Leftwin Magazine Vol - 02

ලංකාවේ ජනතාවාදී නිමේෂය

෴ රුවන් කුමාර

දරුණු ආර්ථික අර්බුදයක් විසින් චලනය කරනු ලැබූ ලක්ෂ ගණනක් ජනතාව විදීවලට බැස අයිතිවාසිකම් ඉල්ලා කරනු ලැබූ මහජන අරගලය අප පිළිගැනීමට කැමති වූවත් අකමැති වූවත් අවසන් වී තිබේ. ඉතා නිවැරදිව කියන්නේ නම් පරාජය වී ඇත. එම අරගලය ජනිත කළ සටන්කාමීත්වය, ලබාදුන් අත්දැකීම් සහ සෞන්දර්යය කිසිසේත්ම අවතක්සේරු නොකළත් නොස්ටැල්ජික ලෙස එහි එල්ලී සිටීම තවදුරටත් කළයුතු නොවේ. ඒ වෙනුවට අපට අරගලයේ ප්‍රධාන සටන් පාඨයක් වූ ක්‍රම වෙනස (system change) සිදු නොවුනේ ඇයිදැයි විමසා බැලීමට සිදුවී ඇත. රට වෙනුවෙන් සියලුම ඉල්ලීම් සහ අරමුණු දිනාගන්නා තෙක් නතර නොවන බව  දිවුරා සපථ කළ කණ්ඩායම් සහ පුද්ගලයින් දැන් නතරවී ඇති තැන් සහ ඔවුන් දැන් ප්‍රකාශ කරන දේ යලිත් විමසා බැලීම ප්‍රයෝජනවත් විය හැක.

පවතින දේශපාලන සැකැස්ම අර්බුදයට ගොස් ව්‍යාකූල අස්ථාවර තත්ත්වයක් මතුවී පොදු ජනයා එම දේශපාලන සැකැස්මට එරෙහිව පෙළ ගැසීම ශන්තාල් මූෆ් හඳුණා ගන්නේ ජනතාවාදී නිමේශයක් (populist moment) ලෙසිණි. මෙවන් ජනතාවාදී නිමේශයක් විසින් සමාජයේ විවිධ කණ්ඩායම් පොදු සටන් භූමියකට කැඳවනු ලැබේ. එසේම පවතින බල සැකැස්මට පිළිතුරු දිය නොහැකි ආකාරයේ ඉල්ලීම් සහ ප්‍රශ්න කිරීම් මධ්‍යයේ පවතින බල අධිකාරියට ජනතාවගේ සහාය අහිමි වී යයි. එසේ පෙරමුණ ගන්නා විවිධ කණ්ඩායම් එක් කණ්ඩායමක අධිපතිභාවයකට යටත් නොවී එක අරමුණක් වෙනුවෙන් පෙනී සිටිය යුතුය. එවන් පෙරමුණක් ජනතාවාදී පෙරමුණක් ලෙස හඳුනාගත හැක. එවන් මොහොතක් විසින් නව ජනතා සාමුහිකයක් නැතහොත් නව ජනතාවක් බිහි කරනු ලැබේ. නව ලිබරල්වාදී සමාජ සැකැස්ම වෙනස් කිරීමටත් ප්‍රජාතන්ත්‍රවාදී සහ වාමගාමී සමාජ වෙනසක් ඇති කිරීමටත් හැකිවන්නේ එවන් නව වාම ජනතාවාදී පෙරමුණකට බව ශන්තාල් මූෆ් ගේ විශ්වාසයයි.

සමාජ වෙනසක් ඇතිකිරීමට සම්ප්‍රදායික මාක්ස්වාදී ව්‍යාපාරවලට නොහැකි වීමට ප්‍රධාන හේතුවක් ලෙස ශන්තාල් මූෆ්, අර්නෙස්ටෝ ලැක්ලාව් වැනි පශ්චාත් මාක්ස්වාදීන් දකින්නේ එම ව්‍යාපාරවල ඇති පන්ති සාරාත්මභාවය (class essentialism) යි. නිර්ධන පන්තිය අනිවාර්යෙන් ධනේශ්වර ක්‍රමය පෙරළා දැමීමට මුල් විය යුතු බව මාක්ස්වාදය විශ්වාස කරන මූලික කාරණයකි. නමුත් මේ පන්ති පක්ෂග්‍රාහීභාවය විසින් සමාජ වෙනසකට ඇති ඉඩ අවහිර කරනු ලබන බව ලැක්ලාව් හා මූෆ්ගේ අදහසයි. ඒ වෙනුවට විවිධ සමාජ ව්‍යාපාර අතර නිර්ධන පන්ති ව්‍යාපාරය තවත් එකක්‌ පමණක් බවත් එයට සුවිශේෂී වූ ඓතිහාසික භූමිකාවක් නැති බවත් පශ්චාත් මාක්ස්වාදය අවධාරණය කරයි.

ලංකාවේ ආර්ථික අර්බුදය විසින් තෙරපුම ලබාදී බහුවිධ සමාජ කණ්ඩායම්, විවිධ දේශපාලන මතවාද සහ පක්ෂ, විවිධ සමාජ පන්තිවලින් සමන්විතව ගෝල්ෆේස් අරගල භුමිය කේන්ද්‍ර කරගනිමින් මාස ගණනාවක් ලංකාව පුරාම සජීවීව පැවති දේශපාලන ව්‍යාපාරය අවසානයේ දියාරු ස්වරූපයකින් කෙලවර වී අන්ත නව ලිබරල්වාදී පාලකයෙක් ඉදිරිපිට දණින් වැටුණේ කුමන කාරණා හේතුකරගෙනද? බොහෝ දෙනෙක් මේ වනවිට විශ්වාස කරන ආකාරයට එය රනිල් නම් වූ මහා උපායශීලි රාජ්‍යයතාන්ත්‍රිකයාගේ මහා සැලැස්මකට අනුව සිදුවීද, නැතහොත් වඩා සංකීර්ණ දේශපාලන සාධක මත එය තීන්දු වූයේද යන්න සලකා බැලිය යුතුය.

2022 ලාංකාවේ ආර්ථික අර්බුදයට එරෙහි සියලුම විරෝධතාවල අර්චනකාමී මොහොත වූ ගෝල්ෆේස් අරගල භුමියද සියලුම ආකාරයේ පාර්ශ්වීය අරගලවල එකතුවක් ලෙස දැකීම වරදක් නොවේ. ලාංකික සමාජයේ සිරස් කැපුමක් රැගෙන බැලූවිට දැකිය හැකි සෑම සමාජ ස්ථරයක්ම නියෝජනය වන ආකාරයේ සහභාගිත්වයක් එහි දැකිය හැකි විය.එමෙන්ම සියලුම ආකාරයේ දේශපාලන මතවාද නියෝජනය කරන කොටස්ද එහි නියෝජනය විය. විශ්‍රාමික සහ තුවාල ලැබූ යුධ හමුදා සාමාජිකයින් මෙන්ම මුල්ලිවෛක්කාල් කැඳ බෙදා දීමට පැමිණි යුධ විරෝධීන්ද එක වර අරගල භූමියේ දැකිය හැකි විය. සාමාන්‍ය තත්ත්වයක් තුල විවෘත අවකාශයක ප්‍රකට ලෙස පෙනී සිටීමට නොහැකි සමරිසි ප්‍රජාව පවා විචිත්‍රවත් පෙළපාලියකින් අරගල භූමියට පැමිණියහ. එමෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් ලියූ සටන් පාඨ අල්ලාගෙන සිටින සවස් කාලයේ ශරීර සුවතා සඳහා ඇවිදීමට එලියට පැමිණි ඉහළ පාන්තික ජනයා අතරින් ” ගෝටා ගෙ ඇටේ ඥානක්කගේ කටේ ” වැනි අවරසික පද කෑ ගසමින් යන තරුණයින් සුලභ දසුනක් විය.

ගෝල්ෆේස් අරගලය දෙස බලා අප ඉගෙනගත යුතු එක් පාඩමක් වන්නේ යම් කොන්දේසිවලට යටත්ව වුවත් එකිනෙකා අතර නොගැලපීමක් සහිත සමාජ ස්ථර හෝ දේශපාලන කණ්ඩායම් හෝ පුද්ගලයින් හට පොදු දේශපාලන අවකාශයක් තුල පොදු දේශපාලන ඉලක්කයක් අරමුණක් වෙනුවෙන් සටන් කළ හැකි බවයි. නමුත් ඒ නිශ්චිත කොන්දේසිවලට යටත්ව පමණකි. එම කොන්දේසි මගින් තීරණය කරන එක් මොහොතකදී මේ පාර්ශ්වීය කණ්ඩායම් අතර පවතින සාමදානය බිඳ වැටීමට නියමිත වේ. ජනාධිපති ගෝටාභය ඉවත් කිරීම පරමාර්ථය කරගත් ගෝල්ෆේස් අරගලය සහ එමගින් සංකේතවත් වූ ලංකාවේ ජනතාවාදී නිමේෂය ගෝටාභය ඉවත්වී ගියපසු තවදුරටත් පවත්වාගෙන යාමට හේතුවක් නොමැතිවීම නිසා එක්වරම දියාරු වී අවසන් විය. ගෝටාභය ගේ අනුප්‍රාප්තිකයා වූ දීර්ඝකාලයක් තිස්සේ ජාතිකවාදීන් අතර අපකීර්තියටත් ලිබරල් සහ නව ලිබරල් කොටස් අතර ප්‍රසාදයකටත් පත්ව සිටින රනිල් වික්‍රමසිංහ ජනතා අරගලයේ තීරු හෙමිහිට ගලවා දැමීමට සමත් විය. 

යහපත් නියුරෝසිකයින්ගේ වාමාංශික දේශපාලනය

නොවිධිමත් ලෙස හෝ ජනතාව වාඩි ලා ගැනීම් පන්නයේ ක්‍රියාමාර්ගයක් කැඳවූ අවස්ථාවේ වැඩිපුරම අර්බුදයට ගිය පාර්ශ්වය වූයේ ලංකාවේ වාමාංශික දේශපාලනයයි. දිනපතාම ලංකාවේ සියලුම  ජනයා ක්‍රමයට විරුද්ධව සටන් කිරීමට පාරට කැඳවමින් සිටි ඔවුන්ට එක් වරම සිදුවීමට යන දේ අර්ථකථනය කරගැනීමට හැකියාවක් හෝ භාෂාවක් නොතිබුණි. එහෙයින් ඔවුන් එක්වරම පැනනැගුණු මේ ජනතා ව්‍යාපාරය දෙස බැලූයේ පසමිතුරු ඇසකිණි. සමකාලීනව වඩාත්ම සක්‍රීය වාමාංශික දේශපාලන ව්‍යාපාර වන පෙසපෙ සහ ජාජබ මෙයට දැක්වූ ප්‍රතිචාර එයට නිදසුන් වේ. වඩා රැඩිකල් දේශපාලන වෙනසක් වෙනුවෙන් පෙනී සිටින පෙසපෙ මෙම ජනතා නැගිටීමට දැක්වුයේ නිද්‍රාශීලි උද්යෝගයකි. නමුත් ජාජබ  ය ඉතා විවෘතව තමන්ගේ සංවිධානයෙන් පරිබාහිර ක්‍රියාකාරකම්වලට තම දායකත්වය ලබා නොදෙන බව එළිපිට කියා සිටියේය. නමුත් ජනතා අරගලය ගෝල්ෆේස්හි ස්ථාන ගතවූ පසු මෙම සංවිධාන දෙකම ඒ තුල නියෝජනය වීමට විවිධ ආකාරයේ උත්සාහයන් දරණු දැකිය හැකි විය.

තමන් මුළු ජීවිත කාලය තුලම උත්සාහ කළ එහෙත් යථාර්තයක් කළ නොහැකිවූ දේශපාලන මොහොත ඉදිරියේ මෙම දේශපාලන සංවිධාන දෙකම පසුබැස ගියේ මන්ද?

අප යම් දෙයකට කැමති නම් ආශා කරයි නම් අපි එය අත්පත් කරගැනීමට උත්සාහ කරන්නෙමු.  නැතහොත් එයට ලංවෙන්නට උත්සාහ කරන්නෙමු. එහිදී අප කල්පනා කරන්නේ ඒ අපි ආශා කරන දෙය අපට ලැබුණු විට අපි තෘප්තිමත් වන බවයි. නමුත් ජාක් ලැකාන් නමැති මනෝ විශ්ලේශකයා ඒ අදහස ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ,  අපේ ආශාව පවත්වාගෙන යාමට අප සහ අපගේ ආශාවේ වස්තුව අතර නිශ්චිත දුරක් පවත්වාගත යුතු බවයි. යම් මොහොතක මෙම ආශාවේ වස්තුව මිනිස් විෂය වෙත නුවමනා තරම් ලං වුවහොත් එය තර්ජනාත්මක සහ කාන්සාජනක සිදුවීමක් වන බව ඔහු පවසයි. 

2022 ලාංකික ජනයාගේ දේශපාලන නැගිටීමද වාමාංශික පක්ෂවලට යම් ආකාරයක භීතියක් සහ කාන්සාවක් (anxiety) ජනනය කරවන සුළු ක්‍රියාවක් විය. දිනපතාම උදේ සිට සවස් වනතුරුම ජනතාවට නැගී සිටින්නැයි ආයාචනා කරන වාමාංශිකයන්ට රට පුරා මාර්ග හා නගර මධ්‍යයේ ජනතාව ඒකරාශී වී තමන්ගේ විරෝධය දුක් ගැහැට තමන්ගේ භාෂාවෙන් තමන්ගේ ශෛලියෙන් ප්‍රකාශ කිරීම වමේ සොම්නසට හේතුවන සිදුවීමක් විය යුතු වුවත් ඒ වෙනුවට මෙම ජනතා නැගිටීම ඔවුන්ගේ දේශපාලන ඇසට එතරම් ගෝචර වූ බවක් දැකිය නොහැකි විය. ඉන් නොනැවතී ජනයා ගෝල්ෆේස් සහ වෙනත් නගර මධ්‍යයන් ආක්‍රමණය කර වාඩි ලා ගැනීම නිසා එක්කෝ මේ ව්‍යාපාරයට එකතු වීම හෝ එරෙහි වීම තෝරා ගැනීමට වාමාංශික පක්ෂවලට බලපෑමක් ඇතිවිය.

එහිදී පෙසපෙ වඩා දේශපාලනික ස්ථාවරයක් ගනිමින් එම අරගල තුල නියෝජනය වීමට සහ ඒවා යම් වෙනත් ඉලක්කයක් වෙත යොමුකිරීමට උත්සාහ කළ බව  නොකීවොත් එය වරදකි. නමුත් ප්‍රධාන සහ පැතිරුණු වාමාංශික පක්ෂය වන ජාජබ ය හැසිරුණු ආකාරය විශේෂිත වේ.

2022 මාර්තු අග දී ජනතාව පීඩනයට එරෙහිව වීදි බැසීමට පෙර සිටම ජාජබ ය ඊළඟ මැතිවරණය ඉලක්ක කරගත් වේගවත් ගමනක යෙදෙමින් සිටියේය. 3% නම් වූ අපහාසාත්මක ඡන්ද පදනමෙන් බලය ඉල්ලා සිටින මට්ටමට තම ජනතා පදනම වර්ධනය කරගැනීමේ පුළුල් පෙරමුණක් ජවිපෙ වටා නිර්මාණය කරමින් සිටියේය. රසායනික පොහොර තහනමට එරෙහි ගොවි විරෝධතාවයන් ඍජුවම තම වෘත්තීය සමිති හරහා දියත් කරමින් සහ ගුරු වෘත්තීය ක්‍රියාමාර්ගවල වැඩි බරක් දරමින් මේ සඳහා බිම් මට්ටමේ පදනම් පුළුල් කරගැනීමට ජවිපෙට හැකිවිය. එවන් මොහොතක ජනතාව විරෝධතා වෙනුවෙන් පෙරට පැමිණීම වෙස්වලාගත් ආශීර්වාදයක්‌ ලෙස සැලකිය හැකි වුවත් ජාජබය එය වෙනස් ආකාරයකට දුටුවේය.

ඔවුහු මාර්තු 31 දින ජනාධිපති නිවාස අසල ගැටුමේදී ඍජු දායකත්වයක් නොගත් අතර අප්‍රේල් 3 දීප ව්‍යාප්ත විරෝධතාවය දියාරු කිරීමට ක්‍රියාකළහ. අප්‍රේල් 9 කොළඹට මිලියනයක් ගෙන ඒමේ ව්‍යාපාරය දියත් කළ වහාම දැඩි විවේචනාත්මක ප්‍රකාශයක් නිකුත් කරමින් ජාජබය කියාසිටියේ නිසි නායකත්වයක් නොමැති මෙවන් ක්‍රියාකාරකම්වලට තමන් කිසිසේත්ම සම්බන්ධ නොවන බවකි. ගෝල්ෆේස් භූමියේ ජනතාව වාඩි ලා ගත් පසු සමාජවාදී තරුණ සංගමය, සමාජවාදී ශිෂ්‍ය සංගමය සහ සමාජවාදී කලා සංගමය වැනි ජවිපෙ කොටස් පමණක් අරගල භුමිය තුල නියෝජනය විය.

ගෝල්ෆේස් අරගලය ක්‍රියාත්මක වෙමින් පවතිද්දීම ජාජබ යේ පුර්ණ බලය යොදා දින තුනක් තිස්සේ පා ගමනක් කොළඹ දක්වා දියත් කෙරුණි.ගෝල්ෆේස් අරගලයට සමගාමීව තම බලය පෙන්වීමේ තීරණාත්මක ක්‍රියාකාරකමක්‌ ලෙස මේ පා ගමනට උපරිම ලෙස ජනතා සහභාගීත්වයක් ලැබී තිබුණි. මෙම පා ගමන පැමිණියේ ගාළු පාර ඔස්සේය. එය තම ඍජු ගමන් මාර්ගය ඔස්සේ පැමිණ ගෝල්ෆේස් අරගලයට බද්ධ වීමක් හෝ ඒ හරහා ගමන් කිරීමක් නොකර යහපත් නියුරෝසිකයින් මෙන් තම ඉලක්කය මගහැර ඒ වටා ගමන් කර තෘප්තියට පත්වූහ.

ක්‍රම වෙනසක් බලාපොරොත්තු වෙන සහ ඒ වෙනුවෙන් දේශපාලනය කරන ප්‍රධාන කණ්ඩායම් දෙකම මේ ආකාරයට තමන්ගේ ” ආශාවේ වස්තුව ” වන ජනතාව තම දේශපාලන ව්‍යාපෘතියට ඉතාම සමීප වන අවස්ථාවේදී කාංසාවට  (anxiety) පත්ව නිශ්චිත දුරක් නඩත්තු කිරීම රෝග ලක්ෂණාත්මක  කාරණයකි.

ප්‍රතිවිරෝධතා වෙනුවට පසමිතුරුතා

ජනතාවාදී දේශපාලනයේ විශේෂ ලක්ෂණයක් වන්නේ එය සම්භාව්‍ය මාක්ස්වාදයේ මෙන් ප්‍රතිවිරෝධතා (contradiction) වෙනුවට පසමිතුරුතා (antagonism) ඉදිරියට ගෙන ඒමයි. ප්‍රතිවිරෝධතා යනු එකිනෙකට සම්පුර්ණයෙන්ම විරුද්ධ සහ එකිනෙක අවලංගු කිරීමට උත්සාහ ගන්නා බලයන් වේ. සමාජ සම්බන්ධතාවලදී උදාහරණයක් ලෙස පන්ති ප්‍රතිවිරෝධතා ගතහොත් නිර්ධන පන්තියට ධනේශ්වර පන්තිය පෙරලා දැමීමෙන් තොර විමුක්තියක් නොමැත. ඒ නිසා පවතින ක්‍රමයේ අති මූලික පදනම් වෙනස් කිරීමකින් තොරව ජයග්‍රහණයක්‌ නැත.

නමුත් පසමිතුරුතාවලදී බලවේගයන් අතර ගැටුම එකක් අනෙක සම්පුර්ණයෙන් අවලංගු කරන එකක් නොව වඩා නිෂ්පාදනීය සහ වඩා දියුණු දේශපාලන අවස්ථාවන් විවර කරන එකක් ලෙස සැලකේ. එකිනෙක හා ආධිපත්‍ය වෙනුවෙන් තරඟ කරන පාර්ශ්වීය අරගල ගණනාවක් අතරින් ඕනෑම එකක් ප්‍රමුඛ වී සමාජ අරගල භූමියට නායකත්වය ලබාදිය හැක. කිසිදු එක් පන්තියකට හෝ එක් කොටසකට ඓතිහාසික ලෙස සුවිශේෂී භූමිකාවක් නොලැබෙන බව මෙහිදී හඳුනාගත හැක.

මාක්ස්වාදය විසින් තම සමාජ විග්‍රහය තුල නැතහොත් පන්ති විග්‍රහය තුල මිනිස් ඉතිහාසය දකින්නේ පන්ති අරගලයේ ඉතිහාසය ලෙසිනි. එනම් එක් එක් සමාජ ක්‍රමයට සුවිශේෂී පන්ති අරගලයක් විසින් එහි ඉරණම තීන්දු කරන බවකි.එවිට වහල් යුගය අවසන් වන්නේ වහලාත් වහල් හිමියාත් යන පාර්ශ්ව දෙකම අවසන් වීමෙනි. ඊළඟට එළඹෙන යුගය තුල වෙනත් පන්ති දෙකක් අතර ප්‍රතිවිරෝධතාවය (ප්‍රවේණි දාසයා සහ ඉඩම් හිමියා) හටගනියි. එම  ක්‍රමය ඊළඟ පියවර වෙත යද්දී මෙම පන්ති දෙකම අහෝසි වී ඊටවඩා දියුණු ධනේශ්වර ක්‍රමය ඇතිවේ. මාක්ස්වාදය විග්‍රහ කරන්නේ ඉතිහාසයේ ඊළඟ පියවර වන කොමියුනිස්ට් ක්‍රමය වෙත යාමට නම් කම්කරු පන්තිය විසින් පෙරමුණ ගන්නා විප්ලවයකින් ධනේශ්වර ක්‍රමය අවසන් විය යුතු බවයි.

පශ්චාත් මාක්ස්වාදී අර්ථයකින් ගත් කල මාක්ස්වාදී එළඹුම විවේචනයට ලක්වන්නේ කම්කරු පන්තිය ඓතිහාසික භූමිකාවක් සහිත සමාජ ප්‍රගමනයේ අනිවාර්ය සාධකයක් ලෙස ගැනීමම සමාජ වෙනසකට බාධා කරන බව කියමිනි. මෙය පන්ති සාරාත්මභාවය වේ. ඒ වෙනුවට පශ්චාත් මාක්ස්වාදය යෝජනා කරන්නේ එකිනෙක හා තරඟ කරන පාර්ශ්වීය අරගල ගණනාවක් එකට එකතු කරන පෙරමුණකි. එමගින් පාලක පන්තියට එරෙහි පොදු ජනතාවක් නිර්මාණය කෙරේ. මෙම පොදු ජනතාව විසින් පවතින පාලන තන්ත්‍රයට එරෙහි විරෝධතාවය සංකේතවත් කරයි. ඒ තුල සියලු පාර්ශ්වයෝ අන්තර්ගත වෙති. නමුත් ඒ ඒ පාර්ශ් විරෝධය දක්වන්නේ නිශ්චිත එක් ගැටළුවක් කෙරේ විය හැක. උදාහරණයක් ලෙස ජනතාවාදී පෙරමුණක සිටින පරිසරවාදීන් විරෝධය දක්වන්නේ නිශ්චිත පාරිසරික ගැටළුවක් වෙනුවෙන් නම් ඔවුන් එම ගැටළුව විසඳුනහොත් අරගලයෙන් බැහැර වී යා හැක.   

ශිරිසා ව්‍යාපාරය

2008 ලෝක ආර්ථික අර්බුදය හේතු කරගෙන ග්‍රීසියේ ඇතිවූ ආර්ථික කඩාවැටීමත් සමග නැග ආ ශිරිසා ව්‍යාපාරය 2015 දී ග්‍රීසියේ ආණ්ඩු බලයට පත්වූ නමුත් වසර කීපයක් තුල එය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත්විය. එම ව්‍යාපාරය විසින් පොරොන්දු වූ හෝ ඉෂ්ඨ කරගැනීමට බලාපොරොත්තු වූ රැඩිකල් වෙනස්කම් සපුරා ගැනීමට එම ආණ්ඩුවට නොහැකි විය. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග නව ආකාරයට ගිවිසුම්ගත වී ආර්ථික කප්පාදු කිරීම් නවත්වන්නට සහ නව වාමාංශික ආර්ථික ක්‍රමයක් ඇතිකිරීමට ශිරීසා ආණ්ඩුවට තිබූ උවමනාව ඉෂ්ට කරගැනීමට නොහැකි විය. ඒ වෙනුවට ඔවුන්ටද පැරණි ආකාරයටම ජාත්‍යන්තර මුල්‍ය ආයතන සමග ගිවිසුම් ගත වීමට සිදුවිය. ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල කොන්දේසිවලට යටත් නොවී කටයුතු කිරීමට ජනතාව විසින් ජනමත විචාරණයකින්  අනුමැතිය ලබා දී තිබියදී පවා ඔවුන්ට එම අභිප්‍රායන් ඉටු කරගැනීමට නොහැකි විය. ආර්ථික අර්බුදය අවස්ථාවේදී ග්‍රීක ජනතාව ඉතාමත් සටන්කාමීව සහ දැනුවත්භාවයකින් යුතුව ආර්ථික කප්පාදුකිරීම් සහ ජාතික සම්පත් විකිණීමට එරෙහිව විදී බැස සටන් කළද අවසානයේදී පැරණි දේශපාලන ව්‍යුහය තුලටම ග්‍රීක දේශපාලනය යලි ගාල් විය.

ශිරීසා සංවිධානය ඇතිවන්නේ පැරණි ග්‍රීක වාමාංශික ව්‍යාපාරයෙන් කැඩී ආ කොටස් වෙනත් වාමාංශික මෙන්ම IMF විරෝධී දක්ෂිණාංශික කොටස් ද එක් කරගනිමින්ය. ඒ නිසා ශිරීසා ව්‍යාපාරය තුල රැඩිකල් වාමාංශික ප්‍රතිපත්ති පමණක් ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නොතිබුණි. නමුත් ආර්ථික අර්බුදයට විකල්ප ක්‍රියාමාර්ග යෝජනා කිරීමේදී ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල අදහස්වලට පූර්ණලෙස එකඟ නොවී කටයුතු කිරීමට එකඟතාවයක් ඇතිවී තිබුණි. එසේවුවත් ජාත්‍යන්තර වශයෙන් ඇතිවූ පීඩනය නිසා අවසානයේදී ශිරීසා ආණ්ඩුව IMF යෝජනාවලට අත්සන් තැබීම නිසා ශිරීසා ව්‍යාපාරය බලාපොරොත්තු වූ දේශපාලන සහ ආර්ථික වෙනස්කම් කිරීමට පෙරම අවසන් විය.

2008 සිදුවූ ලෝක ආර්ථික අර්බුදය විසින් ග්‍රීක ආර්ථිකයද කඩා බිඳ දමනලදී. බොහෝ රටවල මෙන් ග්‍රීසියේද තරුණයින්, ශිෂ්‍යයින්, සහ  කම්කරුවන් මුල් කරගත් ජනතා උද්ඝෝෂණ සහ  වාඩි ලා ගැනීමේ ව්‍යාපාර ඇතිවිය. ඒ උද්ඝෝෂණ මගින් ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින ජනයාට සහන ලබාදෙන ලෙස සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ලබාදෙන ලෙස ආණ්ඩුවට බල කෙරුණි. ඇතන්ස් නුවර පැවති වාඩි ලා ගැනීමේ ව්‍යාපාරය මාස තුනකට අධික කාලයක් අඛණ්ඩව පැවතිණි. ශිරීසා ව්‍යාපාරය දේශපාලන කරළියේ පෙරමුණට පැමිණෙන්නේ මේ පසුබිම තුලය. ශිරීසා ව්‍යාපාරය තුල රැඩිකල් වාමාංශික කොටස් මෙන්ම වාම ප්‍රතිසංස්කරණවාදීන් ද IMF විරෝධී දක්ෂිණාංශිකයින්ද සිටියහ. ආර්ථික අර්බුදයට සාපේක්ෂව එකඟ වියහැකි කරුණු මත ගොඩනැගුණු මේ පෙරමුණ ඉතා ඉක්මනින් රාජ්‍ය බලය ලබා ගැනීමේ වැඩිම ඉඩකඩක් සහිත කණ්ඩායම බවට පත්විය. පැවති ආණ්ඩු යටතේ ග්‍රීක ජනතාවට සහනදායී පිළිතුරක් නොලැබුණු තත්ත්වයක් යටතේ ශිරීසා පෙරමුණ ඊළඟ මැතිවරණයේදී බහුතර බලයක් දිනාගැනීමට සමත් විය. බලය අල්ලාගැනීමත් සමග ශිරීසා ආණ්ඩුවට විශාල අභියෝග රාශියකට මුහුණ දීමට සිදුවූ අතර නව ගිවිසුමක් යටතේ රටේ ආර්ථිකය ස්ථාවර කිරීම එහි ප්‍රමුඛතම කාර්යය විය. ඒ සඳහා බොහෝ උත්සාහ, ක්‍රියාමාර්ග සහ උපාය යෙදවීම් අවසානයේ දී ශිරීසා ආණ්ඩුවට ආර්ථික ප්‍රතිසංස්කරණ තමන්ට ඕනෑ ආකාරයට කිරීමට ඉඩ නොලැබෙන බව ප්‍රත්‍යක්ෂ විය. ජාත්‍යන්තර මුල්‍ය ආයතනවලට අවශ්‍ය ආකාරයට ක්‍රියා නොකිරීමට කොපමණ උත්සාහ කළද අවසානයේදී ශිරීසා ආණ්ඩුවටද එම ආයතන සමග ගිවිසුම් ගත වීමට සිදුවුයේ එම ආයතනවල කොන්දේසිවලට අනුවය. මෙය ශිරීසා ව්‍යාපාරය ලැබූ දැවැන්ත පරාජයක් විය.

රාජ්‍ය බලය අත්පත් කරගත්තද අවසානයේදී තමන්ට අවශ්‍ය ආකාරයට වෙනස්කම් කිරීමට නොහැකි වූ ශිරිසා ආණ්ඩුව සිය ඡන්දදායකයින් අතරම අප්‍රසාදයට ලක් විය.

ස්පාඤ්ඤය සහ පොඩෙමෝස් ව්‍යාපාරය

2008 ලෝක ආර්ථික අර්බුදයත් සමග ලෝකය පුරාම විරෝධතාවයන් මතුවිය. ස්පාඤ්ඤයේ  මෙම විරෝධතාවයන්ට සමගාමීව ජනතා උද්ඝෝෂණ ඇතිවිය. මුලින් රට පුරා පැතිරී ගිය උද්ඝෝෂණ රැල්ල පසුව ස්පාඤ්ඤයේ අගනුවර වන මැඩ්‍රිඩ් නුවර වාඩි ලා ගැනීමේ අරගලයක් ලෙස මාස තුනකට අධික කාලයක් තිස්සේ ක්‍රියාත්මක විය. ඉන්පසුවද දිගින් දිගටම ආර්ථික සීමාකිරීම්වලට එරෙහිව ජනතා උද්ඝෝෂණ පැවති අතර එම උද්ඝෝෂණවල දේශපාලන පෙරමුණ ලෙස පොඩෙමෝස් ව්‍යාපාරය ඉදිරියට පැමිණියේය. යුරෝපා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමේදී එක්වරම තුන්වන බලවේගය බවට පත්වූ පොඩෙමෝස් ව්‍යාපාරය සම්ප්‍රදායික පක්ෂ දෙක පරදා නව දේශපාලන බලයක් ලෙස ස්ථාවරය තහවුරු කරගනී යැයි විචාරකයින්ගේ අනුමානය වුවද එම ව්‍යාපාරය මේ ඉලක්ක සපුරා නොගෙනම පසුබා ගියේය.

මෙම ජනතා විරෝධතාවයන් මුලින්ම හටගන්නේ 2010 අග දී වෘත්තීය සමිති මගින් කැඳවනු ලැබූ මහා වැඩවර්ජනයක් සමගිනි. ආර්ථික සීමාකිරීම්, බදු වැඩිකිරීම් සහ රැකියා අහිමි කිරීමට එරෙහිව මෙම වැඩවර්ජන කැඳවා තිබුණි. ඉන්පසුව විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක වූ විරෝධතාවයන් එකට එකතු කර දැවැන්ත එක් දින විරෝධතාවයක් 2011 මැයි 15 කැඳවනු ලැබීය. (15 M movement)  ස්පාඤ්ඤය පුරා සිය ගණනක් නගරවල මෙම 15M ව්‍යාපාරය ක්‍රියාත්මක වූ අතර මිලියන ගණනක් ජනතාව එයට සහභාගී වූහ. මේ ක්‍රියාකාරකම් සංවිධානය කිරීම සඳහා ඉතා වැඩි වශයෙන් සමාජ මාධ්‍ය යොදවා ගැනුණි. එසේ රැස්වූ ජනතාවගෙන් කොටසක් මැඩ්රිඩ් නගරය සහ තවත් සෙසු නගරවල වාඩි ලා ගැනීමේ පියවරකටද මුල පිරීය. ඒ අනුව දහස් ගණන් ජනයා නගරවල මධ්‍යයේ චතුරශ්‍රවල රැඳී සිටිමින් විරෝධතා ව්‍යාපාර අඛණ්ඩව දියත් කළහ. මැඩ්රිඩ් අගනුවර රැස්වූ ජනයා සංවිධායක මණ්ඩලයක් තෝරා පත්කරගෙන වෙනත් ස්ථානවල උද්ඝෝෂණය කරමින් සිටි උද්ඝෝෂකයින් සමග ඒකාබද්ධව කටයුතු කිරීමට උත්සාහ කළ අතර වෙනත් අනු කමිටු හරහා මෙම ව්‍යාපාරයට විධිමත්භාවයක් ලබාදීමට උත්සාහ කළහ. ස්පාඤ්ඤ ආණ්ඩුව මෙම ජනතා නැගිටීම පොලිස් බලය යොදා මර්දනය කිරීමට උපරිම උත්සාහ ගත් නමුත් මාස ගණනක් යන තුරුම එය සාර්ථක වූයේ නැත. මාස තුනකට පමණ පසුව ජනතාව විසින්  වාඩි ලා ගැනීමේ ව්‍යාපාර අත්හැරිය නමුත් උද්ඝෝෂණ, වර්ජන සහ පා ගමන් මගින් විරෝධය පළකිරීම දිගටම සිදු කරන ලදී.

මෙම ජනතා උද්ඝෝෂණවලම දිගුවක් ලෙස 2014 දී දේශපාලන බලය ලබාගැනීමේ පෙරමුණක් ලෙස පොඩෙමෝස් සංවිධානය ඇතිවේ. එය ඇකඩමියාවේ සහ ජනමාධ්‍යවල සක්‍රීය චරිත නායකත්වය ලැබූ 15 M ව්‍යාපාරයේ ක්‍රියාකාරීන්ගෙන් සැදුම්ලත් එකක් විය. එය සම්ප්‍රදායික ස්පාඤ්ඤ  දේශපාලනය වෙනස් කිරීමේ අරමුණෙන් බිහිකෙරුණු සංවිධානයක් ලෙස හඳුන්වනු ලැබුණි. පොඩෙමෝස් ව්‍යාපාරය ඉතා ඉක්මනින් ජනප්‍රියතාවයේ ඉහළට ගිය අතර මුහුණ දුන් පළමු මැතිවරණයේදීම තුන්වන බලවේගය බවට පත්විය. ඉතා ඉක්මනින් ස්පාඤ්ඤයේ බලය ලබාගැනීමට පොඩෙමෝස් ව්‍යාපාරයට හැකි වෙතැයි විචාරකයින්ගේ තක්සේරුව විය. නමුත් එම තක්සේරුකිරීම් ඉන්පසුව පැවති මැතිවරණවලදී යථාර්තයක් බවට පත්වූයේ නැත. පොඩෙමෝස් ව්‍යාපාරයට මේ දක්වා රාජ්‍ය බලය ලබාගැනීමට නොහැකි වී ඇති අතර එය ජනප්‍රියතාවයේ හතරවෙනි ස්ථානය දක්වා පහළ බැස ඇත.

ලංකාවේ ජනතාවාදී ව්‍යාපාර

නිදහසෙන් පසු ලංකාවේ පැවති මැතිවරණ බොහෝමයක ප්‍රතිඵල එජාප සහ ශ්‍රීලනිප යන ප්‍රධාන පක්ෂ දෙකෙහි සෙවනැල්ල යට තීන්දු වූ ඒවා විය. එජාපය බොහෝවිට තනිව තරඟ කළත් එයට සුළු ජාතික පක්ෂවල විශේෂයෙන් වතුකරයේ දෙමළ ඡන්දවල බලය සහිත පක්ෂවල සහයෝගය හිමිවිය. ශ්‍රීලනිපයට බලය ලැබුණු අවස්ථාවලදී එයට වාමාංශික පක්ෂවල සහයෝගය හිමිවිය. පසුකාලීනව වාමාංශික පක්ෂ තනිව තරඟ කිරීමක් නොමැතිව ශ්‍රීලනිපය සමග ස්ථිර සංධාන ගතවීමක් දකින්නට ලැබුණි.

මේ ආකාරයේ මැතිවරණ සඳහා වන පෙරමුණුවලින් වෙනස්ව පැවති අප්‍රසාදයට ලක්වූ එජාප ආණ්ඩුව බිඳදැමීමට මෑත කාලයේදී, යම් ආකාරයක ජනතාවාදී පෙරමුණක් මුල් වරට ගොඩනැගෙනු දැකිය හැකි වූයේ 1994 චන්ද්‍රිකා කුමාරතුංග ආගමනයත් සමගය. එවකට ඉතාම දුෂිත සහ මර්දනකාරී  පාලනයක් ගෙනගිය එජාප ආණ්ඩුව බිඳ දැමීම දේශපාලනිකව ඉතාම අවශ්‍ය කාරණයක් ලෙස සලකා විවිධ සමාජ පන්ති සහ කොටස් ඒ සඳහා ඒකරාශී වූහ. ඉන්පසු යලිත් එවැනි පෙරමුණක් නිර්මාණය වූයේ ඉතාම දූෂිත සහ මර්දනකාරී ආණ්ඩුවක් බවට පත්වූ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 2015 දී පරාජයට පත්කිරීමට මෛත්‍රීපාල සිරිසේනගේ ඡන්ද ව්‍යාපාරය සමගය.

නමුත් ඉතාම විධිමත් සහ දැනුවත් ආකාරයකින් දක්ෂිණාංශික ජනතාවාදී පෙරමුණක් නිර්මාණය වන්නේ 2019 ගෝටාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙනි. එහිදී මැතිවරණයක් වෙනුවෙන් නිර්මාණය කළ විශාලතම පෙරමුණක්‌ ඇති වූ අතර ඒ සඳහා අවශ්‍ය මතවාදී පසුබිම 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සමග ඇතිවුණි. “ජාතික ආරක්ෂාව අනතුරේ” ය යන මතවාදය සමාජය තුල ස්ථාපිත වීමත් සමග සියලුම ජාතිකවාදී සහ ජාතිවාදී කොටස් ඒකරාශී කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය. ඒ සඳහා ජාතික බලවේග, වියත්මග, රණවිරු සංවිධාන, තරුණ සංවිධාන එකතු කර ගැණුනි. පළමු ඡන්දය රට වෙනුවෙන් වැනි ජාතිවාදී රුධිරය උණුසුම් කරවන උත්තේජනද ඒ සමඟම දියත් විය. එසේ ක්‍රියාත්මක වූ ඡන්ද ව්‍යාපාරය අතිශයින්ම සාර්ථක වූ එකක් විය. ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රතිශතයක් සහිතව ගෝටාභය ජයග්‍රහණය කළේය. නමුත් වසර දෙකක් තුල ජනතාව වීදි බැස ඔහුව පන්නා දමද්දී මුලින්ම ඔහු අතහැර පලා ගියේ එවන් ඊනියා සංවිධානයි.

ග්‍රීසියේ ශිරීසා ව්‍යාපාරය හෝ ස්පාඤ්ඤයේ පොඩෙමෝස් ව්‍යාපාරය මෙන් පවතින දේශපාලන සැකැස්මට අභියෝග කරන දේශපාලන බලයක් මේ මොහොතේ ලංකාව තුල වර්ධනය වෙමින් පවතින බව නිරීක්ෂණය කළ හැක. ඒ ජනතා විමුක්ති පෙරමුණ මුල් කරගත් ජාතික ජන බලවේගයයි. ජනතා විමුක්ති පෙරමුණ අලුත් දේශපාලන පක්ෂයක් නොවේ. එය වසර 60 ක්‌ පැරණි එකකි. එය 1971 සහ 1988/89 කාල වකවානුවල සන්නද්ධ කැරලි දෙකක් ක්‍රියාත්මක කළ සංවිධානයකි. 1994 දී යලි ප්‍රජාතන්ත්‍රවාදය වෙත ඇතුළුවන ජවිපෙ එතැන් සිට මැතිවරණ දේශපාලනයේ නිරත වෙමින් සිටියි.

ජවිපෙ තුල එහි ආරම්භයේ සිටම එක්තරා ආකාරයක සිංහල ජාතිවාදී ගති ලක්ෂණ අඩංගු වූ බව දැකිය හැක. නමුත් 1971 කැරැල්ල වඩා නිර්ධන පාන්තික ලක්ෂණ සහිත වූ බවක් ද එය 1988/89 කැරැල්ල වනවිට වැඩි වැඩියෙන් ජාති(ක)වාදී ලක්ෂණ ප්‍රකට කරන බවක්ද දැකිය හැක. 1971 දී ධනපති පන්තිය පෙරලා නිර්ධන පන්තිය අතට බලය ගැනීමේ උත්සාහයක් වී නම් එය 1988/89 වෙද්දී මාතෘ භුමිය ඉන්දියානු ආක්‍රමණයෙන් සහ ඊළාම් බෙදුම්වාදයෙන් බේරා ගැනීම දක්වා චලනය විය. 1971 දී කැරැල්ල සඳහා සහභාගී වූයේ පක්ෂයේ කාඩර්වරු පමණකි. නමුත් 88/89 කාලයේදී වෙනත් ජාතිකවාදී කණ්ඩායම්වල සහභාගීත්වය සහිතව “දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය”යේ මූලිකත්වයෙන් කැරැල්ල ක්‍රියාත්මක විය.

93 දී නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය වෙත පැමිණි ජවිපෙ ඉන් අනතුරුව විවිධ අවස්ථාවලදී වෙනත් කණ්ඩායම් සමඟ එක්ව මැතිවරණ සඳහා ඉදිරිපත් වී ඇත. නමුත් ඒ හැම අවස්ථාවකදීම එක්කෝ වෙනත් ප්‍රධාන පක්ෂයකට බලය තහවුරු කර දීම සඳහා නැතහොත් තමන් බලය පිළිබඳව රිමෝට් කන්ට්‍රෝලරය වීම සඳහා මේ සංධාන ගත වීම සිදුවී ඇති බව පැහැදිලිය. 2015 දී මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපති මැතිවරණ ක්‍රියාවලියට වෙන්ව සිට සක්‍රීය දායකත්වය ලබාදීමෙන් පසු, ජවිපෙ 2019 වන විට නව දේශපාලන සංධානයක් ජාතික ජන බලවේගය නමින් පිහිටුවාගෙන තිබුණි. එසේ වුවත් 2019 ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ඔවුන්ට සැලකිය යුතු වර්ධනයක් පෙන්වීමට නොහැකි විය.

නමුත් ගෝටාභය රාජපක්ෂ පාලනය ආරම්භයේ සිට ඇතිවූ අර්බුදකාරී තත්ත්වයන් සියල්ල සමග නැග ආ ජනතා විරෝධය සහ කලකිරීම සම්ප්‍රදායික ලෙස ප්‍රධාන විපක්ෂය වෙත යොමු නොවුණි. එවන් පසුබිමක් යටතේ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ඊළඟ විකල්ප බලවේගය ලෙස ඉදිරියට පැමිණෙයි. වැදගත්ම වෙනසක් වූයේ එතෙක් වෙනත් ප්‍රධාන පක්ෂයක් පිහිටුවන ආණ්ඩුවක බලපෑම් කණ්ඩායමක් ලෙස හෝ යම් හැසිරවීමේ බලයක් පමණක් ලෙස තමන් හඳුන්වාගත් ජවිපෙ එක් වරම තමන් ඊළඟ ආණ්ඩුව පිහිටුවීමේ වඩාත්ම සදාචාරාත්මක අයිතියක් ඇති පක්ෂය ලෙස කල්පනා කිරීමට පටන් ගැනීමයි. ඒ නිසාම බලය ලබාගැනීමට අවශ්‍ය පුළුල් පෙරමුණ (ජාතික ජන බලවේගය) ඉක්මනින් ශක්තිමත් කිරීමේ දේශපාලන ක්‍රියාවලියක ජවිපෙ නිරත වෙමින් සිටියි.

2022 ආර්ථික අර්බුදය එක් පසෙකින් ජාතික ජන බලවේගයට ආශීර්වාදයක්‌ මෙන්ම අනෙක් පසින් අභියෝගයක් ද විය. ආර්ථික අර්බුදය නිසා තම දේශපාලන කතිකාව ජනතාව සමග බද්ධ කිරීමට සාරවත් භූමියක් ලැබුණි. නමුත් ආර්ථික අර්බුදය පුපුරා ගොස් ලංකාව බංකොලොත් රාජ්‍යයක් ලෙස කඩා වැටීමත් සමග වැඩි වශයෙන් ජනතාව සියලුම ආකාරයේ දේශපාලනඥයන් ප්‍රතික්ෂේප කිරීමත් ගෝල්ෆේස් අරගලය ආරම්භ වී සියලුම අවධානයන් ඒ වෙත යොමු වීමත් අභියෝගාත්මක විය. එමෙන්ම ගෝල්ෆේස් අරගලයට ඔවුන් මුල සිටම දැක්වූ සැක මුසු සතුරු ආකල්පයද එතරම් මහජනතාවගේ ප්‍රසාදය ලබන්නක් නොවීය. ගෝල්ෆේස් අරගලය ක්‍රියාත්මක වෙමින් පවතින අවස්ථාව හා සමගාමීව ඉන් පිටත තමන්ගේ දේශපාලන බලය තහවුරු කරගැනීමට ජාතික ජන බලවේගයට සිදුවේ. නමුත් අරගලය තුලද ජවිපෙ හෝ ජාජබ නමින් නොවුනත් ඔවුන්ගේ සංවිධාන කීපයක් (සමාජවාදී තරුණ සංගමය, සමාජවාදී ශිෂ්‍ය සංගමය) ක්‍රියාත්මක වූහ.

වියත්මග වැනි ජනතා ආකර්ෂණය දිනාගත හැකි සංවිධාන නිර්මාණය කරමින් සහ බහුතර සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය ඉදිරියට දමමින් ගෝටාභය රාජපක්ෂ ගෙනගිය මැතිවරණ ව්‍යාපාරය මෙන්ම පැබ්ලෝ ඉග්ලෙයාසිස් (ස්පාඤ්ඤ පොඩෙමෝස් ව්‍යාපාරයේ නායකයා) ගේ ප්‍රතිරූපය ප්‍රධාන  මාධ්‍ය හා සමාජ මාධ්‍ය තුල තරුවක් බවට පත්කරමින් පොඩෙමෝස් ව්‍යාපාරය ගෙනගිය ප්‍රචාරක වැඩපිළිවෙළ සිහිගන්වන ආකාරයේ ප්‍රචාරක වැඩපිළිවෙලළක් ජාජබය විසින් ක්‍රියාත්මක කරනු ලබමින් සිටියි. සම්ප්‍රදායික ලෙස වාමාංශික පක්ෂයක් සතු ශිෂ්‍ය, තරුණ, කාන්තා, ගොවි සහ කම්කරු සංවිධාන වලින් ඔබ්බට ගොස් විශ්ව විද්‍යාල විද්‍යාර්ථින්ගේ සංවිධාන, ව්‍යවසායකයින්ගේ සංවිධාන සහ රණවිරු සංවිධාන පවා දැන් මේ තුල බිහිකර ඇත.

තම ජනප්‍රියතාවය උරගා බැලීමට ජාජබයට තිබූ ස්වර්ණමය අවස්ථාවක් අනුප්‍රාප්තික ජනාධිපති රනිල් රාජපක්ෂ විසින් මහ දවල් මංකොල්ල කන ලදී. එනම් 2023 මාර්තු පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමීමයි. පියවරෙන් පියවර තම ජයග්‍රහණය ස්ථාපනය කරගැනීමට පිඹුරුපත් අඳිමින් සිටි ජාජබයට දැන් අවම වශයෙන් වසරක්වත් ඒ වෙනුවෙන් කල් මැරීමට සිදුවනු ඇත.

ප්‍රතිපත්තිමය ලෙස වුවත් ජාජබය පෙරමුණට ගෙන ඒම සඳහා ජවිපෙට ගෙවීමට සිදුවන වන්දිය විශාල එකකි. අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාජබ යේ නියෝජිතයකුගෙන් රුපවාහිනී වැඩසටහනකදී ප්‍රශ්න කළ විට ඉතා පැහැදිලි ලෙස ඔහු ප්‍රකාශ කර සිටියේ ජාජබ පාලනයක් යටතේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පැවතිය හැකි බවත් ඒවායේ ගුණාත්මක භාවය සහතික කරන බවත් ය. මෙය ජවිපෙ ලෙස ඔවුන් දැරූ ස්ථාවරයට හාත්පසින්ම වෙනස් වූ ප්‍රශ්නකාරී එකකි. රාගම පෞද්ගලික වෛද්‍ය පීඨයට එරෙහි අරගලය වෙනුවෙන් අන්තරේ සාමාජිකයින් ගණනාවක් ජීවිත පූජා කළ අතර සයිටම් අරගලය වෙනුවෙන් ජීවිත නැති නොවුනත් කළ කැපකිරීම් අති මහත් වේ. ඒ සියලුම කැපකිරීම් අර්ථ ශුන්‍ය කරමින් නව ස්ථාවරයක් ගැනීමට සිදු වීමම දෛවෝපගත සිදුවීමකි.

අවසානය

 අපට විශ්ලේෂණය කරගතහැකි සියලුම ආකාරවලින් කිවහැක්කේ ධනේශ්වර ක්‍රමයේ නව ලිබරල් ව්‍යාපෘතිය තවදුරටත් නිරෝගී තරුණ එකක් නොවන බවයි. එය දැන් එයට ආවේණික වූ රෝගාබාධවලින් පීඩා විඳින මහලෙකුගේ තත්ත්වයේ සිටියි. එය තවදුරටත් පොරොන්දු වූ ආකාරයේ තරඟකාරී නිදහස් සාධාරණ වෙළඳපොළ කේන්ද්‍රීය සමාජයක් ලබාදියහැකි එකක් නොවන බව ඔප්පු කර අවසානය. ඒ නිසා මේ සමාජ ක්‍රමය විස්ථාපනය කර නව සමාජ ක්‍රමයක් ස්ථාපනය කළ යුතුව ඇත. ඒ පරිවර්තනීය ක්‍රියාවලිය ආකාර කිහිපයකට වියහැකි බව පශ්චාත් මාක්ස්වාදී අර්ථයෙන් දාර්ශනිකව අදහස් ඉදිරිපත් කරන  ශන්තාල් මූෆ් පැහැදිලි කරයි. එය සරල ප්‍රතිසංස්කරණ (pure reformist)ව්‍යාපෘතියක් විය හැක. උදාහරණයක් ලෙස ලංකාවේ දැන් පවතින තත්ත්වය පිලිබඳ හර්ෂ ද සිල්වා වැන්නෙකු ගෙන් විමසුවොත් ලැබෙන පිළිතුර ඒ ආකාරයේ එකක් වේ. ඔහුට අනුව නව ලිබරල් ක්ෂිතිජයෙන් ඔබ්බෙහි කිසිවක් නැත. ඒ නිසා එම සීමාවට යටත්ව මේ ක්‍රමය ඇති එකම නිෂ්ඨාව ලෙස භාර ගනිමින් මේ ක්‍රමයම නිවැරදිව ක්‍රියාත්මක කිරීම කළ යුතුය. ඒ සඳහා බටහිර දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්ති ඒ ආකාරයෙන්ම පිළිපදිමින් දැනට නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවන ආයතන සහ ව්‍යාපාර විධිමත්ව ක්‍රියාත්මක කරමින් සංවර්දනය කරා ගමන් කළ යුතුව ඇත.

දෙවැනි ආකාරය වන්නේ රැඩිකල් ප්‍රතිසංස්කරණය (radical reformist) යි. මෙහිදී පවතින ක්‍රමයේ පදනම් විවේචනයට ලක්වන නමුත් නව සමාජ ක්‍රමය ගොඩනංවන්නේ ධනේශ්වර ක්‍රමයේ මූලික  හර පද්ධතීන් සහ නීතිවලට එකඟ වෙමිනි. ඒ නිසා මෙම ක්‍රමය ගොඩනැගී ඇති කොන්දේසි හෝ ක්‍රමය පවත්වාගෙන යන දෘෂ්ටිවාදයේ හෝ සුසමාදර්ශී වෙනස්වීමක් බලාපොරොත්තු විය නොහැක. උදාහරණයක් ලෙස රැඩිකල් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් යටතේ කම්කරු නීතිවල සංශෝධන වීම් හරහා ආර්ථික අසමානතාවයන්වල අඩු වීමක් සිදුවිය හැක. නමුත් ධනපතියා – නිර්ධනයා සම්බන්ධය හෝ ප්‍රාග්ධනය – වැටුප් ශ්‍රමය සම්බන්ධය ඊට වඩා දියුණු, වෙනස් අවධියක් කරා චලනය වේ යැයි සිතිය නොහැක. මේ ආකාරයේ දේශපාලන ප්‍රතිසංස්කරණ යෝජනා කරන ව්‍යාපාරයක් ලෙස අපට ජාතික ජන බලවේගය දැකිය හැකිය. රටේ ඇතිවූ ආර්ථික කඩාවැටීම ඔවුන්ගේ විග්‍රහය සහ සහ එම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම ගැන ඔවුන්ගේ උපාය මාර්ග සලකා බැලීමේදී මේ බව පැහැදිලි වේ. ලංකාවේ ආර්ථික අර්බුදයට හේතුව හොරා කෑම ලෙස හඳුනාගැනීමට බල කරන ජාජබය ඊට වඩා වැදගත් වන ධනවාදී ආර්ථික ක්‍රමයේ ඇති අසාර්ථකභාවය හඳුනාගැනීම දෙවන පෙළට තල්ලු කරයි. එමෙන්ම ආර්ථික අර්බුදයට විසඳුම් ලෙස ඔවුන් යෝජනා කරන ප්‍රධාන යෝජනාවක්‌ වන්නේ සොරකමෙන් දුෂණයෙන් තොර පාලනයක් පිහිටුවීමයි. දැනට ඉදිරිපත් කර ඇති ජාජබ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව සිතන විට ඉතා පැහැදිලිව මෙම ප්‍රතිසංස්කරණවාදී ස්වරූපය හඳුනාගත හැක. 

තෙවන ආකාරය වන්නේ විප්ලවකාරී දේශපාලනය (revolutionary politics) යි. එනම් පවතින ක්‍රමය එහි පදනම්වලින්ම වෙනස් කිරීම සඳහා වන මැදිහත් වීමයි. වහල් යුගය අවසන් කරද්දී වහලා සහ වහල් හිමියා යන දෙදෙනාම නැතහොත් එතෙක් පැවති සමස්ථ සමාජ ආර්ථික සම්බන්ධතා සියල්ල අවසන් වී නව සමාජ ආර්ථික සම්බන්ධතාවලට ඇතුළු වෙයි. සෑම අවස්ථාවකදීම විප්ලවකාරී මොහොතකට පසුව අලුතෙන් ඇතිවන්නේ පැරණි සමාජයේ ප්‍රතිසංස්කරණිත කොපියක් නොව නවතම සමාජ ක්‍රමයකි. එවන් දේශපාලන කතිකාවක් තුල දේපළ සබඳතා ආර්ථික සබඳතා යලි නිර්මාණය කරගැනීමට සිදුවේ. මේ මොහොතේ සංකල්පීයව පමණක් ඇති මේ දේශපාලනයට සජීවී උදාහරණ සැපයීමට ඉක්මන් නොවී සිටිය යුතුය.

අනෙත් වැදගත් නිරීක්ෂණය වන්නේ අර්බුද තුලින් මතුවී පැමිණි දේශපාලන බලවේග බොහොමයක් ඒවායේ මුඛ්‍ය පරමාර්ථ ඉෂ්ඨ කරගැනීමකින් තොරවම අසාර්ථක වී ඇති බවයි. මේ දේශපාලන ව්‍යාපාර පන්තිමය වශයෙන් සමාජය කියවනවා වෙනුවට පන්ති සාරාත්මභාවය (class essentialism) අතහැර ජනතාවාදී පෙරමුණු ලෙස ගොඩනැගුණු ඒවා වේ. අර්බුද තුල ගොඩනැංවුණු සටන් පාඨ මත ඒකාබද්ධ කරගත් විවිධ සමාජ කණ්ඩායම්වල එකතුවක් වන මේ දේශපාලන පෙරමුණුවලට  සමාජය ක්‍රම වෙනසක් (system change) කරා ගෙනයාමට බැරි වීම ඒ සංවිධානවල පදනමේම අඩංගු වන දෙයක් ලෙස දැකිය හැක.

ක්‍රම වෙනසක් නැතහොත් system change යන්න පසුගිය කාලයේදී අධිකව කතාබහට ලක්වූ මෙන්ම අතිශය අවඥාවටද ලක්වූ සංකල්පයක් වේ. ගෝල්ෆේස් අරගලයේද මුඛ්‍ය සටන් පාඨයක් වූ system change යන්න මගින් අදහස් වන්නේ කුමක්ද? ක්‍රම වෙනසක් වීමට නම් එම පවතින ක්‍රමයේ අති මූලික පදනම් වෙනස් කරන ක්‍රියාවලියක් සිදුවිය යුතුය. සමාජ ක්‍රමයක අති මූලික පදනම් වන්නේ නිෂ්පාදන බලවේග සහ නිෂ්පාදන සබඳතා වේ. යම් සමාජයක් වෙනස් කර උඩු යටිකුරු කර නව සමාජයක් බිහි කිරීමට නම් මේ අති මූලික අණු රැඩිකල් වෙනස් වීමකට භාජනය විය යුතුය. ප්‍රාග්ධනය – ශ්‍රමය අතර සම්බන්ධය බිඳවැටී ඊට වඩා දියුණු සමාජ සම්බන්ධයක් කරා ගමන් කළ යුතුය. එමෙන්ම තරගකාරී වෙළඳපොළ සහ මුල්‍ය ප්‍රාග්ධනය අහෝසි කරන බෙදාහැරීම් වඩා සමාජීය කරන ආර්ථික සැකැස්මක් ස්ථාපිත විය යුතුයි.

අරාබි වසන්තයේ (Arab spring) සිට වෝල් ස්ට්‍රීට් ව්‍යාපාරය (occupying wall street) ශිරීසා ව්‍යාපාරය, පොඩෙමෝස් ව්‍යාපාරය සහ ලංකාවේ ජනතාවාදී ව්‍යාපාර දක්වා සියලුම  ජනතාවාදී ව්‍යාපාරවල පොදු දුර්වලතාවය වන්නේ ඒවා එක්හෝ සරල ප්‍රතිසංස්කරණ ව්‍යාපාර නැතහොත් රැඩිකල් ප්‍රතිසංස්කරණ ව්‍යාපාර මිස සමාජ ක්‍රමය වෙනස් කරන විප්ලවකාරී දේශපාලන ව්‍යාපාර නොවීමයි. මෙම  දේශපාලන ව්‍යාපාර තුල පවතින ප්‍රතිසංස්කරනවාදී ඉල්ලීම් පවතින ධනවාදී සැකැස්ම තුල දිනාගැනීමට හැකි වුවහොත් ඒ කොටස් දේශපාලන අරගලයෙන් ඉවත් වී යාමට (උදාහරණයක් ලෙස ලංකාව IMF ණය පහසුකම් පිළිබඳව එකඟතාවයට පැමිණීමත් සමග අරගලයේ සමහර කොටස් ඉවත්ව යාම) ඉඩ ඇත. එසේ නොවන අර්බුදකාරී අවස්ථාවන්හිදී සමහර කොටස් ඉවත්ව (උදාහරණයක් ලෙස ශිරීසා ආණ්ඩුව IMF ගිවිසුම අත්සන් කිරීමත් සමගම වාමාංශික IMF විරෝධී කොටස් මෙන්ම අන්ත දක්ෂිණාංශික IMF විරෝධී කොටස්ද ආණ්ඩුවෙන් ඉවත් වීම)  යා හැක.

ජනතාවාදී ව්‍යාපාරවල මේ සද්භාවමය (ontological) ගැටළුවත් සමග විප්ලවකාරී දේශපාලනයේ මූලික කොන්දේසි යලි සලකා බැලීමට සිදුවී ඇත. එහිදී ලිහිල්ව ඒකාබද්ධ කළ වෙනස් කණ්ඩායම් වෙනුවට සංවිධානය කළ පක්ෂයක් ද, බහුවිධ දේශපාලන ඉල්ලීම් වෙනුවට දිනාගත යුතු එකඟතාවයකට පැමිණි දේශපාලන ජයග්‍රහණයක්‌ ද, අර්ධ කාලීන විවිධ අරමුණු සහිත පාක්ෂික ජනතාවක් වෙනුවට පුර්ණ කාලීනයින්ගෙන් සැදුම් ලත් කේඩර දේශපාලනයක් ද (cadre politics) ආදේශ කළයුතු අවස්ථාවට පැමිණ ඇති බවක් දැකිය හැක.

ශිරීසා සහ පොඩෙමෝස් ව්‍යාපාර අසාර්ථක වී ඇත. පාස්කු ප්‍රහාරය පදනම් කරගෙන ගොඩනැගූ ජනතා විරෝධය මතින් බලයට පැමිණි ගෝටාභය ගේ ආණ්ඩුව අවසන් විය. ජනතාවාදී මොහොතකට පසුව ගොඩනැගෙන ජනතාවාදී පෙරමුණු අනිවාර්යෙන් අසාර්ථක වන්නේයැයි අපට නිගමනයකට පැමිණිය හැකිද? එමෙන්ම විවිධ මතවාදී කොටස් එක්කර නිර්මාණය කළ සංධාන ඒවායේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා හමුවේ බිඳවැටෙද්දී මෙම මතුපිට ඒකාබද්ධතාවය කොතරම් අස්ථාවරද යන්න ප්‍රකාශමාන කරමින්ම එසේ විනාශ වී යයි. ඒ බව ගෝටාභය ආණ්ඩුවේ ඉරණමෙන් පැහැදිලි වෙයි. සමාජ ක්‍රමයක් තුල ඇති ප්‍රතිවිරෝධතාවලට අභිමුඛ වීමකින් තොරව එම සමාජ ක්‍රමය සම්පුර්ණයෙන්ම පරිවර්තනයක්‌ කිරීමට හැකියාවක් නැත. ඕනෑම ජනතාවාදී පෙරමුණක් ඉදිරියේ තිබෙන අභියෝගය එයයි. ලංකාවේ ” ගෝල්ෆේස් ” ජනතාවාදී මොහොතට පසුව ගොඩනැගෙන බලයද මේ අභියෝගයට මුහුණ දිය යුතුව ඇත.

Leftwin Magazine Vol-02 සම්බන්ධිත ලිපි

  • Editor
  • Posted by Editor
June 3, 2023

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධි විධාන පණත (PTA) හයෙන් පහක බලයකින් විධායක ජනාධිපති...

Read More
  • Editor
  • Posted by Editor
June 2, 2023

අප ජීවත් වන්නේ හරි අමුතු විපරිත කාලයකය. අපගේ වර්තමාන භූ දේශපාලන අර්බුදය නපුරු බියකරු සිහිනයක අපව...

Read More
  • Editor
  • Posted by Editor
June 1, 2023

වෙනිසියුලාවේ විප්ලවීය දේශපාලන නායකයෙකු වූ හියුගෝ චාවේස් සහ හංගේරියානු මාක්ස්වාදී චින්තකයෙකු වූ ඉස්ට්වාන් මෙසරෝස් අතර සමීප...

Read More
  • Editor
  • Posted by Editor
May 30, 2023

දරුණු ආර්ථික අර්බුදයක් විසින් චලනය කරනු ලැබූ ලක්ෂ ගණනක් ජනතාව විදීවලට බැස අයිතිවාසිකම් ඉල්ලා කරනු ලැබූ...

Read More

We use cookies to give you the best experience. Cookie Policy