1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධි විධාන පණත (PTA) හයෙන් පහක බලයකින් විධායක ජනාධිපති වූ ජේආර්, පණත හඳුන්වා දෙද්දි පැවසුවේ කුමක්ද? එනම්, උතුරේ දෙමළ තරුණයින් ත්‍රස්තවාදී කටයුතුවල යෙදෙමින් සිටින බවත් එය මර්දනය කිරීම සඳහා තාවකාලිකව මෙය ගෙන එන බවත්ය. ජේආර්ගේ තාවකාලික පණත අවුරුදු 45 ක් ක්‍රියාත්මක කරමින් උතුරේ තම ජාතික නිදහස වෙනුවෙන් පෙනී සිටි සහ ඒවෙනුවෙන් සන්නද්ධව නැගී සිටි දෙමළ පීඩිතයාත්, දකුණේ සිය දේශපාලන හා ආර්ථික අසමානතාවයට විරුද්ධව සන්නද්ධව නැගී සිටි සිංහල පීඩිතයාත් ලක්ෂ දෙකකට වඩා ඝාතනය කරමින් කෲර මර්දනයක් ගෙන ගියේය. ජේආර්ගේ බෑණා වූ රනිල්, සිය මාමණ්ඩියට නොදෙවෙනි මර්දන පණතක් වන ‘ ත්‍රස්ත විරෝධී පණත් කෙටුම්පත’ (ATA) නමින් නව මර්දන පණතක් ගෙන එමින් ආණ්ඩුවේ ජනතා ද්‍රෝහී ක්‍රියා කලාපයන්ට එරෙහි වන අවශ්‍ය නම්, කෝටි දෙකක මහ ජනයා ත්රස්තවාදීන් ලෙස සළකා ක්‍රියා කරන බව පාර්ලිමේන්තුවේ සරල බහුතරය තබා එකදු අසුණක් නොගෙන මහජනයාගේ විරෝධයට ලක් වූ දූෂිතයින් සමග කුමන්ත්‍රණය කොට බලය ගත් විධායකය කියන්නේද එවැනිම කතාවකි.
දැන් මීට විරුද්ධව ප්‍රතිචාර දක්වන්නන්ගේ තත්ත්වය කෙබඳුද? පණතට විරුද්ධව වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන සුපුරුදු ආකාරයට තැනින් තැන හුදෙකලා ආකාරයෙන් ක්‍රියා මාර්ග තෝරමින් සිටිති. එනම්, පණතේ අඩංගු අහිතකර(?) වගන්ති එකිනෙක ගෙන එහි වන මර්දනකාරී බව හුවා දක්වති. දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත හා සන්සන්දනයකට යමින් එහි අඩංගු නොවන අලුත් වගන්ති පිළිබඳව අවධාරණය කරති. පණතේ අඩංගු වගන්ති තමන්ගේ සිවිල් අයිතීන් උල්ලංඝණය වන ආකාරය මහජනයාට පෙන්වා දෙති. සිවිල් සංවිධාවලවලට ඊට එහා දෙයක් මේ නව මර්දන පණතට එරෙහිව ගෙන ඒමට දේශපාලන හැකියාවක් හා ඊට එහා ගිය දේශපාලන අවශ්‍යතාවක් ඔවුන්ට නැත. එම නිසා අලුතින් ගෙනෙන ප්‍රති ත්‍රස්ත පණතේ මර්දනීය වගන්ති හුවා දක්වමින් මාධ්‍ය සාකච්ඡා හා උද්ඝෝෂණ පවත්වති. නොඑසේ නම් ත්‍රස්තවාදය නිර්වචනය කරන ලෙස ආණ්ඩුවට අභියෝග කරති. එය අත්‍යාවශ්‍යයෙන්ම කළ යුත්තකි. ඒ ගැන තර්කයක් නැත.
නමුත්, ආණ්ඩුවේ මේ මර්දනකාරී පිළිවෙත්වලට එකහෙළා විරුද්ධ ඒවා ලප් තැනම ලොප් කළ හැකි ඉදිරිගාමී වැඩපිළිවෙළක් සහිත සියලු විරෝධයන් යම් පමණකට හෝ ඒකාබද්ධ කළ හැකි සංවිධාන වැඩ පිළිවෙළක් වමට (නිදර්ශනයක් ලෙස සයිටම් විරෝධී අරගලය මෙන්) තිබිය යුතුය. මර්දනය සමස්තයක් ලෙස ගෙන ඊට සංවිධානාත්මකව මුහුණ දීම වමේ වගකීම වේ. එහෙත්, වමට මේ සම්බන්ධයෙන් සිවිල් සංවිධානවලින් එහාට ගිය ඉදිරිගාමී තබා, තිබෙන විරෝධය හෝ එකට ගොණු කර ගැනීමට හැකියාවක්, උවමනාවක් නැත. මේ සම්බන්ධයෙන් අපේ රටේ වම සිටින්නේ සිවිල් සංවිධාන හා සම මට්ටමේ හෝ ඊටත් පහළිණි. මර්දන අණ පණත් ගෙනආ අයම හකුළා ගන්නා තෙක් සටන් කළ හැකි අනතුර භාර ගන්නා එඩිතර වමක් නොතිබීමේ වාසිය යන්නේ අන් කවරකුටවත් නොව මේ මර්දනකාරී ආණ්ඩුවටමය. අනෙක් පැත්තෙන් මෙවැනි මර්දනකාරී සටකපට අසාර්ථක ආණ්ඩුවලට ‘සටන් කරන වම’ කොහොමටත් ත්රස්තවාදීන්ය. ප්රචණ්ඩකාරීන්ය. කඩාකප්පල්කාරීන්ය. භීෂණය වපුරන්නන්ය. සටන්කාමී වම එය ආශ්වාදයක් ලෙස භාර ගත යුතුය. නමුත් අපේ වම ඊට ප්‍රතිචාර දක්වන්නේ සදාචාරවාදී ලෙස ‘අපි එහෙම නෑ’ වැනි මට්ටමෙනි. ඔව්හු දකුණෙන් එන එවැනි අදේශපාලනික වාචාල ග්‍රාම්‍ය චන්ඩින් ඉදිරියේ ලැජ්ජාවෙන් ඇඹරෙති. වම ඊට එරෙහිව සමාජය තුල කරන උද්ඝෝෂණයට තම ‘නියෝජනය’ හැර එය ආණ්ඩුවට දැනෙන උද්ඝෝෂණයක් බවට පත් කිරීමට අවශ්‍ය විධිමත් සාමූහික න්යාපත්රයක්, සංවිධානගත සංවිධානයක් තබා තමනට සිටිනා පිරිස් බලයවත් ඊට යොදවන්නේ නැත. වම ඒවා බැරෑරුම් ලෙස හා වගකීම් සහගත ලෙස භාරගෙන ඇති බවක්, සළකන බවක් පෙනෙන්නට නැත. වම අන් සිවිල් සංවිධානවලට වඩා වෙනසක් මේ තුල සළකුණු කරන්නේ නැත. කෙටියෙන්ම කිවහොත්, වම තමන්ගේ කාර්යය සීරියස් ලෙස භාරගෙන නැතිවා පමණක් නොව ඒ ගැන අදහසක්ද නැත.
රාජ්‍යය යනු කොහොටත් මර්දනකාරී ආයතනයක් මිස අන් දෙයක් නොවේ. ඉන් ගෙනෙන අණපණත් යනු කොහොමටත් ඔවුන්ගේ පැවැත්ම හා ආරක්ෂාව සඳහා ගෙන එන ඒවා බව වම කාටත් වඩා හොඳින් දනියි. ‘ත්රස්තවාදයට එරෙහි යුද්ධය’ (ඉරාකයේ මහා විනාශයේ ආයුධ පිළිබඳ ප්‍රචාරණයෙන් සාපරාධී ලෙස මුදා හරින ලද) නමැති ටයිටලය යටතේ ඉරාකයෙන් පටන් ගෙන ඇෆ්ගනිස්ථානය හරහා සෘජුවත් ටියුනීසියාවේ සිට ඊජිප්තුව හරහා ලිබියාව දක්වාත් තමන්ට අවනත නැතිවුන් අවනත කරගැනීමේ ගෝලීය ධනේශ්වර උපක්රමික මර්දනයේ සාහසිකකම හා සංකීර්ණකම අප කාටත් අමතක නැතිවා මෙන්ම තම ජාතික විමුක්තිය වෙනුවෙන් දිවි නොතකා සටන් කළ තමන්ට අවනත නැති උතුරේ සටන්කාමී දෙමළ ජනයා එම ටයිටලය යටතේම ජාතික වශයෙන් සාහසික ලෙස මර්දනයකට ලක් කළේ ‘භීෂණය හෙවත් ත්‍රස්තවාදය’ නම් වූ ලේබලය යටතේ බවද අපට අමතක නැත. ධනේශ්වර පාලකයන් අර්ථ දැක්වීමට උත්සාහ කරන භීෂණය හෙවත් ත්‍රස්තවාදය යනු ඉක්මන්, දැඩි, අනම්‍ය යුක්තිය මිස අන් කිසිවක් නොවේ. එබැවින් එය ශීලයේ නික්මීමකි. එය අපේ රටේ වඩාත්ම හදිසි අවශ්‍යතා සඳහා යොදා ගන්නා ප්රජාතන්ත්රවාදයේ පොදු මූලධර්මයේ ප්‍රතිවිපාකයකට වඩා අඩු විශේෂ මූලධර්මයකි. මෙහිදී බොහෝ අයට, ලෝකෝත්තර ආත්මීයත්වයේ ස්වයං-විනාශකාරී පසුබිම ගැන ආගමික ආකාරයෙන් ලාභ ලකුණු දාගැනීම අවශ්‍ය නම් පහසුය. ඊට අවශ්‍ය වන්නේ මේ මොහොතේත් හැසිරෙමින් සිටින ආකාරයෙන් වම තවදුරටත් කීකරු මහත්වරු ලෙස හැසිරීම පමණි. එවිට මර්දනකාරී පාලකයන්ගෙන්ම ප්‍රශංසා ද හිමි වේ. දෙමළ ජනයාගේ ජාතික පීඩනය යනු විශාල රාජ්‍ය භීෂණයක වඩාත් දෘශ්‍යමාන ප්රකාශනය වග ලංකාවේ වම එදා මෙන්ම මේ මොහොතේද අවබෝධ කර ගත්තේ නැත. ආණ්ඩුවේ මර්දනය පිළිබඳ දෘෂ්ටිවාදයට වමේ යටත්වීම බොහෝ ආකාරවලින් නියෝජනය කරයි. එහෙයින්, ආණ්ඩුවට එරෙහි පරිපූර්ණ කුණාටුවක් ලෙස ක්‍රියා කිරීමට ඇති නොහැකියාව වම තුල වන ප්‍රධානතම දුර්වලතාවයයි.
අද වමේ ප්‍රධාන වචනය ප්‍රතිරෝධය නොව ඔරොත්තු දීමේ හැකියාව වීම පුදුමයක් නොවේ. මිනිසුන් තලා දැමීම හෝ මරා දැමීම විඳදරාගැනීමට වම ඉගෙනගත යුතු යැයි ධනවාදය අපට නොකියා කියයි. වම ඉගෙන ගනිමින් සිටින්නේ සටන් කිරීමට නොව, සියල්ල විඳදරා ගැනීමටය.
වම ‘ගොඩෝ එනකං’ බලා සිටීමෙන් අත්වීමට නියමිතව ඇත්තේ මර්දනය සහ පීඩාව පමණි. සමපේක්ෂණ ප්‍රඥාව ඥානාන්විත වන අතර, එහෙත් එය දේශපාලනික සහ සමාජ-ආර්ථික පරදුවට තැබූ සුන්දර ආත්මයන්ගේ රැකවරණ පහසුවක් බවට පත්විය හැකිය. සැමුවෙල් බෙකට්ගේ “Waiting for Godot” හි ව්ලැඩිමීර් සහ එස්ට්රගන් ගොඩෝ එනතුරු බලා සිට ඔහු නොපැමිණීම නිසා ඔවුන් දෙදෙනා සියදිවි නසා ගැනීමට සැරසෙති. ඊට අමතරව, එස්ට්රගන් මෙම ක්‍රියාවන් දෙකටම පැමිණෙන්නේ පහර දීමෙනි. කෙසේ වෙතත් ප්‍රචණ්ඩත්වයට හේතුව නොදනී. නාට්‍යය පුරාවටම එස්ට්රැගන්ට ගොඩෝගේ පැවැත්ම පමණක් නොව තමාද අමතක වේ. බොහෝ අවස්ථාවලදී ඔවුන් ගොඩෝ එනතුරු බලා සිටින බව එස්ට්රගන්ට මතක් කර දෙන ව්ලැඩිමීර් මෙන් ලංකාවේ වමට ගොඩෝ එන බව (මර්දන අණ පණත් ගෙන එන බව) මතක් කර දෙන්නේ සිවිල් සංවිධාන නම්, තත්ත්වය කොතරම් බියකරුද? අද වන විට අරගලය වමේ වාග් ශබ්ද කෝෂයෙන් සහ සාමූහික මතකයෙන් මැකී යමින් පවතී. 1990 දශකයේ සිට, අරගල කිරීම ප්රජාතන්ත්ර විරෝධී සහ ශිෂ්ටසම්පන්න නොවන බවත්, ‘සංවාදය’ ප්‍රතික්ෂේප කරන ප්රචණ්ඩ මැරයන් (බොහෝ විට අන්තවාදීන්)සඳහා භාවිතා කරන ක්‍රියාවක් බව ධනේශ්වර පාලකයන් විසින් වමට ක්‍රමානුකූලව ඒත්තු ගන්වමින් තිබේ. ආන්ඩුව ගෙනෙන නව ‘මර්දන පණත්’ වල වර්තමාන අරමුණ වන්නේ විරෝධය දක්වන්නන් මර්දනය කිරීම හා අවිහිංසාවාදී විරෝධතා පවා වචනානුසාරයෙන් නිශ්ශබ්ද කිරීමයි. මහජන ප්‍රතිරෝධය
සාමූහික ස්වරූපයකින් තොරව භාවිතා කිරීමෙන් වම අහිමි කර ගන්නේ සමාජයම එළිමහන් සිරකඳවුරක් බවට පත් කිරීමක් වග වමට පැහැදිලි වන්නේ කවදාද?
ස්ලෝවේනියානු මාක්ස්වාදී චින්තකයෙකු වන ස්ලාවෝ ජිජැක් 2008 දී ප්‍රකාශයට පත් කරන ලද, “Violence” පොතෙහි ” කර ඇති සඳහනක් වමේ මහත්වරුන්ගේ දැන ගැනීම පිණිස මම මෙසේ සටහන් කර තබමි. “..අද අපගේ කර්තව්‍යය, වන්නේ, විමුක්තියේ භීෂණය නැවත නැවතත් ඇති කිරීමයි. අවශ්‍ය තරම් ප්රචණ්ඩත්වයකින් තොරව කෙනෙකුට සැබෑ විමුක්තිය ළඟා කර ගත නොහැකිය”. ම්ලේච්ඡ හා පරිහානියට පත් වූ සත්ත්වයන් ලෙස මිනිසුන් අවදි වන විට, අසාමාන්‍ය නායකයින් (රොබෙස්පියර්, ලෙනින්) ඒ මොහොතේ ඇති තීරණාත්මක වැදගත්කම හඳුනාගෙන එම මිනිසුන් භාර ගන්නා විට, මානව ඉතිහාසය ගොඩ නැගෙන බව ඔහු විශ්වාස කරයි. අවසාන වශයෙන්, අපව පීඩාවට පත් කරන ධනවාදී ක්‍රමය බිඳ දැමීමට අවස්ථාවක් ඇති වූ විට එම නිශ්චිත අවස්ථාවන්හිදී අපි තීරණය කළ යුතුය. කුමක්ද? සැබෑ දේශපාලන, ආර්ථික හා සමාජයීය වෙනසක් සඳහා විද්‍යාත්මක හා යතාර්ථවාදී ඉදිරි දර්ශනයක් සහිත විධිමත් ව සංවිධානගත වූ අරගලකාරී භීෂණය හෙවත් ත්රස්තය අප වැළඳ ගත යුතු යැයි ඔහු කියයි. එමෙන්ම, අරගලකාරී උද්යෝගී මොහොතේදී, උදාසීනත්වය යනු, ප්‍රතික්‍රියාවේ බලවේග සමඟ සම්බන්ධ වීමට සමාන වේ. ඒ නිශ්චිත මොහොතේ කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සම්බන්ධ නොවන ඕනෑම අයෙක් අතහැරීමට සුදුසු බවත්, යහපත් ලෝකයක් නිර්මාණය කිරීමට, ධනවාදය විනාශ කිරීමට සහ බහුතරයක් වූ සාමාන්‍ය පන්තියට විමුක්තිය ඇති කිරීමට, දේශපාලන ක්රියාදාමයේ අනුකම්පා විරහිත ක්‍රම භාවිතා කිරීමට වම පසුබට නොවිය යුතු යැයි ඔහු අවධාරණය කරයි.
ලෝකය වෙනස් කර ඇත්තේත් ලෝකය වෙනස් කළ හැක්කේත් එමගින් පමණි. එහිදී වම හුදු ආගමික අර්ථයක් තුල පුහු සදාචාරවාදීන් නොවී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දේශපාලන සදාචාරයට පමණක් යටත්ව ක්‍රියාත්මක විය යුතුය. එසේ නම්, රැඩිකල් වමේ උරුමයට විශ්වාසවන්තව සිටින අය මේ සියල්ල සමඟ කුමක් කළ යුතුද? අවම වශයෙන් කරුණු දෙකක්. පළමුව, ත්‍රස්තවාදී අතීතය හා වර්තමානය අපගේ යැයි පිළිගත යුතුය. ඊට හේතුව වන්නේ, අපගේ ලිබරල් හෝ දක්ෂිණාංශික විවේචකයින් ඉදිරියේ වරදකාරී හැඟීමක් ඇතිවීමේ අර්ධ-හෘද ආරක්ෂක ආස්ථානයට ඇති එකම විකල්පය අන් කිසිවක් නොව ප්‍රතිවාදීන්ට වඩා විවේචනාත්මක කාර්යය අප විසින් කළ යුතු වීමයි. එනම්, භීෂණය නිර්භීතව පිළිගැනීමත් සමඟ නිර්දය ස්වයං විවේචනය අත්වැල් බැඳ ගත යුතු බවයි. සටන් කරන්නට, අරගල කරන්නට සහ විප්ලව කරන්නට අවශ්‍ය එඩිතරකම ලැබෙන්නේ එසේ මුහුණ දීමට හැකි නම් පමණි.
ජාක් ලැකාන් අසල්වැසියාගේ අමානුෂික හරය ගැන කතා කරන්නේ මන්දැයි කෙනෙකුට තේරුම් ගත හැක්කේ මෙම පසුබිම තුළ ය. 1960 ගණන්වල, ව්‍යුහවාදී යුගයේ, ලුවී අල්තුසර් විසින් “න්‍යායාත්මක මානව විරෝධය”(“theoretical anti-humanism”) යන කුප්‍රකට සූත්‍රය ගැ කතා කළ අතර, එය ප්‍රායෝගික මානවවාදයෙන් සම්පූර්ණ කිරීමට පවා ඉඩ ලබා දුන්නේය. අපගේ භාවිතයේ දී, අප මානවවාදීන් ලෙස ක්‍රියා කළ යුතු අතර, අන් අයට ගරු කරමින්, ඔවුන්ට පූර්ණ ගෞරවයෙන් යුත් නිදහස් පුද්ගලයන් ලෙස, ඔවුන්ගේ ලෝකයේ නිර්මාතෘවරුන් ලෙස සැලකිය යුතුය. කෙසේ වෙතත්, න්‍යායාත්මකව, මානවවාදය යනු දෘෂ්ටිවාදයක් බවත්, අපගේ දුෂ්කරතා අප ස්වයංසිද්ධව අත්විඳින ආකාරය බවත්, මිනිසුන්ගේ සහ ඔවුන්ගේ ඉතිහාසය පිළිබඳ සැබෑ දැනුම පුද්ගලයන්ට ස්වාධීන විෂයයන් ලෙස සැලකිය යුතු බවත් අප සැමවිටම මතක තබා ගත යුතුය. එනම්, තමන්ගේම නීති අනුගමනය කරන ව්‍යුහයයි. අල්තුසර්ට ප්රතිවිරුද්ධව ලැකාන්, න්‍යායේ සිට ප්‍රායෝගික මානව-විරෝධීත්වය දක්වා, එනම් නීට්ෂේ “මිනිස්සු සියල්ලෝම මනුෂ්‍යයෝය” (“human, all too human,”) ලෙස හැඳින්වූ මානයෙන් ඔබ්බට ගොස් මනුෂ්‍යත්වයේ අමානුෂික හරයට මුහුණ දෙන ආචාර ධර්ම කරා ගමන් කිරීම සම්පූර්ණ කරයි. මෙයින් අදහස් කරන්නේ තවදුරටත් ප්‍රතික්ෂේප නොකරන, නමුත් නිර්භයව සැලකිල්ලට ගන්නා ආචාර ධර්ම පමණක් නොව, මනුෂ්‍යත්වය තුලම සැඟවුණු විරූපී ‘දුෂ්ඨ හෙවත් අමානුෂික මානයක්’ (a diabolic dimension) ද අන්තර්ගත බවයි.
මනුෂ්‍යත්වය ධනවාදයෙන් මුදවා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ස්ලාවෝ ජිජැක් මීට දශක දෙකකට පමණ පෙර ප්‍රකාශයට පත් කරන ලද “රොබෙස්පියර් නොහොත් භීෂණයේ ‘දිව්‍ය ප්රචණ්ඩත්වය, Robespierre or the ‘Divine Violence’ of Terror” (www.lacan.com/zizrobes.htm) යන රචනය හොඳින් කියවන මෙන් අපි වමට සුහදව ආරාධනා කරන්නෙමු.