාදී ව්‍යාපාරයන් මේ අතර වේ.  මේ ව්‍යාපාරයන් පදනම් වන්නේ පහළ මධ්‍යම පාන්තින් මත සහ සාපේක්ෂ වශයෙන් වැඩකරන පංතියේ වරප්‍රසාදයන් භුක්තිවිදින අය අතර ය. මේ අය වැඩ කරන්නේ ඒකාධිකාරී ප්‍රාග්ධනය සමග ය.  ප්‍රංශයේ ජාතික පෙරමුණ, ඉතාලියේ උතුරු ලීගය, නෙදර්ලන්තයේ නිදහස උදෙසා පක්ෂය, ස්වීඩනයේ ප්‍රජාතන්ත්‍රවාදීන් වැනි දියුණු ධනේශ්වර රටවල පවතින ව්‍යාපාර තුළ ජනතාවාදී අංග ලක්ෂණයන් දැකිය හැකි ය. ඇමරිකාවේ ට්‍රම්ප් වැනි අය තුළ දැකිය හැකි වූයේ ප්‍රති ප්‍රජාතන්ත්‍රවාදී ආඥාදායක සර්ව අධිකාරි ලක්ෂණයන් ය. හනා අරන්ඩ් කියා සිටියේ ධනේශ්වර සමාජයක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කළමනාකරණයට එරෙහිව බිහිවන සෑම විරුද්ධතාමය ව්‍යාපාරයක්ම පෙනී සිටින්නේ ලිබරල් නොවන සර්වාධිකාරී ලක්ෂණයන් සහිතව ය. මේවාට මහජන සහය ලැබුණහොත් වඩාත් භයංකර විය හැකි ය.

ජනතාවාදය අර්ථකථනය කර ගැනීමේදී ප්‍රති ප්‍රභූවාදයක් බිහිවන අතර සමාජය විෂමජාතීය කඳවුරු දෙකකට බෙදීමක් සිදුවෙයි. එක් පැත්තක ශුද්ධ ජනතාව (pure people) නියෝජනය කරන අතර අනෙක් පැත්ත දූෂිත ප්‍රභූන් (corrupt elite) බිහි කරනු ලබයි. මේ බෙදීම ජනතාවාදී ලෝක දැක්මෙහි පදනම වේ. එහි දී දේශපාලනය පොදු අධිෂ්ඨානයක් (general will) ලෙස ප්‍රකාශයට පත් වේ. බහුත්වවාදයකට ඇති ඉඩ අහෝසි වෙයි. ජනතාවාදීන් පෙනී සිටින්නේ යම් ව්‍යාපෘතියක් ඉදිරිපත් කරන්නන්ට වඩා සදාචාරවාදීන් පිරිසක් ලෙසට ය. එහි දී තමන්ගේ ප්‍රතිවාදියාව යක්ෂාවරෝපණය කිරීම දැකිය හැකි ය. තමන්ගේ සතුරා සමග සංවාදයකට එළඹෙන්නේ නැත. යම් ප්‍රතිපත්තියක් ජයග්‍රහණය කරවීම සඳහා ප්‍රතිවාදියා සමග සාකච්ඡාවකට හෝ සංවාදයකට යොමු වන්නේ නැත. නූතන සංකීර්ණතාවන්ට මුහුණ දෙනවා වෙනුවට දේශපාලනය වඩාත් පුද්ගලවාදී කිරීම ජනතාවාදය තුළ දැකිය හැකි ය. යම් රටක දේශපාලන හෝ ආර්ථික ගැටළුවකට හේතුව යම් පුද්ගලයෙක් ය යන්න මෙහි දී පෙන්වා දෙනු ලෑබේ. 

මේ තත්ත්වයන් තුළ ජනතාවාදයේ දේශසීමාවන් වෙන්කර ගැනීම සංකීර්ණ කටයුත්තකි. ප්‍රභාත් පට්නයි ලියනු ලැබූ ‘The Uses of Populism’ ලියවිල්ලේ සඳහන් කරන ආකාරයට ‘populism’ නම් යෙදුම රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදි ලේබර් පක්ෂයේ සාමාජිකයන් විසින් සහ විශේෂයෙන්ම බෝල්ෂෙවික් අංශය විසින් නරෝද්නික්වාදීන්ට යොමුකරමින් පාවිච්චි කර ඇත.  රුසියාව විප්ලවීය ආකාරයට පරිවර්තනය කිරීම සඳහා ඇති උපාය මාර්ග පිළිබඳ සංවාදයේ දී මේ ජනතාවාදය නම් යෙදුම එළියට පැමිණියේ ය. නරෝද්නික්වාදීන්ට අවශ්‍ය වූයේ රුසියාවේමීර්’ නම් ගැමි කොමියුනයන්ගේ සිට සෘජුවම සමාජවාදයට පරිවර්තනය විය යුතු බව ය. ඊට ප්‍රතිවිරුද්ධව බොල්ෂෙවිකයන් කියා සිටියේ මෙම ගැමි කොමියුනයන් නොවෙනස් අන්තර්ගතයක් ලෙස රුසියාව තුළ තවදුරටත් නොපවතින බව ය. රුසියාව තුළ ධනවාදය වර්ධනය වූයේ මෙම මීර් කොමියුනයන් විනාශ කරමින් බව ඔවුන්ගේ මතය විය. මේ නිසා අලුතින් නිර්මාණය වූ නාගරික කම්කරු පන්තිය විප්ලවීය පරිවර්තනයේ ගාමක බලය විය යුතු ය. ලෙනින් විසින් ලියන ලද The Development of Capitalism in Russia කෘතිය තුළ මේ අදහස් අන්තර්ගත ය. පට්නයිට් ට අනුව ‘populism’ නම් යෙදුම පාවිච්චි කෙරුණේ ජනතාව නොවෙනස්වන අන්තර්ගතයක් ලෙස පිළිගන්නා ලද ව්‍යාපාර විස්තර කිරීම සඳහා ය. නමුත් මාක්ස්වාදීන් ජනතාව නම් ප්‍රවර්ගය දෙස බලන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ආඥාදායකත්වය (peoples’ democratic dictatorship) වැනි අර්ථයකිනි. එමෙන්ම ජනතාව යන්න සුවිශේෂ පන්තීන්ට අයත් වන අතර ජනතාව වෙනස් නොවන ප්‍රවර්ගයක් ලෙස හෝ සමජාතීය ප්‍රවර්ගයක් ලෙස මාක්ස්වාදීන් සලකන්නේ නැත. වර්තමානයේදී ජනතාවාදය නිරන්තරයෙන් යෙදෙන්නේ ඉහත අර්ථයන්ට වඩා වෙනස් ආකාරයකට ය. මේ අර්ථයට අනුව ජනතාව ප්‍රභූන්ට විරුද්ධව පිහිටුවන අතර ප්‍රභූ අදහස් සමග සමපාත වන ක්‍රියාමාර්ගවලට යොමු වේ. එමෙන්ම මෙම ජනතාවාදය යන්න ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රති බෙදාහැරීමේ ක්‍රියාමාර්ගයන්වල සිට සුළුතර කණ්ඩායම්වලට එරෙහිව එල්ල කරන වාර්ගික ප්‍රහාරයක් දක්වා පැතිර පවත්නා සංකල්පයකි. මෙහි දී ප්‍රති බෙදාහැරීම් වැනි ක්‍රියාමාර්ගයන් වාම ජනතාවාදයටත් වාර්ගික වෛරයන් සංවිධානය කිරීමේ ක්‍රියාමාර්ගයන් දක්ෂිණාංශික ජනතාවාදයටත් අයත් කළ හැකි ය. මෙම ජනතාවාදයන් දෙකම ප්‍රතික්ෂේප කර දෙකම නොවන මැදක් ඇතැයි යන්න ප්‍රකාශයට පත් වේ. කෙසේ නමුත් මේ මැද පරීක්ෂා කරන විට පෙනී යන්නේ ආර්ථික ක්ෂේත්‍රය තුළ සම්භාව්‍ය නව ලිබරල් ප්‍රතිපත්ති අනුගමනය කිරීමකි; දේශපාලන ක්ෂේත්‍රය තුල ලිබරල් ධනේෂ්වර දෘෂ්ටිවාදයට යටත් වීමකි. මේ අර්ථයෙන් ගත් විට ජනතාවාදය යන යෙදුම ලිබරල් ධනේශ්වර කතිකාව තුළම අන්තර්ගතයකින් ප්‍රති බෙදාහැරීම ජනතාවාදී එකක් ලෙස ගැනීම තුළින් ව්‍යංගව ඇඟවෙන්නේ ආර්ථික වර්ධනය අවසන් අර්ථයෙන් දිළින්දන්ට සේවයක් හෝ ප්‍රයෝජනයක් වන බව ය. මෙය අතිශයින්ම ව්‍යාජ සංකල්පයකි. සියලුම මූල්‍ය සහන, බදු සහන ඉහළ ආදායම් ලබන්නන් සහ ව්‍යාපාරිකයන්ට ලබාදීමෙන් සමස්ථ ආර්ථිකයේ වර්ධනයක් ඇති වේ යැයි මෙහි දී විශ්වාස කෙරේ. 

ලෝකය පුරා වාමාංශිකයන් ඇතුළත්ව බොහෝ දෙනෙක් ජනතාවාදය යන යෙදුම පාවිච්චි කරන්නේ ලිබරල් ධනේශ්වර අර්ථයෙනි.  විශේෂයෙන්ම ඔවුන් මෙම යෙදුම භාවිත කරන්නේ දැනට ගෝලීය වශයෙන් සිදුවෙමින් පවත්නා දක්ෂිණාංශික නැගිටීම් සංක්ෂිත  කිරීමට ය. වාර්ගික කණ්ඩායම්වල ආධිපත්‍යය තහවුරු කරන සියලු ආකාරයේ පැසිස්ට්, අර්ධ පැසිස්ට් ව්‍යාපාරජනතාවාදී’ ඒවා ලෙස නම් කරනු ලැබේ. දුප්පතුන්ට පක්ෂව ප්‍රති බෙදාහැරීම් කිරීම ප්‍රගතිශීලී කර්තව්‍යයක් ලෙස ව්‍යංගයෙන් සලකනු ලැබේ. මේ ආකාරයේ ගුණාංගීකරණයකින් බිහිවෙන එක් ප්‍රතිඵලයක් වන්නේ එවැනි ව්‍යාපාරවල පන්ති ස්වභාවය මුළුමනින්ම මකා දැමීම ය; එවැනි ව්‍යාපාර වල සහ එවැනි පාලන තන්ත්‍රවල පන්ති ස්වභාවය වසන් කර දැමීම ය; මේ ව්‍යාපාර පිළිබඳව පන්ති විශ්ලේෂණයක් කිරීම අධෛර්යමත් කිරීම ය. ආගමික හෝ වාර්ගික කණ්ඩායම් ප්‍රමුඛස්ථානයට පැමිණ ජය තුළ වෛරය පතුරුවා හැරීම ධනවාදයට හෝ එහි පන්ති වින්‍යාසයට කිසිදු සම්බන්ධයක් නොමැති හදිසි සහ පැහැදිලි කළ නොහැකි අවිනිශ්චිත ප්‍රපංචයක් ලෙස මෙහි දී පිහිටවනු ලැබේ. මෙවැනි ව්‍යාපාර තුළ තවත් සමාන්තර ලක්ෂණයක් ඇත. එය නම් මේ ව්‍යාපාරජාතිකවාදී’ ලෙස නම් කිරීම මෙහි දී ත් ජාතිකවාදය සම්බන්ධයෙන් තීරණාත්මක වෙනස්කමක් මකා දමයි. විශේෂයෙන්ම යටත් විජිත විරෝධී ජාතිකවාදය සහ අධිපති ජාතිකවාදය අතර වෙනස මකා දමනු ලැබේ. ජනතාවාදී ව්‍යාපාර ජාතිකවාදී ලෙස නම් කිරීමෙන් සහ ජාතිකවාදයස්වෝත්තමවාදී’ ලෙස නම් කර හෙළා දැකීමෙන් සිදුවන්නේ යටත්විජිත විරෝධී හෝ අධිරාජ්‍යවාදී විරෝධී ජාතිකවාදය ව්‍යංගයෙන් බැහැර කිරීම ය. එමගින් අධිරාජ්‍යවාදීන් ගෝලීයකරණය වක්‍ර ආකාරයට උත්කර්ශයට නැංවීමත් සිදුකර යි. ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ ආධිපත්‍යය මගින් ස්වාධීනව පවත්නා ඕනෑම ව්‍යාපෘතියක් ජාතිකවාදී ලෙස නම් කර බැහැර කිරීමට යොමු වේ. ජාතිකවාදය සමජාතීය කාණ්ඩයක් ලෙස සැලකීම විකාරයකි. හිට්ලර්ගේ ජාතිකවාදය සහ මහත්මා ගාන්ධිගේ ජාතිකවාදය එකම ගොඩට දැමිය නොහැකි ය. එහෙත් වාමාංශිකයන් ද ඇතුළත්ව  බොහොමයක් බුද්ධිමතුන් එකම බුරුසුවෙන් ජාතිකවාදය මත තාර ආලේප කරනු ලැබේ. සමහර අවස්ථාවල දීජාතිකවාදී ජනතාවාදය’ (nationalist populist)  යන උපහාසාත්මක යෙදුම ලොව පුරා පැතිර යන දක්ෂිණාංශික ආධිපත්‍යවාදී ව්‍යාපාර හැඳින්වීමට භාවිත කෙරෙයි. ජාතිකවාදය මෙන්ම ජනතාවාදය වෙනස් කළ නොහැකි නපුරක් ලෙස ප්‍රකාශයට පත් වේ. මෙයින් පෙනී යන්නේ ජනතාවාදය යන යෙදුම එහි මුල් අර්ථයෙන් වෙනත් අර්ථයක් දක්වා පරිණාමය වී ඇති බව ය. ජනතාව පන්තිමය වශයෙන් වෙනස් නොවන ප්‍රවර්ගයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සහ ප්‍රති බෙදාහැරීමේ ක්‍රියාවළිය දුප්පතුන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් කරන්නක් ලෙස ප්‍රකාශයට පත්කිරීම දක්ෂිණාංශික ආධිපත්‍යයේ දුෂ්ඨතම වසන් කිරීමක් බව හඳුනාගත යුතු ය. මෙමගින් සිදුවන්නේ ධනවාදය යටතේ බිහිවෙන පැසිස්ට් සහ අර්ධ පැසිස්ට් ආධිපත්‍යවාදී ව්‍යාපාරයන් විශ්ලේෂණය කිරීමේ පොහොසත් මාක්ස්වාදී සම්ප්‍රදාය පසුබිමට තල්ලු කිරීමකි. වමේ කොටස් මාක්ස්වාදී විශ්ලේෂණය නොසලකා හැරීම සහ ධනේශ්වර යෙදුම් පිළිගැනීම සංකල්පීය වශයෙන් තමන්ව නිරායුධකර ගැනීමකි.

4-2
4-6
4-5

ජනතාවාදය ගැන නිවැරදි කිරීමක්

2009 මැයි ජුනි පෙරදිග සුළං සගරාවේ තේමා පාඨය වූයේජනප්‍රියවාදය ගැන අප්‍රේල් තිසීස’ යන්න ය. එම සගරාවට ම’විසින්ගල් අදින උකුණන්ගේ ප්‍රාතිහාර්යය: ජනප්‍රියවාදයේ දේශපාලන අභියෝගය’ යනුවෙන් ලිපියක් ලියන ලදී. මේ ලිපිය තුල ජනප්‍රියවාදයේ න්‍යායාත්මක පියා  වන අර්නස්ටෝ ලක්ලාව් ජනප්‍රියවාදය සම්බන්ධයෙන් ගොඩනඟා තිබුණු න්‍යායාත්මක අදහස් සංක්ෂිප්තව සාකච්ඡා කර ඇත. 2005 වර්ෂයේ දී ලක්ලාව්ගේ On Populist Reason කෘතිය ප්‍රකාශයට පත් වී තිබූ අතර 2009 කාලයේ දී අපගේ උනන්දුව පොත සම්බන්ධයෙන් යොමු වී තිබිණි. මාගේ එම ලිපිය තුළ නිව්ටන් ගුණසිංහ විසින් ලංකාවේ දේශපාලනය වේගයෙන් පන්තියේ සිට ජාතිය දක්වා මාරු වී තිබෙන ආකාරය ගැන කළ අවධාරණය නැවත මතු කළ අතර ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය, ජාතික චින්තන දේශපාලනය, ගංගොඩවිල සෝම හිමියන්ගේ බෞද්ධ ව්‍යාපාරය, අතුරලියේ රතන හිමි,  චම්පික රණවක වැනි අයගේ දේශපාලන ව්‍යාපෘතීන් තුළ ජනප්‍රියවාදී අංග ලක්ෂණ අන්තර්ගත ආකාරයත් පෙන්වා තිබිණි. ලිපියේ නිගමනය වශයෙන් ඉදිරිපත් කෙරුණේ ජනප්‍රියවාදය ලංකාවේ වමේ ව්‍යාපාරයට දේශපාලන අභියෝගයක් එල්ල කර තිබෙන බව ය. ජාතිකවාදී ජනප්‍රියවාදය මගින් දෙමළ ජාතික විමුක්ති අරගලය පරාජය කර රාජපක්ෂවරුන්ට විශාල දේශපාලන බලයක් ලබා දුන් ආකාරයත් පෙන්වා දුන්නේ ය. නමුත් මෙම ලිපියේ ගැටලු දෙකක් පැවතුණි. පළමු වැන්න නම් ‘ජනප්‍රියවාදය’ නම් යෙදුමය. ‘Populism’ නම් යෙදුම සඳහා වඩාත් නිවැරදි යෙදුම වන්නේ ‘ජනප්‍රියවාදය’ යන්න නොව ‘ජනතාවාදය’ යන්න ලෙස මෙහි දී මම නිවැරදි කරමි. දෙවැන්න දෘෂ්ටිවාදී නිවැරදි කිරීමකි. කලින් සඳහන් කරන ලද සඟරාවේ පිට කවරය සැකසී තිබුණේ චාවේස්ගේ සහ අර්නස්ටෝ ලක්ලාව්ගේ පින්තූරවලින් ය. මාගේ ලිපිය පුරාවට චාවේස්ගේ ඡායාරූප ඇතුළත් කර තිබිණි. එමෙන්ම එහි මවිසින් මෙසේ ලියා තිබිණි: 

“…..හියුගෝ චාවෙස් ගතහොත් ඔහු සමාජවාදියෙකු නොවෙයි. ඔහු හිටපු හමුදා නිලධාරියෙකි. ආජන්ටිනාවේ ජුවාන් පෙරොන් 1940 ගණන්වලදීත්, ඊජිප්තුවේ අබ්දුල් නසාර් 1950 ගණන්වලදීත් බලයට පත් වූයේ චාවේස් මෙන් ජාතිකවාදී ජනප්‍රියවාදී ලෙසට ය. මොවුන් සියල්ලන්ම කර්නල්වරුන්ය. අබ්දුල් නසාර් අරාබි සමාජවාදය නාමයෙන් 1956 දී ප්‍රංශ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සූවස් ඇල අත්පත් කර ගත්තේ ය. වෙනිසියුලාවේ ධනේශ්වර පන්තිය අවසන් වූයේ නැත. ධනේශ්වර රාජ්‍යයන් වෙනිසියුලාව සමඟ ව්‍යාපාර කටයුතු කරගෙන යයි. චාවේස් තමන්ගේ රටේ ප්‍රශ්න විසඳන්නේ ඛනිජ තෙල්වලින් ලබාගන්නා ලාභයෙනි. රජයට අයත් තෙල් නිෂ්පාදන ඉහළ දැමීමෙන් සිය රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ඔහු උත්සාහ ගන්නා අතර ඔහු පාලක පන්තියේ සහය ලබාගැනීමට සමත්ව ඇත. තෙල්වලින් ලබන ලාභයෙන්  අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍ය සේවයත් ආහාර නොමිලේ බෙදා හැරීමත් හරහා දුප්පතුන්ට සහන සලස්වා ඇත. චාවේස්ට පන්ති සතුරෙකු නැත. සෑම ජනප්‍රියවාදකට ම පොදු ආකාරයට චාවේස් පන්ති නොවන සතුරෙකු සොයාගෙන ඇත. ඇමරිකාව ය. හරහා තමන් හා ඔවුන් වශයෙන් පසමිතුරුතාවක් ගොඩනගාගෙන ඇත. වෙනිසියුලානු ජනතාවට මෙමඟින් නව අනන්‍යතාවක් ලැබී ඇත….” 

මෙම ලිපියෙහි වැරදි අස්ථානයක් ඉස්මතු වී තිබෙන බව පැහැදිලි ය. එනම් චාවේස් වනාහි ලක්ලාව්ගේ ජනප්‍රියවාදය ක්‍රියාත්මක කරන සරළ ප්‍රායෝගික පුද්ගලයකු ලෙසට අර්ථකථනය වී තිබීම ය. කෙසේ නමුත් චාවේස්ගේ ව්‍යාපෘතිය දෙස බැලූ විට පෙනී යන්නේ එය ලක්ලාව්ගේ ජනප්‍රියවාදය සඳහා ඇති නිදර්ශනයක් නොවන බව ය. වෙනුවට චාවේස් මෙම ලිපියෙහි මුල දී දක්වා තිබෙන ආකාරයට ඇත්ත් වශයෙන් සම්බන්ධයක් ගෙන ගොස් තිබෙන්නේ මෙසරෝස් සමග බව ය. මෙසරෝස් පශ්චාත් මාක්ස්වාදයට හෝ ජනතාවාදයට වඩා ළං වූයේ සම්භාව්‍ය මාක්ස්වාදී සංකල්පයන්ට ය. විශේෂයෙන් ප්‍රාග්ධනය සම්බන්ධයෙන් මාක්ස්ගේ විග්‍රහයට ය. ඔහු ඇත්ත වශයෙන්ම ජනතාවාදයක් සංවිධානය කරනවට වඩා විසිවන සියවසට ගැලපෙන සමාජවාදයක් ගොඩනැගීමට උත්සාහ ගෙන තිබෙන බව පැහැදිලි ය. 2013 කාලයේ දී මම ජනතාවාදය සම්බන්ධයෙන් විවේචනාත්මක ආකාරයට ලීවෙමි. 2013 ජුනි ත්‍රිමාන සගරාවටපෙරටුගාමී පක්ෂය ඉදිරි දර්ශනය’ ලෙස ලිපියක් ලියූ අතර එම ලිපියේ දී පශ්චාත් මාක්ස්වාදය සම්බන්ධයෙනුත් විවේචනාත්මකව කරුණු දැක්වූයෙමි.ජනප්‍රියවාදයට එරෙහි විවේචන’ සහලක්ලාව්ගේ  ජනප්‍රියවාදයට අදාළ ලැකානියානු පිළිතුර’ ලෙස අනු මාතෘකා දෙකක් යටතේ කරුණු ගොනු කළෙමි. මේ විවේචනය තුළ ජනප්‍රියවාදය සම්බන්ධයෙන් ලක්ලාව් සහ ස්ලාවෝ ජිජැක් අතර ඇතිවූ සංවාදය තුළ මතුවූ තර්ක විතර්කයන් කෙටියෙන් දැක්වූයෙමි. ලක්ලාව් Populist Reason කෘතියට එරෙහිව ජිජැක් ලියූ ‘Against Populist Temptation’ ( 2006) සහ ‘Schlagend, aber nicht Treffend’ (2006) ලිපි සහ ලක්ලාව් විසින් ජිජැක්ට එරෙහිව ලියන ලදwhy constructing the people is the main task of radical politics’ (2006) ලිපියත් විමසමින් අදහස් ගොනු කරන ලදී. විශේෂයෙන්ම ජිජැක් තර්ක කළ ආකාරයට ජනතාවාදය මූලික වශයෙන් කරන්නේ ආර්ථික ක්‍රමයේ ප්‍රශ්නය පුද්ගලික සතුරෙක් වෙත ප්‍රක්ෂේපණය කර එයින් සෑදෙන පසමිතුරුතාවන් හරහා දේශපාලනය කිරීමකි. මේ ඔස්සේ ලංකාව දෙස බැලුවොත් පෙනී යන්නේ ජනතාවාදී තර්කය අපගේ දේශපාලනය පුරාවට නැවත නැවත උපදින බව ය. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය ජනතාවදයක් කියා චෝදනාත්මකව පවසන පුද්ගලයෝ, මහින්ද රාජපක්ෂ මෙන්ම රනිල් වික්‍රමසිංහ කරන්නේත් ජනතාවාදී දේශපාලනයක් ය යන්න අමතක කර දමති. මේ තුන්ගොල්ලන්ම කරමින් සිටින දේශපාලනය ජනප්‍රියවාදයට වඩා ළඟ ජනතාවාදයටය. මේ අය අතර පවතින ජනතාවාදය අවශ්‍ය නම්, ධක්ෂිණාංශික හා වාම ජනතාවාදය ලෙස වෙන් කළ හැකිය. ජනතාවාදී දේශපාලනය වෙනුවට මෙසරෝස් සමාජවාදී විකල්ප දේශපාලන ක්‍රම වේදයක් යෝජනා කර ඇත. චාවේස් මේ සමාජවාදී විකල්පය අනුගමනය කිරීමට උත්සාහයක් ගත්තේ ය. මේසරෝස් ප්‍රාග්ධනයේ ගැටලුව පුද්ගලයකුගේ ගැටලුවක් ලෙසට පිළිගත්තේ නැත ඔහු ගොඩනැගීමට උත්සාහ ගත්තේ ජනතාවාදයක් නොවේ.

ආශ්‍රිත පොත පත

Chris Gilbert, Meszaros and Chavez: The Philosopher and the Llanero, Monthly Review, 2022, Volume 74, 02, (June 2022)

John Bellamy Foster, Meszaros and Chavez: ‘The Point from Which to Move the World Today’, Monthly Review, 2022, Volume 74, 02, (June 2022)

Anton Jager, ‘The Myth of “Populism”, Jacobin, 01.03.2018

Ronan Burtenshaw and Anton Jager, ‘The Guardian’s Populism’, Jacobin, 12.05.2018

Istvan Meszaros, Beyond Capital: Towards a Theory of Transition, 2010, Monthly Review Press.

Istvan Meszaros, ‘The Communal System and the Principle of Self-Critique’, Monthly Review, 2008, Volume 59, Issue 10 (March).

Prabat Patnaik, ‘The Uses of “Populism”, Peoples Democracy, March o1, 2020.

Leftwin Magazine Vol-02 සම්බන්ධිත ලිපි

  • Editor
  • Posted by Editor
June 3, 2023

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධි විධාන පණත (PTA) හයෙන් පහක බලයකින් විධායක ජනාධිපති...

Read More
  • Editor
  • Posted by Editor
June 2, 2023

අප ජීවත් වන්නේ හරි අමුතු විපරිත කාලයකය. අපගේ වර්තමාන භූ දේශපාලන අර්බුදය නපුරු බියකරු සිහිනයක අපව...

Read More
  • Editor
  • Posted by Editor
June 1, 2023

වෙනිසියුලාවේ විප්ලවීය දේශපාලන නායකයෙකු වූ හියුගෝ චාවේස් සහ හංගේරියානු මාක්ස්වාදී චින්තකයෙකු වූ ඉස්ට්වාන් මෙසරෝස් අතර සමීප...

Read More
  • Editor
  • Posted by Editor
May 30, 2023

දරුණු ආර්ථික අර්බුදයක් විසින් චලනය කරනු ලැබූ ලක්ෂ ගණනක් ජනතාව විදීවලට බැස අයිතිවාසිකම් ඉල්ලා කරනු ලැබූ...

Read More

We use cookies to give you the best experience. Cookie Policy